Sunday, June 14, 2020

මුහුණු ගොඩක්...එක් මිනිසෙක්...!!!
ඔහු නමින් ජොනී ඩෙප්..................................
#Jonny_Depp❣️

1984 අවුරුද්දේ දවසක වයස 26ක් වූ ලෝරි ඇලිසන් නම් වේශ නිරූපන ශිල්පිනියක් විසින් කුඩා සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙක් වූ සිය 21 හැවිරිදි ඇයගේ සැමියාට විශේෂ පුද්ගලයෙක්ව මුණගස්සනවා.ඒ තැනැත්තා තමයි ලෝරි ඇලිසන් නම් මේ විවාහක කාන්තාවගේ පැරණි පෙම්වතා වූ එවකට හොලිවුඩයේ ජනප්‍රිය නළු "නිකලස් කේජ්".නිකලස් තමන්ගේ පැරණි පෙම්වතියගේ මේ වර්තමාන ස්වාමිපුරුෂයා වූ නාඹර තරුණයා තුලින් අනාගතයේ බිහිවන සුපිරි තරුවක පෙරනිමිති දකිනවා.ඒ නිසා නිකලස් මේ තරුණයාව හොලිවුඩයේ සිනමා කර්මාන්තයට හඳුන්වා දෙනවා.එදා ඒ විදියට නිකලස් කේජ් අතින් නියත් වියරණ ලැබූ ඒ තරුණයා පසු කලෙක ලෝකය පුරා ඉන්න කෝටි ගණනක් වූ රසික රසිකාවියන්ගේ ආදරය ගෞරවය දිනාගන්නට සමත් වෙන්න තරම් දශ්ෂයෙක්.ඔහු තමයි ලොව සරාගීම නළුවා විදියට දෙවතාවක් නම්කෙරුනු "ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප්" හෙවත් අපි කවුරුත් දන්න "ජොනී ඩෙප්".

ජොනී ඩෙප් උපත ලබන්නේ 1963 ජූනි මාසේ 09 වෙනිදා ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේදී දරුවන් සිව් දෙනෙක්ගෙන් යුතු පවුලක බාලයා විදියටයි.ඔහුගේ මව වේටර් වරියක්.පියා සිවිල් ඉංජිනේරුවරයෙක්.ජොනීගේ මුල් ළමා කාලය එක තැනක සැනසිලි දායක විදියට ගෙවුනු එකක් නෙමේ.1963 ඉඳලා 1970  වෙනකම් ස්තීර පදිංචියක් නොතිබූ ජොනීගේ ජීවිතේ මුල් අවුරුදු 07ම ගෙවී යන්නේ එකිනෙකට වෙනස් ප්‍රදේශ 20 ක පිහිටි නිවාසයන් වලදී.

ස්ථීර පදිංචියක් නොමැති සංක්‍රමණික ජීවිතයත්,දෙමාපියන් අතර තිබූ පවුල් ආරවුලුත් නිසා වයස අවුරුදු 12 දී තරම් කුඩා කාලයේදීම මත් ද්‍රව්‍යය වලට ජොනී ඇබ්බැහි වෙනවා.

1978 ජොනීට යන්තම් වයස අවුරුදු 15ක් වෙද්දී ඔහුගේ දෙමාපියන් දෙදෙනා වෙන් වෙනවා.දෙමාපියන් දික්කසාද වෙලා අවුරුදකට පස්සේ ජොනී ඩෙප්ගේ වයස අවුරුදු 16 වෙද්දී, ජොනී තමන්ගේ පාසලෙන් ඉවත් වෙනවා.ඒ රොක් සංගීත ශිල්පියෙක් වීමේ සිහිනය කරා පියමන් කරන්න.ඒත් ඊට සති දෙකකට පස්සේ ආපහු පාසල් යෑමට ජොනීට සිතක් පහල වුනත් පාසලේ විදුහල්පතිගේ අනුශාසකත්වය මධ්‍යයේ නැවතත් තමන්ගේ සංගීත සිහිනය පහුපස හඹායෑම ආරම්භ කරනවා.

The Kids, Rock City Angels වැනි සංගීත කණ්ඩායම් කීපයක ගීත රචකයෙක්,ගායකයෙක්,ගිටාර් වාදන ශිල්පියෙක් විදියට සේවය කරන්න ජොනීට සිද්ද වුනා.ඒත් ජොනී ඩෙප්ගේ ආර්ථික තත්වය නම් සැලකිය යුතු මට්ටමක තිබුනෙ නැහැ.
ඒ නිසා අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණෙන් ජොනී පෑන් විකිණීමත් සිද්දකලා.
ඔය කාලෙදිමයි ජොනීගේ සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පියාගේ සහෝදරිය වුන 'ලෝරි ඇලිසන්' ව ජොනීට මුණගැහෙන්නෙ.1983 දී දෙන්නා විවාහ වෙනවා.

ජෝනිගේ මේ බිරිඳ වූ ලෝරි ඇලිසන් හරහා නිකලස් කේජ් මුණගැසීම නිසා ජොනී හොලිවුඩයට පා තබන්නේ 1984දී.ඔහුගේ පලමු චිත්‍රපටිය වුනේ "Nightmare on the Elm Street" නම් ත්‍රාසජනක සිනමාපටයයි.මේකේ ජොනී රඟපෑවේ කතාවේ වීරවරියගේ පෙම්වතාගේ චරිතය.ඊට පස්සේ 1985දී නිර්මාණය වුන "Private Resort" නම් විකට සිනමා පටයේත් , වියට්නාම් යුද්ධය අලලා නිර්මාණය වුනු "The Platoon" චිත්‍රපටියේත් සුළු චරිත රඟපාන්න අවස්ථාවන් ජොනීට හමුවුනා.
මේ අතරතුර රංගනයට වෘත්තීමය නිපුණත්වයක් එක් කිරීමේ අදහසින් ජොනී රංගනය හැදෑරීම ආරම්භ කරා.මේ හැදෑරීමේ ප්‍රතිඵලයක් විදියට 1987 දී විකාශනය ආරම්භ වුන "21 Jump Street" නම් කැනේඩියානු මාලානාටකයේ රහස්පරීක්ෂකයෙකුගේ චරිතය සඳහා ජොනීව තෝරා ගැනෙනවා.මේ අවස්ථාව ජොනීගේ රංගන ජීවිතයේ පෙරළියක් ඇතිකිරීමට සමත් වෙනවා.මේ රූපවාහිනී මාලානාටකයේ ටොමී හැන්සන් නම් රහස්පරීක්ෂක චරිතයට පනදුන් ඉතා ලාබලා පෙනුමැති මුහුණක් ඇති මේ කඩවසම් නළුවා එක් රැයකින් තරුවක් බවට පත්වුනා.ජොනී ඩෙප් නම් නාමය ඔසවා තැබුන පළමු කැපී පෙනෙන නිර්මාණය වුනේ මේක.

1990 අවුරුද ජොනීගේ රංගන දිවිය තවත් ඉහලට එසවීම සිදුවුන අවුරුදක්.ඒ ,ඒ අවුරුද්දේ නිකුත් වූ ජොනී ඩෙප් රඟපෑ සිනමා පට ද්විත්වයක් බොක්ස් ඔෆිස් ආදායම් වා‍ර්තා තබමින් ජනප්‍රිය වීමත් සමගයි.සංගීතමය රොමෑන්ටික් කතන්දරයක් රැගත් "Cry Baby" චිත්‍රපටියත්, වෙනස්ම වූ අඳුරු කතා තේමාවක් රැගත් "Edward Scissorhand" චිත්‍රපටියත් ඒ චිත්‍රපටි ද්විත්වයයි.
විශේෂයෙන්ම ඩොලර් මිලියන 54ක ආදායමක් ලබා ආදායම් වාර්තා තැබූ Edward Scissorhand චිත්‍රපටිය ජොනී ඩෙප්ව හොලිවුඩයේ පළමු පන්තියේ නළුවෙක් ලෙසින් ඉහළට ඔසවා තබන්නට සමත්වුනා.ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කල "ටිම් බ'ර්ටන්" ඉන් පසු නිර්මාණය වූ තමන්ගේ ඊලඟ සෑම චිත්‍රපටියකම ප්‍රධාන චරිතය ජොනී ඩෙප් වෙනුවෙන් වෙන්කරා.

ලියනාඩෝ ඩිකැප්‍රියෝද රංගනයෙන් දායක වූ "What's eating Gilbert Grape" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ගිල්බර්ට් ග්‍රේප් චරිතයද හිමිවුනේ ජොනී ඩෙප්ට.මේ චිත්‍රපටිය නිර්මාණය කෙරුනේ 1993 අවුරුද්දෙදී.මේ චිත්‍රපටියත් එක්ක ඒ අවුරුද්දේ ජෝනි චිත්‍රපට ත්‍රිත්වයකට සිය රංගන දායකත්වය ලබාදීම විශේෂයි.

1994 අවුරුද්දේදී නැවතත් ටිම් බර්ටන්ගේම චිත්‍රපටියක් වූ Ed Wood හි රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි "ගෝල්ඩන් ග්ලොබ්" සම්මානයට ජොනී ඩෙප් යෝජනා වෙනවා.

1995ද එකම වසරක චිත්‍රපටි ත්‍රිත්වයක රඟපෑමේ වරම ජෝනිට හිමිවෙනවා.

"Don Juan Demarco" චිත්‍රපටියේ ලෝක පූජිත නළුවෙක් වූ මාලන් බ්‍රැන්ඩෝ සමගින් රඟපෑමට ජෝනිට වරම් ලැබෙනවා.

ඒ වගේම 1997දී නිර්මාණය වූ මාෆියා ව්‍යාපාර වඩා ගොඩනැගුන චිත්‍රපටියක් වූ "Donnie Brasco" චිත්‍රපටියේදී අති විශිෂ්ට නළුවෙක් වූ "අල් පචීනෝ" සමග රඟපෑමටත් ජොනී වාසනාවන්ත වෙනවා.

1997 දී ජොනී ඩෙප් තමන්ගේ කුළුදුල් චිත්‍රපටි  අධ්‍යක්ෂනයට උපත ලබාදෙනවා.ඒ තමයි The Brave චිත්‍රපටිය.ස්වදේශික ඇමරිකානුවෙක් වටා ගෙතුනු මේ චිත්‍රපටිය සඳහා ජොනී ඩෙප් සමග රංගනයෙන් දායක වෙන්නේ මාලන් බ්‍රැන්ඩෝ.

ජොනී ඩෙප් තෝරගත්තේ තමන්ගේ හිතට වදින චරිත පමණයි.ජොනීගේ සාර්ථකයට එයද හේතුවක් වන්නට ඇති.

ජොනී ලෝකය පුරා වඩාත් ආදරයට භාජනය වූ මෙන්ම වෙනස්ම ප්‍රතිරූපයක් තමන්ගේ නමින් සිනමා ලෝකය තුල නිර්මාණය කරන්නට හේතූවූ චිත්‍රපටිය ඔහුට හම්බෙන්නේ 2003දී.ඒ තමයි ලෝකය පුරා අතිසාර්ථක වූ "Pirates of Caribbean" චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටිය වූ "The curse of Black Pearl" චිත්‍රපටියි.මේ චිත්‍රපටියේ ජොනී රඟදක්වන මුහුදු කොල්ලකරුවෙක් වන කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය චිත්‍රපට පිටපත තුල එතරම් ප්‍රබල චරිතයක් නොවූ අතර ජොනීගේ දක්ෂතා නිසාම ඒ චරිතය චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය බවට නිරායාසයෙන්ම පත්වී තිබෙනවා.ඒ වගේම කතාවට අනුව ජොනී ඩෙප් විසින් පිටපතේ තිබූ ජැක් ස්පැරෝ චරිතය මාස කීපයක අධ්‍යනයකින් පසුව තමාට අවශ්‍යය පරිදි වෙනස්කම් වලට භාජනය කර තිබෙනවා.ජැක් ස්පැරෝ චරිතයේ වගේම චිත්‍රපටියේත් අධික සාර්තකත්වයට මේ ක්‍රියාව හේතු වූ බවයි පැවසෙන්නේ.ජොනී කියන්නේ තමන්ගේ කැමැත්ත පරිදි චරිත රඟ දක්වන්නෙක් යැයි පැවසීමට මේක හොඳ නිදසුනක්.මේ ජැක් ස්පැරෝ චරිතය සඳහා ජොනී ඇකඩමි සම්මානය සඳහාද නිර්දේශ වුනා.

ඒවගේම 2004දී කේට් විස්න්ලට් සමග රඟපෑ "Finding Neverland" චිත්‍රපටියේ රංගනය උදෙසාත් ජොනී ඇකඩමි සම්මානය සඳහා නිර්දේශය ලැබුවා.

2005 වසරේදී නැවතත් ජොනීගේ දෛවය වෙනස්කල අධ්‍යක්ෂකවරයා වූ ටිම් බර්ටන්ගේ "චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි"(Charlie and the Chocolate Factory) චිත්‍රපටියේ විලී වොන්කාගේ චරිතය උදෙසා ජොනී නැවතත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා යෝජනා වෙනවා.

ඒ වගේම 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති අපේක්ෂක වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාවීම නිර්මාණය වූ "Donald Trump:The Art of Deal" නම් වාර්තා චිත්‍රපටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතයට පන පොවන්නේත් ජොනී ඩෙප්.

ඒ වගේම හැරී පොටර් කතාමාලාවේම වෙනස් යුගයක දිගුවක් ලෙස නිර්මාණය වූ "Fantastic Beast" කතාමාලාවේ දුෂ්ටයා වන 'ගැලට් ඩ්‍රින්ඩවෝල්ඩ්" චරිතයට පන පොවන්නේත් ජොනී ඩෙප්.2021 නිකුත් වීමට නියමිත මීලඟ ෆැන්ටෑස්ටික් බීස්ට් කතා මාලේවෙන්ද නැවත් ජොනීව අපිට දැකගන්න පුළුවන්.ඒ වගේම මීලඟ බැට්මෑන් චිත්‍රපටියේ ජෝකර්ගේ චරිතය සඳහාත් ජොනී ඩෙප්ව තෝරාගෙන තිබෙනවා.

මේ වෙද්දී ජොනී ඇකඩමි සම්මාන ත්‍රිත්වයක් සඳහා යෝජානා වී තිබෙනවා.ඒ 2004,2005 සහ 2008දී පිළිවෙලින් Pirates of the Caribbean:The curse of Black Pearl , Finding Neverland සහ Sweeney Todd:Demon Barber of Fleet street යන චිත්‍රපටි සඳහායි.නමුත් මේ දක්ෂ රංගන ශිල්පියා තවමත් එකඳු ඇකඩමි සම්මානයක් හෝ දිනාගෙන නැහැ.

ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 10ක් සඳහා නිර්දේශ වී ඇති ජොනී ඉන් එක් අවස්තාවකදී ගෝල්ඩන් ග්ලෝබ් දිනාගෙන තිබෙනවා.ඒ Sweeney Todd චිත්‍රපටිය උදෙසායි.

වර්තමානයේ ලොව වටිනාමක් ඇති සහ ලොව ධනවත්ම නළුවන් අතරින් අයෙක්.වර්තමානයේ ඩොලර් බිලියන 10.68ක වත්කමක් ඔහු සතුයි.සුපිරි ක්‍රියාදාම නළුවන් වන ටොම් කෲස්,වින් ඩීසල්,ඩ්වේන් රොක් ජොන්සන්,බෲස් විල්ස් ආදීන් පවා සිටින්නේ ජොනීට පිටුපසින්.ඒ වගේම ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටි මාලාවේ ගැන්ඩල්ෆ්ගේ චරිතය රඟපෑ ඉයන් මැක්කෙලන් සහ ලෙගොලාස්ගේ චරිතය රඟපෑ ඔලැන්ඩෝ බ්ලූම් වගේම හැරී පොටර් චිත්‍රපටියේ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්,එමා වොට්සන් යන ලෝක ප්‍රකට රංඟන ශිල්පීන් සිටින්නේත් වත්කම් අතින් ජෝනිට පිටුපසින්.
තවද මිෂෙල් රොඩ්‍රිගස්,ටොම් හෑන්ක්ස්,විල් ස්මිත්,මෝගම් ෆ්‍රීමන්,හෙලේනා කාටර්,නැටලි පෝර්ට්මන්,රැල්ෆ් ෆිනන් වැනි ලෝක ප්‍රකට නළු නිළියන් රැසක්ම සිටින්නෙ ජොනී ඩෙප්ට පිටුපසින්.
2012 වසරේදී ලොව වැඩිම මිලක් අයකරන නළුවා වුනෙත් ජොනී ඩෙප්.
ජොනී තමන්ගේ වත්කම් වලින් අර්ධයක්ම ඉපවූයේ "Pirates of the Caribbean" චිත්‍රපටි මාලාවෙන් වීම සුවිශේෂීයි.නමුත් 2018දී ඩිස්නි සමාගම විසින් Pirates of the Caribbean චිත්‍රපටි මාලාවෙන් ඔහුව ඉවත් කරනවා.
ඒ වගේම ලෝකය පුරා සුඛෝපභෝගී නිවාස 14ක් ජොනී ඩෙප් සතුයි.

ජොනී ඩෙප් වෘතීමය ජීවිතයේ අති සාර්තක වුවත් පුද්ගලික ජීවිතයේදී අසාර්ථක අයෙක්.ජොනී අසාර්තක ප්‍රේම සම්බන්ධතා සහ විවාහයන් කීපයකටම මුහුණ දුන් අයෙක්.ඒ වගේම මත්ද්‍රව්‍යය ලෝලියෙක්.

තමන්ගේ පලමු විවාහය(1983දී ලෝරි ඇලිසන් සමග) සිදුවී වසර දෙකකින් ඒ විවාහය කටුගා දැමූ ජොනී,1985දී නිර්මාණය කෙරුනු "Dummies" නම් කෙටි චිත්‍රපටිය රූගත කරන අතරතුරදී හමුවූ "ශෙරිලීන් ෆෙන්" නම් නිළිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා.ඔවුන් දෙදෙනා කෙටි කාලයකින්ම විවාහ ගිවිසගෙන කෙටිකාලයකින්ම නැවත වෙන්වී යනවා.ඊට පස්සේ ජොනී නවතින්නේ "ජෙනිෆර් ග්‍රේ" නම් තවත් නිළියක් ලඟයි.ඒ සම්බන්ධයත් කෙටි කාලයකින් අවසන් වෙනවා.
ආයෙමත් 1990දී  "Edward Scissorhand" චිත්‍රපටියේ ජොනී සමඟ රඟපෑ "විනෝනා රයිඩර්" සමග පෙමින් වෙලෙන ජොනී "සදාකාලිකවම විනෝනා" අරුත් දෙන Winona Forever යන සටහනි යුතු පච්චයක්ද ජොනී තමන්හේ දකුණු අතේ සටහන් කරගත්තත් ඒ සම්බන්ධයත් ඉක්මනින්ම බිඳ වැටෙනවා.ඉන් පසුව ඇවතත් "කේට් මොස්" නම් බ්‍රිතාන්‍යය ජාතික නිරූපන ශිල්පිනිය සමගත් පසුව "වැනීසා" නම් ප්‍රංශ ගායිකාව සමගත් සම්බන්ධතා ඇතිකරත් ජොනීට දාව වැනීසා දරුවන් දෙදෙනෙක් ප්‍රසූත කරනවා.ඒ දරුවන් දෙදෙනාගෙන් දියණියව 2007 වසරේදී රෝහල් ආසාදන තත්වයක් හේතුවෙන් රෝහල් ගතකල අතර ජොනී තමන්ගේ ජැක් ස්පැරෝ ඇඳුම් කට්ටලයෙන් සැරසී රෝහලට ගොස් පැය ගණනක් එහි නේවාසිකව ප්‍රතිකාර ගත් ළමුන්ට කතාන්දර කියාදෙමින් කාලය ගත කලා.ඒ වගේම ඩොලර් මිලියනයක්ද රෝහලට පරිත්‍යාගය කලා.
2009දී Rum Diary රූගත කරන අතරතුරදී  හමුවූ "ඇම්බර් හර්ඩ්" සමග ජොනී විවාහ වුනත් 2012 දී ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙන්නේ වසර ගණනක් ඇදීගිය දික්කසාද නඩුවක් 2017දී අවසන් කරමින් ඇම්බර් හර්ඩ් හට ඩොලර් මිලියන 07ක වන්දි මුදලක් ජොනීගෙන් උරුම කර දෙමින්.ඒ මුදල පසු කලෙක ඇය විසින් සුභසාධනය කටයුතු සඳහා ලබාදුන් බව පැවසෙනවා.

ජීවිතයේ කලු සුදු වර්ණ දෙකම උරුම ජොනී ආදර සම්බන්ධතා වලදී එතරම් ආදර්ශමත් නොවුනත් සාමාජීය ක්‍රියාකාරකම් වලදී ගෞරවාන්විත චරිතයක්.ඒ ඔහු ඉතාම කරුණාවන්ත මෙන්ම නිහතමානී අයෙක් නිසා.වරෙක නොකල මිනී මැරුමකට හසුවූ එහෙත් තම නිර්දෝශීභාවය ඔප්පු කරගත නොහැකිව දඬුවමට කැපව සිටි නන්නාදුනන තරුණයන් තිදෙනෙකුව බේරාගැනීමට ජොනීඩෙප් ඉදිරිපත් වෙනවා.ඒ වගේම ඔවුන් තිදෙනාව නැවත සමාජගත කරන කාර්යයත් සිදුකරන්නේ ජොනී විසින්මයි.

අවුරුදු 12න් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී අවුරුදු 16න් පාසල හැරගිය ජොනි ඩෙප් කෝටි ගණනක් රසික හදවත් හොරාගෙන ඉතිහාසයේ සාර්ථකම මෙන්ම විශ්මකර්ම නළුවෙක් ලෙසට ඉතිහාසගතවී අවසන්.ජොනීගේ සාර්තකත්වය එයයි.

---සංකල්ප ගුණතිලක✍️ |10-06-2020
...................................................................


No comments:

Post a Comment