Sunday, June 14, 2020

සොභාදහමේ අශ්චර්ය....................🤩❣️

(Bioluminescent - ජෛව ආලෝක විමෝචනය සහ එහි ජාන විද්‍යාත්මක දියුණුව)

කනාමැදිරියා ,රෑබදුල්ලා රාත්‍රියේදි තමන්ගේ ශරීරයෙන් ආලෝකය නිපඳවා ගන්නා ආකාරය අපි පොඩි කාලෙ ඉඳන්ම නිරීක්ෂණය කරල තියෙන දෙයක්.මේ විදියට තමන්ගේ ශරීරයෙන් ආලෝකය නිපඳවීමේ හැකියාව තියෙන්නේ සමහරක් සාගර ජීවී පෘෂ්ඨවංශීන්ට,දිලීර වර්ග,සමහරක් බැක්ටීරියාවන්ගේ සහ ඇතැම් භෞමික සංධිපාදකයින්ට පමණයි. අපිට නිතරම දකින්න ලැබෙන කනාමැදිරියා සහ රෑබදුල්ලා කියන්නේ මේ භෞමික පෘෂ්ඨවංශීන්ට.

මේ විදියට ජෛව ආලෝක විමෝචනය සිද්දවෙන්නේ මේ සතුන්ගේ ශරීරය ඇතුලේ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදියට‍යි.මෙහි විශේෂත්වය වන්නෙ මෙසේ ආලෝකය නිකුත් කරන්නෙ තාපය උත්පාදනයකින් තොරව වීමයි.මේ ආලෝක විමෝචන ප්‍රතික්‍රියාවට සහභාගී වෙන රසායනික සංඝටක ද්විත්වයක් මේ ජීවී කාණ්ඩ සතුවෙනවා.ඒ තමයි "ලුසිෆෙරීන්"(Luciferin) සහ "ලුසිෆරේස්"(Luciferase).ලුසිෆෙරීන් කියන්නේ මේ ආලෝක විමෝචක ප්‍රතික්‍රියාවේ උපස්තරය(Substrate).මේ උපස්තරය ,ඒ කියන්නේ ලුසිෆෙරීන් බිඳවට්ටන එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවට භාජනය කරවන එන්සයිමය තමයි ලුසිෆරේස් කියන්නේ.සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියාවට ඔක්සිජන් අණුවකුවත් අවශ්‍යය වන නිසා මේ ප්‍රතික්‍රියාව ඔක්සිජන් විශවීමෙන්(Oxygen toxicity) ආරක්ෂා වීමේ ප්‍රතික්‍රියාවක් විදියටත් පිළිගැනීමක් පවතිනවා.

ලුසිෆරේස් නම් එසයිමය වෙනුවට Aequorea victoria නම් විද්‍යත්මක නමයෙන් හැඳින්වෙන ජෙලිෆිශ් විශේෂය සතුවෙන්නේ "ඇක්‍යුරීන්" (Aequorin) නම් වෙනත් එන්සයිමයක්.මේ එන්සයිමය ක්‍රියාකිරීම සඳහා කැල්සියම්ද අවශ්‍යය වන අතර ලුසිෆරේස් මගින් මෙන් නොව මෙහිදී ආලෝකය නිකුත්වන්නේ ක්ශනිකව ඉතාම කෙටි කාල පරාසයක් සඳහා පමණයි.

ජීවීන්ගේ මේ ජෛව ආලෝක විමෝචන ක්‍රියාවලියේ පරිණාමය ගැන විවිධ මත පවතිනවා.මෙ අතරින් වඩාත්ම පිළිගැනීමට ලක්වෙන්නේ ජෛව ආලෝක විමෝචනය පිළිබඳ පරීක්ෂණ සිදුකල ප්‍රමුඛ පෙලේ ජෛව රසායන විද්‍යාඥයෙකු වූ "හෝවාඩ් හැරල්ඩ් සැලිගර්" විසින් ස්වභවික වරණය ආශ්‍රයකරගෙන ඉදිරිපත් කල මතයයි.
ඔහුගේ මතයට අනුව ඉතා ඈත අතීතයෙ සාගරයේ විසූ වර්තමානයේ ආලෝක විමෝචකයින්ගෙ මුතුන් මිත්තන්, හිරු එළිය විනිවිද නොයන ගැඹුරු සහ අඳුරු සාගර පත්ල කරා ගමන් කිරීමේදී ස්වාභාවික වරණයේ ප්‍රතිඵලයක් විදියට ඒ ඒ ජීවීන්ගේ අක්ෂි සංවේදීතාව වර්ධනය වී ඇත.එසේ සංවේදීතාවට දායක වූ රසායනික සංයෝගයේ සිදුවු ව්‍යූහාත්මක් විකෘතියක් නිසා මෙසේ ආලෝකය ජනනය කල හැකි රසායනික ද්‍රව්‍යය මුලින්ම නිර්මාණය වී ඇතර පසුකාලීනව වසර මිලියන ගණනක් පුරාවට විටෙන් විට ඒවා වෙනස්කම්වලට භාජනය වෙමින් වර්තමානයේ පවතිනා ලුසිෆෙරීන් ,ලුසිෆරේස් සහ ඇක්‍යුරීන් බිහිවී ඇත.

සත්ව සහ ශාක ලෝකයේදී මේ ආලෝක ජනන ක්‍රියාවලියෙන් අදාල ජීවින් අත්පත් කරගන්නා විශේෂ වාසි කීපයක්ම තියෙනවා.විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම,ප්‍රජනන සඳහා සහකරුවෙක් හෝ සහකාරියක් ආකර්ශනය කරගැනීම,එකම විශේෂයේ ජීවීන් අතර හඳුනාගැනිම සහ සන්නිවේදනය මේවාගෙන් කීපයක්.

මිනිසා සතුව මේ විශ්මිත හැකියාව නොමැතිවුවත් මානව බුද්ධිය විසින් අදාල ආලෝක වර්ණ නිර්මාණයට හේතු වූ රසායනිකයන් පිටපත් කරන්නා වූ ජාන නිස්සාරණය කරගෙන ඒවා විවිධාකාරයෙන් භාවිතා කිරීම සිදුකෙරෙනවා.වර්තමානයේදී මේ සම්බන්ධ පරීක්ෂණ ජාන ඉංජිනේරු තාක්ෂණයේ වැදගත් අංශයක්.1986 වසරේදී විද්‍යාඥයන් විසින් කනාමැදිරියාගේ මේ ලුසිෆරේස් එන්සයිමය සඳහ වු ජානය භාවිතා කර ආලෝකය විමෝචනය කරන්නා වූ දුම්කොළ ශාකයක් නිර්මාණය කරා.

ඒ වගේම වර්තමාන වෛද්‍ය ලෝකයේ ස්කෑන් තාක්ෂණයේ ඉදිරි පිම්මක් විදියට මේ ක්‍රමය වැඩිදියුණු කරමින් පවතිනවා."බයෝ ලුමිනසන්ස් ඉමේජින්"(Bioluminescence imaging) තාක්ෂණය සහ මේ සඳහා යොදාගැනෙනවා.නමුත් මෙහිදී විමෝචනය වන ආලෝකය පියවි ඇසෙන් දැකිය නොහැකි තරම් සුළු ප්‍රමාණයක් වන නිසා ඒ සඳහා විශේෂිතවූ සංවේදීතාව ඉතා ඉහළ CCD කැමරා භාවිතාකිරීමට සිදුවෙනවා.

වෛද්‍ය ක්ෂෙත්‍රය සඳහා ජෛව ආලෝක විමෝචනය යොදාගැනීම ආරම්භ වෙන්නේ GFP හෙවත් Green Fluroscene Protien නම් ප්‍රෝටීනය විද්‍යාගාර තුල නිස්සාරණය කිරීම ආරම්භ වූ පසුවයි.මේ GFP කියන්නේ Aequorea victoria නම් ජෙලිෆිශ් විශේෂය සතු කොළ වර්ණය ලබාදෙන ප්‍රෝටීනයයි.මුලින්ම මේ ප්‍රෝටීනය නිස්සාරණය කලේ ඔසාමු ෂිමමුරා,මාටින් කැල්ෆි සහ රොජන් සේන් යන විද්‍යාඥයන් කණ්ඩායම විසින්.මෙ සොයාගැනීම උදෙසා ඔවුන්හට 2008 වසරේ රසානය විද්‍යාව උදෙසා වූ නොබෙල් ත්‍යාගය හිමිවුනා.

2009දී ජපාන විද්‍යාඥයන් විසින් GFP ප්‍රෝටීනයට අදාල ජානය වඳුරන් 91 දෙනෙකුගේ කළල තුලට එන්නත් කල අතර එයින් ජෛව ආලෝක විමෝචනය කරන්නා වූ පැටවුන් අටදෙනෙකු බිහිවුන බව පැවසෙනවා.ඒවගේම අදාල කණ්ඩායම පාකින්සන් රෝගයේ ස්නායුක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අරමුණෙන් ජීවී නිදර්ශක නිර්මාණය කිරීම සඳහා මේ ක්‍රමය භාවිත කර තිබෙනවා.

එමෙන්ම, ජපානයේ යමගුචී විශ්වවිද්‍යාලයීය පරීක්ෂණ කණ්ඩායමක් විසින් ,ලොව පුරා බළලුන්ට වැළදෙන Feline immunodeficiency virus(FIV) ව්‍යාපෘතිය අධ්‍යනය කිරීම මගින් ඒහා සමාන ක්‍රියාකාරිත්වයක් ඇති මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය හෙවත් HIV හි ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමේ අරමුණෙන් බළලුන්ගේ නොමේරූ ඩිම්බ වෙත GFP ප්‍රෝටීනයෙන් ඛේතනය කල FIV වෛරස එන්නත් කර පරීක්ෂණ මෙහෙයවා තිබෙනවා.

Nature ජර්නලයේ පලවූ වාර්තාවලට  අනුව විද්‍යාඥයන් විසින් ගර්භනී මීයන් යොදගෙන  කලල බන්ධයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීමේ පරීක්ෂණද මේ Bioluminescence imaging තාක්ෂණය යොදාගෙන සිදුකරයි.

තවද පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නමුත් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින Bioluminescent Activated Destruction ක්‍රමවේදයත් මේ ජෛව ආලෝක විමෝචන සංසිද්ධියේ ජාන විද්‍යාත්මක වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයකි.

වෛද්‍ය ක්ෂේත්‍රයට අමතරව වෙනත් වෙනත් නිශ්පාදන සඳහාද මේ ජෛව ආලෝක විමෝචන ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනයන් යොදාගැනෙනවා.අනාගතයේ විදුලි බල්බ සඳහා ආදේශකයක් විදියට ජෛව ආලෝක විමෝචක ප්‍රෝටීනයේ ජාන එක්කර ප්‍රතිනිර්මාණය කල E-coli බැක්ටීරියා නිර්මාණය කිරීම සම්බන්ධ පරීක්ෂණ මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.2016 වසරේදී ප්‍රංශ සමාගමක් විසින් ජෛව ආලෝක විමෝචනය භාවිතාකර නිපඳවූ මාර්ග සංඥවන් සහ වෙළඳ සැල් දැන්වීම් පුවරු අලෙවි කිරීම ආරම්භ කලා.

--- සංකල්ප ගුණතිලක✍️ |13-06-2020
.................................................................


දැනුම උදෙසා මරණය තෝරාගත් සර්ප විශේසඥයා..........................................

 "දැනුමෙන් තොර ජීවිතය යනු වෙස්වලාගත් මරණයක්" බව ඇමරිකානු රැප් ගායකයෙක් වුන කලීබ් ක්වේලි ප්‍රකාශ කරල තියෙනවා.දැනුම කියන දේ ජීවත් වෙන්න අවශ්‍යය වුනත් දැනුම සොයාගෙන ගියපු සමහරුන්ට අත්වුනේ මරණයයි.මේ කතාවත් එහෙම එකක්.දැනුම සොයාගෙන මාරාන්තික ක්‍රියාදාමයක නිරතවුන  කුතුහලාත්මක මනසක් තිබූ ප්‍රමුඛ පෙලේ විද්‍යඥයෙකුට අත්වූ අවාසනාවන්ත වගේම අසාමාන්‍යය ඉරණමක් තමයි මේක.

 ඇමරිකානු ජාතික "කාල් පැටර්සන් ෂ්මිත්"(Karl Patterson Schmidt) කියන්නේ විසිවන සියවසේ ලෝකයේ බිහිවුන විශිෂ්ටතම සත්ව විද්‍යාඥායෙක්.ඒ වගේම උරගයින් පිළිබඳ අද්විතීය දැනුම් සම්බාරයක් හිමිවූ අයෙක්.ලෝකයේ දේශගුණික කලාප අනුව සත්වයින්ගේ ව්‍යාප්තිය පිළිබඳ ඔහුගේ අධ්‍යනයන් ලෝකය පුරා ඔහුගේ නාමය ප්‍රචලිත කරන්නට සමත්වුනා.

කාල් පැටර්සන් පරීක්ෂණ වාර්තා රැසක් රචනා කර ඇති අයෙක්.ඔහුගේ අවාසනාවන්ත මරණයටත් හේතුවෙන්නේත් ලෝකයාගේ උන්නතිය උදෙසා දැනුම සොයාගිය ගමනකට පාදකවූ මෙවන් පරීක්ෂණ වාර්තාවක්මයි.

1957 සැප්තැම්බර් මාසයේ දිනක ඇමරිකාවේ චිකාගෝහි "ලින්කන් පාක්" සත්ව උද්‍යානයෙන් අඟල් තිහක පමණ දිගකින් යුතු සර්පයෙකු හමුවෙනවා.සත්ව උද්‍යානයේ කිසිවෙකුටත් මේ සර්පයා කුමන වර්ගයක සර්පයෙක්දැයි හඳුහාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා සත්ව උද්‍යාන බලධාරීන් මේ සර්පයාව හඳුනා ගැනීමට විශේසඥ උපකාර පතනවා.ඒ අනුව අදාලා සර්පයාව ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයක් වුන චිකාගෝහි පිහිටි "නැෂනල් හිස්‍ට්‍රි මියුසියම්"(National History Museum) වෙත රැගෙන එනවා.සර්පයාව හඳුනාගෙන වාර්තාවක් සැපයීම සඳහා යොමු කරන්නේ සර්පයන් පිළිබඳ විශාල දැනුමක් තිබූ මෙන්ම සර්ප විශේෂ රැසක් සොයාගෙන තිබූ සහ එවකට ප්‍රකටව සිටි කාල් පැටර්සන්ටයි.මේ වෙද්දී කාල්ගේ නමින් නම්වූ සර්ප විශේෂ රැසක් සිටියා.ඔහු ඒ තරමටම අදාල ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක්.

තරුණ වයසේ සිටි මේ සර්පයා Dispholidus typus නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන "අප්‍රිකානු බූම්ස්ලැන්ග්" (Boomslang) වර්ගයේ සර්පයකු බව බැලූ බැල්මට පෙනුනා.හිමෝටොක්සීන විශරැගත් බූම්ස්ලැන්ග් සර්පයින් සිටින්නේ අප්‍රිකානු මහද්වීපයට අයත් උප සහරා කලාපයේයි.

හඳුනාගැනීම සඳහා ගෙනා මේ සර්පයා අප්‍රිකානු බූම්ස්ලැන්ග් වර්ගයේ සර්පයෙකු ලෙස පෙනීගියේ සර්පයාගේ ශරීරය වසා දිවෙන දීප්තිමත් රටාවන් සහ සර්පයාගේ හිසේ හැඩය නිසා.නමුත් සාමාන්‍යයෙන් මෙම වර්ගයේ සර්පයෙකු දිගින් මීටර් දෙකක් දක්වා වූ උපරිම දිගකිනුත්, මීටර් 1 ත් මීටර් 1.6 ත් අතර වූ සාමාන්‍යය දිගකිනුත් යුක්ත වෙනවා.තරුණ වයසේ සිටි මේ සර්පයා දිගුවූයේ අඟල් තිහක් පමණයි.මීට අමතරව සර්පයාගේ වෙනත් ශාරීරික වෙනස්කම් සලකා බැලීමේදී මේ Boomslang වර්ගයේ සර්පයෙකුදැයි නිශ්චය කිරීම විශේසඥයෙකු වූ කාල්ට පවා අපහසු වුනා.

ඒ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා.සර්පයා පිළිබඳ තවමත් නිශ්චිත අදහසක් තිබුනේ නැහැ.තවත් හොඳින් අධ්‍යනය කිරීමේ අරමුණින්,කිසිඳු ආරක්ෂක උපක්‍රයක් හෝ අනුගමනය නොකර කාල් පැටර්සන් මේ සර්පයාව සිය දෝතට ගත්තේ වසර ගණනක තම අත්දැකීම පිළිබඳ විශ්වාස කරමින්.

නමුත් සිදුවූයේ නොසිතූ දෙයක්....!

එක්වරම සර්පයා කාල්ගේ වම් අතේ මහපට ඇඟිල්ලට දශ්ට කරන්නේ මිලිමීටර් කීපයක් ගැඹුරට යන තුවාලයල් සාදමින්.නමුත් සර්ප විශ ශරීරය තුලට කාන්දුවීමට ඒ හොඳටම ප්‍රමාණවත්.

සර්ප දශ්ටනයකින් පස්සේ සාමාන්‍යය අයෙක් නම් සිදුකරන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම.ඒත් කාල් දැක්වූයේ ඊට වෙනස් ප්‍රතිචාරයක්.
දශ්ටනයෙන් කලබල නොවුනු කාල්  හෙමීට තමන්ගේ සටහන් පොත අරගෙන යමක් ලියන්නට පටන් ගත්තා.ඒ සර්ප දශ්ටනයෙන් තමන්ගේ ශරීරයේ ඇතිවුන වෙනස්කම්, නැතිනම් සර්ප විශ කාල්ගේ ශරීරයේ ඇතිකරපු වෙනස්කම්.ඔහු මොහොතින් මොහොත කාලයට අනුරූපව සර්ප විශ තමන්ගේ ශරීරය තුල සිදුකරන්නාවූ වෙනස් කම් සටහන් කරා.ඒ බූම්ස්ලැන්ග් සර්ප විශ ශරීර ගතවූ පසු ඇතිවන ලක්ෂණ මොනවාදැයි සොයාගැනීමේ අරමුණින්.මේ සටහන් කාල්ගේ ඊලඟ පරීක්ෂණ වාර්තා වීමට ඉඩ තිබුනා.

මේ දශ්ටනය තමාගේ ජීවිතය උදුරාගනීවි යැයි බොහෝවිට  කාල් නොසිතන්නටත් ඇති.කෙසේ වුවත් ඔහු දිගටම රචනා කලා.
කිසිඳු ගැටලුවකින් තොරව නිර්පද්‍රිතව සවස වැඩකටයුතු අහවර කර දුම්රියේ නැගී නිවෙස බලාද පිටත් වුනා.ඒ යන අතරතුරදී පවා තමන්ට දැනෙන දේ ඔහු පැහැදිලිව වාර්තා තැබුවා.

ආහාරයට ගත් කෑම වර්ග‍ සහ ප්‍රමාණයන්,බීමට ගන්නා බීම වර්ග සහ පරිමාවන්,පිට කරන මුත්‍රා ප්‍රමාණය සහ වර්ණය,නිදාගන්නා වෙලාවන් ආදී සියලු දත්තද ඔහු කාලානුරූපව සටහන් කරගත්තා.

මුලින්ම, දුම්රිය ගමනේදී කාල්ට තරමක ඔක්කාරයක් දැනෙන්න පටන් ගන්නවා.නිවසට පැමිණි පසු තද උණ ගතියක්.ඊට පස්සේ මුඛයේ විදුරු මසින් රුධිරය වහනය වීමක්.ඊටත් පස්සේ ප්‍රථම වතාවට මුත්‍රා සමග රුධිරය පිටවීමක්.නමුත් මේ සියල්ලම මධ්‍යයයේ රාත්‍රියේ සුව නින්දක් ලබන්නත් කාල්ට හැකිවෙනවා.
පසුදා සුපුරුදු පරිදි අවදිවෙන කාල් නැවතත් ලිවීම අරඹනවා.
මෙවර තද ඔක්කාර ගතියක් සමග වමනය පිටවීම තරමක් වැඩිවී තිබෙනවා.ඒ වගේම උණ ගතියත් තවමත් ඉහළ මට්ටමක තිබුනා.තවද විදුරු මසට අමතරව නාසයෙන්ද රුධිරය වහනය වීම ඇරඹී තිබුනා........, කාල්ට තමන්ගේ වාර්තා පොතේ ලියන්නට පුළුවන් වුනේ එපමණයි.!

දහවල් ආහාරයට පසුව දහවල් 1.30ට පමණ එක්වරම වමනය දැමූ කාල්ට අපහසුතාවක් දැනුන නිසා උදව් ලබාගැනීමට වහාම තමන්ගේ බිරිඳට කතා කරනවා.ඒත් බිරිඳ ඔහු අසලට පැමිණෙන විටත් කතා කිරීමට නොහැකිව වචන ගිලීගිය, දහඩියෙ නැහැවුනු කාල් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිව බිම වැටී සිටියා.වහාම ගිලන්රථයක් ගෙන්වා කාල්ව රෝහල් ගත කලත් ,සර්ප දශ්ටනය සිදුවී පැය 24කට පසුව එනම් සැප්තැම්බර් 26 වෙනිදා හවස 3.00 ට පමණ කාල් සිය අවසන් නොකල වාර්තාවද සමග මරණය වැළඳගත්තා.ඒවන විට කාල්ගේ වයස අවුරුදු 67යි.

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව කාල්ගේ පෙනහළු , ඇස් , හෘදය , වකුගඩු සහ මොළය යන ඉන්ද්‍රියන්ගේ රුධිරය වහනය වීම් රැසක් තිබුනු බව පැවසෙනවා.මේ විදියට අභ්‍යන්තර රුධිර වහනයන් සිදුවීමට බලපෑවේ අප්‍රිකානු බූම්ස්ලැන්ග් සර්පයාගේ ප්‍රබල හීමොටොක්සීන විශයි.අවසානයේ කාල් මියගොස් තිබුනේ මේ විදියට ඇතිවුන අභ්‍යන්තර රුධිර වහනයන් නිසා ඇතිවූ හුස්මගැනීමේ අඩපන වීමක් නිසායි.

බූම්ස්ලැන්ග් සර්පයින් එතරම් ප්‍රවේගකාරී සර්ප විශේෂයක් නොවේ.ඔවුන් පහර දෙන්නේ ඔවුන්ව ඇල්ලීමට යාමේදී හෝ ඔවුන් අනාරක්ෂිත යැයි හැඟුනහොත් පමණයි.
මේ සර්පයාගේ විශ සාපේක්ෂව මාරාන්තික නොවුමත් සාමාන්‍යයෙන් බූම්ස්ලැන්ග් සර්පයෙකුගේ විශ මිලිග්‍රෑම් 0.0006 ක තරම් ඉතාම කුඩා ප්‍රමාණයකට වුවත් හොඳින් වැඩුණු පක්ෂියෙකු මිනිත්තු කීපයක් තුල මරාදැමිය හැකියි.
කෙසේවුවත් ප්‍රතිකාර නොගැනීම නිසා හෝ අවශ්‍යය ප්‍රමාණයට විශ ශරීරගතවූ නිසා කාල් පැටර්සන් එසේ අවාසනාවන්ත ලෙස මියගියා.

වාර්තාවල ප්‍රකාශ වූ අන්දමට ඔහු මිය යාමට පැය කීපයකට පෙරාතුව,රෝග ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වන අතරතුරදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයැයි ඔහුට යෝජනා කර ඇතිමුත් රෝගලක්ෂණ වාර්තා කිරීමට වෛද්‍ය ප්‍රතිකාර වල බලපෑමක් එල්ල වෙතැයි සිතූ කාල් එම යෝජනාව ප්‍රතික්ශේප කර තිබෙනවා.

දැනුම සොයායෑමේ අධික කුතුහලය කාල්ගේ මර්ණයට හේතු වූ බවයි පැහැදිලිවම පෙනෙන්නේ.නමුත් ඇතැමුන්ගේ මතය වූනේ
අප්‍රිකානු මහද්වීපයට ආවේණික සර්පයකු වූ මේ සර්පයාගේ විශට අදාල ප්‍රතිවිශ ඇමරිකාවේ නොමැති බවත් ඒවා ඇත්තේ අප්‍රිකාවේම පමණක් බවත් උරගයින් පිළිබඳ ප්‍රමුඛ පෙලේ විද්වතෙකු වූ කාල් පැටර්සන් දැනගෙන සිටි නිසා තමා නියත මරණයකට මුහුණදීමට යන බවත් එබැවින් ප්‍රතිකාර සඳහා මහන්සි වීම අර්ථ විරහිත බවත් අවබෝධ කරගෙන හේ නිහඬවම මරණය වැලඳගත් බවයි.

(චායාරූපය: කාල් පැටර්සන්)

-- සංකල්ප ගුණතිලක✍️ | 29-05-2020
..................................................................
ආපසු පැමිණීමට නොහැකිව අභ්‍යාවකාශයේ තනිවූ මිනිසා..................................................

(අවසාන සෝවියට් වැසියාගේ කතාව)

2004 වසරේදී නිර්මාණ වුන ටොම් හෑන්ක්ස්ගේ රංගනයෙන් වර්ණවත්වූ ස්ටීවන් ස්පිල්බර්ගේ "The Terminal" චිත්‍රපටිය බලල තියෙනවද ?....එක්තරා රටක ඉඳලා ඇමරිකාවට එන වික්ටර් නවෝස්කි නම් මිනිසෙකු මුහුණදෙන අපූරු සිද්ධිදාමයක් වටා ගෙතුන කතාවක් ඒක.නිව් යෝර්ක් නගරය වෙත ගුවනින් එන අතරතුරදී තමන්ගේ මව් රටේ සිදුවු හමුදා කැරැල්ලක් නිසා එහි රාජ්‍ය තන්ත්‍රය බිඳවැටීමේ ප්‍රතිපලයක් විදියට තමන්  රටක් නැති මිනිසෙකු බවට පත්වී ඇතිබව නොදැන නිව් යෝර්ක් නුවරට ගොඩබසින මේ තැනැත්තාගේ අනන්‍යතාවයේ ඇතිවූ ගැටලුව නිසා ඇමරිකාවට ඇතුලත් වීමටත් නොහැකිව,නැවත තම මව් රටට යාමටත් නොහැකිව අසරණව අතරමංවී නිව් යෝර්ක් ගුවන්තොටේ ජීවත් වීමට මේ චිත්‍රපටියේ එන තැනැත්තාට සිදුවෙනවා.හිතන්න මේ චිත්‍රපටියේ වගේ සිදුවීමක් අභ්‍යාවකාශ ගමනකදී සිදුවුනොත් මොනව වෙයිද...?

ඇත්තටම එහෙම සිදුවීමකට එක්තරා ගගණගාමියෙකුට මුහුණදෙන්න සිද්දවුනා.තමන් අභ්‍යාවකාශ ගතව සිටියදී තම රට දේශපාලනිකව බිඳවැටී අස්ථාවර වීම නිසා ආපහු පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යාවකාශයේ අතරමංවූ ඒ මිනිසා ගැනයි මේ කතාව.

සර්ජි ක්‍රිකාලෙෆ්(Sergei Krikalev) කියන්නේ සෝවියට් දේශයෙන් බිහිවුන දක්ෂ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්.ඒ වගේම ගණනගාමියෙක්.රොකට් යානා පිළිබඳ විද්‍යාඥයෙක්.
1991 වසන්ත සමයේ දවසක,ඒ කියන්නේ හරියට 1991 මැයි 19 වෙනිදා එක්තරා කණ්ඩායමක්  "Soyuz TM-12" යානයෙන් එවකට කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ කලා.මේ කණ්ඩායමේ සිටියේ සාමාජිකයන් තුන් දෙනයි.එක්කෙනෙක් තමා සර්ජි ක්‍රිකාලෙෆ්.සර්ජි තමයි කණ්ඩායමේ සිටි යාන්ත්‍රික ඉංජිනේරුවා.අනෙක් අය වුනේ මේ මෙහෙයුමේ ප්‍රධානියා වුන "ඇනටොයිල් පැව්ලොවිශ්" නම් යුක්‍රේන ජාතිකයා සහ අභ්‍යවකාශ ගතවූ පළමු බ්‍රිතාන්‍යය ජාතිකයා,අභ්‍යවකාශ ගතවූ පළමු බටහිර යුරෝපානුවා මෙන්ම මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වූ පළමු කාන්තාව යන ඓතිහාසික ගෞරව නාමයන් හිමිකරගත් "හෙලන් පැට්‍රීශියා" නම් බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥවරියයි.

මේ ත්‍රී පුද්ගල කණ්ඩායම රැගත් යානය එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ කසකස්තානයෙන් ගුවන් ගතවුනා.ඉන් සතියක පස්සේ හෙලන් පැට්‍රීශීයා නැවතත් පෘතුවියට පැමිණියේ ඔවුන් මීර් වෙත ලඟා වන විතත් එහි සේවයේ නිරතවුන කණ්ඩායමද සමගයි.උක්ත කණ්ඩායම වෙනුවට සර්ජි ක්‍රිකාලෙෆ් සහා ඇනටොයින් පැව්ලොවිශ් දෙදෙනා මීර් මධ්‍යස්ථානයෙ නතර වුනා.
ඊලඟ කණ්ඩායම මීර් වෙත පැමිණෙන තෙක් එහි නැවතී පරික්ෂන කටයුතු පවත්වාගෙන යාම තමයි මේ දෙන්නගේ කාර්යය වුනේ.
ඉදිරි මාස කීපය ඇතුලතදී නව කණ්ඩායම් ස්ථානගත කිරීමේ මෙවැනි ගමන්වාර ද්විත්වයක් සැලසුම් කර තිබුනත් හදිස්සියේම එයින් එක් ගමන්වාරයක් අවලංගු වුනේ නොසිතූ විදියටයි.
මේ නිසා ඉතුරු වී තිබුනේ එක් ගමන් වාරයක් පමණයි.ඒ ගමන්වාරය යෙදී තිබුනේ ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාසයේදී.නමුත් ඒ පැමිණි යානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සිටියත් ,ඔහු දීර්ග කාලීන මෙහෙයුම් සඳහා පුහුණුවීමක් නොලැබ සිටි නිසාත් මීර් අභ්‍යාවකාශ  මධ්‍යස්ථානයේ නැවතීමට හැකියාවක් ලැබුනේ නැහැ.ඒ නිසා සර්ජි ක්‍රිකාලෙෆ් හට මීර්හිම නැවතීමට සිදුවෙද්දී ඔහුගේ සඟයා වූ ඇනටොයිල් පැව්ලොවිශ් නැවත පෘතුවියට පැමිණියා.

මේ නිසා පොළවෙන් කිලෝ මීටර් 350ක් ඉහළ අහසේ කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවීමට සර්ජි ක්‍රිකාලෙෆ් හට සිදුවුනා.

කිසිවෙකුත් නොසිතූ අන්දමින් ලෝක ඉතිහාසයේ ඉතාම සුවිශේෂී සිදුවීමක් සිදුවුනේ සර්ජි මේ විදියට මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවී පෘතුවියෙන් ඈත්වී සිටින සමයකදීයි.ඒ සිදුවීම තමයි එවකට ප්‍රතාපවත්ව ගැනී සිටි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම.මේ දේශපාලන බල පෙරලිය සිද්දවුනේ 1991 නත්තල් දාට පහුවෙනිදා වුන දෙසැම්බර් මාසයේ 26 වෙනිදායි.
එවකට සෝවියට් සමූහාණ්ඩුව පාලනය කල මිහායිල් ගර්චොෆ් සහ ප්‍රබල සෝවියට් දේශය ඉතිහාසය තුල සැඟව ගියේ මේ දිනයේදීයි.එක්වරම සිදුවූ දේශපාලන බල පෙරලියෙන් බලපෑම් එල්ල වුනේ පොළවේ පයගසා සිටින අයට පමණක් නොවෙයි.පොළවෙන් ඈත අභ්‍යාවකාශයේ තනිවූවන්ටද එහි බලපෑම තදින්ම දැනුනා.

මොස්කව්හි රතු චතුරස්‍රය යුධ ටැංකි අරක්ගද්දී, මිනිසුන් වීදි බසිද්දී මෙ කිසිත් නොදැන සර්ජි අභ්‍යාවකාශයේ සිට පෘතුවිය දිහා බලාගෙන.!

පෘතුවියෙන් සර්ජි වෙත ඇමතුමක් ලැබුනා.සෝවියට් දේශය නම් පැරණි රාජ්‍යය දැන් නොමැති නිසා සර්ජිව නැවත ගෙන්වා ගැනීම සඳහා වූ රාජ්‍යයේ බැඳීම තවදුරටත් වලංගු නොවන බවත් ,රාජ්‍යය බිඳවැටීමෙන් සිදුවූ ආර්ථික අවපාතනය නිසා මුදල් ඉතිරි කරගැනීම රාජ්‍යයේ ප්‍රමුඛ වගකීම වී ඇති බවත් එබැවින් සර්ජිව ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට මුදල් යෙදවීමට නොහැකි බවත් පෘතුවියෙන් ඔහුට ලැබුනු පණිවිඩයෙන් කියැවුනා.ආපසු ගෙදර යෑමේ සිහිනය කෙමෙන් බොඳවෙද්දී සර්ජි දින නියමයක් නොමැතිව අභ්‍යාවකාශයේ තනිවුනා.

ඒ වන විට 33 හැවිරිදි වියේ සිටි සර්ජි විවාහ වී සිටියේ මේ අභ්‍යාවකාශ ව්‍යාප්තියේම සේවය කල තැනැත්තියක් එක්ක.ඔවුන් දෙදෙනාට මාස නමයක දියණියක්ද සිටියා.
තමන්ගේ රට අරාජික වී ඇතිබව දැනගත් සර්ජි තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවා එවන් පසුබිමක තනිවම කෙසේ ජීවත් වන්නේදැයි සිතමින් අනන්ත වාරයක් දුක් වුනා.ඒත් ඔහුට කල හැක්කේ අභ්‍යාවකාශයේ ඉඳලා පෘතුවිය දිහාබලාගෙන ඉන්න එක විතරයි.

මීර් මධ්‍යස්ථානයේ හදිසි අවස්ථාවලදී පෘතුවියට යෑම සඳහා වෙන්වුන යානාවක් තිබුනා.ඒ යානාවේ නැගී පෘතුවියට එන්නට සර්ජිට හැකියාව තිබුනත් ඔහු එසේ පැමිණියානම් මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ  පාලනයට කිසිවෙකුත් එහි ඉතිරි වන්නේ නැහැ.එසේ වූවා නම් අවුරුදු ගණනක මහන්සිය, කැපකිරීම වගේම බිලියන ගණනක මුදල් ආයෝජනයන් එක් නිමේශයකින් අපතේ යන්නට ඉඩ තිබුනා.මෙය රුසියානු අභ්‍යාවකාශ සුවිසැරියට මරු පහරක්.ඒ නිසා ඒ අදහස හිතෙන් අත්හැර තමාව බේරාගැනීමට පෘතුවියෙන් පැමිණෙන තෙක්ම කෙතරම් කාලයක් හෝ ඉවසා සිටීමට සර්ජි තීරණය කලා.

තවත් මාසයක් නිහඬවම ගෙවී ගියා.පෘතුවියෙන් පණිවිඩ ලැබුනා.ඒත් ප්‍රතිපලය මුලින් වගේමයි.ආපහු ගෙන්න ගන්න මුදල් නැහැ....!!
තවත් මාසයක් ගෙවුනා...ඒත් තවමත් මුදල් නැහැ.ඒ නිසා සර්ජිව පෘතුවියට ගෙන්න ගන්න හැකියාවක් නැහැ..!!

මේ විදියට දින , සති ,මාස ගෙවිල ගියා.සර්ජි අභ්‍යාවකාශයේ හුදෙකලාවේ වේදනාවෙන් තෙරපෙද්දී කුඩා දියණිය ගැනත් අසරණ බිරිඳ ගැනත් මතකයන් ඔහුව තව තවත් වේදනාවට පත්කලා.
සර්ජිගේ මෙහෙයුම සැලසුම් වෙලා තිබුනේ මාස 05කින් අවසන් වීමටයි.ඊට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ ගතකිරීමට සර්ජි පුහුණුවෙලා හිටියේ නැහැ.ඒ නිසා සර්ජිව පීඩාවට පත්කලේ තනිකම පාලුව කාන්සිය සහ බලාපොරොත්තුවේ කොළ එළියක් පේන මානයකවත් නොතිබූ අනාගතේ මායාව විතරක් නෙමෙයි.මාංශ පේශීන් දුර්වල වීම,විකිරණ සඳහා නිරාවරණය වීම,පිළිකා අවධානම සහ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම ආදියෙනුත් ගෙවී යන සෑම මිනිත්තුවක් පාසාම ඔහුව පීඩාවට පත්කලා.අභ්‍යාවකාශයේ ජීවිතය ඒ වගේ තමයි.අඩු ගුරුත්ව තත්ව යටතේ ශරීරය දරුණු විදියට පීඩාවට පත්කරන්න අභ්‍යාවකාශ ජීවිතේට පුළුවන්.

කාලය ගෙවී ගියා.සර්ජි රැගත් මීර් මධ්‍යස්ථානය පෘතුවිය වටා ඔහේ කැරකි කැරකී භ්‍රමණය වෙමින් තිබුනා.

මාස 10ක්ම මේ විදියට ගෙවිලා ගියා.සර්ජිගේ අභ්‍යාවකාශ මෙහෙයුම මාස 05කින් අවසන් වෙන්නට සැලසුම් කරපු එකක්.ඒත් දැන් ඒ නියමිත කාලය වගේ දෙගුණයක කාලයක් ගෙවිල ගිහින්.

සෝවියට් දේශය, බිඳවැටීමට පෙර ප්‍රතාපත් විදියට විශාල යුරේශියානු භුමිස්කන්ධයක් වසා පැතිරී තිබූ සමයේ ඇමරිකාව සමග සීතක යුද්ධයකට අවතීර්ණ වී සිටියා.සමූහාණ්ඩුව බිඳවැටෙද්දී අභ්‍යාවකාශයේ වැඩිබලයක් අත්පත් කරගෙන සිටියේ සෝවියට් දේශයයි.ඒ වනවිට තිබූ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වුන "මීර්" අභ්‍යාවකාශ මධ්‍යස්ථානයත් අයත්ව තිබුනේ සෝවියට් දේශයට.ඉතින් සමූහාණ්ඩුව බිඳවැටුනට පස්සේ ඒ තිබුණ ප්‍රතාපවත් බව ක්ෂණයකින් අතුරුදන් වෙලා රුසියාව දරුණු ආර්ථික අවපාතනයකට මුහුණ දුන්න නිසා රාජ්‍යයට අවශ්‍යය මුදල් සෙවීම සඳහා ඔවුන් කලේ අභ්‍යාවකාශය ගමන්වාර දියුණු ආර්තිකයක තත්වයන් හිමිව තිබූ යුරෝපා රාජ්‍යයන්වලට විකිණීමයි.මේ වෙන්දේසි කිරීම් වලට ඉතා ඉහළ ලංසු හිමිවුනා.ඒ කෙතරම්ද කියනවා නම් රූපවාහිනී වාර්තාකරුවෙක් අභ්‍යාවකාශයට යැවීමට ඕස්ට්‍රියාව සහ ජපානය පිළිවෙලින් ඩොලර් මිලියන 07ක් සහ 12ක් වැයකර මේ අභ්‍යාවකාශ ගමන්වාර මිලදී ගත්තා.

දවසක් මේ විදියට කරන වෙන්දේසියේදී "ක්ලෝස් ඩයිට්‍රිච් ෆ්ලේඩ්" නම් ජර්මානු ජාතිකයා අභ්‍යාවකාශයට යැවීම සඳහා ජර්මනිය විසින් ඩොලර් මිලියන 24ක තරම් ඉතා ඉහළ මුදලක් වැයකරලා ටිකක් පතක් මිලදී ගන්නවා.අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිගේ ඉරණම වෙනස් කරන්නේ මේ ජර්මානුවන් මිලදී ගත් ටිකක් පතයි.ඒ ජර්මානුවන් විසින් මිලදී ගත් ඒ අවස්තාව ඔවුන්ගේ තැනැත්තා යැවීම වෙනුවට අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිව නැවත ගෙන්වා ගැනීමට පරිත්‍යාග කිරීමත් සමගයි.ඔන්න දැන් සර්ජිට ආයෙමත් පෘතුවියේ පා තබන්නට වාසනාව හිමිවෙනවා.

පුරා දින 311ක් එනම් මාස 10ක් අභ්‍යාවකාශයේ හුදෙකලාව සිටිමින් 5000 වාරයක් පමණ පෘතුවි කක්ෂය වටා හුදෙකලාවම ඒකාකාරීව භ්‍රමණය වෙමින් සිටි මේ සෝවියට් ජාතිකයා අවසානයේ 1992 මාර්තු මාසේ 25 වෙනිදා අතීත සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ නමුත් ඒ වනවිට ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව තිබූ කසකස්තානයේ එක්තරා ස්ථානයකට ගොඩබසිනවා.නමුත් ඔහු ශාරීරිකව ඉතාම දුර්වල තත්වයේ පසුවුනා.ලේ හිඳීගිය කලෙක මෙන් සුදුපැහැ වී තිබුනා.දෙපයින් සිටගැනීමට ඔහුට හැකිවුනේ නැහැ.ඒ නිසා යානයෙන් බැසගත් සර්ජිව බිම නොවැටෙන සේ වත්තම් කිරීමට හතරදෙනෙකු වහාම ඔහුව ඔසවා ගත්තා.

පෘතුවියට ඒමට වාසනාව හිමිවුනත් ඔහු දුටුවේ නවතම ලෝකයක්.හරියට කාල තරණ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියක වගේ අත්දැකීමට තමයි සර්ජි එදා මුහුණ දුන්නේ.
ඔහු පෘතුවියෙන් යනවිට තිබුන කිසිවක් ආපසු එනවිට තිබුනේ නැහැ.සෝවියට් සමූහාණ්ඩුව නම් වූ තම රට සතුවූ දේශපාලනය අධිකාරිය වෙනස්වී ස්වාධීන රාජ්‍යයන් 15ක් නිර්මාණය වී තිබෙන අයුරු සර්ජි දුටුවා.තමන්ගේ උපන්ගම වුන "ලෙනින්ග්‍රෑඩ්" නගරය "ශාන්ත පීටර්ස්බර්ග්" වී තිබුනා.සෝවියට් දේශය නම් තම මව්‍ රට රුසියාව වී තිබුනා.විශිෂ්ට ආර්ථිකය බිඳවැටී තිබුනා.විද්‍යාඥායන් සඳහා ගෙවූ ඉහළ වැටුප කපාහැර ඉතාම සුළු මුදලක වැටුපක් පමණක් හිමිවන යුගයක් බිහිවී තිබුනා.මාස නමයක් වූ තම බිළිඳිය නොසිතූ තරම් වැඩී තිබුනා.සෝවියට් වැසියන් වූ තමරටේ මිනිසුන් රුසියානුවන් බවට පත්ව තිබුනා.ඉතිරිවී සිටි එකම සෝවියට් වැසියා වූයේ අභ්‍යාවකාශයෙන් පැමිනි තමන් පමණක් බව සර්ජි වටහා ගත්තා."අවසාන සෝවියට් වැසියා" ලෙසින් ඔහුව ඉතිහාස ගතවුනේ අන්න එහෙමයි.
කාල රේඛාව ගලා ගෙන ගොස් තිබුනේ පුදුම විදියටයි.මාස දහයකට ලෝකයා වෙනස්වී ඇති තරම සර්ජිගේ දෑස් වික්ශිප්ත කරන්නට සමත්වීම පුදුමයක් නෙමෙයි...!!

තමන්ගේ ජීවිත කාලය තුල කිසිවෙකුටත් ලැබිය නොහැකි අන්දමේ වික්‍රමාන්විත මෙන්ම අසාමාන්‍යය අත්දැකීමක් ලද සර්ජිගේ අභ්‍යාවකාශ සුවිසැරිය එතනින් අහවර වුනේ නැහැ.පසුකාලීනව ඇමරිකා-රුසියානු ඒකාබද්ධ  අභ්‍යාවකාශ ව්‍යාප්ති ආරම්භ වුනා.ඇමරිකාවේ NASA ආයතනය මගින් 1992 ඔක්තෝබරයේ ශටල ව්‍යාප්තිය ආරම්භ කලා.NASA ශටලයක නැගී ගමන් කල ප්‍රථම රුසියානුවා වීමේ ගෞරවය හිමිකර ගන්නටත් සර්ජි ක්‍රිකාලෙෆ් හට හැකිවුනා.ඒ වගේම 2000දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම සඳහා අභ්‍යාවකාශ ගතවූ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් වීමටත් සර්ජිට වාසනාව හිමිවුනා.ඉන් පසුවත් අවස්ථා රැසකදී අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා දායක වූ සර්ජි 2007 දී අභ්‍යාවකාශ ක්‍රියාන්විතයන්ගෙ සක්‍රීය සේවයෙන් සමුගන්නා විට සම්පූර්ණ දින 803කුත් පැය 09ක් සහ මිනිත්තු 39ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳීසිට තිබෙනවා.මේ කාලය ඕනෑම අයෙක් විසින් අභ්‍යාවකාශයේ රැඳිසිටි තෙවන දීර්ඝතම කාලපරාසය වන අතර අභ්‍යාවකාශයේ තනිවී සිටි දින 311ක කාලය පවතින්නේ එම ලැයිස්තුවේ හයවන ස්ථානයේයි.

පසුකාලීනව සර්ජි අභ්‍යාවකාශයේ තනිවූ සිදුවීම ආශ්‍රයෙන් විවිධ චිත්‍රපට ,වෙලඳ දැන්වීම් මෙන්ම ගීත පවා නිර්මාණය වුනා.
1995දී නිර්මාණය වුන "Out of Present" නම් වාර්තා චිත්‍රපටියත් , 2017දී නිර්මාණය වුන "Sergio & Sergei" නම් චිත්‍රපටියත් සර්ජිගේ වික්‍රමන්විත හුදෙකලාවීම අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපටියි.

--- සංකල්ප ගුණතිලක✍️ |01-06-2020
මුහුණු ගොඩක්...එක් මිනිසෙක්...!!!
ඔහු නමින් ජොනී ඩෙප්..................................
#Jonny_Depp❣️

1984 අවුරුද්දේ දවසක වයස 26ක් වූ ලෝරි ඇලිසන් නම් වේශ නිරූපන ශිල්පිනියක් විසින් කුඩා සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙක් වූ සිය 21 හැවිරිදි ඇයගේ සැමියාට විශේෂ පුද්ගලයෙක්ව මුණගස්සනවා.ඒ තැනැත්තා තමයි ලෝරි ඇලිසන් නම් මේ විවාහක කාන්තාවගේ පැරණි පෙම්වතා වූ එවකට හොලිවුඩයේ ජනප්‍රිය නළු "නිකලස් කේජ්".නිකලස් තමන්ගේ පැරණි පෙම්වතියගේ මේ වර්තමාන ස්වාමිපුරුෂයා වූ නාඹර තරුණයා තුලින් අනාගතයේ බිහිවන සුපිරි තරුවක පෙරනිමිති දකිනවා.ඒ නිසා නිකලස් මේ තරුණයාව හොලිවුඩයේ සිනමා කර්මාන්තයට හඳුන්වා දෙනවා.එදා ඒ විදියට නිකලස් කේජ් අතින් නියත් වියරණ ලැබූ ඒ තරුණයා පසු කලෙක ලෝකය පුරා ඉන්න කෝටි ගණනක් වූ රසික රසිකාවියන්ගේ ආදරය ගෞරවය දිනාගන්නට සමත් වෙන්න තරම් දශ්ෂයෙක්.ඔහු තමයි ලොව සරාගීම නළුවා විදියට දෙවතාවක් නම්කෙරුනු "ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප්" හෙවත් අපි කවුරුත් දන්න "ජොනී ඩෙප්".

ජොනී ඩෙප් උපත ලබන්නේ 1963 ජූනි මාසේ 09 වෙනිදා ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේදී දරුවන් සිව් දෙනෙක්ගෙන් යුතු පවුලක බාලයා විදියටයි.ඔහුගේ මව වේටර් වරියක්.පියා සිවිල් ඉංජිනේරුවරයෙක්.ජොනීගේ මුල් ළමා කාලය එක තැනක සැනසිලි දායක විදියට ගෙවුනු එකක් නෙමේ.1963 ඉඳලා 1970  වෙනකම් ස්තීර පදිංචියක් නොතිබූ ජොනීගේ ජීවිතේ මුල් අවුරුදු 07ම ගෙවී යන්නේ එකිනෙකට වෙනස් ප්‍රදේශ 20 ක පිහිටි නිවාසයන් වලදී.

ස්ථීර පදිංචියක් නොමැති සංක්‍රමණික ජීවිතයත්,දෙමාපියන් අතර තිබූ පවුල් ආරවුලුත් නිසා වයස අවුරුදු 12 දී තරම් කුඩා කාලයේදීම මත් ද්‍රව්‍යය වලට ජොනී ඇබ්බැහි වෙනවා.

1978 ජොනීට යන්තම් වයස අවුරුදු 15ක් වෙද්දී ඔහුගේ දෙමාපියන් දෙදෙනා වෙන් වෙනවා.දෙමාපියන් දික්කසාද වෙලා අවුරුදකට පස්සේ ජොනී ඩෙප්ගේ වයස අවුරුදු 16 වෙද්දී, ජොනී තමන්ගේ පාසලෙන් ඉවත් වෙනවා.ඒ රොක් සංගීත ශිල්පියෙක් වීමේ සිහිනය කරා පියමන් කරන්න.ඒත් ඊට සති දෙකකට පස්සේ ආපහු පාසල් යෑමට ජොනීට සිතක් පහල වුනත් පාසලේ විදුහල්පතිගේ අනුශාසකත්වය මධ්‍යයේ නැවතත් තමන්ගේ සංගීත සිහිනය පහුපස හඹායෑම ආරම්භ කරනවා.

The Kids, Rock City Angels වැනි සංගීත කණ්ඩායම් කීපයක ගීත රචකයෙක්,ගායකයෙක්,ගිටාර් වාදන ශිල්පියෙක් විදියට සේවය කරන්න ජොනීට සිද්ද වුනා.ඒත් ජොනී ඩෙප්ගේ ආර්ථික තත්වය නම් සැලකිය යුතු මට්ටමක තිබුනෙ නැහැ.
ඒ නිසා අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණෙන් ජොනී පෑන් විකිණීමත් සිද්දකලා.
ඔය කාලෙදිමයි ජොනීගේ සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පියාගේ සහෝදරිය වුන 'ලෝරි ඇලිසන්' ව ජොනීට මුණගැහෙන්නෙ.1983 දී දෙන්නා විවාහ වෙනවා.

ජෝනිගේ මේ බිරිඳ වූ ලෝරි ඇලිසන් හරහා නිකලස් කේජ් මුණගැසීම නිසා ජොනී හොලිවුඩයට පා තබන්නේ 1984දී.ඔහුගේ පලමු චිත්‍රපටිය වුනේ "Nightmare on the Elm Street" නම් ත්‍රාසජනක සිනමාපටයයි.මේකේ ජොනී රඟපෑවේ කතාවේ වීරවරියගේ පෙම්වතාගේ චරිතය.ඊට පස්සේ 1985දී නිර්මාණය වුන "Private Resort" නම් විකට සිනමා පටයේත් , වියට්නාම් යුද්ධය අලලා නිර්මාණය වුනු "The Platoon" චිත්‍රපටියේත් සුළු චරිත රඟපාන්න අවස්ථාවන් ජොනීට හමුවුනා.
මේ අතරතුර රංගනයට වෘත්තීමය නිපුණත්වයක් එක් කිරීමේ අදහසින් ජොනී රංගනය හැදෑරීම ආරම්භ කරා.මේ හැදෑරීමේ ප්‍රතිඵලයක් විදියට 1987 දී විකාශනය ආරම්භ වුන "21 Jump Street" නම් කැනේඩියානු මාලානාටකයේ රහස්පරීක්ෂකයෙකුගේ චරිතය සඳහා ජොනීව තෝරා ගැනෙනවා.මේ අවස්ථාව ජොනීගේ රංගන ජීවිතයේ පෙරළියක් ඇතිකිරීමට සමත් වෙනවා.මේ රූපවාහිනී මාලානාටකයේ ටොමී හැන්සන් නම් රහස්පරීක්ෂක චරිතයට පනදුන් ඉතා ලාබලා පෙනුමැති මුහුණක් ඇති මේ කඩවසම් නළුවා එක් රැයකින් තරුවක් බවට පත්වුනා.ජොනී ඩෙප් නම් නාමය ඔසවා තැබුන පළමු කැපී පෙනෙන නිර්මාණය වුනේ මේක.

1990 අවුරුද ජොනීගේ රංගන දිවිය තවත් ඉහලට එසවීම සිදුවුන අවුරුදක්.ඒ ,ඒ අවුරුද්දේ නිකුත් වූ ජොනී ඩෙප් රඟපෑ සිනමා පට ද්විත්වයක් බොක්ස් ඔෆිස් ආදායම් වා‍ර්තා තබමින් ජනප්‍රිය වීමත් සමගයි.සංගීතමය රොමෑන්ටික් කතන්දරයක් රැගත් "Cry Baby" චිත්‍රපටියත්, වෙනස්ම වූ අඳුරු කතා තේමාවක් රැගත් "Edward Scissorhand" චිත්‍රපටියත් ඒ චිත්‍රපටි ද්විත්වයයි.
විශේෂයෙන්ම ඩොලර් මිලියන 54ක ආදායමක් ලබා ආදායම් වාර්තා තැබූ Edward Scissorhand චිත්‍රපටිය ජොනී ඩෙප්ව හොලිවුඩයේ පළමු පන්තියේ නළුවෙක් ලෙසින් ඉහළට ඔසවා තබන්නට සමත්වුනා.ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කල "ටිම් බ'ර්ටන්" ඉන් පසු නිර්මාණය වූ තමන්ගේ ඊලඟ සෑම චිත්‍රපටියකම ප්‍රධාන චරිතය ජොනී ඩෙප් වෙනුවෙන් වෙන්කරා.

ලියනාඩෝ ඩිකැප්‍රියෝද රංගනයෙන් දායක වූ "What's eating Gilbert Grape" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ගිල්බර්ට් ග්‍රේප් චරිතයද හිමිවුනේ ජොනී ඩෙප්ට.මේ චිත්‍රපටිය නිර්මාණය කෙරුනේ 1993 අවුරුද්දෙදී.මේ චිත්‍රපටියත් එක්ක ඒ අවුරුද්දේ ජෝනි චිත්‍රපට ත්‍රිත්වයකට සිය රංගන දායකත්වය ලබාදීම විශේෂයි.

1994 අවුරුද්දේදී නැවතත් ටිම් බර්ටන්ගේම චිත්‍රපටියක් වූ Ed Wood හි රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි "ගෝල්ඩන් ග්ලොබ්" සම්මානයට ජොනී ඩෙප් යෝජනා වෙනවා.

1995ද එකම වසරක චිත්‍රපටි ත්‍රිත්වයක රඟපෑමේ වරම ජෝනිට හිමිවෙනවා.

"Don Juan Demarco" චිත්‍රපටියේ ලෝක පූජිත නළුවෙක් වූ මාලන් බ්‍රැන්ඩෝ සමගින් රඟපෑමට ජෝනිට වරම් ලැබෙනවා.

ඒ වගේම 1997දී නිර්මාණය වූ මාෆියා ව්‍යාපාර වඩා ගොඩනැගුන චිත්‍රපටියක් වූ "Donnie Brasco" චිත්‍රපටියේදී අති විශිෂ්ට නළුවෙක් වූ "අල් පචීනෝ" සමග රඟපෑමටත් ජොනී වාසනාවන්ත වෙනවා.

1997 දී ජොනී ඩෙප් තමන්ගේ කුළුදුල් චිත්‍රපටි  අධ්‍යක්ෂනයට උපත ලබාදෙනවා.ඒ තමයි The Brave චිත්‍රපටිය.ස්වදේශික ඇමරිකානුවෙක් වටා ගෙතුනු මේ චිත්‍රපටිය සඳහා ජොනී ඩෙප් සමග රංගනයෙන් දායක වෙන්නේ මාලන් බ්‍රැන්ඩෝ.

ජොනී ඩෙප් තෝරගත්තේ තමන්ගේ හිතට වදින චරිත පමණයි.ජොනීගේ සාර්ථකයට එයද හේතුවක් වන්නට ඇති.

ජොනී ලෝකය පුරා වඩාත් ආදරයට භාජනය වූ මෙන්ම වෙනස්ම ප්‍රතිරූපයක් තමන්ගේ නමින් සිනමා ලෝකය තුල නිර්මාණය කරන්නට හේතූවූ චිත්‍රපටිය ඔහුට හම්බෙන්නේ 2003දී.ඒ තමයි ලෝකය පුරා අතිසාර්ථක වූ "Pirates of Caribbean" චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටිය වූ "The curse of Black Pearl" චිත්‍රපටියි.මේ චිත්‍රපටියේ ජොනී රඟදක්වන මුහුදු කොල්ලකරුවෙක් වන කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය චිත්‍රපට පිටපත තුල එතරම් ප්‍රබල චරිතයක් නොවූ අතර ජොනීගේ දක්ෂතා නිසාම ඒ චරිතය චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය බවට නිරායාසයෙන්ම පත්වී තිබෙනවා.ඒ වගේම කතාවට අනුව ජොනී ඩෙප් විසින් පිටපතේ තිබූ ජැක් ස්පැරෝ චරිතය මාස කීපයක අධ්‍යනයකින් පසුව තමාට අවශ්‍යය පරිදි වෙනස්කම් වලට භාජනය කර තිබෙනවා.ජැක් ස්පැරෝ චරිතයේ වගේම චිත්‍රපටියේත් අධික සාර්තකත්වයට මේ ක්‍රියාව හේතු වූ බවයි පැවසෙන්නේ.ජොනී කියන්නේ තමන්ගේ කැමැත්ත පරිදි චරිත රඟ දක්වන්නෙක් යැයි පැවසීමට මේක හොඳ නිදසුනක්.මේ ජැක් ස්පැරෝ චරිතය සඳහා ජොනී ඇකඩමි සම්මානය සඳහාද නිර්දේශ වුනා.

ඒවගේම 2004දී කේට් විස්න්ලට් සමග රඟපෑ "Finding Neverland" චිත්‍රපටියේ රංගනය උදෙසාත් ජොනී ඇකඩමි සම්මානය සඳහා නිර්දේශය ලැබුවා.

2005 වසරේදී නැවතත් ජොනීගේ දෛවය වෙනස්කල අධ්‍යක්ෂකවරයා වූ ටිම් බර්ටන්ගේ "චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි"(Charlie and the Chocolate Factory) චිත්‍රපටියේ විලී වොන්කාගේ චරිතය උදෙසා ජොනී නැවතත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා යෝජනා වෙනවා.

ඒ වගේම 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති අපේක්ෂක වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාවීම නිර්මාණය වූ "Donald Trump:The Art of Deal" නම් වාර්තා චිත්‍රපටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතයට පන පොවන්නේත් ජොනී ඩෙප්.

ඒ වගේම හැරී පොටර් කතාමාලාවේම වෙනස් යුගයක දිගුවක් ලෙස නිර්මාණය වූ "Fantastic Beast" කතාමාලාවේ දුෂ්ටයා වන 'ගැලට් ඩ්‍රින්ඩවෝල්ඩ්" චරිතයට පන පොවන්නේත් ජොනී ඩෙප්.2021 නිකුත් වීමට නියමිත මීලඟ ෆැන්ටෑස්ටික් බීස්ට් කතා මාලේවෙන්ද නැවත් ජොනීව අපිට දැකගන්න පුළුවන්.ඒ වගේම මීලඟ බැට්මෑන් චිත්‍රපටියේ ජෝකර්ගේ චරිතය සඳහාත් ජොනී ඩෙප්ව තෝරාගෙන තිබෙනවා.

මේ වෙද්දී ජොනී ඇකඩමි සම්මාන ත්‍රිත්වයක් සඳහා යෝජානා වී තිබෙනවා.ඒ 2004,2005 සහ 2008දී පිළිවෙලින් Pirates of the Caribbean:The curse of Black Pearl , Finding Neverland සහ Sweeney Todd:Demon Barber of Fleet street යන චිත්‍රපටි සඳහායි.නමුත් මේ දක්ෂ රංගන ශිල්පියා තවමත් එකඳු ඇකඩමි සම්මානයක් හෝ දිනාගෙන නැහැ.

ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 10ක් සඳහා නිර්දේශ වී ඇති ජොනී ඉන් එක් අවස්තාවකදී ගෝල්ඩන් ග්ලෝබ් දිනාගෙන තිබෙනවා.ඒ Sweeney Todd චිත්‍රපටිය උදෙසායි.

වර්තමානයේ ලොව වටිනාමක් ඇති සහ ලොව ධනවත්ම නළුවන් අතරින් අයෙක්.වර්තමානයේ ඩොලර් බිලියන 10.68ක වත්කමක් ඔහු සතුයි.සුපිරි ක්‍රියාදාම නළුවන් වන ටොම් කෲස්,වින් ඩීසල්,ඩ්වේන් රොක් ජොන්සන්,බෲස් විල්ස් ආදීන් පවා සිටින්නේ ජොනීට පිටුපසින්.ඒ වගේම ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටි මාලාවේ ගැන්ඩල්ෆ්ගේ චරිතය රඟපෑ ඉයන් මැක්කෙලන් සහ ලෙගොලාස්ගේ චරිතය රඟපෑ ඔලැන්ඩෝ බ්ලූම් වගේම හැරී පොටර් චිත්‍රපටියේ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්,එමා වොට්සන් යන ලෝක ප්‍රකට රංඟන ශිල්පීන් සිටින්නේත් වත්කම් අතින් ජෝනිට පිටුපසින්.
තවද මිෂෙල් රොඩ්‍රිගස්,ටොම් හෑන්ක්ස්,විල් ස්මිත්,මෝගම් ෆ්‍රීමන්,හෙලේනා කාටර්,නැටලි පෝර්ට්මන්,රැල්ෆ් ෆිනන් වැනි ලෝක ප්‍රකට නළු නිළියන් රැසක්ම සිටින්නෙ ජොනී ඩෙප්ට පිටුපසින්.
2012 වසරේදී ලොව වැඩිම මිලක් අයකරන නළුවා වුනෙත් ජොනී ඩෙප්.
ජොනී තමන්ගේ වත්කම් වලින් අර්ධයක්ම ඉපවූයේ "Pirates of the Caribbean" චිත්‍රපටි මාලාවෙන් වීම සුවිශේෂීයි.නමුත් 2018දී ඩිස්නි සමාගම විසින් Pirates of the Caribbean චිත්‍රපටි මාලාවෙන් ඔහුව ඉවත් කරනවා.
ඒ වගේම ලෝකය පුරා සුඛෝපභෝගී නිවාස 14ක් ජොනී ඩෙප් සතුයි.

ජොනී ඩෙප් වෘතීමය ජීවිතයේ අති සාර්තක වුවත් පුද්ගලික ජීවිතයේදී අසාර්ථක අයෙක්.ජොනී අසාර්තක ප්‍රේම සම්බන්ධතා සහ විවාහයන් කීපයකටම මුහුණ දුන් අයෙක්.ඒ වගේම මත්ද්‍රව්‍යය ලෝලියෙක්.

තමන්ගේ පලමු විවාහය(1983දී ලෝරි ඇලිසන් සමග) සිදුවී වසර දෙකකින් ඒ විවාහය කටුගා දැමූ ජොනී,1985දී නිර්මාණය කෙරුනු "Dummies" නම් කෙටි චිත්‍රපටිය රූගත කරන අතරතුරදී හමුවූ "ශෙරිලීන් ෆෙන්" නම් නිළිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා.ඔවුන් දෙදෙනා කෙටි කාලයකින්ම විවාහ ගිවිසගෙන කෙටිකාලයකින්ම නැවත වෙන්වී යනවා.ඊට පස්සේ ජොනී නවතින්නේ "ජෙනිෆර් ග්‍රේ" නම් තවත් නිළියක් ලඟයි.ඒ සම්බන්ධයත් කෙටි කාලයකින් අවසන් වෙනවා.
ආයෙමත් 1990දී  "Edward Scissorhand" චිත්‍රපටියේ ජොනී සමඟ රඟපෑ "විනෝනා රයිඩර්" සමග පෙමින් වෙලෙන ජොනී "සදාකාලිකවම විනෝනා" අරුත් දෙන Winona Forever යන සටහනි යුතු පච්චයක්ද ජොනී තමන්හේ දකුණු අතේ සටහන් කරගත්තත් ඒ සම්බන්ධයත් ඉක්මනින්ම බිඳ වැටෙනවා.ඉන් පසුව ඇවතත් "කේට් මොස්" නම් බ්‍රිතාන්‍යය ජාතික නිරූපන ශිල්පිනිය සමගත් පසුව "වැනීසා" නම් ප්‍රංශ ගායිකාව සමගත් සම්බන්ධතා ඇතිකරත් ජොනීට දාව වැනීසා දරුවන් දෙදෙනෙක් ප්‍රසූත කරනවා.ඒ දරුවන් දෙදෙනාගෙන් දියණියව 2007 වසරේදී රෝහල් ආසාදන තත්වයක් හේතුවෙන් රෝහල් ගතකල අතර ජොනී තමන්ගේ ජැක් ස්පැරෝ ඇඳුම් කට්ටලයෙන් සැරසී රෝහලට ගොස් පැය ගණනක් එහි නේවාසිකව ප්‍රතිකාර ගත් ළමුන්ට කතාන්දර කියාදෙමින් කාලය ගත කලා.ඒ වගේම ඩොලර් මිලියනයක්ද රෝහලට පරිත්‍යාගය කලා.
2009දී Rum Diary රූගත කරන අතරතුරදී  හමුවූ "ඇම්බර් හර්ඩ්" සමග ජොනී විවාහ වුනත් 2012 දී ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙන්නේ වසර ගණනක් ඇදීගිය දික්කසාද නඩුවක් 2017දී අවසන් කරමින් ඇම්බර් හර්ඩ් හට ඩොලර් මිලියන 07ක වන්දි මුදලක් ජොනීගෙන් උරුම කර දෙමින්.ඒ මුදල පසු කලෙක ඇය විසින් සුභසාධනය කටයුතු සඳහා ලබාදුන් බව පැවසෙනවා.

ජීවිතයේ කලු සුදු වර්ණ දෙකම උරුම ජොනී ආදර සම්බන්ධතා වලදී එතරම් ආදර්ශමත් නොවුනත් සාමාජීය ක්‍රියාකාරකම් වලදී ගෞරවාන්විත චරිතයක්.ඒ ඔහු ඉතාම කරුණාවන්ත මෙන්ම නිහතමානී අයෙක් නිසා.වරෙක නොකල මිනී මැරුමකට හසුවූ එහෙත් තම නිර්දෝශීභාවය ඔප්පු කරගත නොහැකිව දඬුවමට කැපව සිටි නන්නාදුනන තරුණයන් තිදෙනෙකුව බේරාගැනීමට ජොනීඩෙප් ඉදිරිපත් වෙනවා.ඒ වගේම ඔවුන් තිදෙනාව නැවත සමාජගත කරන කාර්යයත් සිදුකරන්නේ ජොනී විසින්මයි.

අවුරුදු 12න් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී අවුරුදු 16න් පාසල හැරගිය ජොනි ඩෙප් කෝටි ගණනක් රසික හදවත් හොරාගෙන ඉතිහාසයේ සාර්ථකම මෙන්ම විශ්මකර්ම නළුවෙක් ලෙසට ඉතිහාසගතවී අවසන්.ජොනීගේ සාර්තකත්වය එයයි.

---සංකල්ප ගුණතිලක✍️ |10-06-2020
...................................................................