Sunday, June 14, 2020

සොභාදහමේ අශ්චර්ය....................🤩❣️

(Bioluminescent - ජෛව ආලෝක විමෝචනය සහ එහි ජාන විද්‍යාත්මක දියුණුව)

කනාමැදිරියා ,රෑබදුල්ලා රාත්‍රියේදි තමන්ගේ ශරීරයෙන් ආලෝකය නිපඳවා ගන්නා ආකාරය අපි පොඩි කාලෙ ඉඳන්ම නිරීක්ෂණය කරල තියෙන දෙයක්.මේ විදියට තමන්ගේ ශරීරයෙන් ආලෝකය නිපඳවීමේ හැකියාව තියෙන්නේ සමහරක් සාගර ජීවී පෘෂ්ඨවංශීන්ට,දිලීර වර්ග,සමහරක් බැක්ටීරියාවන්ගේ සහ ඇතැම් භෞමික සංධිපාදකයින්ට පමණයි. අපිට නිතරම දකින්න ලැබෙන කනාමැදිරියා සහ රෑබදුල්ලා කියන්නේ මේ භෞමික පෘෂ්ඨවංශීන්ට.

මේ විදියට ජෛව ආලෝක විමෝචනය සිද්දවෙන්නේ මේ සතුන්ගේ ශරීරය ඇතුලේ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදියට‍යි.මෙහි විශේෂත්වය වන්නෙ මෙසේ ආලෝකය නිකුත් කරන්නෙ තාපය උත්පාදනයකින් තොරව වීමයි.මේ ආලෝක විමෝචන ප්‍රතික්‍රියාවට සහභාගී වෙන රසායනික සංඝටක ද්විත්වයක් මේ ජීවී කාණ්ඩ සතුවෙනවා.ඒ තමයි "ලුසිෆෙරීන්"(Luciferin) සහ "ලුසිෆරේස්"(Luciferase).ලුසිෆෙරීන් කියන්නේ මේ ආලෝක විමෝචක ප්‍රතික්‍රියාවේ උපස්තරය(Substrate).මේ උපස්තරය ,ඒ කියන්නේ ලුසිෆෙරීන් බිඳවට්ටන එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවට භාජනය කරවන එන්සයිමය තමයි ලුසිෆරේස් කියන්නේ.සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියාවට ඔක්සිජන් අණුවකුවත් අවශ්‍යය වන නිසා මේ ප්‍රතික්‍රියාව ඔක්සිජන් විශවීමෙන්(Oxygen toxicity) ආරක්ෂා වීමේ ප්‍රතික්‍රියාවක් විදියටත් පිළිගැනීමක් පවතිනවා.

ලුසිෆරේස් නම් එසයිමය වෙනුවට Aequorea victoria නම් විද්‍යත්මක නමයෙන් හැඳින්වෙන ජෙලිෆිශ් විශේෂය සතුවෙන්නේ "ඇක්‍යුරීන්" (Aequorin) නම් වෙනත් එන්සයිමයක්.මේ එන්සයිමය ක්‍රියාකිරීම සඳහා කැල්සියම්ද අවශ්‍යය වන අතර ලුසිෆරේස් මගින් මෙන් නොව මෙහිදී ආලෝකය නිකුත්වන්නේ ක්ශනිකව ඉතාම කෙටි කාල පරාසයක් සඳහා පමණයි.

ජීවීන්ගේ මේ ජෛව ආලෝක විමෝචන ක්‍රියාවලියේ පරිණාමය ගැන විවිධ මත පවතිනවා.මෙ අතරින් වඩාත්ම පිළිගැනීමට ලක්වෙන්නේ ජෛව ආලෝක විමෝචනය පිළිබඳ පරීක්ෂණ සිදුකල ප්‍රමුඛ පෙලේ ජෛව රසායන විද්‍යාඥයෙකු වූ "හෝවාඩ් හැරල්ඩ් සැලිගර්" විසින් ස්වභවික වරණය ආශ්‍රයකරගෙන ඉදිරිපත් කල මතයයි.
ඔහුගේ මතයට අනුව ඉතා ඈත අතීතයෙ සාගරයේ විසූ වර්තමානයේ ආලෝක විමෝචකයින්ගෙ මුතුන් මිත්තන්, හිරු එළිය විනිවිද නොයන ගැඹුරු සහ අඳුරු සාගර පත්ල කරා ගමන් කිරීමේදී ස්වාභාවික වරණයේ ප්‍රතිඵලයක් විදියට ඒ ඒ ජීවීන්ගේ අක්ෂි සංවේදීතාව වර්ධනය වී ඇත.එසේ සංවේදීතාවට දායක වූ රසායනික සංයෝගයේ සිදුවු ව්‍යූහාත්මක් විකෘතියක් නිසා මෙසේ ආලෝකය ජනනය කල හැකි රසායනික ද්‍රව්‍යය මුලින්ම නිර්මාණය වී ඇතර පසුකාලීනව වසර මිලියන ගණනක් පුරාවට විටෙන් විට ඒවා වෙනස්කම්වලට භාජනය වෙමින් වර්තමානයේ පවතිනා ලුසිෆෙරීන් ,ලුසිෆරේස් සහ ඇක්‍යුරීන් බිහිවී ඇත.

සත්ව සහ ශාක ලෝකයේදී මේ ආලෝක ජනන ක්‍රියාවලියෙන් අදාල ජීවින් අත්පත් කරගන්නා විශේෂ වාසි කීපයක්ම තියෙනවා.විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම,ප්‍රජනන සඳහා සහකරුවෙක් හෝ සහකාරියක් ආකර්ශනය කරගැනීම,එකම විශේෂයේ ජීවීන් අතර හඳුනාගැනිම සහ සන්නිවේදනය මේවාගෙන් කීපයක්.

මිනිසා සතුව මේ විශ්මිත හැකියාව නොමැතිවුවත් මානව බුද්ධිය විසින් අදාල ආලෝක වර්ණ නිර්මාණයට හේතු වූ රසායනිකයන් පිටපත් කරන්නා වූ ජාන නිස්සාරණය කරගෙන ඒවා විවිධාකාරයෙන් භාවිතා කිරීම සිදුකෙරෙනවා.වර්තමානයේදී මේ සම්බන්ධ පරීක්ෂණ ජාන ඉංජිනේරු තාක්ෂණයේ වැදගත් අංශයක්.1986 වසරේදී විද්‍යාඥයන් විසින් කනාමැදිරියාගේ මේ ලුසිෆරේස් එන්සයිමය සඳහ වු ජානය භාවිතා කර ආලෝකය විමෝචනය කරන්නා වූ දුම්කොළ ශාකයක් නිර්මාණය කරා.

ඒ වගේම වර්තමාන වෛද්‍ය ලෝකයේ ස්කෑන් තාක්ෂණයේ ඉදිරි පිම්මක් විදියට මේ ක්‍රමය වැඩිදියුණු කරමින් පවතිනවා."බයෝ ලුමිනසන්ස් ඉමේජින්"(Bioluminescence imaging) තාක්ෂණය සහ මේ සඳහා යොදාගැනෙනවා.නමුත් මෙහිදී විමෝචනය වන ආලෝකය පියවි ඇසෙන් දැකිය නොහැකි තරම් සුළු ප්‍රමාණයක් වන නිසා ඒ සඳහා විශේෂිතවූ සංවේදීතාව ඉතා ඉහළ CCD කැමරා භාවිතාකිරීමට සිදුවෙනවා.

වෛද්‍ය ක්ෂෙත්‍රය සඳහා ජෛව ආලෝක විමෝචනය යොදාගැනීම ආරම්භ වෙන්නේ GFP හෙවත් Green Fluroscene Protien නම් ප්‍රෝටීනය විද්‍යාගාර තුල නිස්සාරණය කිරීම ආරම්භ වූ පසුවයි.මේ GFP කියන්නේ Aequorea victoria නම් ජෙලිෆිශ් විශේෂය සතු කොළ වර්ණය ලබාදෙන ප්‍රෝටීනයයි.මුලින්ම මේ ප්‍රෝටීනය නිස්සාරණය කලේ ඔසාමු ෂිමමුරා,මාටින් කැල්ෆි සහ රොජන් සේන් යන විද්‍යාඥයන් කණ්ඩායම විසින්.මෙ සොයාගැනීම උදෙසා ඔවුන්හට 2008 වසරේ රසානය විද්‍යාව උදෙසා වූ නොබෙල් ත්‍යාගය හිමිවුනා.

2009දී ජපාන විද්‍යාඥයන් විසින් GFP ප්‍රෝටීනයට අදාල ජානය වඳුරන් 91 දෙනෙකුගේ කළල තුලට එන්නත් කල අතර එයින් ජෛව ආලෝක විමෝචනය කරන්නා වූ පැටවුන් අටදෙනෙකු බිහිවුන බව පැවසෙනවා.ඒවගේම අදාල කණ්ඩායම පාකින්සන් රෝගයේ ස්නායුක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අරමුණෙන් ජීවී නිදර්ශක නිර්මාණය කිරීම සඳහා මේ ක්‍රමය භාවිත කර තිබෙනවා.

එමෙන්ම, ජපානයේ යමගුචී විශ්වවිද්‍යාලයීය පරීක්ෂණ කණ්ඩායමක් විසින් ,ලොව පුරා බළලුන්ට වැළදෙන Feline immunodeficiency virus(FIV) ව්‍යාපෘතිය අධ්‍යනය කිරීම මගින් ඒහා සමාන ක්‍රියාකාරිත්වයක් ඇති මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය හෙවත් HIV හි ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමේ අරමුණෙන් බළලුන්ගේ නොමේරූ ඩිම්බ වෙත GFP ප්‍රෝටීනයෙන් ඛේතනය කල FIV වෛරස එන්නත් කර පරීක්ෂණ මෙහෙයවා තිබෙනවා.

Nature ජර්නලයේ පලවූ වාර්තාවලට  අනුව විද්‍යාඥයන් විසින් ගර්භනී මීයන් යොදගෙන  කලල බන්ධයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීමේ පරීක්ෂණද මේ Bioluminescence imaging තාක්ෂණය යොදාගෙන සිදුකරයි.

තවද පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නමුත් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින Bioluminescent Activated Destruction ක්‍රමවේදයත් මේ ජෛව ආලෝක විමෝචන සංසිද්ධියේ ජාන විද්‍යාත්මක වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයකි.

වෛද්‍ය ක්ෂේත්‍රයට අමතරව වෙනත් වෙනත් නිශ්පාදන සඳහාද මේ ජෛව ආලෝක විමෝචන ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනයන් යොදාගැනෙනවා.අනාගතයේ විදුලි බල්බ සඳහා ආදේශකයක් විදියට ජෛව ආලෝක විමෝචක ප්‍රෝටීනයේ ජාන එක්කර ප්‍රතිනිර්මාණය කල E-coli බැක්ටීරියා නිර්මාණය කිරීම සම්බන්ධ පරීක්ෂණ මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.2016 වසරේදී ප්‍රංශ සමාගමක් විසින් ජෛව ආලෝක විමෝචනය භාවිතාකර නිපඳවූ මාර්ග සංඥවන් සහ වෙළඳ සැල් දැන්වීම් පුවරු අලෙවි කිරීම ආරම්භ කලා.

--- සංකල්ප ගුණතිලක✍️ |13-06-2020
.................................................................


දැනුම උදෙසා මරණය තෝරාගත් සර්ප විශේසඥයා..........................................

 "දැනුමෙන් තොර ජීවිතය යනු වෙස්වලාගත් මරණයක්" බව ඇමරිකානු රැප් ගායකයෙක් වුන කලීබ් ක්වේලි ප්‍රකාශ කරල තියෙනවා.දැනුම කියන දේ ජීවත් වෙන්න අවශ්‍යය වුනත් දැනුම සොයාගෙන ගියපු සමහරුන්ට අත්වුනේ මරණයයි.මේ කතාවත් එහෙම එකක්.දැනුම සොයාගෙන මාරාන්තික ක්‍රියාදාමයක නිරතවුන  කුතුහලාත්මක මනසක් තිබූ ප්‍රමුඛ පෙලේ විද්‍යඥයෙකුට අත්වූ අවාසනාවන්ත වගේම අසාමාන්‍යය ඉරණමක් තමයි මේක.

 ඇමරිකානු ජාතික "කාල් පැටර්සන් ෂ්මිත්"(Karl Patterson Schmidt) කියන්නේ විසිවන සියවසේ ලෝකයේ බිහිවුන විශිෂ්ටතම සත්ව විද්‍යාඥායෙක්.ඒ වගේම උරගයින් පිළිබඳ අද්විතීය දැනුම් සම්බාරයක් හිමිවූ අයෙක්.ලෝකයේ දේශගුණික කලාප අනුව සත්වයින්ගේ ව්‍යාප්තිය පිළිබඳ ඔහුගේ අධ්‍යනයන් ලෝකය පුරා ඔහුගේ නාමය ප්‍රචලිත කරන්නට සමත්වුනා.

කාල් පැටර්සන් පරීක්ෂණ වාර්තා රැසක් රචනා කර ඇති අයෙක්.ඔහුගේ අවාසනාවන්ත මරණයටත් හේතුවෙන්නේත් ලෝකයාගේ උන්නතිය උදෙසා දැනුම සොයාගිය ගමනකට පාදකවූ මෙවන් පරීක්ෂණ වාර්තාවක්මයි.

1957 සැප්තැම්බර් මාසයේ දිනක ඇමරිකාවේ චිකාගෝහි "ලින්කන් පාක්" සත්ව උද්‍යානයෙන් අඟල් තිහක පමණ දිගකින් යුතු සර්පයෙකු හමුවෙනවා.සත්ව උද්‍යානයේ කිසිවෙකුටත් මේ සර්පයා කුමන වර්ගයක සර්පයෙක්දැයි හඳුහාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා සත්ව උද්‍යාන බලධාරීන් මේ සර්පයාව හඳුනා ගැනීමට විශේසඥ උපකාර පතනවා.ඒ අනුව අදාලා සර්පයාව ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයක් වුන චිකාගෝහි පිහිටි "නැෂනල් හිස්‍ට්‍රි මියුසියම්"(National History Museum) වෙත රැගෙන එනවා.සර්පයාව හඳුනාගෙන වාර්තාවක් සැපයීම සඳහා යොමු කරන්නේ සර්පයන් පිළිබඳ විශාල දැනුමක් තිබූ මෙන්ම සර්ප විශේෂ රැසක් සොයාගෙන තිබූ සහ එවකට ප්‍රකටව සිටි කාල් පැටර්සන්ටයි.මේ වෙද්දී කාල්ගේ නමින් නම්වූ සර්ප විශේෂ රැසක් සිටියා.ඔහු ඒ තරමටම අදාල ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක්.

තරුණ වයසේ සිටි මේ සර්පයා Dispholidus typus නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන "අප්‍රිකානු බූම්ස්ලැන්ග්" (Boomslang) වර්ගයේ සර්පයකු බව බැලූ බැල්මට පෙනුනා.හිමෝටොක්සීන විශරැගත් බූම්ස්ලැන්ග් සර්පයින් සිටින්නේ අප්‍රිකානු මහද්වීපයට අයත් උප සහරා කලාපයේයි.

හඳුනාගැනීම සඳහා ගෙනා මේ සර්පයා අප්‍රිකානු බූම්ස්ලැන්ග් වර්ගයේ සර්පයෙකු ලෙස පෙනීගියේ සර්පයාගේ ශරීරය වසා දිවෙන දීප්තිමත් රටාවන් සහ සර්පයාගේ හිසේ හැඩය නිසා.නමුත් සාමාන්‍යයෙන් මෙම වර්ගයේ සර්පයෙකු දිගින් මීටර් දෙකක් දක්වා වූ උපරිම දිගකිනුත්, මීටර් 1 ත් මීටර් 1.6 ත් අතර වූ සාමාන්‍යය දිගකිනුත් යුක්ත වෙනවා.තරුණ වයසේ සිටි මේ සර්පයා දිගුවූයේ අඟල් තිහක් පමණයි.මීට අමතරව සර්පයාගේ වෙනත් ශාරීරික වෙනස්කම් සලකා බැලීමේදී මේ Boomslang වර්ගයේ සර්පයෙකුදැයි නිශ්චය කිරීම විශේසඥයෙකු වූ කාල්ට පවා අපහසු වුනා.

ඒ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා.සර්පයා පිළිබඳ තවමත් නිශ්චිත අදහසක් තිබුනේ නැහැ.තවත් හොඳින් අධ්‍යනය කිරීමේ අරමුණින්,කිසිඳු ආරක්ෂක උපක්‍රයක් හෝ අනුගමනය නොකර කාල් පැටර්සන් මේ සර්පයාව සිය දෝතට ගත්තේ වසර ගණනක තම අත්දැකීම පිළිබඳ විශ්වාස කරමින්.

නමුත් සිදුවූයේ නොසිතූ දෙයක්....!

එක්වරම සර්පයා කාල්ගේ වම් අතේ මහපට ඇඟිල්ලට දශ්ට කරන්නේ මිලිමීටර් කීපයක් ගැඹුරට යන තුවාලයල් සාදමින්.නමුත් සර්ප විශ ශරීරය තුලට කාන්දුවීමට ඒ හොඳටම ප්‍රමාණවත්.

සර්ප දශ්ටනයකින් පස්සේ සාමාන්‍යය අයෙක් නම් සිදුකරන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම.ඒත් කාල් දැක්වූයේ ඊට වෙනස් ප්‍රතිචාරයක්.
දශ්ටනයෙන් කලබල නොවුනු කාල්  හෙමීට තමන්ගේ සටහන් පොත අරගෙන යමක් ලියන්නට පටන් ගත්තා.ඒ සර්ප දශ්ටනයෙන් තමන්ගේ ශරීරයේ ඇතිවුන වෙනස්කම්, නැතිනම් සර්ප විශ කාල්ගේ ශරීරයේ ඇතිකරපු වෙනස්කම්.ඔහු මොහොතින් මොහොත කාලයට අනුරූපව සර්ප විශ තමන්ගේ ශරීරය තුල සිදුකරන්නාවූ වෙනස් කම් සටහන් කරා.ඒ බූම්ස්ලැන්ග් සර්ප විශ ශරීර ගතවූ පසු ඇතිවන ලක්ෂණ මොනවාදැයි සොයාගැනීමේ අරමුණින්.මේ සටහන් කාල්ගේ ඊලඟ පරීක්ෂණ වාර්තා වීමට ඉඩ තිබුනා.

මේ දශ්ටනය තමාගේ ජීවිතය උදුරාගනීවි යැයි බොහෝවිට  කාල් නොසිතන්නටත් ඇති.කෙසේ වුවත් ඔහු දිගටම රචනා කලා.
කිසිඳු ගැටලුවකින් තොරව නිර්පද්‍රිතව සවස වැඩකටයුතු අහවර කර දුම්රියේ නැගී නිවෙස බලාද පිටත් වුනා.ඒ යන අතරතුරදී පවා තමන්ට දැනෙන දේ ඔහු පැහැදිලිව වාර්තා තැබුවා.

ආහාරයට ගත් කෑම වර්ග‍ සහ ප්‍රමාණයන්,බීමට ගන්නා බීම වර්ග සහ පරිමාවන්,පිට කරන මුත්‍රා ප්‍රමාණය සහ වර්ණය,නිදාගන්නා වෙලාවන් ආදී සියලු දත්තද ඔහු කාලානුරූපව සටහන් කරගත්තා.

මුලින්ම, දුම්රිය ගමනේදී කාල්ට තරමක ඔක්කාරයක් දැනෙන්න පටන් ගන්නවා.නිවසට පැමිණි පසු තද උණ ගතියක්.ඊට පස්සේ මුඛයේ විදුරු මසින් රුධිරය වහනය වීමක්.ඊටත් පස්සේ ප්‍රථම වතාවට මුත්‍රා සමග රුධිරය පිටවීමක්.නමුත් මේ සියල්ලම මධ්‍යයයේ රාත්‍රියේ සුව නින්දක් ලබන්නත් කාල්ට හැකිවෙනවා.
පසුදා සුපුරුදු පරිදි අවදිවෙන කාල් නැවතත් ලිවීම අරඹනවා.
මෙවර තද ඔක්කාර ගතියක් සමග වමනය පිටවීම තරමක් වැඩිවී තිබෙනවා.ඒ වගේම උණ ගතියත් තවමත් ඉහළ මට්ටමක තිබුනා.තවද විදුරු මසට අමතරව නාසයෙන්ද රුධිරය වහනය වීම ඇරඹී තිබුනා........, කාල්ට තමන්ගේ වාර්තා පොතේ ලියන්නට පුළුවන් වුනේ එපමණයි.!

දහවල් ආහාරයට පසුව දහවල් 1.30ට පමණ එක්වරම වමනය දැමූ කාල්ට අපහසුතාවක් දැනුන නිසා උදව් ලබාගැනීමට වහාම තමන්ගේ බිරිඳට කතා කරනවා.ඒත් බිරිඳ ඔහු අසලට පැමිණෙන විටත් කතා කිරීමට නොහැකිව වචන ගිලීගිය, දහඩියෙ නැහැවුනු කාල් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිව බිම වැටී සිටියා.වහාම ගිලන්රථයක් ගෙන්වා කාල්ව රෝහල් ගත කලත් ,සර්ප දශ්ටනය සිදුවී පැය 24කට පසුව එනම් සැප්තැම්බර් 26 වෙනිදා හවස 3.00 ට පමණ කාල් සිය අවසන් නොකල වාර්තාවද සමග මරණය වැළඳගත්තා.ඒවන විට කාල්ගේ වයස අවුරුදු 67යි.

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව කාල්ගේ පෙනහළු , ඇස් , හෘදය , වකුගඩු සහ මොළය යන ඉන්ද්‍රියන්ගේ රුධිරය වහනය වීම් රැසක් තිබුනු බව පැවසෙනවා.මේ විදියට අභ්‍යන්තර රුධිර වහනයන් සිදුවීමට බලපෑවේ අප්‍රිකානු බූම්ස්ලැන්ග් සර්පයාගේ ප්‍රබල හීමොටොක්සීන විශයි.අවසානයේ කාල් මියගොස් තිබුනේ මේ විදියට ඇතිවුන අභ්‍යන්තර රුධිර වහනයන් නිසා ඇතිවූ හුස්මගැනීමේ අඩපන වීමක් නිසායි.

බූම්ස්ලැන්ග් සර්පයින් එතරම් ප්‍රවේගකාරී සර්ප විශේෂයක් නොවේ.ඔවුන් පහර දෙන්නේ ඔවුන්ව ඇල්ලීමට යාමේදී හෝ ඔවුන් අනාරක්ෂිත යැයි හැඟුනහොත් පමණයි.
මේ සර්පයාගේ විශ සාපේක්ෂව මාරාන්තික නොවුමත් සාමාන්‍යයෙන් බූම්ස්ලැන්ග් සර්පයෙකුගේ විශ මිලිග්‍රෑම් 0.0006 ක තරම් ඉතාම කුඩා ප්‍රමාණයකට වුවත් හොඳින් වැඩුණු පක්ෂියෙකු මිනිත්තු කීපයක් තුල මරාදැමිය හැකියි.
කෙසේවුවත් ප්‍රතිකාර නොගැනීම නිසා හෝ අවශ්‍යය ප්‍රමාණයට විශ ශරීරගතවූ නිසා කාල් පැටර්සන් එසේ අවාසනාවන්ත ලෙස මියගියා.

වාර්තාවල ප්‍රකාශ වූ අන්දමට ඔහු මිය යාමට පැය කීපයකට පෙරාතුව,රෝග ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වන අතරතුරදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයැයි ඔහුට යෝජනා කර ඇතිමුත් රෝගලක්ෂණ වාර්තා කිරීමට වෛද්‍ය ප්‍රතිකාර වල බලපෑමක් එල්ල වෙතැයි සිතූ කාල් එම යෝජනාව ප්‍රතික්ශේප කර තිබෙනවා.

දැනුම සොයායෑමේ අධික කුතුහලය කාල්ගේ මර්ණයට හේතු වූ බවයි පැහැදිලිවම පෙනෙන්නේ.නමුත් ඇතැමුන්ගේ මතය වූනේ
අප්‍රිකානු මහද්වීපයට ආවේණික සර්පයකු වූ මේ සර්පයාගේ විශට අදාල ප්‍රතිවිශ ඇමරිකාවේ නොමැති බවත් ඒවා ඇත්තේ අප්‍රිකාවේම පමණක් බවත් උරගයින් පිළිබඳ ප්‍රමුඛ පෙලේ විද්වතෙකු වූ කාල් පැටර්සන් දැනගෙන සිටි නිසා තමා නියත මරණයකට මුහුණදීමට යන බවත් එබැවින් ප්‍රතිකාර සඳහා මහන්සි වීම අර්ථ විරහිත බවත් අවබෝධ කරගෙන හේ නිහඬවම මරණය වැලඳගත් බවයි.

(චායාරූපය: කාල් පැටර්සන්)

-- සංකල්ප ගුණතිලක✍️ | 29-05-2020
..................................................................
ආපසු පැමිණීමට නොහැකිව අභ්‍යාවකාශයේ තනිවූ මිනිසා..................................................

(අවසාන සෝවියට් වැසියාගේ කතාව)

2004 වසරේදී නිර්මාණ වුන ටොම් හෑන්ක්ස්ගේ රංගනයෙන් වර්ණවත්වූ ස්ටීවන් ස්පිල්බර්ගේ "The Terminal" චිත්‍රපටිය බලල තියෙනවද ?....එක්තරා රටක ඉඳලා ඇමරිකාවට එන වික්ටර් නවෝස්කි නම් මිනිසෙකු මුහුණදෙන අපූරු සිද්ධිදාමයක් වටා ගෙතුන කතාවක් ඒක.නිව් යෝර්ක් නගරය වෙත ගුවනින් එන අතරතුරදී තමන්ගේ මව් රටේ සිදුවු හමුදා කැරැල්ලක් නිසා එහි රාජ්‍ය තන්ත්‍රය බිඳවැටීමේ ප්‍රතිපලයක් විදියට තමන්  රටක් නැති මිනිසෙකු බවට පත්වී ඇතිබව නොදැන නිව් යෝර්ක් නුවරට ගොඩබසින මේ තැනැත්තාගේ අනන්‍යතාවයේ ඇතිවූ ගැටලුව නිසා ඇමරිකාවට ඇතුලත් වීමටත් නොහැකිව,නැවත තම මව් රටට යාමටත් නොහැකිව අසරණව අතරමංවී නිව් යෝර්ක් ගුවන්තොටේ ජීවත් වීමට මේ චිත්‍රපටියේ එන තැනැත්තාට සිදුවෙනවා.හිතන්න මේ චිත්‍රපටියේ වගේ සිදුවීමක් අභ්‍යාවකාශ ගමනකදී සිදුවුනොත් මොනව වෙයිද...?

ඇත්තටම එහෙම සිදුවීමකට එක්තරා ගගණගාමියෙකුට මුහුණදෙන්න සිද්දවුනා.තමන් අභ්‍යාවකාශ ගතව සිටියදී තම රට දේශපාලනිකව බිඳවැටී අස්ථාවර වීම නිසා ආපහු පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යාවකාශයේ අතරමංවූ ඒ මිනිසා ගැනයි මේ කතාව.

සර්ජි ක්‍රිකාලෙෆ්(Sergei Krikalev) කියන්නේ සෝවියට් දේශයෙන් බිහිවුන දක්ෂ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්.ඒ වගේම ගණනගාමියෙක්.රොකට් යානා පිළිබඳ විද්‍යාඥයෙක්.
1991 වසන්ත සමයේ දවසක,ඒ කියන්නේ හරියට 1991 මැයි 19 වෙනිදා එක්තරා කණ්ඩායමක්  "Soyuz TM-12" යානයෙන් එවකට කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ කලා.මේ කණ්ඩායමේ සිටියේ සාමාජිකයන් තුන් දෙනයි.එක්කෙනෙක් තමා සර්ජි ක්‍රිකාලෙෆ්.සර්ජි තමයි කණ්ඩායමේ සිටි යාන්ත්‍රික ඉංජිනේරුවා.අනෙක් අය වුනේ මේ මෙහෙයුමේ ප්‍රධානියා වුන "ඇනටොයිල් පැව්ලොවිශ්" නම් යුක්‍රේන ජාතිකයා සහ අභ්‍යවකාශ ගතවූ පළමු බ්‍රිතාන්‍යය ජාතිකයා,අභ්‍යවකාශ ගතවූ පළමු බටහිර යුරෝපානුවා මෙන්ම මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වූ පළමු කාන්තාව යන ඓතිහාසික ගෞරව නාමයන් හිමිකරගත් "හෙලන් පැට්‍රීශියා" නම් බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥවරියයි.

මේ ත්‍රී පුද්ගල කණ්ඩායම රැගත් යානය එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ කසකස්තානයෙන් ගුවන් ගතවුනා.ඉන් සතියක පස්සේ හෙලන් පැට්‍රීශීයා නැවතත් පෘතුවියට පැමිණියේ ඔවුන් මීර් වෙත ලඟා වන විතත් එහි සේවයේ නිරතවුන කණ්ඩායමද සමගයි.උක්ත කණ්ඩායම වෙනුවට සර්ජි ක්‍රිකාලෙෆ් සහා ඇනටොයින් පැව්ලොවිශ් දෙදෙනා මීර් මධ්‍යස්ථානයෙ නතර වුනා.
ඊලඟ කණ්ඩායම මීර් වෙත පැමිණෙන තෙක් එහි නැවතී පරික්ෂන කටයුතු පවත්වාගෙන යාම තමයි මේ දෙන්නගේ කාර්යය වුනේ.
ඉදිරි මාස කීපය ඇතුලතදී නව කණ්ඩායම් ස්ථානගත කිරීමේ මෙවැනි ගමන්වාර ද්විත්වයක් සැලසුම් කර තිබුනත් හදිස්සියේම එයින් එක් ගමන්වාරයක් අවලංගු වුනේ නොසිතූ විදියටයි.
මේ නිසා ඉතුරු වී තිබුනේ එක් ගමන් වාරයක් පමණයි.ඒ ගමන්වාරය යෙදී තිබුනේ ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාසයේදී.නමුත් ඒ පැමිණි යානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සිටියත් ,ඔහු දීර්ග කාලීන මෙහෙයුම් සඳහා පුහුණුවීමක් නොලැබ සිටි නිසාත් මීර් අභ්‍යාවකාශ  මධ්‍යස්ථානයේ නැවතීමට හැකියාවක් ලැබුනේ නැහැ.ඒ නිසා සර්ජි ක්‍රිකාලෙෆ් හට මීර්හිම නැවතීමට සිදුවෙද්දී ඔහුගේ සඟයා වූ ඇනටොයිල් පැව්ලොවිශ් නැවත පෘතුවියට පැමිණියා.

මේ නිසා පොළවෙන් කිලෝ මීටර් 350ක් ඉහළ අහසේ කක්ෂගතව තිබූ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවීමට සර්ජි ක්‍රිකාලෙෆ් හට සිදුවුනා.

කිසිවෙකුත් නොසිතූ අන්දමින් ලෝක ඉතිහාසයේ ඉතාම සුවිශේෂී සිදුවීමක් සිදුවුනේ සර්ජි මේ විදියට මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තනිවී පෘතුවියෙන් ඈත්වී සිටින සමයකදීයි.ඒ සිදුවීම තමයි එවකට ප්‍රතාපවත්ව ගැනී සිටි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම.මේ දේශපාලන බල පෙරලිය සිද්දවුනේ 1991 නත්තල් දාට පහුවෙනිදා වුන දෙසැම්බර් මාසයේ 26 වෙනිදායි.
එවකට සෝවියට් සමූහාණ්ඩුව පාලනය කල මිහායිල් ගර්චොෆ් සහ ප්‍රබල සෝවියට් දේශය ඉතිහාසය තුල සැඟව ගියේ මේ දිනයේදීයි.එක්වරම සිදුවූ දේශපාලන බල පෙරලියෙන් බලපෑම් එල්ල වුනේ පොළවේ පයගසා සිටින අයට පමණක් නොවෙයි.පොළවෙන් ඈත අභ්‍යාවකාශයේ තනිවූවන්ටද එහි බලපෑම තදින්ම දැනුනා.

මොස්කව්හි රතු චතුරස්‍රය යුධ ටැංකි අරක්ගද්දී, මිනිසුන් වීදි බසිද්දී මෙ කිසිත් නොදැන සර්ජි අභ්‍යාවකාශයේ සිට පෘතුවිය දිහා බලාගෙන.!

පෘතුවියෙන් සර්ජි වෙත ඇමතුමක් ලැබුනා.සෝවියට් දේශය නම් පැරණි රාජ්‍යය දැන් නොමැති නිසා සර්ජිව නැවත ගෙන්වා ගැනීම සඳහා වූ රාජ්‍යයේ බැඳීම තවදුරටත් වලංගු නොවන බවත් ,රාජ්‍යය බිඳවැටීමෙන් සිදුවූ ආර්ථික අවපාතනය නිසා මුදල් ඉතිරි කරගැනීම රාජ්‍යයේ ප්‍රමුඛ වගකීම වී ඇති බවත් එබැවින් සර්ජිව ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට මුදල් යෙදවීමට නොහැකි බවත් පෘතුවියෙන් ඔහුට ලැබුනු පණිවිඩයෙන් කියැවුනා.ආපසු ගෙදර යෑමේ සිහිනය කෙමෙන් බොඳවෙද්දී සර්ජි දින නියමයක් නොමැතිව අභ්‍යාවකාශයේ තනිවුනා.

ඒ වන විට 33 හැවිරිදි වියේ සිටි සර්ජි විවාහ වී සිටියේ මේ අභ්‍යාවකාශ ව්‍යාප්තියේම සේවය කල තැනැත්තියක් එක්ක.ඔවුන් දෙදෙනාට මාස නමයක දියණියක්ද සිටියා.
තමන්ගේ රට අරාජික වී ඇතිබව දැනගත් සර්ජි තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවා එවන් පසුබිමක තනිවම කෙසේ ජීවත් වන්නේදැයි සිතමින් අනන්ත වාරයක් දුක් වුනා.ඒත් ඔහුට කල හැක්කේ අභ්‍යාවකාශයේ ඉඳලා පෘතුවිය දිහාබලාගෙන ඉන්න එක විතරයි.

මීර් මධ්‍යස්ථානයේ හදිසි අවස්ථාවලදී පෘතුවියට යෑම සඳහා වෙන්වුන යානාවක් තිබුනා.ඒ යානාවේ නැගී පෘතුවියට එන්නට සර්ජිට හැකියාව තිබුනත් ඔහු එසේ පැමිණියානම් මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ  පාලනයට කිසිවෙකුත් එහි ඉතිරි වන්නේ නැහැ.එසේ වූවා නම් අවුරුදු ගණනක මහන්සිය, කැපකිරීම වගේම බිලියන ගණනක මුදල් ආයෝජනයන් එක් නිමේශයකින් අපතේ යන්නට ඉඩ තිබුනා.මෙය රුසියානු අභ්‍යාවකාශ සුවිසැරියට මරු පහරක්.ඒ නිසා ඒ අදහස හිතෙන් අත්හැර තමාව බේරාගැනීමට පෘතුවියෙන් පැමිණෙන තෙක්ම කෙතරම් කාලයක් හෝ ඉවසා සිටීමට සර්ජි තීරණය කලා.

තවත් මාසයක් නිහඬවම ගෙවී ගියා.පෘතුවියෙන් පණිවිඩ ලැබුනා.ඒත් ප්‍රතිපලය මුලින් වගේමයි.ආපහු ගෙන්න ගන්න මුදල් නැහැ....!!
තවත් මාසයක් ගෙවුනා...ඒත් තවමත් මුදල් නැහැ.ඒ නිසා සර්ජිව පෘතුවියට ගෙන්න ගන්න හැකියාවක් නැහැ..!!

මේ විදියට දින , සති ,මාස ගෙවිල ගියා.සර්ජි අභ්‍යාවකාශයේ හුදෙකලාවේ වේදනාවෙන් තෙරපෙද්දී කුඩා දියණිය ගැනත් අසරණ බිරිඳ ගැනත් මතකයන් ඔහුව තව තවත් වේදනාවට පත්කලා.
සර්ජිගේ මෙහෙයුම සැලසුම් වෙලා තිබුනේ මාස 05කින් අවසන් වීමටයි.ඊට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ ගතකිරීමට සර්ජි පුහුණුවෙලා හිටියේ නැහැ.ඒ නිසා සර්ජිව පීඩාවට පත්කලේ තනිකම පාලුව කාන්සිය සහ බලාපොරොත්තුවේ කොළ එළියක් පේන මානයකවත් නොතිබූ අනාගතේ මායාව විතරක් නෙමෙයි.මාංශ පේශීන් දුර්වල වීම,විකිරණ සඳහා නිරාවරණය වීම,පිළිකා අවධානම සහ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම ආදියෙනුත් ගෙවී යන සෑම මිනිත්තුවක් පාසාම ඔහුව පීඩාවට පත්කලා.අභ්‍යාවකාශයේ ජීවිතය ඒ වගේ තමයි.අඩු ගුරුත්ව තත්ව යටතේ ශරීරය දරුණු විදියට පීඩාවට පත්කරන්න අභ්‍යාවකාශ ජීවිතේට පුළුවන්.

කාලය ගෙවී ගියා.සර්ජි රැගත් මීර් මධ්‍යස්ථානය පෘතුවිය වටා ඔහේ කැරකි කැරකී භ්‍රමණය වෙමින් තිබුනා.

මාස 10ක්ම මේ විදියට ගෙවිලා ගියා.සර්ජිගේ අභ්‍යාවකාශ මෙහෙයුම මාස 05කින් අවසන් වෙන්නට සැලසුම් කරපු එකක්.ඒත් දැන් ඒ නියමිත කාලය වගේ දෙගුණයක කාලයක් ගෙවිල ගිහින්.

සෝවියට් දේශය, බිඳවැටීමට පෙර ප්‍රතාපත් විදියට විශාල යුරේශියානු භුමිස්කන්ධයක් වසා පැතිරී තිබූ සමයේ ඇමරිකාව සමග සීතක යුද්ධයකට අවතීර්ණ වී සිටියා.සමූහාණ්ඩුව බිඳවැටෙද්දී අභ්‍යාවකාශයේ වැඩිබලයක් අත්පත් කරගෙන සිටියේ සෝවියට් දේශයයි.ඒ වනවිට තිබූ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වුන "මීර්" අභ්‍යාවකාශ මධ්‍යස්ථානයත් අයත්ව තිබුනේ සෝවියට් දේශයට.ඉතින් සමූහාණ්ඩුව බිඳවැටුනට පස්සේ ඒ තිබුණ ප්‍රතාපවත් බව ක්ෂණයකින් අතුරුදන් වෙලා රුසියාව දරුණු ආර්ථික අවපාතනයකට මුහුණ දුන්න නිසා රාජ්‍යයට අවශ්‍යය මුදල් සෙවීම සඳහා ඔවුන් කලේ අභ්‍යාවකාශය ගමන්වාර දියුණු ආර්තිකයක තත්වයන් හිමිව තිබූ යුරෝපා රාජ්‍යයන්වලට විකිණීමයි.මේ වෙන්දේසි කිරීම් වලට ඉතා ඉහළ ලංසු හිමිවුනා.ඒ කෙතරම්ද කියනවා නම් රූපවාහිනී වාර්තාකරුවෙක් අභ්‍යාවකාශයට යැවීමට ඕස්ට්‍රියාව සහ ජපානය පිළිවෙලින් ඩොලර් මිලියන 07ක් සහ 12ක් වැයකර මේ අභ්‍යාවකාශ ගමන්වාර මිලදී ගත්තා.

දවසක් මේ විදියට කරන වෙන්දේසියේදී "ක්ලෝස් ඩයිට්‍රිච් ෆ්ලේඩ්" නම් ජර්මානු ජාතිකයා අභ්‍යාවකාශයට යැවීම සඳහා ජර්මනිය විසින් ඩොලර් මිලියන 24ක තරම් ඉතා ඉහළ මුදලක් වැයකරලා ටිකක් පතක් මිලදී ගන්නවා.අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිගේ ඉරණම වෙනස් කරන්නේ මේ ජර්මානුවන් මිලදී ගත් ටිකක් පතයි.ඒ ජර්මානුවන් විසින් මිලදී ගත් ඒ අවස්තාව ඔවුන්ගේ තැනැත්තා යැවීම වෙනුවට අභ්‍යාවකාශයේ සිරවී සිටි සර්ජිව නැවත ගෙන්වා ගැනීමට පරිත්‍යාග කිරීමත් සමගයි.ඔන්න දැන් සර්ජිට ආයෙමත් පෘතුවියේ පා තබන්නට වාසනාව හිමිවෙනවා.

පුරා දින 311ක් එනම් මාස 10ක් අභ්‍යාවකාශයේ හුදෙකලාව සිටිමින් 5000 වාරයක් පමණ පෘතුවි කක්ෂය වටා හුදෙකලාවම ඒකාකාරීව භ්‍රමණය වෙමින් සිටි මේ සෝවියට් ජාතිකයා අවසානයේ 1992 මාර්තු මාසේ 25 වෙනිදා අතීත සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ නමුත් ඒ වනවිට ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව තිබූ කසකස්තානයේ එක්තරා ස්ථානයකට ගොඩබසිනවා.නමුත් ඔහු ශාරීරිකව ඉතාම දුර්වල තත්වයේ පසුවුනා.ලේ හිඳීගිය කලෙක මෙන් සුදුපැහැ වී තිබුනා.දෙපයින් සිටගැනීමට ඔහුට හැකිවුනේ නැහැ.ඒ නිසා යානයෙන් බැසගත් සර්ජිව බිම නොවැටෙන සේ වත්තම් කිරීමට හතරදෙනෙකු වහාම ඔහුව ඔසවා ගත්තා.

පෘතුවියට ඒමට වාසනාව හිමිවුනත් ඔහු දුටුවේ නවතම ලෝකයක්.හරියට කාල තරණ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියක වගේ අත්දැකීමට තමයි සර්ජි එදා මුහුණ දුන්නේ.
ඔහු පෘතුවියෙන් යනවිට තිබුන කිසිවක් ආපසු එනවිට තිබුනේ නැහැ.සෝවියට් සමූහාණ්ඩුව නම් වූ තම රට සතුවූ දේශපාලනය අධිකාරිය වෙනස්වී ස්වාධීන රාජ්‍යයන් 15ක් නිර්මාණය වී තිබෙන අයුරු සර්ජි දුටුවා.තමන්ගේ උපන්ගම වුන "ලෙනින්ග්‍රෑඩ්" නගරය "ශාන්ත පීටර්ස්බර්ග්" වී තිබුනා.සෝවියට් දේශය නම් තම මව්‍ රට රුසියාව වී තිබුනා.විශිෂ්ට ආර්ථිකය බිඳවැටී තිබුනා.විද්‍යාඥායන් සඳහා ගෙවූ ඉහළ වැටුප කපාහැර ඉතාම සුළු මුදලක වැටුපක් පමණක් හිමිවන යුගයක් බිහිවී තිබුනා.මාස නමයක් වූ තම බිළිඳිය නොසිතූ තරම් වැඩී තිබුනා.සෝවියට් වැසියන් වූ තමරටේ මිනිසුන් රුසියානුවන් බවට පත්ව තිබුනා.ඉතිරිවී සිටි එකම සෝවියට් වැසියා වූයේ අභ්‍යාවකාශයෙන් පැමිනි තමන් පමණක් බව සර්ජි වටහා ගත්තා."අවසාන සෝවියට් වැසියා" ලෙසින් ඔහුව ඉතිහාස ගතවුනේ අන්න එහෙමයි.
කාල රේඛාව ගලා ගෙන ගොස් තිබුනේ පුදුම විදියටයි.මාස දහයකට ලෝකයා වෙනස්වී ඇති තරම සර්ජිගේ දෑස් වික්ශිප්ත කරන්නට සමත්වීම පුදුමයක් නෙමෙයි...!!

තමන්ගේ ජීවිත කාලය තුල කිසිවෙකුටත් ලැබිය නොහැකි අන්දමේ වික්‍රමාන්විත මෙන්ම අසාමාන්‍යය අත්දැකීමක් ලද සර්ජිගේ අභ්‍යාවකාශ සුවිසැරිය එතනින් අහවර වුනේ නැහැ.පසුකාලීනව ඇමරිකා-රුසියානු ඒකාබද්ධ  අභ්‍යාවකාශ ව්‍යාප්ති ආරම්භ වුනා.ඇමරිකාවේ NASA ආයතනය මගින් 1992 ඔක්තෝබරයේ ශටල ව්‍යාප්තිය ආරම්භ කලා.NASA ශටලයක නැගී ගමන් කල ප්‍රථම රුසියානුවා වීමේ ගෞරවය හිමිකර ගන්නටත් සර්ජි ක්‍රිකාලෙෆ් හට හැකිවුනා.ඒ වගේම 2000දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම සඳහා අභ්‍යාවකාශ ගතවූ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් වීමටත් සර්ජිට වාසනාව හිමිවුනා.ඉන් පසුවත් අවස්ථා රැසකදී අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා දායක වූ සර්ජි 2007 දී අභ්‍යාවකාශ ක්‍රියාන්විතයන්ගෙ සක්‍රීය සේවයෙන් සමුගන්නා විට සම්පූර්ණ දින 803කුත් පැය 09ක් සහ මිනිත්තු 39ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳීසිට තිබෙනවා.මේ කාලය ඕනෑම අයෙක් විසින් අභ්‍යාවකාශයේ රැඳිසිටි තෙවන දීර්ඝතම කාලපරාසය වන අතර අභ්‍යාවකාශයේ තනිවී සිටි දින 311ක කාලය පවතින්නේ එම ලැයිස්තුවේ හයවන ස්ථානයේයි.

පසුකාලීනව සර්ජි අභ්‍යාවකාශයේ තනිවූ සිදුවීම ආශ්‍රයෙන් විවිධ චිත්‍රපට ,වෙලඳ දැන්වීම් මෙන්ම ගීත පවා නිර්මාණය වුනා.
1995දී නිර්මාණය වුන "Out of Present" නම් වාර්තා චිත්‍රපටියත් , 2017දී නිර්මාණය වුන "Sergio & Sergei" නම් චිත්‍රපටියත් සර්ජිගේ වික්‍රමන්විත හුදෙකලාවීම අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපටියි.

--- සංකල්ප ගුණතිලක✍️ |01-06-2020
මුහුණු ගොඩක්...එක් මිනිසෙක්...!!!
ඔහු නමින් ජොනී ඩෙප්..................................
#Jonny_Depp❣️

1984 අවුරුද්දේ දවසක වයස 26ක් වූ ලෝරි ඇලිසන් නම් වේශ නිරූපන ශිල්පිනියක් විසින් කුඩා සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙක් වූ සිය 21 හැවිරිදි ඇයගේ සැමියාට විශේෂ පුද්ගලයෙක්ව මුණගස්සනවා.ඒ තැනැත්තා තමයි ලෝරි ඇලිසන් නම් මේ විවාහක කාන්තාවගේ පැරණි පෙම්වතා වූ එවකට හොලිවුඩයේ ජනප්‍රිය නළු "නිකලස් කේජ්".නිකලස් තමන්ගේ පැරණි පෙම්වතියගේ මේ වර්තමාන ස්වාමිපුරුෂයා වූ නාඹර තරුණයා තුලින් අනාගතයේ බිහිවන සුපිරි තරුවක පෙරනිමිති දකිනවා.ඒ නිසා නිකලස් මේ තරුණයාව හොලිවුඩයේ සිනමා කර්මාන්තයට හඳුන්වා දෙනවා.එදා ඒ විදියට නිකලස් කේජ් අතින් නියත් වියරණ ලැබූ ඒ තරුණයා පසු කලෙක ලෝකය පුරා ඉන්න කෝටි ගණනක් වූ රසික රසිකාවියන්ගේ ආදරය ගෞරවය දිනාගන්නට සමත් වෙන්න තරම් දශ්ෂයෙක්.ඔහු තමයි ලොව සරාගීම නළුවා විදියට දෙවතාවක් නම්කෙරුනු "ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප්" හෙවත් අපි කවුරුත් දන්න "ජොනී ඩෙප්".

ජොනී ඩෙප් උපත ලබන්නේ 1963 ජූනි මාසේ 09 වෙනිදා ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේදී දරුවන් සිව් දෙනෙක්ගෙන් යුතු පවුලක බාලයා විදියටයි.ඔහුගේ මව වේටර් වරියක්.පියා සිවිල් ඉංජිනේරුවරයෙක්.ජොනීගේ මුල් ළමා කාලය එක තැනක සැනසිලි දායක විදියට ගෙවුනු එකක් නෙමේ.1963 ඉඳලා 1970  වෙනකම් ස්තීර පදිංචියක් නොතිබූ ජොනීගේ ජීවිතේ මුල් අවුරුදු 07ම ගෙවී යන්නේ එකිනෙකට වෙනස් ප්‍රදේශ 20 ක පිහිටි නිවාසයන් වලදී.

ස්ථීර පදිංචියක් නොමැති සංක්‍රමණික ජීවිතයත්,දෙමාපියන් අතර තිබූ පවුල් ආරවුලුත් නිසා වයස අවුරුදු 12 දී තරම් කුඩා කාලයේදීම මත් ද්‍රව්‍යය වලට ජොනී ඇබ්බැහි වෙනවා.

1978 ජොනීට යන්තම් වයස අවුරුදු 15ක් වෙද්දී ඔහුගේ දෙමාපියන් දෙදෙනා වෙන් වෙනවා.දෙමාපියන් දික්කසාද වෙලා අවුරුදකට පස්සේ ජොනී ඩෙප්ගේ වයස අවුරුදු 16 වෙද්දී, ජොනී තමන්ගේ පාසලෙන් ඉවත් වෙනවා.ඒ රොක් සංගීත ශිල්පියෙක් වීමේ සිහිනය කරා පියමන් කරන්න.ඒත් ඊට සති දෙකකට පස්සේ ආපහු පාසල් යෑමට ජොනීට සිතක් පහල වුනත් පාසලේ විදුහල්පතිගේ අනුශාසකත්වය මධ්‍යයේ නැවතත් තමන්ගේ සංගීත සිහිනය පහුපස හඹායෑම ආරම්භ කරනවා.

The Kids, Rock City Angels වැනි සංගීත කණ්ඩායම් කීපයක ගීත රචකයෙක්,ගායකයෙක්,ගිටාර් වාදන ශිල්පියෙක් විදියට සේවය කරන්න ජොනීට සිද්ද වුනා.ඒත් ජොනී ඩෙප්ගේ ආර්ථික තත්වය නම් සැලකිය යුතු මට්ටමක තිබුනෙ නැහැ.
ඒ නිසා අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණෙන් ජොනී පෑන් විකිණීමත් සිද්දකලා.
ඔය කාලෙදිමයි ජොනීගේ සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පියාගේ සහෝදරිය වුන 'ලෝරි ඇලිසන්' ව ජොනීට මුණගැහෙන්නෙ.1983 දී දෙන්නා විවාහ වෙනවා.

ජෝනිගේ මේ බිරිඳ වූ ලෝරි ඇලිසන් හරහා නිකලස් කේජ් මුණගැසීම නිසා ජොනී හොලිවුඩයට පා තබන්නේ 1984දී.ඔහුගේ පලමු චිත්‍රපටිය වුනේ "Nightmare on the Elm Street" නම් ත්‍රාසජනක සිනමාපටයයි.මේකේ ජොනී රඟපෑවේ කතාවේ වීරවරියගේ පෙම්වතාගේ චරිතය.ඊට පස්සේ 1985දී නිර්මාණය වුන "Private Resort" නම් විකට සිනමා පටයේත් , වියට්නාම් යුද්ධය අලලා නිර්මාණය වුනු "The Platoon" චිත්‍රපටියේත් සුළු චරිත රඟපාන්න අවස්ථාවන් ජොනීට හමුවුනා.
මේ අතරතුර රංගනයට වෘත්තීමය නිපුණත්වයක් එක් කිරීමේ අදහසින් ජොනී රංගනය හැදෑරීම ආරම්භ කරා.මේ හැදෑරීමේ ප්‍රතිඵලයක් විදියට 1987 දී විකාශනය ආරම්භ වුන "21 Jump Street" නම් කැනේඩියානු මාලානාටකයේ රහස්පරීක්ෂකයෙකුගේ චරිතය සඳහා ජොනීව තෝරා ගැනෙනවා.මේ අවස්ථාව ජොනීගේ රංගන ජීවිතයේ පෙරළියක් ඇතිකිරීමට සමත් වෙනවා.මේ රූපවාහිනී මාලානාටකයේ ටොමී හැන්සන් නම් රහස්පරීක්ෂක චරිතයට පනදුන් ඉතා ලාබලා පෙනුමැති මුහුණක් ඇති මේ කඩවසම් නළුවා එක් රැයකින් තරුවක් බවට පත්වුනා.ජොනී ඩෙප් නම් නාමය ඔසවා තැබුන පළමු කැපී පෙනෙන නිර්මාණය වුනේ මේක.

1990 අවුරුද ජොනීගේ රංගන දිවිය තවත් ඉහලට එසවීම සිදුවුන අවුරුදක්.ඒ ,ඒ අවුරුද්දේ නිකුත් වූ ජොනී ඩෙප් රඟපෑ සිනමා පට ද්විත්වයක් බොක්ස් ඔෆිස් ආදායම් වා‍ර්තා තබමින් ජනප්‍රිය වීමත් සමගයි.සංගීතමය රොමෑන්ටික් කතන්දරයක් රැගත් "Cry Baby" චිත්‍රපටියත්, වෙනස්ම වූ අඳුරු කතා තේමාවක් රැගත් "Edward Scissorhand" චිත්‍රපටියත් ඒ චිත්‍රපටි ද්විත්වයයි.
විශේෂයෙන්ම ඩොලර් මිලියන 54ක ආදායමක් ලබා ආදායම් වාර්තා තැබූ Edward Scissorhand චිත්‍රපටිය ජොනී ඩෙප්ව හොලිවුඩයේ පළමු පන්තියේ නළුවෙක් ලෙසින් ඉහළට ඔසවා තබන්නට සමත්වුනා.ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කල "ටිම් බ'ර්ටන්" ඉන් පසු නිර්මාණය වූ තමන්ගේ ඊලඟ සෑම චිත්‍රපටියකම ප්‍රධාන චරිතය ජොනී ඩෙප් වෙනුවෙන් වෙන්කරා.

ලියනාඩෝ ඩිකැප්‍රියෝද රංගනයෙන් දායක වූ "What's eating Gilbert Grape" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ගිල්බර්ට් ග්‍රේප් චරිතයද හිමිවුනේ ජොනී ඩෙප්ට.මේ චිත්‍රපටිය නිර්මාණය කෙරුනේ 1993 අවුරුද්දෙදී.මේ චිත්‍රපටියත් එක්ක ඒ අවුරුද්දේ ජෝනි චිත්‍රපට ත්‍රිත්වයකට සිය රංගන දායකත්වය ලබාදීම විශේෂයි.

1994 අවුරුද්දේදී නැවතත් ටිම් බර්ටන්ගේම චිත්‍රපටියක් වූ Ed Wood හි රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි "ගෝල්ඩන් ග්ලොබ්" සම්මානයට ජොනී ඩෙප් යෝජනා වෙනවා.

1995ද එකම වසරක චිත්‍රපටි ත්‍රිත්වයක රඟපෑමේ වරම ජෝනිට හිමිවෙනවා.

"Don Juan Demarco" චිත්‍රපටියේ ලෝක පූජිත නළුවෙක් වූ මාලන් බ්‍රැන්ඩෝ සමගින් රඟපෑමට ජෝනිට වරම් ලැබෙනවා.

ඒ වගේම 1997දී නිර්මාණය වූ මාෆියා ව්‍යාපාර වඩා ගොඩනැගුන චිත්‍රපටියක් වූ "Donnie Brasco" චිත්‍රපටියේදී අති විශිෂ්ට නළුවෙක් වූ "අල් පචීනෝ" සමග රඟපෑමටත් ජොනී වාසනාවන්ත වෙනවා.

1997 දී ජොනී ඩෙප් තමන්ගේ කුළුදුල් චිත්‍රපටි  අධ්‍යක්ෂනයට උපත ලබාදෙනවා.ඒ තමයි The Brave චිත්‍රපටිය.ස්වදේශික ඇමරිකානුවෙක් වටා ගෙතුනු මේ චිත්‍රපටිය සඳහා ජොනී ඩෙප් සමග රංගනයෙන් දායක වෙන්නේ මාලන් බ්‍රැන්ඩෝ.

ජොනී ඩෙප් තෝරගත්තේ තමන්ගේ හිතට වදින චරිත පමණයි.ජොනීගේ සාර්ථකයට එයද හේතුවක් වන්නට ඇති.

ජොනී ලෝකය පුරා වඩාත් ආදරයට භාජනය වූ මෙන්ම වෙනස්ම ප්‍රතිරූපයක් තමන්ගේ නමින් සිනමා ලෝකය තුල නිර්මාණය කරන්නට හේතූවූ චිත්‍රපටිය ඔහුට හම්බෙන්නේ 2003දී.ඒ තමයි ලෝකය පුරා අතිසාර්ථක වූ "Pirates of Caribbean" චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටිය වූ "The curse of Black Pearl" චිත්‍රපටියි.මේ චිත්‍රපටියේ ජොනී රඟදක්වන මුහුදු කොල්ලකරුවෙක් වන කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය චිත්‍රපට පිටපත තුල එතරම් ප්‍රබල චරිතයක් නොවූ අතර ජොනීගේ දක්ෂතා නිසාම ඒ චරිතය චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය බවට නිරායාසයෙන්ම පත්වී තිබෙනවා.ඒ වගේම කතාවට අනුව ජොනී ඩෙප් විසින් පිටපතේ තිබූ ජැක් ස්පැරෝ චරිතය මාස කීපයක අධ්‍යනයකින් පසුව තමාට අවශ්‍යය පරිදි වෙනස්කම් වලට භාජනය කර තිබෙනවා.ජැක් ස්පැරෝ චරිතයේ වගේම චිත්‍රපටියේත් අධික සාර්තකත්වයට මේ ක්‍රියාව හේතු වූ බවයි පැවසෙන්නේ.ජොනී කියන්නේ තමන්ගේ කැමැත්ත පරිදි චරිත රඟ දක්වන්නෙක් යැයි පැවසීමට මේක හොඳ නිදසුනක්.මේ ජැක් ස්පැරෝ චරිතය සඳහා ජොනී ඇකඩමි සම්මානය සඳහාද නිර්දේශ වුනා.

ඒවගේම 2004දී කේට් විස්න්ලට් සමග රඟපෑ "Finding Neverland" චිත්‍රපටියේ රංගනය උදෙසාත් ජොනී ඇකඩමි සම්මානය සඳහා නිර්දේශය ලැබුවා.

2005 වසරේදී නැවතත් ජොනීගේ දෛවය වෙනස්කල අධ්‍යක්ෂකවරයා වූ ටිම් බර්ටන්ගේ "චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි"(Charlie and the Chocolate Factory) චිත්‍රපටියේ විලී වොන්කාගේ චරිතය උදෙසා ජොනී නැවතත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා යෝජනා වෙනවා.

ඒ වගේම 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති අපේක්ෂක වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාවීම නිර්මාණය වූ "Donald Trump:The Art of Deal" නම් වාර්තා චිත්‍රපටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතයට පන පොවන්නේත් ජොනී ඩෙප්.

ඒ වගේම හැරී පොටර් කතාමාලාවේම වෙනස් යුගයක දිගුවක් ලෙස නිර්මාණය වූ "Fantastic Beast" කතාමාලාවේ දුෂ්ටයා වන 'ගැලට් ඩ්‍රින්ඩවෝල්ඩ්" චරිතයට පන පොවන්නේත් ජොනී ඩෙප්.2021 නිකුත් වීමට නියමිත මීලඟ ෆැන්ටෑස්ටික් බීස්ට් කතා මාලේවෙන්ද නැවත් ජොනීව අපිට දැකගන්න පුළුවන්.ඒ වගේම මීලඟ බැට්මෑන් චිත්‍රපටියේ ජෝකර්ගේ චරිතය සඳහාත් ජොනී ඩෙප්ව තෝරාගෙන තිබෙනවා.

මේ වෙද්දී ජොනී ඇකඩමි සම්මාන ත්‍රිත්වයක් සඳහා යෝජානා වී තිබෙනවා.ඒ 2004,2005 සහ 2008දී පිළිවෙලින් Pirates of the Caribbean:The curse of Black Pearl , Finding Neverland සහ Sweeney Todd:Demon Barber of Fleet street යන චිත්‍රපටි සඳහායි.නමුත් මේ දක්ෂ රංගන ශිල්පියා තවමත් එකඳු ඇකඩමි සම්මානයක් හෝ දිනාගෙන නැහැ.

ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 10ක් සඳහා නිර්දේශ වී ඇති ජොනී ඉන් එක් අවස්තාවකදී ගෝල්ඩන් ග්ලෝබ් දිනාගෙන තිබෙනවා.ඒ Sweeney Todd චිත්‍රපටිය උදෙසායි.

වර්තමානයේ ලොව වටිනාමක් ඇති සහ ලොව ධනවත්ම නළුවන් අතරින් අයෙක්.වර්තමානයේ ඩොලර් බිලියන 10.68ක වත්කමක් ඔහු සතුයි.සුපිරි ක්‍රියාදාම නළුවන් වන ටොම් කෲස්,වින් ඩීසල්,ඩ්වේන් රොක් ජොන්සන්,බෲස් විල්ස් ආදීන් පවා සිටින්නේ ජොනීට පිටුපසින්.ඒ වගේම ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටි මාලාවේ ගැන්ඩල්ෆ්ගේ චරිතය රඟපෑ ඉයන් මැක්කෙලන් සහ ලෙගොලාස්ගේ චරිතය රඟපෑ ඔලැන්ඩෝ බ්ලූම් වගේම හැරී පොටර් චිත්‍රපටියේ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්,එමා වොට්සන් යන ලෝක ප්‍රකට රංඟන ශිල්පීන් සිටින්නේත් වත්කම් අතින් ජෝනිට පිටුපසින්.
තවද මිෂෙල් රොඩ්‍රිගස්,ටොම් හෑන්ක්ස්,විල් ස්මිත්,මෝගම් ෆ්‍රීමන්,හෙලේනා කාටර්,නැටලි පෝර්ට්මන්,රැල්ෆ් ෆිනන් වැනි ලෝක ප්‍රකට නළු නිළියන් රැසක්ම සිටින්නෙ ජොනී ඩෙප්ට පිටුපසින්.
2012 වසරේදී ලොව වැඩිම මිලක් අයකරන නළුවා වුනෙත් ජොනී ඩෙප්.
ජොනී තමන්ගේ වත්කම් වලින් අර්ධයක්ම ඉපවූයේ "Pirates of the Caribbean" චිත්‍රපටි මාලාවෙන් වීම සුවිශේෂීයි.නමුත් 2018දී ඩිස්නි සමාගම විසින් Pirates of the Caribbean චිත්‍රපටි මාලාවෙන් ඔහුව ඉවත් කරනවා.
ඒ වගේම ලෝකය පුරා සුඛෝපභෝගී නිවාස 14ක් ජොනී ඩෙප් සතුයි.

ජොනී ඩෙප් වෘතීමය ජීවිතයේ අති සාර්තක වුවත් පුද්ගලික ජීවිතයේදී අසාර්ථක අයෙක්.ජොනී අසාර්තක ප්‍රේම සම්බන්ධතා සහ විවාහයන් කීපයකටම මුහුණ දුන් අයෙක්.ඒ වගේම මත්ද්‍රව්‍යය ලෝලියෙක්.

තමන්ගේ පලමු විවාහය(1983දී ලෝරි ඇලිසන් සමග) සිදුවී වසර දෙකකින් ඒ විවාහය කටුගා දැමූ ජොනී,1985දී නිර්මාණය කෙරුනු "Dummies" නම් කෙටි චිත්‍රපටිය රූගත කරන අතරතුරදී හමුවූ "ශෙරිලීන් ෆෙන්" නම් නිළිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා.ඔවුන් දෙදෙනා කෙටි කාලයකින්ම විවාහ ගිවිසගෙන කෙටිකාලයකින්ම නැවත වෙන්වී යනවා.ඊට පස්සේ ජොනී නවතින්නේ "ජෙනිෆර් ග්‍රේ" නම් තවත් නිළියක් ලඟයි.ඒ සම්බන්ධයත් කෙටි කාලයකින් අවසන් වෙනවා.
ආයෙමත් 1990දී  "Edward Scissorhand" චිත්‍රපටියේ ජොනී සමඟ රඟපෑ "විනෝනා රයිඩර්" සමග පෙමින් වෙලෙන ජොනී "සදාකාලිකවම විනෝනා" අරුත් දෙන Winona Forever යන සටහනි යුතු පච්චයක්ද ජොනී තමන්හේ දකුණු අතේ සටහන් කරගත්තත් ඒ සම්බන්ධයත් ඉක්මනින්ම බිඳ වැටෙනවා.ඉන් පසුව ඇවතත් "කේට් මොස්" නම් බ්‍රිතාන්‍යය ජාතික නිරූපන ශිල්පිනිය සමගත් පසුව "වැනීසා" නම් ප්‍රංශ ගායිකාව සමගත් සම්බන්ධතා ඇතිකරත් ජොනීට දාව වැනීසා දරුවන් දෙදෙනෙක් ප්‍රසූත කරනවා.ඒ දරුවන් දෙදෙනාගෙන් දියණියව 2007 වසරේදී රෝහල් ආසාදන තත්වයක් හේතුවෙන් රෝහල් ගතකල අතර ජොනී තමන්ගේ ජැක් ස්පැරෝ ඇඳුම් කට්ටලයෙන් සැරසී රෝහලට ගොස් පැය ගණනක් එහි නේවාසිකව ප්‍රතිකාර ගත් ළමුන්ට කතාන්දර කියාදෙමින් කාලය ගත කලා.ඒ වගේම ඩොලර් මිලියනයක්ද රෝහලට පරිත්‍යාගය කලා.
2009දී Rum Diary රූගත කරන අතරතුරදී  හමුවූ "ඇම්බර් හර්ඩ්" සමග ජොනී විවාහ වුනත් 2012 දී ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙන්නේ වසර ගණනක් ඇදීගිය දික්කසාද නඩුවක් 2017දී අවසන් කරමින් ඇම්බර් හර්ඩ් හට ඩොලර් මිලියන 07ක වන්දි මුදලක් ජොනීගෙන් උරුම කර දෙමින්.ඒ මුදල පසු කලෙක ඇය විසින් සුභසාධනය කටයුතු සඳහා ලබාදුන් බව පැවසෙනවා.

ජීවිතයේ කලු සුදු වර්ණ දෙකම උරුම ජොනී ආදර සම්බන්ධතා වලදී එතරම් ආදර්ශමත් නොවුනත් සාමාජීය ක්‍රියාකාරකම් වලදී ගෞරවාන්විත චරිතයක්.ඒ ඔහු ඉතාම කරුණාවන්ත මෙන්ම නිහතමානී අයෙක් නිසා.වරෙක නොකල මිනී මැරුමකට හසුවූ එහෙත් තම නිර්දෝශීභාවය ඔප්පු කරගත නොහැකිව දඬුවමට කැපව සිටි නන්නාදුනන තරුණයන් තිදෙනෙකුව බේරාගැනීමට ජොනීඩෙප් ඉදිරිපත් වෙනවා.ඒ වගේම ඔවුන් තිදෙනාව නැවත සමාජගත කරන කාර්යයත් සිදුකරන්නේ ජොනී විසින්මයි.

අවුරුදු 12න් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී අවුරුදු 16න් පාසල හැරගිය ජොනි ඩෙප් කෝටි ගණනක් රසික හදවත් හොරාගෙන ඉතිහාසයේ සාර්ථකම මෙන්ම විශ්මකර්ම නළුවෙක් ලෙසට ඉතිහාසගතවී අවසන්.ජොනීගේ සාර්තකත්වය එයයි.

---සංකල්ප ගුණතිලක✍️ |10-06-2020
...................................................................


Saturday, May 23, 2020

මොනවද මේ ජාන කියන්නේ ??



(ජාන ගැන දැනගතයුතු සියල්ලම සරලව)

ශාක සහ සත්වයින් යන දෙවර්ගයම ජීවීන් ලෙස විද්‍යාවේදී හඳුන්වයි.මේ සියළුම ජීවීන්ගේ මූලිකම තැනුම් ඒකකය වන්නේ සෛලයයි(Cells).සෛල රැසක් එකතුවී "පටක"(Tissue) සෑදෙන අතර පටක රැසක් එකතු වී පද්ධතියක්(system) නිර්මාණය වේ.ආහාර ජීරණ පද්ධතිය,ශ්වසන පද්ධතිය,ස්නායු පද්ධතිය ආදී විදියට අපි හඳුන්වන්නේ ඒ පටක එකතු වී සෑදෙන පද්ධතීන් වේ.මිනිස් සිරුරක් සෑදෙන්නේ මෙවන් පද්ධතීන් රැසක එකතුවෙනි.ශාකයක් සැලකීමේදීද මේ පොදු සැකැස්ම මෙලෙසම පවතී.
සාමාන්‍යය මිනිස් ශරීරයක් තුල මෙවැනි සෛල ට්‍රිලියන30 පමණ ඇත.

සෛලයක් යනු අන්වීක්ෂීය ව්‍යුහයකි.පියවි ඇසෙන් සෛල දැකිය නොහැක.ඒවා ඒ තරමට ම කුඩා වේ.ආලෝක අන්වීක්ෂයකින් සෛල වල දල සැකැස්ම පමණක් නිරීක්ෂණය කල හැකි අතර සෛලයේ අභ්‍යන්තර ව්‍යූහයන් නිරීක්ෂණය කල හැක්කේ ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පමණි.
සෛලයක මධ්‍යයේ "න්‍යශ්ටිය" නම් ව්‍යාහයක් ඇත.මේ න්‍යෂ්ටිය සෛලයේ පැවැත්ම සහ එහි ක්‍රියාවලිය වැනි සියලුම ජීව ක්‍රියාවන් පාලනය කරන්නාවූ පාලන මධ්‍යස්තානයයි.සෛලයේ පැවැත්මට සහ ජීව ක්‍රියාපාලනය සඳහා අවශ්‍යය වන්නා වූ ප්‍රෝටීන නිපඳවීම සඳහා අවශ්‍යය දත්ත ගබඩා කර තබා ගැනීම නිසා මෙසේ න්‍යෂ්ටිය වැදගත් වේ.
අනෙකුත් ජීවීන්ගේ මෙන්ම මිනිසුන්ගේද පරම්පරාගත ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත්තේ මේ න්‍යෂ්ටියේ පවත්නා තොරතුරු ගබඩා තුලයි.
මේ විදියට තොරතුරු ගබඩාකර ගැනීම සිදුවන්නේ සෛලයක න්‍යෂ්ටියේ පවත්නා DNA නම් අණු තුලයි.

"ඩියොක්සි රයිබෝ නියුක්ලෙයික් ඇසිඩ්"(Deoxyribo Nucleic Acid=DNA) නම් මේ අණුවේ හැඩය "ද්විත්ව හෙලික්සීය" හෝ "ඇල්ෆ හෙලික්සීය" යැයි කියනු ලැබේ.සරලවම එය ඉනිමගක් දක්ශිනාවර්තව ඇඹරී ගිය ආකාරයක හැඩයක් පෙන්වයි.මේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් යන විද්‍යාඥයන් දෙදෙනා විසින් සොයාගත් නිසා එය 'වොට්සන්-ක්‍රීස්' ආකෘතිය ලෙසද හඳුන්වයි.DNA අණුවේ මෙම ව්‍යුහය සොයාගැනීම ජීව විද්‍යාවේ සිදුවූ වඩාත් පෙරලිකාරම සහ වැදගත්ම සොයාගැනීම වේ.එය ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී ට්‍රාන්සිස්ටරය සොයාගැනීම මගින් ඇතිවූ පෙරළියය සමානය.වොට්සන් සහ ක්‍රික් හට මේ සඳහා නොබෙල් ත්‍යාගය පවා හිමිවිය.
DNA අණුව යනු ඉතා කුඩා අණුවක් වුවත් එය ඉතා සංකීර්ණ ව්‍යුහයකි.DNA අණුවක් යනු නියුක්ලියෝටයිඩ නම් කුඩා කොටස් විශාල ගණනකින් සෑදුණු සර්වසම දාම දෙකක් එකිනෙකට සමාන්තරව එහෙත් ප්‍රතිවිරුද්ධ දිශාවලට යොමුවන සේ එකිනෙක අතර බන්ධන සාදාගැනීමෙන් සෑදුනු ව්‍යුහයකි.(ඉනිමගේ හැඩය සිහියට ගන්න).ඉන් පසුව එය දක්ෂිණාවර්තව ඇඹරී ගොස් ඇත.ද්විත්ව හෙලික්සීය ව්‍යුහය යනු මෙයයි.

DNA අණුතුල එකිනෙකට වෙනස් නයිට්‍රජනීය භශ්ම වර්ග හතරක් ඇත.ඒවා නම්,

1).ඇඩිනීන්(Adenine)
2).තයිමින්(Thiamine)
3).ගුවැනින්(Guanine)
4).සයිටොසීන්(Cytosine) , යන වර්ග හතරයි.

DNA අණුවේ තැනුම් ඒකකය වන නියුක්ලියෝටයිඩවල එක බැගින් මේ භෂ්ම පිහිටින නිසා එවැනි නියුක්ලියෝටයිඩ විශාල සංඛ්‍යාවක් එක්තුවීමෙන් සෑදෙන DNA අණුවේ සමාන්තර දාම දෙකේ මෙවැනි භෂ්ම රැසක් පේලියක් ලෙස පිහිටයි.සමාන්තර දාමයන් ද්විත්වය ඉනිමගක් ලෙස එකතු කරමින් ඒවා අතර බන්ධන සාදන්නේ මේ නයිට්‍රජනීය භෂ්ම වලිනි.මෙහිදී එක් දාමයක භෂ්මයක් ඊට සමාන්තරව පිහිටන අනෙක් දාමයේ භෂ්මයක් සමග යුගලනය වීම සිදුවේ.නමුත් මෙසේ යුගලනය වීම හිතුමතේට සිදුවිය නොහැකි ක්‍රියාවකි.ඒ සඳහා නිශ්චිත රටාවක් ඇත.එනම් මෙම නයිට්‍රජනීය භෂ්ම යුගලනය වීම සිදුවන්නේ අදාල භෂ්මය සඳහාම වෙන්වූ විශේෂිත භෂ්මයක් සමගය.ඒ අනුව ඇඩිනීන් තයිමින් සමගත්(A-T බන්ධනය) , ගුවැනීන් සයිටොසීන් සමගත්(G-C බන්ධනය) පමණක් යුගලනය වේ.කිසිලෙසකින්වත් ඇඩිනීන් තමාට අදාල සහකරු වන තයිමින් හැර සයිටොසීන් හෝ ගුවැනින් සමග යුගලනය නොවෙයි.අනෙක් භෂ්මද එසේමය.එබැවින් මෙම යුගලනය වීම අතිශයින්ම තියුණු ලෙස සිදුවේ.සාමාන්‍යයෙන් DNA ප්‍රතිවලිත වීමේදී(නව DNA සෑදීමේ ක්‍රියාවලිය) එසේ වැරදි භෂ්ම යුගලන සිදුවිය හැකි වුවත් නිවැරදි කිරීමේ ක්‍රියාවලි මගින් ඒවා වහාම නිවැරදි ආකාරයට නැවත සකසනු ලබයි.ඒ විකෘති ඇතිවීම වැළැක්වීමටයි.ඒ අනුව අවසාන ප්‍රතිපලය 100%ක්ම නිවැරදිය.

DNA අණුවේ භෂ්ම යුගලනය වීමේ අණුපිළිවෙලක්,රටාවක් ඇතිබව ඉහත සඳහන් කෙරිනි.අප "ජාන"(Genes) ලෙස හඳුවන්නේ මේ අණුපිළිවෙලයි.ඒ අනුව අපගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරතබාගන්නේ මේ අනුපිළිවෙල තුලයි.එය තොරතුරු තාක්ෂණයේදී ද්වීමය සංඛ්‍යාවලින්(binary codes) තොරතුරු ප්‍රකාශ කිරීම වැනිය.ද්වීමය සංඛ්‍යා දැක්වීමේදී ප්‍රකාශ වන 1 0 1 0 1 0...රටාව වෙනුවට DNA තුල ඇත්තේ A-T,C-G යුගලනය වීම්ය.

නිදසුනක් ලෙස:

A-T
C-G
G-C
T-A
A-T වැනි අණුපිළිවෙලකින් එක් ජානයකුත්,ඊට වෙනස්,

C-G
A-T
T-A
G-C
C-G අණුපිළිවෙලිම් වෙනත් ජානයකුත් පෙන්නුම් කරයි.එකිනෙකට වෙනස් ජාන යනු එකිනෙකට වෙනස් ප්‍රවේණික තොරතුරුයි.

මේ භෂ්ම අණුපිවෙළවල් තුලින් කරන ප්‍රධානම කාර්යයක් වන්නේ ප්‍රෝටීන සංස්ලේෂණයට අවශ්‍යය දත්ත සැපයීමයි.එහිදී සිදුවන්නේ මේ භෂ්ම අණුපිළිවෙලට අදාලව ඇමයිනෝ අම්ල ස්ථානගතවී ප්‍රෝටීන දාමය නිර්මාණය වීමයි.ශරීරයේ සියලුම ව්‍යූහමය හා කෘත්‍යමය යන දෙංශයේම මූලික ද්‍රව්‍යය වන්නේ මේ ප්‍රෝටීනයි.

මිනිස් සිරුරේ(සෛල තුල) ජාන 20,000ත් 25,000ත් අතර පවතින අතර ඇතැම් ජානවල නයිට්‍රජනීය භෂ්ම සීයක් වැනි සුළු සංඛ්‍යාවක සිට භෂ්ම මිලියන දෙක දක්වා වූ විශාලත්වයෙන් යුතුවේ.

#පරම්පරාවෙන් ප්‍රවේණික තොරතුරු ගලායන්නේ කොහොමද ………………?

ජාන යනු DNA අණුවේ භෂ්ම අනුපිළිවෙල බවත්,එවැනි DNA අණු සෛලවල න්‍යෂ්ටියේ ඇතිබවත් මුලදි සඳහන් විය.සාමාන්‍යයෙන් එක් සෛලයක ඇති DNA අණුවක් දිගහැරියොත් එහි දිග පෘතුවියත් සඳත් අතර දුරට සමාන බව පැවසෙයි.ඒ අනුව එහි ප්‍රමාණය ගැන අපට සිතාගත හැක.ඒත් එවැනි දීර්ඝ දාමයක් කුඩා සෛලයක් තුල කෙසේ පවතින්නේද යන්න ගැන ගැටලුවක් පැනනගියි.ඒ ගැටලුවට පිළිතුර වන්නේ එනම් දීර්ඝ දාමයක් සෛලයක් තුල පවත්තින්නේ ඉතාම විශිෂ්ට අන්දමින් සම්පිණ්ඩනය වීමෙනි.මේවා මෙසා සම්පිණ්ඩනය වී සෛලය තුල පවතින්නේ "ක්‍රෝමසෝම"(chromosomes) හෙවත් "වර්ණ දේහ" නමිනි.ඒ අනුව එක් වර්ණ දේහයක ජාන විශාල ප්‍රමාණයක් ඇත.
සාමාන්‍යය සෛලයක් තුල එවැනි වර්ණ දේහ 46ක් හෙවත් වර්ණ දේහ යුගල් 23ක් පිහිටයි.

මිනිසෙක් නිර්මාණය වන්නේ මවගේ ඩිම්බයක් සහ පියාගේ ශුක්‍රාණුවක් එක් වීමෙන් බව අප දන්නා කරුණක්.ඩිම්බයත් ශුක්‍රාණුවත් එක්වී "යුක්තානුව" නම් තනි සෛලීයක් සාදයි.එය ගුණනය වෙමින් සෛල සංඛ්‍යාව වැඩිකරගනිමින් කළලය සෑදී දරුවෙකු නිර්මාණය වේ.එවිට මෙසේ බිහිවන සම්පූර්ණ ජීවියාගේ මූලාරම්භය අර මවගේ ඩිම්බයත්,පියාගේ සුක්‍රාණුවත් එක්වීමෙන් සෑදුනු යුක්‍තානුවයි.සාමාන්‍යයෙන් මෙසේ ඩිම්බ හා ශුක්‍රාණු එකතු වීමේදී ඩිම්බයෙ වර්ණදේහ 23කුත් ශුක්‍රාණුවෙන් 23කුත් ආදී ලෙස එකතු වී යුක්තානුවේ වර්ණදේහ 46 නිර්මාණය වේ.මේ යුක්තානුව ගුණනය වීමෙන් බිහිවන අනෙක් සෛල වලටද මේ වර්ණ දේහ 46ක් එලෙසම උරුම වේ.එසේ වන්නේ නව සෛල නිර්මාණය කරමින් සෛල විභාජනය වීමේදී DNA අණුද සර්වසම DNA අණු නිර්මාණය කරමින් ප්‍රතිවලිත වීම මගිනුයි.මේ DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියකි.

ඒ අනුව ජීවියෙකු නිර්මාණ වීමේදී 50%ක් ජාන මව් පාර්ශවයෙනුත් ඉතිටි 50% පිය පාර්ශවයෙනුත් ලැබෙයි.මව්පිය මිශ්‍ර ලක්ෂන සහිත දරුවන් බිහිවන්නේ මේ නිසායි.

#දුවෙක්ද පුතෙක්ද කියලා තීරණය වෙන්නේ කොහොමද………………………………?

ඉහත සඳහන් පරිදි මිනිසා සතු වර්ණදේහ යුගල් 23න් එක් යුගලක් ලිංග වර්ණදේහයක් වේ.එනම් ස්ත්‍රී පුරුෂ ආදී ලෙස ලිංගිකත්වය තීරණය වන්නේ ඒ ලිංග වර්ණදේහය මගිනි.
ශුක්‍රාණුව සහ ඩිම්බය එක්වී සාදන මූලික ව්‍යුහය වන යුක්තානුව සෑදීමේදී මව් පාර්දවයෙන් එක් ලිංග වර්ණදේහයකුත් පිය පාර්ශවයෙන් එක් ලිංග වර්ණ දේහයකුත් උරුම වී ලිංග වර්ණ දේහ යුගල නිර්මාණය වේ.පිරිමියෙකු සතු මේ ලිංග වර්ණ දේහ යුගල නිරීක්ෂනය කලහොත් ඒ යුගල X සහ Y ලෙස වර්ග දෙකක වර්ණ දේහ දෙකක් බව පෙනේ.නමුත් කාන්තාවකගේ ඇත්තේ X X ලෙස එකම වර්ගයක වර්ණ දේහ යුගලකි.මෙහි Y නම් ලිංග වර්ණදේහය මගින් ලිංගිකත්වය "පිරිමි" ලෙස තීරණය වීමත් "X" මගින් ලිංගිකත්වය "ස්ත්‍රී" ලෙස තීරණය වීමත් සිදුවේ.
ඩිම්බය සහ ශුක්‍රාණුව සංසේචනය වීමේදී පිය පාර්ශවය සතු ලිංග වර්ණදේහ යුගලෙන් එක් වර්ණදේහයකුත්(එනම් X හෝ Y දෙකෙන් එකක්) , මව් පාර්ශවය සතුවූ වර්ණදේහ යුගලෙන් එක් වර්ණ දේහයකුත්(එනම් X එකක්) එක්වීම සිදුවේ.
මෙහිදී,

මව    +    පියා   ----> දරුවා
X               Y                 XY = පිරිමි
X               X                 XX = ගැහැණු  , ලෙස ලිංගිකත්වය තීරණය වීම සිදුවේ.

එකම පවුලේ එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත සාමාජිකයන් සිටින්නේ ඇයි ?

මවගෙන් සහ පියාගෙන් සමසමව වර්ණදේහ උරුම වුනත් එකම පවුලේ ළමුන් දෙදෙනෙක් අතර කැපී පෙනෙන වෙනස්කම් ඇත.එසේ වන්නේ ජාන වල වෙනස්කම නිසාය.සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ජාන 99.9%ක්ම සමාන වන අතර 0.1% ක ප්‍රමාණයක් පමණක් එකිනෙකාගෙන් වෙනස් වේ.පුද්ගලයන් අතර විවිධත්වය ඇතිවන්නේ මේ 0.1% නිසායි.
මවගෙන් සහ පියාගෙන් හිමිවන්නේ ජාන නොවේ.හිමි වන්නේ වර්ණදේහයි.වර්ණදේහ යනු පිළිවෙලට ඇසිරූ ඒකකයි.
මෙම වර්ණදේහ යුගලනය වීමේදී ඇතිවන විවිධත්වය නිසා එකිනෙකට වෙනස් ජානමට සැකැස්මක්(0.1% පමණක්) දරුවන්ට උරුම වේ.මේ නිසා දරුවන් එකිනෙකාගෙන් වෙනස්විය හැක.

නිදසුනක් ලෙස ඇස්වල වර්ණය තීරණය කරන වර්ණදේහ යුගල සලකමු.
මව සතුව නිල් ඇස් සඳහා එක් වර්ණදේහයක්ද,දුඹුරු ඇස් සඳහා එක් වර්ණ දේහයක්ද වශයෙන් වර්ණදේහ දෙකකින්  අක්ෂි වර්ණය තීරණය කරන වර්ණදේහ යුගල සෑදී ඇත.පියාගේ අදාල වර්ණ දේහ යුගල සෑදී ඇත්තේ දුඹුරු ඇස් සඳහා වන වර්ණ දේහ දෙකකිනි.
මේවිට සංසේචනයේදී මවගෙන් නිල් ඇස් සඳහා වූ වර්ණදේයල දරුවාට උරුම වුවහොත් ඒ දරුවාට නිල් ඇස් හිමිවේ.මේ දෙමාපියන්ට දාව දුඹුරු ඇස් ඇති දරුවෙකුද බිහිවිය හැක.ඒ මවගෙන් කලින් දරුවාට ලැබුනු නිල් ඇස් වර්ණදේහය වෙනුවට මෙවර දුඹුරු ඇස් වර්ණදේහය ලැබූ විටය.
එලෙසම රවුම් නහයක් තීරණය කරන වර්ණදේහය එක් දරුවෙකුට ලැබී උල් නහයක් තීරණය කරන වර්ණදේහය තව දරුවෙකුට උරුමවිය හැක එවිට දරුවන් දෙදෙනාගේ නාසයේ හැඩයන් වෙනස් වේ.

#දෙමාපියන්ට නැති ලක්ෂන දරුවන්ට උරුම වන්නේ කෙසේද ?

දිගු කෙස් ඇති දෙමාපියන්ට බොකුටු ගැසුනු කෙස් සහිත දරුවන් බිහිවනවා ඔබ දැක ඇත.
එමෙන්ම මිටි දෙමාපියන් දෙදෙනෙක්ට දාව ඉතා උස දරුවන් බිහිවිය හැක.
තවද කාල වර්ණ සමක් ඇති දෙමාපියන්ට සුදු පැහැපත් සමක් ඇති දරුවන් බිහිවිය හැක.
එවැනි වෙනස්කම් සහිතව දරුවන් ඉපදුනු විට මේ වෙන කෙනෙක්ට දාව ඉපදුනු දරුවන් යැයි සැක ඇතිවී පවුල් ආරවුල් පවා ඇතිවනවා අප දැක ඇත.සැබෑවටම එසේ වන්නේ කෙසේද ?

ප්‍රවේණිගත උරුම වීම් ගැන මෙලෙස සරලව විග්‍රහ කලද එය මීට වඩා බොහෝ සංකීර්ණ ක්‍රියාවලියකි.මිනිසාගේ ජාන එකතුවේ(මෙය මානය ජීනෝමය ලෙස හඳුන්වයි) ඇති ජාන ඒවායේ ප්‍රබලතාව අනුව ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරයි.
ඒවා නම්,
1). ප්‍රමුඛ ජාන
2). නිලීන ජාන

ප්‍රමුඛ ජාන ප්‍රමුඛය.එනම් වර්ණදේහ යුගලෙන් එකක් පමණක් තනිව පිටියත් ඒවාට තමන් සතු ලක්ෂණය පිළිඹිබු කලහැක.නිලීන ජාන දුර්වලය.ස්වාධීනව තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමට ඒවාට නොහැකිය.ඒවාට ඒ වර්ගයේම තව අයෙක් අවශ්‍යය.

උදාහරණයක් ලෙස, මිටි දෙමාපියන් සිටින පවුලක ශරීර උස ප්‍රමාණය තීරණය කරන වර්ණදේහ (ජාන එකතුව) අතරින් මිටිබව තීරණය කරන වර්ණදේහය වඩා බලවත් බව සිතන්න.එනම් එය ප්‍රමුඛ ජානය වේ.මේ මිටිබව තීරණය කරන වර්ණදේහයට තනිව ස්වාධීනව තමන්ගේ ප්‍රකාශනය කලහැකිය.එනම් මේ වර්ණදේහ යුගලෙන් එකක් පමණක් මිටිබව තීරණය කරන්නා වුවත් එය ප්‍රමුඛ නිසා එහි ප්‍රකාශනය අනෙකේ ප්‍රකාශනය අභිබවා නැගීසිටියි.ඒ නිසා දරුවාද මිටි අයෙක් වේ.සාමාන්‍යයෙන් සිදුවීමට වැඩිම සම්භාවිතාවක් ඇත්තේ එයයි.එසේ ප්‍රමුඛ ජානයේ ප්‍රකාශනය සිදුවීම 75%ක සම්භාවිතාවකි.
දැන් මේ වර්ණදේහ උරුම වීම අනුව උස දරුවන් බිහිවීම හෙවත් නිලීන ජානයේ 25%ක ප්‍රකාශනය සිදුවන්නේ කෙසේදැයි සලකා බලමු.

මිටිනව ප්‍රමුඛ ලක්ෂණය වූ දෙමාපියන් යුවල දෙකක් සලකන්න.

මිටිබව තීරණය කරන වර්ණදේහය ----> A
උසබව තීරණය කරන වර්ණදේහය -----> a , යැයි සිතමු.

ඒ අනුව පළමු දෙමාපිය යුවල සතු වර්ණදේහ යුගලයන් පහත පරිදි යැයි සිතමු,

*මව ----> Ab (මිටිබව තීරණය කරන ප්‍රමුඛ වර්ණදේහය සහ උසබව තීරණය කරන නිලීන වර්ණදේහය)

*පියා -----> Ab

එවිට මවගෙ ප්‍රමුඛ A වර්ණදේහය පියාගේ නිලීන a වර්ණ දේහය සමග එක්වී (Aa) නම් වර්ණදේහ යුගල නිර්මාණය වේ.මෙලෙසම පියාගේ ප්‍රමුඛ A වර්ණදේහය සහ මවගේ නිලීන b වර්ණදේහය එක්වීද (Aa) වර්ණදේහ යුගල නිර්මාණය වේ.මේ යුගලයන්ගේ ප්‍රමුඛ වර්ණදේහයක් ඇති නිසා එහි නිලීන වර්ණදේහයේ බලය අහෝසි වී ප්‍රමුඛ වර්ණ දේහයේ ලක්ෂණ වන මිටිබව උරුම වේ.නමුත් යම් ලෙසකින් නිලීන වර්ණදේහ දෙක එක්වී (aa) වර්ණදේහ යුගලය නිර්මාණය වුවහොත් නිලීන ලක්ෂණය වන උසබව උරුම වේ.මෙසේ aa සෑදීමේ සම්භාවිතාව 1/4ක් හෙවත් 25%කි.

මිටිබව ප්‍රමුඛ වන දෙනව දෙමාපිය යුවලක් සලකමු.මෙහිදී මවට හෝ පියාට ප්‍රමුඛ (AA) වර්ණදේහ යුගල පිහිටයි නම් කිසිවිටෙකත් නිලීන (aa) යුගලක් නොසාදන බැවින් එම දෙමාපියන් යුවලට දාව උස ළමයෙකු බිහිනොවේ.වර්ණදේහ සටහන් ඇඳීමෙන් මේ බව පැහැදිලිව සොයාගත හැක.

 හමේ වර්ණය,කෙස්වල ස්වාභාවය,කන්වල හැඩය,ඇස්වල වර්ණය ආදී විවිධ ලක්ෂණ මෙන්ම රුධිර වර්ගය පවා තීරණය වීම මෙසේ සිදුවේ.

ජානවලින් ගලාඑන්නේ DNA තුල නැතිනම් වර්ණදේහ තුල ලේඛනගතවූ තොරතුරු පමණි.යමෙක් තමන්ගේ ජීවිත කාලය තුලදී අත්පත්කරගත් දෑ ඔහුගේ හෝ ඇයගේ ජානවලට එකතු නොවේ.එනම් ඒවා ඔහුගේ හෝ ඇයගේ දරු මුණුබුරන්ට උරුම නොවේ.නිදසුනක් ලෙස ශරීරයේ මාංශපේශී වර්ධනය කරගත් අයෙකුගේ(body builder) වර්ධනය වූ පේශීවලට අදාලව ඔහුගේ ජානමත වෙනස්කමක් සිදු නොකරයි.ඔහුට දාව උපදින දරුවන්ට උපතින් ශක්තිමත් වර්ධනය වූ මාංශපේශී නොලැබෙයි.තවද නිර්භීත දක්ෂ සොල්දාදුවෙකුට දාව ඔතෑනි නිහඬ කඩිසර නැති බියගුලු ගතිපැවතුම් ඇති දරුවෙක් බිහිවිය හැකියි.ඒ අදාල නිළධාරියා තමන්ගේ පුහුණුව තුලින් ලබාගත් අත්දැකීම් නිසා වර්ධනවූ නිර්භීත බව ඔහුගේ ජානවල වෙනස්කමක් නොකරන බවයි.

නමුත් බුද්ධිය හෝ සෞන්දර්යාත්මක හැකියාවන් ආදී දක්ෂතා ප්‍රවේණිකව ගමන් කරයි.එසේ වන්නේ ඒවා මිනිසාගේ මොළය ආශ්‍රිත ව්‍යුහමය සහ රසායනික ක්‍රියාවලීන්ගේ ප්‍රතිපලයක් ලෙස ලැබෙන ඒවා නිසායි.නමුත් උපතින් ලැබෙන හැකියාවට අමතරව තමන් විසින් වර්ධනය කරගත් හැකියාවන් මෙලෙස පරම්පරාවෙන් පරම්පරාවට උරුම නොවෙයි.


|Letterconik
|24-05-2020

Wednesday, May 20, 2020

ප්‍රේමය සියල්ල උසුලයි ! ප්‍රේමය සදාතනිකයි !




ප්‍රේමය,
ඉවසිලිවන්තය, කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඬඟු වන්නේ නැත.
ප්‍රේමය,
අවිනීත නොවේ.
ආත්මාර්ථාකාමී ‍නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි.
ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනිකය…..
               
                 -| ශුද්ධ වූ බයිබලය |-

සාජන්ට් "රැල්ෆ් ජෝර්ජ් නැපේල්" කියන්නේ 1943 ඉඳලා 1946 දක්වා වසර තුනක කාලයක් ඇමරිකාවේ 329 වෙනි පාබල හමුදා රෙජිමේන්තුවේ 83 වෙනි සේනාංකයේ සේවය කරපු මැෂින් තුවක්කුකරුවෙක්.

1944 අවුරුද්දේ සීතල දෙසැම්බර් මාසයේදී සාජන්ට් රැල්ෆ් ඇතුළු කණ්ඩායමක්,නත්තලේ පණිවිඩය රැගෙන මිහිමත පතිත වූ සුදුපැහැ හිම පලස මතින් ජර්මනියේ "බර්ගෙල්" නම් ගම්මානය දක්වා පා ගමනින් ගමන් කරමින් සිටියා.සීතල හිම පියළි මුසුකරමින් රැල්ෆ් ඇතුළු කණ්ඩායම වසා ගනිමින් අපිළිවෙලට හමාගිය සුළං දහරාවේ නත්තල් ගීතිකා වෙනුවට රැඳී තිබුනේ ඈතින් ඇසෙන වෙඩි හඬවල් ,කාලතුවක්කු හඬවල් සහ බෝම්බ පිපිරීම් හඬවල් ආදයියයි.., ප්‍රේමයේ ආශිර්වාදය වෙනුවට තැවරී තිබුනේ මරණයේ වේදනාවයි..,සාමයේ පණිවිඩය වෙනුවට රැගෙන ආවේ යුද්ධයේ ගිනිපුපුරුයි...!
ඒ සියල්ලම ඒ වන විටත් බුර බුරා ඇවිලෙමින් තිබුනු දෙවන මහා ලෝක සංග්‍රාමය විසින් ලෝකයාට ලබාදී තිබූ දායාදයන්.

1944 දෙසැම්බර් මාසයේ 14 වෙනිදා මේ හමුදා කණ්ඩායම බර්ගේල් වෙත පා තැබුවා.ඒත් බර්ගේල්හි රැඳී සිටි ජර්මාණු බට කණ්ඩායමක් විසින් සාජන්ට් රැල්ෆ්ගේ කණ්ඩායමට දිගට හරහට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ නොසිතූ විදියටයි.රයිෆල් වෙඩි පහරවල් සහ මැෂින් තුවක්කු අතර පමණක් දෝලනය වුනු ඒ තීරණාත්මක මොහොතේ සමතුලිතතාව බිඳ වැටුනේ ජර්මාණු සංචිතයෙන් යුධ ටැංකියක් අවතීර්ණ වීමත් සමගයි.ජර්මානු පාබල සෙබළුන්ගේ රැකවරණය මධ්‍යයේ යුධ පිටියේ ඉදිරියට ඇදුණු යුධ ටැංකිය ඇමරිකානු සෙබළුන් රැඳී සිටි සීමාවට යාර තිහක් එපිටින් සිටින සේ ස්ථාන ගතවූ පසු ප්‍රබල ශෙල් වෙඩි ප්‍රහාරයක් ඇමරිකානු සෙබළ කණ්ඩායම ඉලක්ක කර එල්ල කලා.ශෙල් වෙඩි හඬට රයිෆල් වෙඩි හඬ යටපත් වුනා.ඇමරිකානු සෙබළුන් සීසීකඩ විසිවී ගියේ සුළඟට හසුවූ හිම පියළි වගේ.සියල්ලටම බරපතල තුවාල සිදු වුනා.මැෂින් තුවක්කුව පිටුපස සිටි සාජන්ට් රැල්ෆ් යාර 10ක් පමණ පසුපසට විසිවී ගියා.

" එක්වරම දීප්තිමත් ආලෝකයකින් දෑස් අඩවන් වී ගියා..මොහතට පසු දෑස් විවර කර බැලූ විට මම සිටියේ මැෂින් තුවක්කුවට මීටර් කීපයක් පිටුපසින්..." ,ඒ රැල්ෆ්ගේ මතකයන්.

සුදු පැහැහි හිම ස්ථරය රක්ත පැහැගෙන තිබුනා.කිසිවක් නෑසෙන තරමට කන් අගුළු වැටිලා.ඒත් තවමත් රැල්ෆ් හුස්ම ගන්නවා.

මාරන්තික ප්‍රහාරයෙන් පසු ඇතිවූ කම්පනය මධ්‍යයේ හිස ඔසවා වටපිටාවට දෑස් යොමුකල රැල්ෆ් දුටුවේ දුමාරය මධ්‍යයේ මැරීවැටී සිටින සහ තුවාල ලබාසිටින තම සහෝදර සෙබළුන්.ඔවුන්ගේ දුඹුරු පැහැ හමුදා නිළඇඳුම් රත් පැහැයෙන් තෙත්වී තිබුනා.

තමන්ගේ මුළු සිරුරම විනිවිද යන තරම් වේදනාවක් තම පාදයන්ගේ සිට සිරර පුරා විදුලියක් සේ පැතිරෙන බව රැල්ෆ්ට දැනුනේ ඉන් පසුවයි.
ශරීරයේ පහල කොටස ඇදුම්කන වේදනාව කුමක්දැයි පිරික්සීමේ අදහසින් නිරීක්ෂණය කල රැල්ෆ් දුටුවේ දණහිසෙන් පහල කැබලි වී ගිය එක් පාදයක් සහ දරුණු ලෙස තුවාල ලබාතිබූ අනෙක් පාදයයි.තමන් තවමත් ජීවතුන් අතර බවත් ජීවිතය හෝ මරණය තෝරාගැනීමේ තීරණය දැන් සම්පූර්ණයෙන්ම තමන් අත රැඳී ඇතිබවත් වහාම වටහා ගත් රැල්ෆ් තමන්ගේත් ,නොමැරී බේරුනු තම සඟයන්ගේත් ජීවිත උදෙසා නැවතත් සටනට අවර්තීරණය වෙන්නට තීරණය කරා.
ඒත් අවාසනාවකට රැල්ෆ්ට දෙපයින් නැගී සිටින්නට තියා එවැන්නක් ගැන සිතන්නටවත් බැහැ.ඒත් ජීවිතය උදෙසා සටන් කල යුතුයි.මැෂින් තුවක්කුකරු විදියට ඒ අභියෝගයට වඩාත් සුදුසු වන්නේ තමන්ම බව රැල්ෆ්ට වැටහුනා.ඉතින් ඇවිදින්නට බැරිනම් බඩගාගෙන හෝ සටන ඇරඹිය යුතුයි.!
වැලමිට බිම ගසමින් දෑත් වාරුවෙන් බඩගාගෙන තම මැෂින් තුවක්කුව වෙත ගිය රැල්ෆ් නැවතත් එය සකසාගෙන සතුරන් මත දිගට හරහට වෙඩි වරුසාවක් පතිත කලා.යුධ ටැංකියෙ බලයෙන් දිරි උපදවා සිටි ජර්මානුවන් රැල්ෆ්ගේ අනපේක්ෂිත වෙඩි වරුසාවට මැදිවී එකා දෙන්නා මැරී වැටුනා.ඉතිරි පිරිසත් වහාම පසු බැසීමට තීරණය කලා.පාබල සෙබළුන්ගේ ආරක්ෂාව අහිමි වූ යුධ ටැංකියත් රැල්ෆ්ගේ මැෂින් තුවක්කුවෙන් පිටවූ අකාරුණික වෙඩි පහරට මුහුණ දීම ප්‍රතික්ශේප කර පසු බැස යන්නට ගියා.
සටන අවසන් වුනා.රැල්ෆ් ඇතුළු පිරිසට ජීවිත්වීමේ වාසනවා හිමිවුනා.ඒ මැෂින් තුවක්කුවෙන් පිටවූ වෙඩි වරුසාවට නොව රැල්ෆ්ගේ අධිෂ්ඨානයට ස්තූතිවන්ත වෙන්නටයි.
ඇමරිකානුවෙකුට නිර්භීතභාවය උදෙසා ලැබිය හැකි ඉහළම සම්මානය වන "Medal of Honor" පදක්කම සාජන්ට් රැල්ෆ්ට හිමිවෙන්නේ මෙන්න මේ අධිෂ්ඨානශීලී නිර්භීතභාවය නිසායි.ඒ 1945 අගෝස්තු මාසේ 23 වෙනිදා,යුධ විරුවන් සිහිකරනුවස් ධවල මන්දිරයේදී සංවිධානය කෙරුනු විශේෂ උත්සවයකදී, ඒ වනවිට ඇමරිකානු ජනාධිපති වුන හැරී ටෲමන් අතින් සියගණනක ගෞරවාන්විත නිළධාරීන් ඉදිරියේදීයි.

වීරත්වයෙන් පිදුම් ලැබුවත් රැල්ෆ්ගේ ජීවිතය ඒ වන විට ගෙවුනේ රෝද පුටුවක් මත.ඒ සටන් බිමේදී පාදයන්ට වූ හානිය නිසා පාද දෙකම ඉවත්කිරීමට සිදුවූ නිසායි.

ආබාධිත වෙනවිට අවිවාහකයෙක් වුන රැල්ෆ්ගේ ජීවිතෙන් අර්ධයක් ඉවත් වෙන්නේ ඒ විදියටයි.ජීවිතේ සිහින, බලාපොරොත්තු රැල්ෆ්ගෙන් සෑහෙන දුරකට යනවා.
බිඳ වැටුනු සිහින නිසා ගොළුවගිය සතුට විසින් රැල්ෆ්ගේ අනාගතය මත ඇතිකල හිස් අවකාශයතුල හුදෙකලා වූ රැල්ෆ්ගේ ජීවිතය භාරගන්න රැල්ෆ්ගේ පෙම්වතිය නොපැකිලිව ඉදිරිපත් වෙන්නේ ප්‍රේමය සියල්ල උසුලන බව පෙන්වා දෙමින්.

ප්‍රේමයේ,
විශ්වාසයට ඉමක් නැත..
බලාපොරොත්තුවට නිමක් නැත..
ඉවසීමට අගක් නැත..
ප්‍රේමය සදාතනිකය...! කියන්නා සේම රැල්ෆ්ගේ පෙම්වතිය වුන "ජීන් මෝර්" සහ රැල්ෆ් 1945 දෙසැම්බරයේදී විවාහ වෙනවා.
රැල්ෆ් හා ජීන් දෙදෙනා එක්ව ඔවුනොවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නවා.ඉතිරි ජීවිත කාලෙම ඔවුන් දෙදෙනා පසුපස සතුට හඹා එනවා.ඒත් ජීවිතය බොහෝ කටුකයි.
රැල්ෆ්-ජීන් සදාතනික ප්‍රේම වෘක්ෂය මලින් බර වෙනවා.ඒ දෙන්න තුන් දෙනා,තුන් දෙනා හතර දෙනා ආදී විදියට දරුවන් කැලක් රැල්ෆ්-ජීන් කැදැල්ලට සිනහව කැන්දන් ඒමත් සමගයි.
දැන් රැල්ෆ්-ජීන් දරුවන් සිව් දෙනෙක්ගේ ආදරණීය දෙමාපියන්.
රැල්ෆ්ට නොමැකෙන වේදනාවක් ඉතිරි කල අබාධිත බවටත් දෛවය විසින් පිහිටක් ලැබෙනවා.ඒ රැල්ෆ්ගේ නැසීගිය පාදයන් සඳහා කෘතිම පා යුගලක් සවිකරගැනීමත් සමගයි.ඊට පස්සේ රෝදපුටුවට සමුදුන් රැල්ෆ් තමන්ගේ බිරිඳ වුන ජීන්ගේ උදව්ද ඇතුව ඇවිදීමටත්,ගෝල්ෆ් මෙන්ම බාස්කට් බෝල් ක්‍රීඩා කිරීමටත් පුහුණු වුනා.ඒ වගේම රැල්ෆ් විශ්වවිද්‍යාල උපාධියක්ද ලබාගත්තා.
ජීවිතේ සියළු බලාපොරොත්තු හඹාගිය රැල්ෆ් දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු සහ ආදරණීය භාර්යාවකගේ සැමියෙකු ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගතකලා.
ප්‍රේමය සදාතනික වුනත් ජීවිත සදාතනික නැහැ.ඒක තමා සොභාදහමේ නීතිය.එදා යුධ පිටියෙදී මාරයා පරදා ජීවිතය දිනාගත් රැල්ෆ් සතුටේ අස්වැන්න භුක්ති විඳ, 1987 ජනවාරි 27 වෙනිදා මියගියා.ඒ වෙද්දී රැල්ෆ්ගේ වයස අවුරුදු 63යි.රැල්ෆ් භුක්තිවිඳි සතුටේ අස්වැන්න වපුරන්නට රැල්ෆ් පසුපස සිටි යෝධ සෙවනැල්ල වුනේ ඔහුගේ ආදරණීය පෙම්වතියයි.ආදරණීය බිරිඳයි.

ප්‍රේමය සියල්ල උසුලයි
ප්‍රේමයේ බලාපොරොත්තුවට නිමක් නැත.
ප්‍රේමය සදාතනිකය..!!

ජීන්-රැල්ෆ් යුවල ඒ කතාව ඔප්පු කලේ අන්න එහෙමයි.

(චායාරූපය: Medal of Honor පදක්කම ලබාගෙන සුළු මොහොතකට පසු රැල්ෆ්ව සිපගන්නා ඔහුගේ පෙම්වතිය ජීන් මෝර්)

|Letterconik blog
|20-05-2020

Sunday, May 17, 2020

ගුවන් යානා වැලියට හංඟපු ඉරාකය




ඒ 2003 අවුරුද්ද.ඒ කාලේ ඉරාකය පාලනය කරේ සදාම් හුසේන්.ලෝක දේශපාලන සහ ආර්ථික බල අරගලයේ ප්‍රතිපලයක් විදියට ඇමරිකාවේ ප්‍රධාන මිලිටරි දායකත්වය ඇතිව මහා බ්‍රිතාන්‍යය,ඕස්ට්‍රේලියා සහ පෝලන්ත හමුදා සන්ධානගතවූ බහුජාතික ඒකාබද්ධ හමුදාවක් විසින් ඉරාකය මත ආක්‍රමණයක් දියත් කලා.ඒ න්‍යෂ්ටික,ජීව සහ රසායනික අවි වැනි භයානක විනාශකාරී අවි ආයුධ නිශ්පාදනය,ත්‍රස්තවාදය පෝෂණය කිරීම,මානව හිමිකම් උල්ලංඝනය කිරීම වැනි චෝදනා ගොනුකරමින් එවකට ඉරාකය පාලනය කල සදාම් හුසේන් රෙජීමය බලයෙන් පහකිරීමේ ප්‍රකාශිත හේතූන් මතයි.

2003 මාර්තු මාසේ 19 වෙනිදා ගුවනින්ද,ඊට පසු දින එනම් මාර්තු 20 වෙනිදා ගොඩබිමින්ද ප්‍රහාර දියත් කරමින් ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ඉරාක ආක්‍රමණය හෙවත් ඉරාක යුද්ධය ආරම්භ වුනා.ඛණිජ තෙල් වලට ස්තූතිවන්ත වෙන්නට ප්‍රබල ආර්තිකයකට උරුම කම් කීවත් බටහිර ආක්‍රමණික හමුදාවන්ගෙන් එල්ල වුන මරුපහරවල් වලකාලීමට සමත් ප්‍රතිරෝධයක් පෙන්වන්ට ඉරාක හමුදා අපොහොසත් වුනා.ප්‍රතිපලය වුනේ දිය 26ක් පුරා දිගහැරුනු සංග්‍රාමකාලය ඇතුළුව මසකට ආසන්න ඉතා කෙටි කාලයකදී ඉරාක බල අධිකාරිය පරාජයවී සම්පූර්ණ ඉරාකය බිඳවැටීමයි.යුද්ධ කාලය පුරාවටම ඉරාක ගුවන් හමුදාවන්ගේ සැලකිය යුතු හරඹ දැක්වීමක් ඉරාක යුධ පිටියට ඉහල අහසේ දැකගන්නට නොලැබීම ඒකාබද්ධ හමුදාවන්ගේ මවිතයට හේතු වූ කරුණක් වුනා.

යුද්ධය අවසන් වුනාට පස්සේ සදාම් හුසේන් පාලන තන්ත්‍රය සඟවා ඇතැයි පැවසුනු භායානක ආයුධ සොයාගැනීමේ මෙහෙයුම ඇමරිකානු පරීක්ෂණ කණ්ඩාම් විසින් දියත් කලා.නමුත් ඔවුන්ට එවැනි ආකාරයක කිසිම අවියක් හමුවුනේ නැහැ.

නමුත් දිනක්, ඉරාකයේ බැග්ඩෑග් අගනුවර බටහිර කොටසේ පිහිටි "අල්-ටැකාඩම්" ගුවන් හමුදා කඳවුරට ඔබ්බෙන් පිහිටි ,එමෙන්ම බැග්ඩෑග්-ජෝර්දාන් අධිවේගී මාර්ගයට මායිම්ව පිහිටියාවූ කාන්තාර ප්‍රදේශයේ ගිනියම් වූ වැලිතලය පසාරුකරගෙන මතුපිටට ඉලිප්පී ,එක හා සමාන හැඩයෙන් යුතුව එකිනෙකට ඉතා ආසන්නයේ තිබූ අත්භූත වස්තූන් ද්විත්වයක් ඇමරිකානු නිළධාරීන්ගේ නෙත ගැටෙනවා.ඒ ප්‍රහාරක ගුවන් යානයක පිටුපස කොටසක් බව හඳුනාගැනීමට ඔවුන්ට අපහසු වුනේ නැහැ.ඒ අනුව අවට ප්‍රදේශයේ කැණීම් සිදුකල ඇමරිකානුවන්ට දැකගත හැකිවූයේ යුධපිටියෙන් අතුරුදන් වූ ඉරාක ගුවන් හමුදාවට අයත්ව තිබූ ප්‍රහාරක ජෙට් යානායි.මේවා අතර රුසියාවේ නිශ්පාදිත "Mig 25" යානා සහ "SU-25" වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාද තිබුනා.අඩි දහයක් පමණ ගැඹුරට හාරා තිබුනු වලවල් තුල මේවා සඟවා සම්පූර්ණයෙන්ම වැලිවලින් වසා දමා තිබුනා.ඒ වගේම වලදැමීමේ කාර්යය පහසු කරගැනීමට මේවායේ පියාපත් ගලවා තිබුනා.ඇතැම් යානා ඒවායේ ඉලෙක්ට්‍රොනික උපාංගා ආරාක්ෂා කරගැනීමේ අරමුණෙන් පොලිතීන් වලින් ආවරණය කර තිබුනත් බහුතරයක් යානා වැලි යට සඟවා තිබුනේ කිසිඳු ආරක්ෂක උපක්‍රමයකින් තොරවයි.

සොයාගත් යානා ගණන පිළිබඳ නිශ්චිත සඳහනක් නැතැත් ඇමරිකානු හමුදා වාර්තා හමුදා ප්‍රකාශකන්ට අනුව යානා 30ක් මේ විදියට සොයාගෙන තිබෙනවා.

'යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද' කියන්නා වාගේ යුද්ධෙට පාවිච්චි නොකර මේ මිග් යානා මේ විදියට වැලියට සඟවා තැබීමට  හේතුව ප්‍රශ්ණාර්තයක් ඉතිරි කල කරුණක් වුනා.ඉතින් මේ ප්‍රශ්ණාර්තෙට පිළිතුර වුනේ තමාගේ ගුවන් හමුදාව පිළිබඳව සදාම් හුසේන් සතුව පැවති සෘණාත්මක ආකල්පය.ඒ සෘණාත්මක ආකල්පයන්ට මූලබීජය වුනේ 1980 සැප්තැම්බරයේ ඉඳලා 1988 අගෝස්තු දක්වා පුරා වසර 8ක් පැවති ඉරාක-ඉරාන යුද්ධයේදී ඉරාක ගුවන් හමුදාවේ අසාර්ථකභාවයයි.

ඉරාක-ඉරාන යුද්ධයේදී ඉරාන ගුවන් හමුදාව සතු යානාවන්ගේ තාක්ෂණික දියුණුබව සහ ඉරාන ගුවන් නියමුවන්ගේ දක්ශතා හමුවේ ඉරාක ප්‍රහාරක බලගනයන්ට පසුබසින්නට සිදුවුනා.ආකාස යුධපිටියේදී ඉරාක මිග් යානාවන්ට ප්‍රබලම මුෂ්ටි පහර එල්ල කල ,එවකට ඉරාන ගුවන් හමුදාවේ කොඳුනාරටිය බඳුවූ ඇමරිකාවේ නිශාපාදිත "F-14 Tomcat" ප්‍රහාරක ජෙට් යානා වල නැගුනු දක්ෂ ඉරාන නියමුවන්ගේ උකුසු ඇසට හසුවූ ඉරාක යානා උඩු ගුවනේදීම සුන්නත්දූලි වී ගියා. "F-14" ප්‍රහාරක ජෙට්‍ යානා ඉරාක මිග් යානා පරදවන ප්‍රබලත්වයකින් යුතුවුනා.ඒ වගේම ඉරාන ගුවන් හමුදා භාවිතා කල "ෆීනික්ස්" නම්වූ ඇමරිකාවේ නිශ්පාදිත ගුවන් යානා නාශක මිසයිලය එවකට ලොව තිබූ දරුණුතම ගුවන් යානා නාශක මිසයිලය වුනා.එක් "F-14" යානයක් අහසට නැගුණු විට අවට ආකාසය අරක්ගත් ඉරාක මිග් යානා මරණ භයෙන් ත්‍රස්තව වහාම පලා ගියේ තමන්ට විනාශය අත්කරදීම මේ ඉරාන යානාවට ඉතාපහසු බව ඔවුන් දැනගෙන සිටි නිසායි.මේ භීතිකාව තව තවත් තීව්‍ර කිරීමට 1981 ජනවාරි මාසේ 07 වෙනිදා පර්සියානු ගල්ෆ් කලාපයට ඉහල අහසේ සිදුවූ සිදුවීමක් හේතුවුනා.අදාල කලාපයේ පිහිටි "කාර්ග්" දූපත දෙසට හඳුනානොගත් පියාසර වස්තුවක් ගමන් කරන බව එදින ගුවන් මෙහෙයුමේ නිරතව සිටි ඉරාන නියමු "අසදුල්ලා අඩේලි" හට පාලක මැදිරියෙන් දැනුම් දුන්නා.පණිවිඩය අනුව එදෙසට තම F-14 යානය මෙහෙයවූ අසදුල්ලා අඩේලිට අනපේක්ෂිත ඉලක්කයක් ලබාදෙමින් එහිවූයේ පාලක මැදිරියෙන් විස්තර කල එක් පියාඹන වස්තුවක් වෙනුවට පියාඹන වස්තු තුනක්.ඒ ඉරාක මිග් යානා ත්‍රිත්වයක්.කලයුත්ත වහාම තීරණය කල අසදුල්ලා අඩේලි තුනට එකේ අවාසිය පසෙකලා තමා සතුව තිබුනු ප්‍රබලම අවිය වූ ෆීනික්ස් මිසයිලය භාවිතා කිරීමට තීරණය කරා.ඒ අනුව සතුරු යානා ත්‍රිත්වයේ මධ්‍යයෙන් ගමන්කල යානය ඉලක්ක කර මිසයිලය මුදාහල අඩේලිගේ සැලැසුම වුනේ මධ්‍යයේ ඇති යානය පුපුරවා එහි බලපෑමෙන් දෙපස වූ අනෙක් යානා ද්විතයට හානි කිරීමයි.ඔහුගේ සිතැඟි ඒ අයුරෙන්ම ඉටුකරමින් ෆීනික්ස් මිසයිලය පුපුරා ගියේ ඉරාක මිග් යානා ත්‍රිත්වයම විනාශ කරමින්.මේ සිදුවීමෙන් පස්සේ එක් ඉරාන F-14 යානයකට ඉරාක මිග් යානා ත්‍රිත්වයක් එක්වර බිම හෙලිය හැකි බවට විශ්වාසයක් ඉරාක හමුදා තුල ඇතිවුනා.එයින් ඉරාක ගුවන් හමුදා තව තවත් අසරණ කෙරුනා.ඉරාන ඉරාක යුද්ධයෙන් වසර ගණනකට පසුව වුනත් සදාම් හුසේන්ගේ මනසේ හොල්මන් කරේ මේ අත්දැකීමයි.

ඇමරිකානු යානා සහ මිසයිල භාවිතා කල ඉරාන හමුදා අතින් ඉරාක ගුවන් හමුදාවට අත්වූ ඉරණමම,වසර ගණනකට පසුව දුවද මෙවර ඉරාකයට පහරදෙන ඇමරිකා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් අතින්ද අත්වෙතැයි බියවූ සදාම් හුසේන්ට තමන්ගේ යානා ප්‍රවේසම් කරගැනීමේ අවශ්‍යතාවක් ඇතිවුනා.ඒ නිසා ඒ යානා වැලිතලා යට සඟවා තැබුවේ මතු ප්‍රයෝජනය සඳහායි.ඇමරිකානු නවීන යානා සමග සටන් කිරීමට ඒ වන විට පැරණි තත්වයේ තිබුනු ඉරාක මිග්‍ යානාවලට නොහැකි වුනත් මතුයම් දිනක මැදපෙරදිග කලාපයේ අසල්වැසි රාජ්‍යයකට අතවර කිරීමට ඒවා ප්‍රමාණවත් බව වටහාගෙන සිටි සදාම් හුසේන් තම යානා රැකගැනීමේ මේ අමුතුම ක්‍රමය අනුගමනය කලේ තමා කිසිදිනක බලයෙන් පහනොවැතැයි සිතමින්.නමුත් සදාම් හුසේන්ගේ සිහිනවලට අන්පේක්ෂිත අවසානයක් අත්කරදෙමින් 2003 අප්‍රේල් ඉරාක දේශාපලනය බල-අධිකාරිය බිඳ වැටුනු අතර 2006 දෙසැම්බර් මාසේ 30 වෙනිදා නඩුවිභායකින් පසුව සදාම් හුසේන්ව එල්ලා මරාදමනු ලැබුවා.

ඉරාක පොළව යටින් ගොඩගත් මිග් යානා සතු නොදන්නා රුසියානු තාක්ෂණය ගැන වැඩිදුර අධ්‍යානය සඳහා ඒවා සුරක්ෂිත ඇමරිකාවට යවනු ලැබුවා.ඉරාකයේ සඟවා ඇතැයි පැවසුනු කිසිඳු න්‍යෂ්ටික,ජීව සහ රසායනික අවියක් කෙතරම් සෙව්වත් ඇමරිකානුවන්ට හමුවුනේ නැහැ.ඒ වෙනුවට ඔවුන්ට හමුවුනේ වැලියට සඟවා තිබූ ප්‍රහාරක ගුවන් යානායි.

පස්සෙ කාලෙක මාධ්‍යවේදියෙකු විසින් පෙන්ටගන නිළධාරියෙකුගෙන්, ඉරාකයෙන් ගුවන් යානා කීපයක් හැරෙන්නට වෙනත් කිසිඳු භයානක විනාශකාරි අවියක් සොයාගන්නට නොලැබුනා නොවේදැයි ඇසූ විට එම නිළධාරියා සිනාවක් සමගින් පිළිතුරු දුන්නේ..;
   
    " මේවත් ආයුධ තමයි..භායනක නොවුනට !" යනුවෙනුයි.

(චයාරූප:ඇමරිකානුවන් විසින් ගොඩගන්නා ඉරාක මිග් යානා)


|Letterconik
|18-05-2020