Wednesday, May 20, 2020
ප්‍රේමය සියල්ල උසුලයි ! ප්‍රේමය සදාතනිකයි !
ප්‍රේමය,
ඉවසිලිවන්තය, කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඬඟු වන්නේ නැත.
ප්‍රේමය,
අවිනීත නොවේ.
ආත්මාර්ථාකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි.
ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනිකය…..
-| ශුද්ධ වූ බයිබලය |-
සාජන්ට් "රැල්ෆ් ජෝර්ජ් නැපේල්" කියන්නේ 1943 ඉඳලා 1946 දක්වා වසර තුනක කාලයක් ඇමරිකාවේ 329 වෙනි පාබල හමුදා රෙජිමේන්තුවේ 83 වෙනි සේනාංකයේ සේවය කරපු මැෂින් තුවක්කුකරුවෙක්.
1944 අවුරුද්දේ සීතල දෙසැම්බර් මාසයේදී සාජන්ට් රැල්ෆ් ඇතුළු කණ්ඩායමක්,නත්තලේ පණිවිඩය රැගෙන මිහිමත පතිත වූ සුදුපැහැ හිම පලස මතින් ජර්මනියේ "බර්ගෙල්" නම් ගම්මානය දක්වා පා ගමනින් ගමන් කරමින් සිටියා.සීතල හිම පියළි මුසුකරමින් රැල්ෆ් ඇතුළු කණ්ඩායම වසා ගනිමින් අපිළිවෙලට හමාගිය සුළං දහරාවේ නත්තල් ගීතිකා වෙනුවට රැඳී තිබුනේ ඈතින් ඇසෙන වෙඩි හඬවල් ,කාලතුවක්කු හඬවල් සහ බෝම්බ පිපිරීම් හඬවල් ආදයියයි.., ප්‍රේමයේ ආශිර්වාදය වෙනුවට තැවරී තිබුනේ මරණයේ වේදනාවයි..,සාමයේ පණිවිඩය වෙනුවට රැගෙන ආවේ යුද්ධයේ ගිනිපුපුරුයි...!
ඒ සියල්ලම ඒ වන විටත් බුර බුරා ඇවිලෙමින් තිබුනු දෙවන මහා ලෝක සංග්‍රාමය විසින් ලෝකයාට ලබාදී තිබූ දායාදයන්.
1944 දෙසැම්බර් මාසයේ 14 වෙනිදා මේ හමුදා කණ්ඩායම බර්ගේල් වෙත පා තැබුවා.ඒත් බර්ගේල්හි රැඳී සිටි ජර්මාණු බට කණ්ඩායමක් විසින් සාජන්ට් රැල්ෆ්ගේ කණ්ඩායමට දිගට හරහට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ නොසිතූ විදියටයි.රයිෆල් වෙඩි පහරවල් සහ මැෂින් තුවක්කු අතර පමණක් දෝලනය වුනු ඒ තීරණාත්මක මොහොතේ සමතුලිතතාව බිඳ වැටුනේ ජර්මාණු සංචිතයෙන් යුධ ටැංකියක් අවතීර්ණ වීමත් සමගයි.ජර්මානු පාබල සෙබළුන්ගේ රැකවරණය මධ්‍යයේ යුධ පිටියේ ඉදිරියට ඇදුණු යුධ ටැංකිය ඇමරිකානු සෙබළුන් රැඳී සිටි සීමාවට යාර තිහක් එපිටින් සිටින සේ ස්ථාන ගතවූ පසු ප්‍රබල ශෙල් වෙඩි ප්‍රහාරයක් ඇමරිකානු සෙබළ කණ්ඩායම ඉලක්ක කර එල්ල කලා.ශෙල් වෙඩි හඬට රයිෆල් වෙඩි හඬ යටපත් වුනා.ඇමරිකානු සෙබළුන් සීසීකඩ විසිවී ගියේ සුළඟට හසුවූ හිම පියළි වගේ.සියල්ලටම බරපතල තුවාල සිදු වුනා.මැෂින් තුවක්කුව පිටුපස සිටි සාජන්ට් රැල්ෆ් යාර 10ක් පමණ පසුපසට විසිවී ගියා.
" එක්වරම දීප්තිමත් ආලෝකයකින් දෑස් අඩවන් වී ගියා..මොහතට පසු දෑස් විවර කර බැලූ විට මම සිටියේ මැෂින් තුවක්කුවට මීටර් කීපයක් පිටුපසින්..." ,ඒ රැල්ෆ්ගේ මතකයන්.
සුදු පැහැහි හිම ස්ථරය රක්ත පැහැගෙන තිබුනා.කිසිවක් නෑසෙන තරමට කන් අගුළු වැටිලා.ඒත් තවමත් රැල්ෆ් හුස්ම ගන්නවා.
මාරන්තික ප්‍රහාරයෙන් පසු ඇතිවූ කම්පනය මධ්‍යයේ හිස ඔසවා වටපිටාවට දෑස් යොමුකල රැල්ෆ් දුටුවේ දුමාරය මධ්‍යයේ මැරීවැටී සිටින සහ තුවාල ලබාසිටින තම සහෝදර සෙබළුන්.ඔවුන්ගේ දුඹුරු පැහැ හමුදා නිළඇඳුම් රත් පැහැයෙන් තෙත්වී තිබුනා.
තමන්ගේ මුළු සිරුරම විනිවිද යන තරම් වේදනාවක් තම පාදයන්ගේ සිට සිරර පුරා විදුලියක් සේ පැතිරෙන බව රැල්ෆ්ට දැනුනේ ඉන් පසුවයි.
ශරීරයේ පහල කොටස ඇදුම්කන වේදනාව කුමක්දැයි පිරික්සීමේ අදහසින් නිරීක්ෂණය කල රැල්ෆ් දුටුවේ දණහිසෙන් පහල කැබලි වී ගිය එක් පාදයක් සහ දරුණු ලෙස තුවාල ලබාතිබූ අනෙක් පාදයයි.තමන් තවමත් ජීවතුන් අතර බවත් ජීවිතය හෝ මරණය තෝරාගැනීමේ තීරණය දැන් සම්පූර්ණයෙන්ම තමන් අත රැඳී ඇතිබවත් වහාම වටහා ගත් රැල්ෆ් තමන්ගේත් ,නොමැරී බේරුනු තම සඟයන්ගේත් ජීවිත උදෙසා නැවතත් සටනට අවර්තීරණය වෙන්නට තීරණය කරා.
ඒත් අවාසනාවකට රැල්ෆ්ට දෙපයින් නැගී සිටින්නට තියා එවැන්නක් ගැන සිතන්නටවත් බැහැ.ඒත් ජීවිතය උදෙසා සටන් කල යුතුයි.මැෂින් තුවක්කුකරු විදියට ඒ අභියෝගයට වඩාත් සුදුසු වන්නේ තමන්ම බව රැල්ෆ්ට වැටහුනා.ඉතින් ඇවිදින්නට බැරිනම් බඩගාගෙන හෝ සටන ඇරඹිය යුතුයි.!
වැලමිට බිම ගසමින් දෑත් වාරුවෙන් බඩගාගෙන තම මැෂින් තුවක්කුව වෙත ගිය රැල්ෆ් නැවතත් එය සකසාගෙන සතුරන් මත දිගට හරහට වෙඩි වරුසාවක් පතිත කලා.යුධ ටැංකියෙ බලයෙන් දිරි උපදවා සිටි ජර්මානුවන් රැල්ෆ්ගේ අනපේක්ෂිත වෙඩි වරුසාවට මැදිවී එකා දෙන්නා මැරී වැටුනා.ඉතිරි පිරිසත් වහාම පසු බැසීමට තීරණය කලා.පාබල සෙබළුන්ගේ ආරක්ෂාව අහිමි වූ යුධ ටැංකියත් රැල්ෆ්ගේ මැෂින් තුවක්කුවෙන් පිටවූ අකාරුණික වෙඩි පහරට මුහුණ දීම ප්‍රතික්ශේප කර පසු බැස යන්නට ගියා.
සටන අවසන් වුනා.රැල්ෆ් ඇතුළු පිරිසට ජීවිත්වීමේ වාසනවා හිමිවුනා.ඒ මැෂින් තුවක්කුවෙන් පිටවූ වෙඩි වරුසාවට නොව රැල්ෆ්ගේ අධිෂ්ඨානයට ස්තූතිවන්ත වෙන්නටයි.
ඇමරිකානුවෙකුට නිර්භීතභාවය උදෙසා ලැබිය හැකි ඉහළම සම්මානය වන "Medal of Honor" පදක්කම සාජන්ට් රැල්ෆ්ට හිමිවෙන්නේ මෙන්න මේ අධිෂ්ඨානශීලී නිර්භීතභාවය නිසායි.ඒ 1945 අගෝස්තු මාසේ 23 වෙනිදා,යුධ විරුවන් සිහිකරනුවස් ධවල මන්දිරයේදී සංවිධානය කෙරුනු විශේෂ උත්සවයකදී, ඒ වනවිට ඇමරිකානු ජනාධිපති වුන හැරී ටෲමන් අතින් සියගණනක ගෞරවාන්විත නිළධාරීන් ඉදිරියේදීයි.
වීරත්වයෙන් පිදුම් ලැබුවත් රැල්ෆ්ගේ ජීවිතය ඒ වන විට ගෙවුනේ රෝද පුටුවක් මත.ඒ සටන් බිමේදී පාදයන්ට වූ හානිය නිසා පාද දෙකම ඉවත්කිරීමට සිදුවූ නිසායි.
ආබාධිත වෙනවිට අවිවාහකයෙක් වුන රැල්ෆ්ගේ ජීවිතෙන් අර්ධයක් ඉවත් වෙන්නේ ඒ විදියටයි.ජීවිතේ සිහින, බලාපොරොත්තු රැල්ෆ්ගෙන් සෑහෙන දුරකට යනවා.
බිඳ වැටුනු සිහින නිසා ගොළුවගිය සතුට විසින් රැල්ෆ්ගේ අනාගතය මත ඇතිකල හිස් අවකාශයතුල හුදෙකලා වූ රැල්ෆ්ගේ ජීවිතය භාරගන්න රැල්ෆ්ගේ පෙම්වතිය නොපැකිලිව ඉදිරිපත් වෙන්නේ ප්‍රේමය සියල්ල උසුලන බව පෙන්වා දෙමින්.
ප්‍රේමයේ,
විශ්වාසයට ඉමක් නැත..
බලාපොරොත්තුවට නිමක් නැත..
ඉවසීමට අගක් නැත..
ප්‍රේමය සදාතනිකය...! කියන්නා සේම රැල්ෆ්ගේ පෙම්වතිය වුන "ජීන් මෝර්" සහ රැල්ෆ් 1945 දෙසැම්බරයේදී විවාහ වෙනවා.
රැල්ෆ් හා ජීන් දෙදෙනා එක්ව ඔවුනොවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නවා.ඉතිරි ජීවිත කාලෙම ඔවුන් දෙදෙනා පසුපස සතුට හඹා එනවා.ඒත් ජීවිතය බොහෝ කටුකයි.
රැල්ෆ්-ජීන් සදාතනික ප්‍රේම වෘක්ෂය මලින් බර වෙනවා.ඒ දෙන්න තුන් දෙනා,තුන් දෙනා හතර දෙනා ආදී විදියට දරුවන් කැලක් රැල්ෆ්-ජීන් කැදැල්ලට සිනහව කැන්දන් ඒමත් සමගයි.
දැන් රැල්ෆ්-ජීන් දරුවන් සිව් දෙනෙක්ගේ ආදරණීය දෙමාපියන්.
රැල්ෆ්ට නොමැකෙන වේදනාවක් ඉතිරි කල අබාධිත බවටත් දෛවය විසින් පිහිටක් ලැබෙනවා.ඒ රැල්ෆ්ගේ නැසීගිය පාදයන් සඳහා කෘතිම පා යුගලක් සවිකරගැනීමත් සමගයි.ඊට පස්සේ රෝදපුටුවට සමුදුන් රැල්ෆ් තමන්ගේ බිරිඳ වුන ජීන්ගේ උදව්ද ඇතුව ඇවිදීමටත්,ගෝල්ෆ් මෙන්ම බාස්කට් බෝල් ක්‍රීඩා කිරීමටත් පුහුණු වුනා.ඒ වගේම රැල්ෆ් විශ්වවිද්‍යාල උපාධියක්ද ලබාගත්තා.
ජීවිතේ සියළු බලාපොරොත්තු හඹාගිය රැල්ෆ් දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු සහ ආදරණීය භාර්යාවකගේ සැමියෙකු ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගතකලා.
ප්‍රේමය සදාතනික වුනත් ජීවිත සදාතනික නැහැ.ඒක තමා සොභාදහමේ නීතිය.එදා යුධ පිටියෙදී මාරයා පරදා ජීවිතය දිනාගත් රැල්ෆ් සතුටේ අස්වැන්න භුක්ති විඳ, 1987 ජනවාරි 27 වෙනිදා මියගියා.ඒ වෙද්දී රැල්ෆ්ගේ වයස අවුරුදු 63යි.රැල්ෆ් භුක්තිවිඳි සතුටේ අස්වැන්න වපුරන්නට රැල්ෆ් පසුපස සිටි යෝධ සෙවනැල්ල වුනේ ඔහුගේ ආදරණීය පෙම්වතියයි.ආදරණීය බිරිඳයි.
ප්‍රේමය සියල්ල උසුලයි
ප්‍රේමයේ බලාපොරොත්තුවට නිමක් නැත.
ප්‍රේමය සදාතනිකය..!!
ජීන්-රැල්ෆ් යුවල ඒ කතාව ඔප්පු කලේ අන්න එහෙමයි.
(චායාරූපය: Medal of Honor පදක්කම ලබාගෙන සුළු මොහොතකට පසු රැල්ෆ්ව සිපගන්නා ඔහුගේ පෙම්වතිය ජීන් මෝර්)
|Letterconik blog
|20-05-2020
Subscribe to:
Post Comments (Atom)
Supiri....
ReplyDeleteThank you😊
Delete