Thursday, May 7, 2020
දරුවා වඩාගත් ඈ යක්ෂ අවතාරයක්ද ? ( සත්‍ය කතාවකි)
සොබා දහමේ දහසක් සිදුවීම් පොදි බැඳගත් මොහොතක සූරිය දෙවියෝ මරංගල ඉසව්ව දෙස දෙනෙත් හැර බලද්දී බුදුරාපොත ලේමා තුවක්කු කෙටියත් අතේ ඇතිව මහ බැද්දට වැදී නොපෙනී ගියා.
ලේමා මේ වන විටත් සැතපුම් දහයක් දොළහක් තරම් දුරක් බැද්දේ ඈතට පමං වුනත් කෝ තවමත් වන හැත්තෙක් හරියට මුලිච්චි වුනේ නැහැ නොවැ.ටික වෙලාවකදී ලේමා "කුඹුක් ඉන්න" කඳු ඉසව්ව පසු කරන්ඩ පටන් ගත්තා.මිනිස් පුළුටක් නැති මහ බැද්ද වියරු වැටිච්ච කොටි නාම්බෙක් වගේ තරහෙන් පුපුරනවා.මොතක් ගතවුනා.මහ තඩි තිඹිරි ගෙට එහා පැත්තේ "මොහ්! මොහ්!" ගාන සද්දයක්.සද්දෙට සතා හඳුනාගත් ලේමා ඒකා පුච්චන්ඩ(වෙඩි තියන්න) තුවක්කුව උරුක්කරන් ගල් රූපයක් වගේ හිටගෙන මොහොතකින් හෙණයක් වගේ පුපුරපු වෙඩිල්ලට මුළු බැද්දම ලොකු කලබැගෑනියක.හත් දෙයියන්ඩම උප්පුවෙච්චාවේ ,වෙඩිල්ල කෑ තඩි එකා බැද්ද දිරි ගහං දුවන්ඩ පටන් ගත්තා.
ලේමා කැලේ එලවන්ඩ හරිම රුසිය.වෙඩිල්ල අනිල වුන(භාගෙට වැදුන) ඌරු මොටා පස්සේ ලේමා තුවක්කුවක් ගෙන දුවන්ඩ පටන් ගත්තේ කොක් කනමට අතදමමින් සන්නම් මන්නම් එලියට ගෙන තවත් උණ්ඩයක් තුවක්කුවට කොටමින්මයි.සෑහෙන දුරක් කැලේ සතා පස්සේ ගිය ලේමා නැවතත් කොක්කනට අත දැම්මේ ඊයම් පෙතක්(ටිකක්) එළියට ගන්න හිතාගෙනයි.චෙහ්! ඒකා කොහෙද දොක්කන් වෙලා.කොක්කනෙන් වැටුනෙයි කොයි හද්දෙයියෝද දන්නේ.ඔන්න එතකොටම තමයි මොකෙක්දෝ කෑ ගහනවා ඇහුනේ.ඌරා වැටිලද කොහෙද ඒකා මර ලතෝනි දෙන්නේ.ලේමා අඩිය දෙක කැළෑ බූටෑ අතරින් ඉදිරියට ඇදෙනවා.දැන් පැහැදිලිවම ඒ හඬ ලේමාගේ කනට මුලිච්චි වෙනවා.
ඒත් ඒක ඌරු ශබ්දයක් නම් නෙමේ.නැහැ නැහැ වෙන්ඩ බැහැ.දෙයියෝ ! මේ කිරි සප්පයෙක් අඬනවා නොවැ.ආයේ කිසිම සැකයක් නැහැ.ඒ දරුවෙක් තමා.ලේමා ඒ හඬ එන එහෙ කොනට කං දීගෙනම තවත් කිට්ටු වුනා.දැන් ලේමාගේ පපුවේ පිටි කොටනවා.ඒකා දඩ දඩ ගානවා.මිනිස් කුලයක් නැති මේ හද්ද බැද්දට කොයින්ද දරුවෙක්..? ලේමා දැන් ඉස්සරහට වඩා පස්සට තමයි ඇදෙන්නේ .ඊට පස්සේ ඌ ඉවක් බවක් නැතිව බූටෑ දෙපිටින් දාගෙන දුවන්ඩ පටන් ගත්තා.මරංගල ඈයෝ යක්කු භූතයින් පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති උදවිය.ඒ හන්දාම තමා ලේමා සැතපුම් දහයක් දොළහක් නොනැවතී දුව යායට වැදුනේ.
මහ බැද්දේ "කුඹුක් ඉන්න" ඉසව්වේ කිරිසප්පයෙක් අඬන කතාව යාය පුරා පැතිර යන්ඩ වැඩි වෙලාවක් ගත වුනේ නැහැ.ඊට පස්සේ යායෙ කවුරුත් ඒ පළාතකටවත් නොයන්ඩ වගබලා ගත්තා.
"මහ බැද්දට අරක්ගත් යක්ෂයා තමා ඒ"....කවුරුත් ඒ විදියට පිළිගත්තා.ගමේ උං එහෙම කීවත් කොයි කොතැනත් නාහෙට අහන්නැති ගොපිලෙක් දෙන්නෙක් ඉන්නවනේ.
යාය පුරා ඒ විදියට කතා යද්දී "අඩා බොල තෝ මක්කද ඒ කතා ගැන හිතුවේ.මංනං ඔය එකක් වත් වැද්ද ගන්න එකෙක්යැ...ඒකි යකා බැරිනම් මොකා වුනත් අපි යමු හදි ගැහෙන්ඩ.තොගෙ පුච්ච බටෙත් ඇන්න වර හෙට දොහේ.මං එඤ්ඤං..." එදා දොඩාගත් විදියට ඔවුන් කුඹුක් ඉන්න ඉසව්වට සේන්දු වුනා.දෙන්න අතේම තුවක්කු කෙටි.ඒවා උරුක් කරගත් දෙන්නා හතුරෙක් හොයන්නා වගේ දහ දිහාවට ඇහැ ගහනවා.කැලෑ දෙයියන්ඩම ඔප්පු වෙච්චාවේ, ඒකා කීවේ ඇත්තකයි.
" ඔය...ඔය...ඔන්න තොට ඇහෙනවැ..." දෙන්නම ඉදිරිය බලාගෙන හඬ පසුපස ගාටනවා.දෙන්නගෙම ඇස් ඉදිරියට එල්ල වෙලා.මෙහෙම ඉදිරියට ඇදෙද්දී තමා එකෙක් වන බූටෑවෙන් වැසීගිය කුණු වළකට ඇද බෑවුනේ.හපෝ ඊට පස්සේ වෙච්ච හරිය මතක් වෙනකොටත් ඇඟ ගැහෙනවා.ඒකා අකුල දිරි ගහන් වළට වැටෙන කොටම වළේ හිටි එකියක් පැටියත් ඇන්න දුවන්න පටන් ගත්තා.
ඒකී කැරලි කොණ්ඩය කඩාදාගෙන ඉඟට තිබුනේ රෙදි ගොමස් කඩයක් විතරයි.ඒක රෙද්දක් කියන්ඩවත් බැරිතරමට ගෝමස් කඩ වෙලා.යන්තම් වළේ නොවැටී බේරුන එකා පලා යන එකීගේ හැඩරුවත් , ඒකී වදින ඉසව්වත් බලාගෙන බෙරිහන් දෙන්න පටන් ගත්තා.දැන් නම් ඒකි පසු පස හඹා යනවා.ඒකිත් පස්ස නොබලාම මහවනය දෙවනක් කරගෙන දුවනවා.දැන් ඔවුන් සැතපුම් කීයක් නම් දුව එන්ඩත් ඇතිද?..තාමන් ඉදිරියේ විශාල ගල් ඇන්දක්.එතන ගල් පර්වතයක්.ඒකි දරුවත් ගෙන දුව යන්නේ ඒ පැත්තටයි.ඔවුන් හිතුවා හරි.වේගයෙන් දුවගිය ඈ පර්වතය පාමුල ඇති විශාල ගල් ගෙට රිංගා ගත්තා.
"අඩා ඔහේ හිටු! ඒකි වැද්දියක්.අපි ගියොත් වින්නැහියක් වෙන්න ඉඩ තියෙනව.ඒකිගෙ වරිගෙ උන් ඒකේ ලැගල ද කොහෙද...දැන් උන් රොත්ත පිටින් දුනු පොරෝ ගෙන අපි පස්සේ එලවයි..අඩා! අපි හනික දුවමු."
ඊලඟට ඒ දෙන්නා පන කඩාගෙන දුවන්න පටන් ගත්තා.ඊලඟට ඔවුන් දෙන්නා නතරවුනේ මරංගල බුදුරාපන ඉසව්ව පෙනෙන තෙක්මානයට ආවට පස්සෙයි.හපෝ...ඇඟ දැවිල්ල.ඔවුන්ගේ ඉහිං කනිං සීරුම් ලේ ගලන තුවාල.දැන් තමා දැනෙන්නේ,මක් කරන්ඩැ.ඔයින් බේරුනා මදැ.දැන් ඔවුන් ගෙනා අලුත්ම පනිවිඩය ඉහ තියාගෙන මුළු යායම දඟලනව.එක එකා එක එක දේ දොඩවනවා.
සමහරු කීවේ "ඔය යස්ස අවතාරෙම තමා"කියලයි.
"දරුවෙක් වඩාගෙන ගල්ගෙට වැදුනේ වෙන කවුරුවත්යැ, වැද්දියම් මිසක්", ඒ යායේ උන්ගේ තවත් මතයක්.මේ විදියට මරංගලට ඒ සිද්දිය දෝංකාරයක් මෙන්ම ලොකු පෙරළියක් වීමට තරම් දෙයක් වුනා.
සයිමා,කොයිලා,බණ්ඩා යායේ සිටි නම් දරාපු වෙඩික්කාරයෝ විතරක් නෙමෙයි අංගම්කාරයෝයි.ඔවුන් කොහොමහරි තුවක්කුත් පතොරමුත් හදිකරගෙන ගෙන සටනකට යාමට වගේ දින කීපයක්ම සූදානම් වුනා.
එදා බැද්දේ ගිහින් වලේ වැටිච්ච ගොපිලත් ඒ ඉසව්වේ එවුන්ඩ මුලිච්චි කරගන්න ඉදිරිපත් වුනා.ආයේ උන්ගේ හිතේ පල පදියං වූ දෙගිඩියාවක් සැකයක් නැති කිරීමට ඔවුන් තුන් හතර දෙනා තවත් උදයක බැද්දට සේන්දු වුනා.
දැන් වෙලාව දහවල් එකොළහට විතර ඇති.ඒ මොහොතේ බැද්දට වැදුණ සයිමා , කොයිලා , බණ්ඩා ඇතුළු පිරිස ගල් ගෙට පලායන අවතාරය හොයාගෙන බැද්ද දෙවනක් කරනවා.මද වෙලාවක් මේ විදියට ගතවුනා.කන්ද පාමුල ගලා බසින දිය කඩිත්තෙන් නැගෙන "චොර චොර" හඬ පිරිසට හොඳට ඇහෙනවා.ඒ සමගම ඒ පැත්තෙන් තවත් ශබ්දයක්.කවුරුත් ඒ ඒ තැනම හිටගෙන ඒ දෙසට අවධානය යොමු කලා.කාරණය කාටත් තේරුම් ගිය නිසා කවුරුත් තුවක්කු එල්ල කරගෙන මූණෙන් මූණ බලන්ඩ පටන් ගත්තා.පළමුව දොල බිබිල දිහාවෙන් ඇසුනු කැකුලගේ ඇඬීම දැන් ලඟ ලඟම ඇහෙනවා.ලඟ සිටි කෙනෙකුටවත් යමක් දොඩා ගන්ඩත් නොහැකි අවස්තාවක්.තතර දෙනා තුවක්කු හතර එල්ල කර ගෙන ඉටි රූප වගේ බලාගෙන ඉන්නවා.දැන් ඒ හඬ තවත් ලඟ ලඟම ඇහෙනවා.
තවත් මොහොතක් ගෙවීගියේ මොනතරම් තීරණාත්මක විදිහටද?...දැන් ඒ හඬ මර ලතෝනියක් බවට හැරිලා.තව මොහොතකින් වෙන්නේ මොක ද?...තීරණාත්මක අවස්තාවක් ගෙවී යන හැටියක්.මුළු බැද්දම නිහඬයි. 'සටස්' ගාන හඬක් නැති තරමට නිහඬයි පැටිය පමණක් බැද්දේ නිහැඬියාව කාබාසිනිය කරනවා.මෙතෙක් වෙලා බැද්දේ අතුපතර සැඟවෙච්චි සකලයන්(කුරුල්ලන්) "සට පට" ගාමින් ඈතට පදින්ඩ(පියඹන්න) පටන් ගත්තා.මෙහෙම වෙලාවක තමා ඒ අවතාරේ ඔවුන් අතරට කඩාවැදුනේ.ඒකි විරිත්තාගෙන ඇස් උඩ ඉන්දාගෙන තම දරුවා ලයට තදකර ගත්තා.අවතාරයේ කුයිල වැදුන උන් කන්දුන් කුන්දුන් නැතිව ඒකි යන අතර "අද ඕනෑ කෙං ගෙඩියක් වෙච්චාවේ මේකි අඹා යමු!" ඔවුන්ගේ අදහස එයයි.ඈ දරුවත් ඇන්න ගල් ඇන්ද දිහාවටම දුව යනවා.එතැන ඇති ගල් ගුහාව විශාල එකක්.අන්න දැන් ඒකි ගල් ගුහාවට වැදුනා.ඈ දැන් නොපෙනී ගිහින් අහවරයි.ඈ පසුපස මෙතෙක් වෙලා හඹාගිය හතර දෙනාගේ වේගය ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා.
"හද්දෙයියන්ඩ ම පෙනිච්චාවේ, මේක ගල් ගුහාවක්යැ.විශාල ගල් ශාලාවක්නේ." කවුරුත් ඒ විදියටම තමා පුදුමයට පත්වුනේ.
තුවක්කු හතරක කට ගල් ගෙට එල්ල වෙලා.දැන් ඔවුන්ට ගල්ගේ යසට පෙනෙන තරමට...
" අන්න බලෝ..අරුං මොක්කුද ? , වලස් ගෙඩියෝ...වලස් ගෙඩියෝ විසිපහක් තිහක් පමණ වලස් ගෙඩියෝ.උන් දැක්කොත් අපි සුං"
එහෙම කියන්ඩත් ඉස්සර හාවෙක් වටකරග් බලු රැලක් වගේ වලස් රොත්ත හතර දෙනාම වහා එලා ගත්ත.එක පිට එක වෙඩි පත්තු වුනා.දැන් එතන මහා යුද්ධ පිටියක්.පතුරං කොටනවා.නැවත වෙඩි තියනවා.වලස්සුත් කෑ ගහනවා.මිනිස්සුත් කෑ ගහනවා.දැන් එතන මහා ගාල ගෝට්ටියක්.සමහර වලස් ගෙඩියෝ පුච්ච කඩන(වෙඩිල්ලට) මැරී වැටෙනව.ක්ෂණිකව සයිමා ගුහාවේ තිබුණ ගල් ඇඳට ගොඩවී බිම වලිකන වලස් හැත්තට පහර පිට පහර ඇද බාන්ඩ පටන් ගත්තා.තවත් වලස් ගෙඩියෙක් එකෙකුගේ තුවක්කු බටේ එල්ලී ඒක ඩැහැගන්න පොරකනවා.සමහර අවස්තාවක වලස් රොත්ත පොල් පොදියේ මිනිස්සු වෙත ගෝළු ගානවා(ගොරවගෙන පනිනවා).මේවන විටත් මහ වනය අස්සක් මුල්ලක් නෑර කැළඹී ගිහින් තීරණාත්මක තවත් අවස්තාවක්.තත්පර වලින් මිනිත්තු වලින් කාබාසිනා වෙන්න පටන් ගත්තා.අන්තිමේදී වලස් ගෙඩියෝ තුන් හතර දෙනෙක් එතන පතබෑ වෙද්දී අනෙක් උන් රොත්ත පිටින් කැලේට වැදී සැඟවී ගියා.
"කොහොමද වෙච්ච හරිය"
"ඒක ඉතිං අහන්ඩ දෙයක්යැ.අපිම බේරුනා මිසක් යායෙ වෙන එකක් ආවා නම් අද වෙන්ඩ තියෙන හරිය සිද්දවෙලා අහවරයි." , හතර දෙනාම මිනිස් වලස් පොරයෙන් ජයගෙන දැන් කට පුත්තානවා.ඊලඟට ඔවුන් හිතන්න ඇත්තේ ගල්ගෙට වැදුන එකී ගැනයි.ඈ ගල්ගෙයි නම් අඩියක්වත් දකින්න නැහැ.මේකිට මංදො වුනා කියලා.අනික් එක මේ වලස් රොත්තක් ලගින තැනක මිනිස් පුළුටක් කොහොම ඉන්ඩ කියාද?...ඒකි වැද්දියක් නෙමේ.! කැලෑ යකින්නක්!! ඒ අදහස ඔවුන්ගෙ සිත්තුල පැලපදියම් වුනා.මේ නිසාම ඈ තවත් සෙවීම ගැන ඔවුන්ගේ තිබූ අදහස් සිදී යන්ඩ පටන් ගත්තා.(මේ අවතාරය නැවත කිසි දිනක මිනිස් ඇසට මුණ නොගැසුණ බව ගැමියෝ පවසයි).
ඊලඟට මේ පිරිස විපරම් කරන්න පටන් ගත්තේ විශාල ගල්ගුහාව ගැනයි.එක තැනක ඇති ගල් ඇඳ තුන් හතර දෙනෙකුට කිසිම අපහසුවක් නැතිව කුද ගහන්ඩ වුනත් හැකි එකක්. ඒ අහලක ගලින් නිමවන ලද තවත් මොකක්දෝ එකක් ඊලඟට ඔවුන්ගේ නෙත් මුලිච්චි වුනේ ගල් ගුහාවේ පියස්ස දෙසටයි.ඔවුන් පුදුමයට පත්වුනා.දෙයියන්ඩම ඔප්පු වෙච්චාවෙ.කවදාවත් ඔවුන් බලාපොරොත්තු වූ දෙයක්යැ අද මේ ඔවුන්ට මුලිච්චි වෙලා තියෙන්නේ.ගල් පියස්සේ යටි පැත්තේ විශාල කොටසක ඇන්ද චිත්‍ර සිය ගණනකි.
ඔන්න ඔය විදියට තමා ඒ චිත්‍ර ගුහාව පළමු වරට මිනිස් ඇසට දැකගන්ඩ ලැබුනේ.මේ චිත්‍රවලින් සත්ව රූප කීපයක් නිර්මාණය කර තිබුනා.පැහැදිලි ලෙස හඳුනාගත හැකි රූප වූයේ මුවා , කපුටා සහ කොකාගේ රූපයි.මේ චිත්‍ර වල තවරා ඇති සායම් සීගිරි චිත්‍රවල දක්නට ලැබෙන සායම්වලට සමාන බව පැහැදිලිව පේනව.සමහර සත්ව රූප විශාලත්වයෙන් අඩි තුනක් පමණ වුනා.ගුහාවේ දිග අඩි සීයක් තරම් වුනට් චිත්‍ර ඇඳ තිබූ කොටස අඩි හතලිහක තරම් කොටසක් පමණයි.මනාව කොටන ලද ටැම් නිසා වැසි ජලයෙන් චිත්‍ර නොතෙමී තිබීමට තරම් සමත් කමක් ලැබුවා.
මේ ගුහාව සොයාගැනීම ගැන කතාව ගැමියෙකු කීවේ ඔන්න ඔහොමයි.
මේ චිත්‍ර ගුහාව අදත් (මෙහි අද යන දිනය මීට වසර 25කට පෙර මේ කතාව ප්‍රකාශයට පත්වූ දිනය බව සලකන්න) මිනිස් ඇසුරෙන් සැතපුම් විස්සක් තරම් මහ වන මැද ඇති නිසා එම ගුහාවල අදත් ලැගුම් ගන්නේ වලසුන් පමණයි.
ප.ලි.:- පදියතලාව නගරයේ සිට සැතපුම් 8ක් පමණ නැගෙනහිර දෙසට ගියවිට මරංගල නම් කැලෑ ගමකි.ඒ ගමේ සිට තවත් සැතපුම් 12ක් පමණ වනය තරණය කලවිට මේ චිත්‍ර ඇඳි සුවිසල් ගල්ලෙන හමුවේ.
-------------------------------------------------------------------
1995 වසරේ ප්‍රකාශයට පත්වුන ජී.ආර්.ගුණරත්න බණ්ඩාර මහතාගේ "වන්නියේ සත්‍යය කතා" නම් ගවේශනාත්මක ග්‍රන්තය ඇසුරෙන්.
|Letterconik
|07-05-2020
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment