Tuesday, May 12, 2020
අසංධිමිත්තාට මොකද වුනේ? (සිනමාව සහ මනෝවිද්‍යාව)
අසන්ධිමිත්තා...සන්ධියක් නොපෙනෙන තරම් තර වූ ස්ත්‍රියක්.ඒක සද්ධර්මාලංකාරයේ එන නමක්.ඒහෙම තිබුනේ ඒ පොතේමයි.පොත කිව්වේ සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා නවකතාවේ.අපේ රටේ ඉන්න දක්ශ සිනමාකරුවෙක් වන අශෝක හඳගම මහත්තයා මේ නමින්ම මේ කතාව සිනමාවට නැගුවා.සාමාන්‍යය රැල්ලෙන් ඔබ්බට ගියපු මේ නවකතාව වගේම චිත්‍රපටියත් සමාජයේ ලොකු කතාබහක් ඇති කරන්න සමත්වුනා කියන එක අපි ඕන කෙනෙක් දන්න දෙයක්.ගොඩාක් අයට මේක හරිම වෙනස් අත්දැකීමක්.ඒ නිසා අමතුයි.විකාරයි වගේ.ඒ විකාර ගතියම තමා කතාවට පට්ටම ගතියක් ගෙනාවේ.මොකද ඒ විකාර ගතිය අලුත් අත්දැකීමක් නිසා.කොහොමද අසංධිමිත්තා හැදුනේ...?
මීට කාලෙකට කලින් ඒ කියන්නේ 2013 අවුරුද්දේ සමන් වික්‍රමාරච්චි මහත්තයා ස්වර්ණ පුස්තක සමාන කමිටුවේ ජූරි සභාවේ ඉන්නවා.මේ කාලේ වෙද්දී අදියර කීපයකින් යුක්තවුන ජූරි සභාවේ සම්ප්‍රදාය වුනේ නිර්දේශිත පොත් බෙදාගෙන කියවන එක.ඒත් මෙදා පාර කමිටු සාමාජිකයන් සම්ප්‍රදාය වෙනස් කරලා සෑම නිර්දේශිත ග්‍රන්තයක්ම කියවන්න තීරණය කරනවා.ඉතින් සමන් වික්‍රමාරච්චිත් ඒ අවුරුද්දේ නිර්දේශ වෙලා තිබ්බ පොත් එකසිය ගානම කියෙව්ව.ඒකෙන් සමන් වික්‍රමාරච්චි හඳුනාගත්ත දේ තමයි මේ සෑම කතාවක්ම පොදු ශානරයන් කීපයක් ඔස්සේ විතරක් විහිදෙනව කියන එක.සමහර ඒවා උන්නතිගාමී කතා.ඒ කියන්නේ පොඩ්ඩෙක් ලොක්කෙක් වෙන කතා.මේ පොඩි ලොකු කිව්වේ වයස එහෙම නෙමේ.සමාජ තත්වය ගැන.ඉතින් බොහොමයක් තිබ්බේ මේ වගේ කතා.එහෙම නැත්නම් ඒක ඉතිහාස කතාවක්.ඉතින් සමන් වික්‍රමාරච්චිට ඕනෙ වෙනවා මේ ගමන්මග වෙනස් දිශානතියකට හරවන්න.ඒ නිසා එයා වෙනස්ම ආකාරයේ නවකතා දෙකක් රචනා කරනවා.ඉන් එකක් තමයි "අසංධිමිත්තා" කියන්නේ.සිනමාවට නැගුනේ ඒක.අනෙක් එක තමයි "අප්පච්චි ඇවිත්" .ඒ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මාණය දිනන්නේ ඒක.අසංධිමිත්තත් ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් විස්ස අතරය එනවා.
ඉතින් ඔන්න ඔහොම තමයි අසංධිමිත්තා ඉපදුනේ.ඒ නවකතාවක් විදියට.
අසංධිමිත්තා කියවගෙන යද්දී මතක් වුනා තවත් ඒ වගේම කතාවක්.ඒ තමයි ඇමරිකානු ලේඛක Stephan Kingගේ "Secret Window,Secret Garden" නම් නවකතාව.මේ නවකතාවත් සිනමාවට නැගෙනවා "Secret Window" නමින් 2004 අවුරුද්දෙදී.සුපිරි නළු ජොනී ඩෙප් තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පනදෙන්නේ.
මේ කතාව පුරාමත් ගලාගෙන යන්නේ එක්තරා ජනප්‍රිය ලේඛකයෙකු වටා ගොඩනැගෙන, ඔහුට මුහුණ දීමට සිදුවන අත්භූත සිදුවීම් මාලාවක් ගැන.ඔහු වටාත් අත්භූත චරිත ගොඩනැගෙනවා.හරියට අසංධිමිත්තා වටේට අර වික්‍රමසේකරල ගොඩනැගුන වගේ.ඒ අවස්ථා දෙකේදීම පොදු ලක්ෂණයක් තමයි අදාල චරිතය ජීවිතයේ යම් පසුබෑවමකට සහ සමාජයෙන් හුදකලාවීමකට භාජනය වී තිබීම.ඒ නිසා තමන්ගේ පෞර්ෂය ගැන ගැටලුවක් ඒ අයටම මතුවෙලා තියෙන එක.ඔන්න ඔය තත්වය උපරිමේටම ගියාම එයාලා ගොඩනගා ගන්නවා එයාලටම වෙන්වුන එයාලගේ මනෝමය ලෝකේ විතරක් ජීවත්වන චරිත කීපයක්.ඔය කතා දෙකම කියවලා බලලා තියේනම් ඒක පැහැදිලිව විග්‍රහකරගන්න පුළුවන්.
ඔය "ආකර්ෂණයේ නීතිය" එහෙම නැත්නම් Law of Attraction කියන සංකල්පයේදිත් භාවිතා කරන්නේ ඔන්න ඔය යටිසිතේ ආශාවනේ.එතනදි නම් අපි කරන්නේ අපිට ඕනෙ දේ අපිවෙත ලඟාකරල දෙන්න අපිවිසින්ම යටිසිත මෙහෙයවන එක.ඒ කියන්නේ අපි කැමතිදේවල් ගැන යටිසිතට පණිවිඩ යවනවා.යටිසිතේ ඒ ගැන ආශාවක් රෝපණය කරනවා.යටිසිත කොහොමත් අපිට ගෙනත් දෙන්නේ එයා ආස දේනේ.ඒ නිසා දැන් ඔන්න අපිට ඕනෙ දේ එයා ගෙනත් දෙනවා.වක්‍රාකාරව අපි අපිට ඕනේ දේ ගෙන්න ගන්නවා යටිසිත මාර්ගයෙන්.ඒක තමයි "ආකර්ෂණයේ නීතිය" කියන්නේ.
හරි දැන් ආයෙ එමු කලින් තැනටම.යටිසිත කියන දේ,ඒ කියන්නේ අපේ ඇතුලාන්තයේ කාටත් නොපෙනී,අවම වශයෙන් අපිටත් හොරා සැඟවිලා තියෙන දේනේ යටිසිත්ස් දෙනව කිව්වේ.ඉතින් ඒ දේවල් ලංකරගන්න බැරිවුනා දුක් වෙනවා,ඇස් වලින් නොවුනත් හිතෙන් අඬනවා.දුකේ උපරිමේට , හැඬීමේ උපරිමේට ගියාම තමා ඕක මානසික රෝගයක් දක්වා වර්ධනය වෙන්නේ.
බුදුවරු , පසේබුදුවරු ඒ වගේම රහතන්වහන්සේලා නම් ඔය යටිසිත කියන අසරුවාව දමනය කරලා නිශේද කරලා තියෙන්නේ.ඒ නිසා එයා සිත කියන අශ්වයාව කුලප්පු කරන්නේ නැහැ.උන්නාන්සේලාට අංශුමාත්‍රයකවත් ආශාවක් ඇතිනොවන්නේ ඒ නිසා.ඒ නිසා උන්නාන්සේලාට දුක්ඛ දෝමනස්ස නැහැ.උමතු වෙන්නේ නැහැ.විදර්ශනා භාවනාවෙන් තමයි ඒ හපන්කම කරන්න පුළුවන් වෙන්නේ.ඒත් ඒ ගැන කතාකරන්න වෙලාවක් නෙමේ මේක.මොකද මූලික පරමාර්යෙන් ඈතට යන්න හොඳනැති නිසා.මූලික පරමාර්තය තමයි අසංධිමිත්තාගේ සයිකොලොජිය ගැන කතාකරන එක.දැක්ක නේද නොදැනීම සිත අපිව වෙන වෙන පාරවල්වල ඇවිද්දවන හැටි...
අසංධිමිත්තාට තියෙන්නේ තමන්ට ජීවිතේ නොලැබුනු දේවල් නිසා වර්ධනය වුන මානසික ගැටලුවක්.එයා අත්භූත චරිත හදාගෙන ඒ චරිත එක්ක අර නොලැබුනු දේ හොයනවා.මෙන්න මේ වගේ ඒවට තමයි මනෝවිද්‍යාවේදී Split Personality එහෙම නැත්නම් Dissociative Identity Disorder කියන්නේ.ඕකටම තමයි Multiple Personality Disorder කියල කියන්නෙත්.අසංධිමිත්තාට තිබ්බේ ඕක.අර කලින් කිව්ව Secret Window කතාවෙත් තියෙන්නේ ඕකමයි.
මේ Personality Disorder කියන ඒවා ප්‍රධාන කුලක එහෙම නැත්නම් පොකුරු ,කාණ්ඩ තුනකට බෙදෙනවා.ඒවා තමයි ;
Cluster A -- Suspicious Disorder
Cluster B -- Emotional Disorder
Cluster C -- Anxious Disorder
Multiple Personality Disorder කියන්නේ ඔය Cluster A එකෙයි B එකෙයි එකතුවක් බොහෝවිට.ඒ කියන්නේ Suspicious එකෙයි Emotional එකෙයි.
මේ කුලක තුනට අයිතිවෙන Disorders වර්ග කීපයක් තියෙනවා.ඒකෙන් Cluster A එකට අයිති වෙන්නේ Pranoid ,Schizoid සහ Schizotypal කියලා.ඔය අතරින් Schizotypal කියන එක ,ඒ කියන්නේ Schizotypal Personality Disorder එක විශේෂයි අපේ මාතෘකාවට.මොකද ඒක තමයි අසංධිමිත්තාට තියෙන්නේ.දුර්වල සාමාජීය කුසලතාවන් එහෙම නැත්නම් දුර්වල සාමාජීය සම්බන්ධතා වගේම විකාරරූපී මවාගැනීම් ඇතිවෙන්නේ මේ තත්වයේදී.හරියටම අසංධිමිත්තාට තිබ්බ වගේ.අර Secret Window කතාවෙත් මේකම වෙන්න ඕන තියෙන්නේ.මොකද ඒ කතාවෙදිත් අදාල තැනැත්තා සමාජයෙන් දුරස්ව හුදෙකලාව තමයි ජීවත් වෙන්නේ.එහෙම ඉන්න අතරේ ඔහු මවපු එක නවකතාවක ලෝකෙක එයා ජීවත් වෙනවා.හරියට අසංධිමිත්තා කතාවේ වගේමයි.අසංධිමිත්තත් ගෙදරට වෙලා තනියම පොත් පත්තර කියව කියව ඉද්දි එයාගේ චරිතෙට සමාන චරිතක් ගැන කතාවක් තිබුන පොතක කතාන්දරය ඇසුරෙන් තමයි එයාගේ මනෝලෝකය ගොඩනගාගන්නේ.කතාවේ අන්දමන්ද ගතිය දැන් පැහැදිලිද...මේ කතාව තේරුම් ගන්න නම් මනෝවිද්‍යාව පැත්තෙන් බලන්න ඕනෙ.ඒක විකාරයක් නොවෙන්නේ එතකොට.
මනෝවිද්‍යාව නවකතා ලෝකෙට සහ සිනමාවට ආපු අවස්තා සෑහෙන ගණනක් තියෙනවා.2010 අවුරුද්දේදී නිර්මාණය වුන හින්දි චිත්‍රපටියක් තියෙනවා Karthik Calling Karthik කියලා.එකේ තියෙන්නේ Schizophrenia නම් මානසික ව්‍යාදියෙන් පෙලෙන තරුණයෙක් ගැන.Schizophrenia කියන්නේ අසාමාන්‍යය හැසිරීම සහ යතාර්තයෙන් ඔබ්බට ගියපු මවාගැනීම් ඇතිකර තත්වයක්.
ඒ වගේම ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ රංගණයෙන් වර්ණවත් වුන 2010 අවුරුද්දේ නිර්මාණය වුන Shutter Island චිත්‍රපටියෙත් කතාකරන්නේ මානසික රෝගියෙක් ගැන.කතාව අවසානයේ ප්‍රේක්ෂකයාව උභතෝකෝටික ප්‍රශ්ණයකට ඇදදමන මේ කතාවේ කියන්නේ Delusional Disorder නම් තත්වය ගැන.කතාවේ ප්‍රධාන චරිතය වුන ඩෙට් නම් නිළදාරියා මවාගත්තු ලෝකෙක ඉන්නේ අන්න ඒ Delusional Disorder එක නිසා.Delusions එහෙම නැත්නම් මායාවන් හොඩනැගීම කියන දේ Schizophrenia ,Paraphrenia, Bipolar Disorder වගේ බෝහෝමයක් මානසික රෝගවල ලක්ෂණයක්.
The Silent patient වගේ නවකතාත් සහ Fight Club , Girl in the Train , Identity වගේ චිත්‍රපටිත් මනෝවිද්‍යාත්මක පදනමක් මත නිර්මාණය කල විශිෂ්ට නිර්මාණ.ඒවා හොයාගෙන රසවිඳින්න.
(විශේෂ ස්‍තුතිය: මනෝවිද්‍යා උපදේශිකා සඳනි යශෝධා මෙනවිය වෙත)
|Letterconik
|13-05-2020
Subscribe to:
Post Comments (Atom)








No comments:
Post a Comment