"අඳුර මැඳින් ආලෝකයට දිදුලන්න ඉඩ දෙන්න."
- ශුද්ධ වූ බයිබලය-
අනාදිමත් කාලයක ඉඳලා අඳුරේ ප්‍රතිවාදියා වුනේ ආලෝකය.නිහැඬියාව , ගුප්තබව , බිය සැක සහ මරණය තේමාවන් අඳුරෙන් පිළිබිඹු වෙද්දි උද්‍යෝගය, සතුය , ප්‍රඤ්ඤාව වගේ තේමාවන් ආලෝකයෙන් පිළිබිඹු වුනා.මිනිස්සුන්ගේ හිත්වල අඳුරට වඩා ලෙන්ගතු කමක් ආලෝකය වෙනුවෙන් ඉතිරිවුනේ ඒ නිසා වෙන්න ඇති.පන්සල් ගියාම අපි පහන් පත්තුකරන්නෙත් ඒකයි.භව අඳුර දුරලා ප්‍රඤ්ඤාව නම් ආලෝකය ලඟාකරමි යන අදිටනින්.ඒත් වර්තමානයේ නම් කට්ටිය පහන් පත්තු කරන්නේ දිව්‍ය සැප ලබන්න හිතාගෙන.නැත්නම් ෆැශන් එකට.ඒ දෙකෙන් කෝක වුනත් ලෞකික ඇලීම ඇතිවෙනවා.ප්‍රඤ්ඤාවෙන් ඈතට යනවා.නිවන ගිලිහෙනවා.ඉතින් ඒ විදියට බැලුවාම ආලෝකයට , අර ප්‍රඤ්ඤාවේ සංකේතයට පුළුවන් අපිව ප්‍රඤ්ඤාවෙන් ඈතට අරන් යන්න.ඒකත් හරියට දේශපාලනේ වගේමයි.රට සුඛිත මුදිත කරන්න මිනිස්සු බලේ දෙනවා.බලයට ආපු එයාලම සුඛිත මුදිත භාවය මිනිස්සුන්ගෙන් ඈතට අරන් යනවා.ඒ මිනිස්සු රැවටෙන නිසා.දැන දැනම රැවටෙන නිසා.දිව්‍ය ලෝකෙ යන්න පහන් පත්තු කරන්නේ සිද්ධාර්ථ බෝසතනාන් නිවන අවබෝධ කරගත්තේ සත්දිනකින් උදාවීමට තිබුන සක්විති සැපත අළුයම බිමහෙලූ කෙලපිඬක් වගේ අත්හැරල කියා නොදැන නෙමේ.නිවන් මග දැනගෙන මිත්‍යාවේ එල්ලෙන ඒ වගේ උදවිය ,කියන්නෙ බොරු කියල දැනදැනම දේශපාලකයන්ට රැවටෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
ඒ කතා කොහොම වුනත් අඳුරට ආලෝකයෙන් තොර පැවැත්මක් නැහැ.ආලෝකයක් නැතිතැන අඳුරෙන් පලක් නැහැ.ඒ දෙන්න හරියට එකම කාසියේ දෙපැත්ත වගේ.ඔය එක එක තරඟ පටන් ගද්දී නැත්නම් වාසනවා උරගා බලද්දී අපි කාසි උඩදානවා නේද.එතකොට එක්කො නෝන වැටෙනවා.නැත්නම් පොල්ල වැටෙනවා.හෙඩ් ඇන්ඩ් ටේල් කියලනේ ඉංග්‍රීසියෙන් කියන්නේ.ඔයි දෙකෙන් කෝක වුනත් විශේෂ වෙන්නේ අනික් එක පවතින නිසා.අඳිරේදී ආලෝකයත්,ආලෝකයේදී අඳුරත් පවතින්නේ අන්න ඒවගේ එනිනෙකාගේ පැවැත්ම මත අනිකාගේ විශේෂත්වය ස්මතුවෙන නිසා.
මිනිස්සුන්ගෙ ජීවිතත් අඳුරෙයි ආලෝකයෙයි දෙකේම ගිලිල තියෙනවා.ඒක සමානව නොවෙන්න පුළුවන්.අඩුවැඩි වශයෙන් ආලෝකයත් ,අඳුරත් ජීවිතය මත බලය විහිඳුවලා තියෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් අඳුරේ පැවැත්ම නිසාම තමයි ජීවිතයේ ආලෝකයේ පැවැත්ම දැනෙන්න ගන්නේ.ඒ තියරියමයි අඳුරටත්.හිතන්න තමන්ට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කොහොමද කියලවත් දන්නෙනැති ඉතාම ධනවත් විදියට ඉපදුන කෙනෙක්ට සැප සම්පත් යාන වාහන මහපුදුම දේවල් නෙමේ.ඒවා තමයි එයාගේ සාමාන්‍යය ජීවිතේ.මේ ලෝකේ හැමෝම එහෙම අය නම් එයා ධනවත් කෙනෙක් නෙමෙයි.එයත් බිලියන ගානක් අතරින් සාමාන්‍යය එක්කෙනෙක්.ලෝකයා දුගී බව ,පීඩිත බව , බඩගින්න ,දුක වගේ මාතෘකා කියවලා තියෙන නිසා තමයි අරයගේ ධනය කැපී පේන්නේ.ලෝකයම දුගීවුනත් කතාව ඒ වගේමයි.සිල්වත් බව ,දුසිල්වත් බව , ආදරය , සතුට වගේ මේ හැම දේකදිමත් ඒක එහෙම්මයි.ආදරය කරන දෙන්නෙක් අතර මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වුනාම ,දෙන්නා ටික දවසක් කතාබහ නොකර හිටියාම, දෙන්නාට දෙන්නා මතක් වෙද්දී ,දෙන්නට දෙන්නා නැතුව බෑ වගේ තේරෙද්දී ආදරේ අගය දැනෙන්න ගන්නවා.අන්න දැක්කද.අඳුර ඕනේ ආලෝකයේ වටිනාකම දැනෙන්න.
උදේට ඉරපායද්දි ඉර එලිය එක්ක ලැබෙන අනෙක් දායාදය තමයි හෙවණැල්ල.ඒ කියන්නේ අඳුර.මොකද සොභාදහම දන්නවා නිතිය.සොභාදහම් මාතාව අඳුරයි ආලෝකයයි වෙන් නොකරන්නේ ඒ නිසා.ඒ දෙකෙන් එකකටවත් ස්වාධීනව පැවැත්මක් නැහැ.
ශිෂ්ටාචාරය ක්‍රමයෙන් ගොඩනැගෙද්දී දැනුමත් ක්‍රමයෙන් වර්ධනය වුනා."දැනුම තමයි බලය",ලෝක ප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ පීටර් බේලිශ් කියන්නේ එහෙම.බලය සංකීර්ණ වෙද්දී අරගල ඇතිවුනා.අරගල නිසා යුද්ධ ඇතිවුනා.යුද්ධනිසා විනාශයන් ඇතිවුනා.ඔන්න දැනුම කියන ආලෝකයෙන් යුද්ධය සහ විනාශය කියන අඳුර ඇතිවුනා.හැබැයි යුද්ධ නිසා නව දැනුම ගලාගෙන ආවා.අලුත් සංකල්ප ඇතිවුනා.එක දැනුම් පද්ධතියකට කොටුවෙලා හිටපු මිනිසා තවත් දැනුම් පද්ධතියක කොටුවෙලා හිටපු පිරිසක් එක්ක යුද්ධ කරා.එකිනෙකට වෙනස් පද්ධතීන් දෙකක් එකිනෙක ගැටුනා.දැනුම හුවමාරු වුනා.සංස්කෘතීන් හුවමාරු වුනා.අලුත් යුද්ධ උපක්‍රම ඇතිවුනා.ඒවගෙන් අලුත් තාක්ෂණය බිහිවුනා.සන්නිවේදනය , ගමනාගමනය , වෛද්‍ය විද්‍යාව,සමාජ විද්‍යාව,දේශපාලනය,නීතිය වගේ බොහොමයක් ක්ෂේත්‍ර පුනරුදයකට ලක්වුනා.ඒවා මිනිස් වර්ගයාගේ යහපත උදෙසා නැවතත් යෙදවුනා.අන්න අඳුරෙන් ආයෙම ආලෝකය උදාවුනා.
සදාකාලිකවම සාමයෙන් ජීවත් වල ලෝකයක් යුද්ධවල බිහිසුනු බව දන්නෑ.සදාකාලිකවම යුද්ධවලින් බැටකන ලෝකයක් සාමයේ සුමිහිරි වින්දනය දන්නැහැ.ලෝකයා යුධමය කාලයක් පහුකරන්නම ඕනේ සාමයේ අගය තේරුම් ගන්න.හරියට දෙවන ලෝක සංග්‍රාම අවසන් වුනාට පස්සේ ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වුනා වගේ.
ජීවිතය අඳුර එක්ක හාදවෙලා වගේනම් ඒ හාදකමේ ප්‍රතිපලය ආලෝකය වන්නටත් පුළුවන්.ලෝකයාට දීප්තිමත්ම මතක එකතුවුනේ ඉතිහාසයේ අඳුරුතම යුගයන් වලදී.ලෝකේ දිනපු හැමෝම වගේ ජයග්‍රහනයේ ආලෝකය දල්වගන්නේ අඳුර මැදින් දීර්ග සක්මනක යෙදුනට පස්සේ.ලෝකෙ පුරා අලෙවි වාර්තා තියපු හැරීපොටර් නවකතාමාලාව ලියපු ජේ.කේ.රෝලිං කියන්නෙත් එහෙම අඳුරු සක්මනකින් පස්සෙ ආලෝකය හොයාගත්තු කෙනෙක්.ලොව වටිනාම තාක්ෂනික සමාගම වන ඇපල් සමාගම නිර්මාණය කරපු ස්ටීව් ජොබ්ස් කියන්නෙත් එහෙම කෙනෙක්, ලෝකයේ දෙවනියට වැඩිම වත්කමක් ඇති රංගන ශිල්පියාවන ඉංදීය සුපිරි නළු ශාරුක් ඛාන් කියන්නෙ තවත් උදාහරණයක්, ඒවගේම ලෝකේ එකොළොස් වෙනියට ධනවත්ම තැනැත්තා ආසියාවේ අංක එකේ ධනවතා මුකේශ් අම්බානි කියන්නෙත් එහෙම කෙනෙක්.
බඩගින්නෙ ඉන්න මිනිසා කෑමක් හොයන්නා වාගේ අඳුරේ සැරිසැරූවන් තමයි ආලෝක දඩයමට දක්ෂම.ඉතින් අද අඳුරෙනම් හෙට ආලෝකය නිශ්චිතයි.හැබැයි ආලෝකය දල්වනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕන අපිමයි.
|Letterconik | LifeNote: 03
|06-05-2020
No comments:
Post a Comment