Sunday, May 3, 2020

චායාරූපයක කතාවක්


සෙබල ඇඳුමට යටින් ගැහෙන දයාන්විත හදවත්.!!

මිත්‍ර පාර්ශවීය සේනාවන් සතර දිගින් ජර්මනිය ආක්‍රමණය කර නාසි හමුදා පරාජය කරලා දෙවන ලෝක යුද්ධය අවසාන කරා.ඊට පස්සේ බටහිරින් පැමිණි ඇමරිකානු , ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය සේනාංකත් , නැගෙනහිරින් පැමිණි රුසියානු සේනාංකත් තම තමන් විසින් අත්පත් කරගත් ජර්මනු භූමි බාගයන් තමන් විසින්ම පාලනය කිරීමට එකඟතාවකට පිවිසුනා.ඒ 1945 ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වුනු පෝස්ට්ඩෑම් සම්මේලනයෙන්.

පස්සෙ කාලෙක ලෝක බල අරගලය වඩ වඩාත් තීව්‍ර වෙද්දී බටහිර ජර්මානු ප්‍රදේශ පාලනය කල ඇමරිකාව , ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යන බටහිර රටවල් තුන තම තමන් පාලනය කල ප්‍රදේශයන් එකතුකරලා "ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුව" හෙවත් බටහිර ජර්මනියත් , නැගෙනහිර රුසියානු පාලන ප්‍රදේශය "ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව" හෙවත් නැගෙනහිර ජර්මනිය විදියටත් කොටස් දෙකකට වෙන් වෙනවා.

මුල් කාලයේදී මේ බටහිර සහ නැගෙනහිර ජර්මනිය අතර මිනිස්සුන්ට ගමනා ගමනය කරන්න අවස්තාව ලැබෙනවා.

1961 අගෝස්තු මාසයේ දවසක නැගෙනහිර  ජර්මනියේ ජීවත් වුන එක්තරා පියෙක් ඔහුගේ පුංචි පුතා එක්ක බටහිර ජර්මනියේ විසූ තමන්ගේ ඥාතීන් පිරිසක් දැකබලා ගැනීමේ අරමුනින් නැගෙනහිර ජර්මනියේ ඉඳලා බටහිර ජර්මනියට නෑගමනක් යනවා.මේ පිය පුතු දෙදෙනා තමන්ගේ ඥාතීන් සමග සතුටෙන් කාලය ගත කරමින් ඉන්නා එක් රැයක, එනම් හරියටම 1961 අගෝස්තු මාසේ 12 වෙනිදා හිරු බැසගොස් පසුදින හිරු උදාවන තෙක් අතර මැද ගෙවීගිය රාත්‍රියේදී නැගෙනහිර ජර්මානු බලධාරීන් විසින් බටහිර හා නැගෙනහිර ජර්මානු බල ප්‍රදේශ වෙන් කරන සීමාව කටු කම්බි යොදා නිමකල දේශ සීමාවකින් නිළවශයෙන් රටවල් දෙකක් විදියට වෙන් කරනවා.

කම්බි වැට ඇමිනූ මොහොතේ ඉඳලා මතු උදාවන කිසිම මොහොතකදී මේ දේශ සීමාව හරයා කිසිවෙකුටවත් මේ පැත්තෙ ඉඳලා ඒ පැත්තටත්,ඒ පැත්තෙ ඉඳලා මේ පැත්තටත්  ගමන් කිරීම සපුරා තහනම් වුනා.රැකියා කටයිතු සඳහා , ව්‍යාපාර කටයුතු සඳහා මෙන්ම නෑදෑගමන් වගේ මෙකී නොකී ඕනෑම හේතුවක් නිසා එක් ප්‍රදේශයකින් අනෙක් ප්‍රදේශයට ගිය බාල මහළු තරුණ ඕනෑම කෙනෙක් එක් රැයකින් බෙදුනු රටවල් දෙකක තමන්ගේ පවුලේ අයගෙන්, තමන්ගේ ආදරණීයන්ගෙන් ඈත්ව සදාකාලිකවම හුදෙකලා වුනා.

පසුදා උදෑසන අවදිවූ දෑසින් උදාවී තිබුන වෙනස්ම ලෝකය දැකගත් අර මුලින් කිව්ව තාත්තා තමා හා දරුවා එක් පසෙකත් , තම ආදරණීය බිරිඳ අනෙක් පසත් වන ලෙස රාජ්‍යයන් දෙකක් වෙන්කල කම්බිවැටකින් සදාකාලිකව වෙන් වෙලා ඇති බව වටහාගන්නවා.
තම දරුවා තමන්ගේ බිරිඳ සමග හැදී වැඩිය යුතුයැයිද, තමා නැති අඩුව පුරවමින් තම බිරිඳට ආදරය සහ රැකවරණය සැලසිය යුතුයැයිද වහාම තීරණය කල මේ පියාණන්, පියෙකුට ඒ වෙලාවේදී ගන්න පුළුවන් වෙදනාබරම නමුත් පරිත්‍යාගශීලීම තීරණය ගන්නවා.තමන් මේ බටහිර ජර්මනියේ තනිවී ඇතිබවත් ,තම මෑණියන් හා එක්වීමට අනෙක්පසට එනම් නැගෙනහිර ජර්මනියට යාමට අවස්තාව දෙන ලෙසත් කම්බිවැට අසල මුර සේවයේ යෙදෙන තරුණ සෙබලාට ආයාචනා කරන මෙන් තම පුත්‍රයාට උපදෙස් දුන් මේ පියානන් පුත්‍රයා ඒ කාර්යය සඳහා පිටත් කර පසෙකට වී සඟවී බලා සිටිනවා.

දේශසීමාව වුන කම්බිවැට බලාගිය දරුවා එතැන කම්බිවැටට අනෙක්පස සිටි නැගෙනහිර ජර්මානු සෙබලාට තමාට අනෙක් පසට යාමට උපකාර කරන මෙන් ඉල්ලා හඬාවැටෙනවා.
ඇතැම්විට ඒ තරුණ සෙබලාත් පියෙක් වන්නට ඇති.දරුවාගේ දෑසේ වූ වේදනාව වටහාගත් ඔහු තමන්ගේ ජීවිතය ලංසුවට තබා බටහිර ජර්මානු බල ප්‍රදේශයේ සිටි දරුවා ඔසවා කම්බිවැටෙන් මෙහා පැත්තට එනම් තමන් සිටි නැගෙනහිර ජර්මානු බල ප්‍රදේශයට ගන්නවා.එසේ හොරැසින් දරුවා දේශසීමා හරහා මාරුකරන මොහෙතෙදී අහම්බෙන් කැමරා කාචයේ සටහන් වූ චායාරූපයක් තමා මේ තියෙන්නේ.වර්තමානයේ මේ චායාරූපයයත් එහි පසුබිම් කතාවත් එක්කම බර්ලින් තාප්පයේ අනුස්මරණ කෞතුකාගාරයක් වෙන "චෙක්පොයින්ට් චාලි" නම් පෞද්ගලික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

අදාල සෙබලා විසින් සිදුකරන මේ මානුශීය නමුත් නීති විරෝධී ක්‍රියාදාමය අවාසනාවකට වාගේ ඔහුගේ ඉහළ නිළධාරියාගේ නෙත ගැටෙනවා.සෘජුවම ඉහළින් එන දැඩි නියෝගය පසෙකලා සිදුකල මේ ක්‍රියාවට දඬුවම විදියට දේශද්‍රෝහී ලේබලය යටතේ මරණ දඬුවමට ලක්වීමට ඉඩ තිබුනත් කල උතුම් ක්‍රියාවට දෙවියන් වහන්සේගේ කෘතගුණ දැක්වීමක් ලෙස නොසිතූ විදියට සොල්දාදුවාගේ දඬුවම ලිහිල් වෙනවා.දඬුවම විදියට ඔහුව ඔහු සේවය කල හමුදා ඒකකයෙන් ඉවත් කරනවා.ඉන් පසුව ඔහුට සිදුවූ දෙයක් හෝ ඔහුගෙන් උපකාර ලද දරුවාට සිදුවූ දෙයක් හෝ පිළිබඳ කිසිම වාර්තාවක් නැහැ.

ඒ වුනත් නැගෙනහිර ජර්මානු සෙබලාගේ උරහිසට ඉහලින් වටපිට බැලෙන , සැලෙන , ව්‍යාකූල මෙන්ම බිය සැක සහ චකිතය පිරී ඉතිරී යන ඔහුගේ දෙනෙතින් නිළ ඇඳුමට යටින් ගැහෙන ඔහුගේ හදවතේ වූ දයාන්විත බව සහ ආදරය පැහැදිලිවම පිළිබිඹු වෙනවා...

මේ චායාරූපයෙන් රයිෆලයක් ඔසවාගත් ඒ අඥාත සොල්දාදුවා සහ ඔහුගේ ක්‍රියාව අමරණීයත්වයට පත්කරනවා.

ඒ වගේම මේකෙන් තවත් පාඩමක් ලෝකයාට කියාදෙනවා.ඒ බල අරගලයන්ගේ ප්‍රතිවිපාක කඳුළු සහ වේදනාබර මතකයන් වේශයෙන් ඉතිහාසය පුරාවටම අහිංසක සාමාන්‍ය ජනයා තෙරපමින් සිටින බවයි.

|Letterconik
|03-05-2020


No comments:

Post a Comment