Wednesday, April 29, 2020

ජීවිතය නම් සිනමාවෙන් සමුගත් ඛාන්වරයා.❤🙏


ඉන්දීය සිනමාවේ ප්‍රභල "ඛාන්" සන්නාමයන් අතරින් කැපී පෙනෙන ආකර්ෂණීය පෞර්ෂයක් ගොඩනගාගෙන සිටි ඛාන්වරයෙක් දිවිගමනින් සමුගත්තා.ඔහු බොලිවුඩයේ රාමුවට පමණක් කොටු නොවී හොලිවුඩයටද පා තැබූ අයෙක්.විටෙක බොළඳ විටෙක වීර ප්‍රේමවන්‍තයාගේ චරිතය වෙනුවට වඩා ගැඹුරු වගේම කැපීපෙනන පෞර්ශයෙන් යුතු චරිත නිරූපණය කිරීමේ රංගන විභයක් දරාසිරි ඔහු නමින් ඉර්ෆාන් ඛාන්.

ධනවත් ව්‍යාපාරිකයෙකු වුන යාසීන් අලී ඛාන්ටත් ඔහුගේ බිරිඳ වුන සයීඩා බේගම් ඛාන්ටත් දාව 1967 ජනවාරි මාසේ හත්වෙනිදා රාජස්ථානයේ ජායිපූර්හි ගම්මානයකදී "ශහබ්සාද් ඉර්ෆාන් අලී ඛාන්" උපත ලැබුවා.

තමන් සතුව තිබූ ක්‍රිකට් දක්ෂතාව නිසා මතුයම් දිනක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ ආසාවක කුඩා ඉර්ෆාන් ගිලී සිටියත් වයසින් මුහුකුරායත්ම ක්‍රමයෙන් රංගනය උදෙසා  ඔහුගේ දෛවයේ ලියවී තිබුන ආසාව ඉස්මතු වෙන්නට වුනා.1984දී තරුණ ඉර්ෆාන්ට නවදිල්ලියේ පිහිටි ජාතික නාට්‍ය පාසලෙන් ශිෂ්‍යත්වයක් පිරිණැමෙනවා.ව්‍යාපාර බාරදීමේ පියාතුල තිබුන බලාපොරොත්තු කඩ කරමින් ඉර්ෆාන් තමන් උපන් ගම වුන ජායිපූර්හිදී හදාරමි තිබූ ශාස්ත්‍ර්වේදී උපාධිය නිම කල වහාම නවදිල්ලියට ඇවිත් තමා ලද ශිෂ්‍යත්වයට අනුව ජාතික නාට්‍ය පාසලේ රංගනය හදාරණවා.

1988දී නාට්‍ය පාසලේ අධ්‍යාපන අවසන් කල ඉර්ෆාන්ට , මීරා නායිර් අධ්‍යක්ෂකවරිය යටතේ ඇයගේ "සලාම් බොම්බේ" චිත්‍රපටියේ සුළු චරිතයක් රඟදක්වන්න අවස්තාවක් ලැබෙනවා.ඒත් අවාසනාවට චිත්‍රපටි සංස්කරණයේදී ඉර්ෆාන්ගේ චරිතය මීරා නායිර් විසින් ඉවත් කරනවා.බලාපොරොත්තු කඩවීමෙන් නොනැවතුනු ඉර්ෆාන් රූපවාහිනී මාලා නාටක වෙත අවධානය යොමු කරනවා.

"චානක්‍ය" , "භාරත් ඒක් කෝජ්" , "චන්ද්‍රකාන්ත්" , "ශ්‍රීකාන්ත්" ආදී රූපවාහිනී මාලා නාටක ‍රැසක චරිත නිරූපණය කරන්න ඉර්ෆාන්ට අවස්තාව ලැබුනත් ඒ බොහොමයක් සඳහා ඔහුට ගෙවීමක් ලැබෙන්නේ නැහැ.ඉර්ෆාන්ගේ රංගන හැකියාව මදි බවත් , ලස්සන මදි බවත් එබැවින් මුදල් ගෙවිය නොහැකි බවත් ඉර්ෆාම්ගේ මූනටම පැවසූ ඇතැම් නිශ්පාදකවරු ඔහුට මුදල් දීම ප්‍රතික්ෂේප කරනවා.

1990 ඉඳලා අසාර්තක සිනමාපට කීපයකට සිය රංගනයෙන් ඉර්ෆාන් දායක වුනත් ඒවා චිත්‍රපටියන්ගේ අසාර්තක භාවය නිසා ඉර්ෆාන්ට කැපීපෙනෙන නළුවෙක් විදියට වර්ධනය වෙන්න බැරිවෙනවා.

මේ අතරේ බ්‍රිතාන්‍ය ජාතික "අසීෆ් කපාඩියා" නම් අධ්‍යක්ෂකවරයා ඓතිහාසික කතාපුවතක් රැගත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව එනවා.නමුත් ඒ වනවිට ඉන්දියාවේ නම් දරාගෙන හිටපු සුපිරි යැයි පිළිගැනුන නළුවෙක්ට ගෙවීට තරම් හැකියාවක් අධ්‍යක්ෂක අසීෆ්ට තිබුනේ නැහැ.ඒ නිසා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා ඒ වනවිට එතරම් කීරිති නාමයක් දිනා නොසිටි  නමුත් දක්ෂ රංගන හැකියාවක් තිබූ ඉර්ෆාන්ව තෝරාගැනෙනවා.
ඉර්ෆාන්ට හම්බුම මේ අවස්තාව තමයි එයාගේ ජීවිතය උඩුයටිකුරු කරන සිදුවීම වුනේ.පුරා සති එකොළහක් රාජස්තානයේ සහ හිමාචල් ප්‍රදේශයේ රූගත කෙරුනු "The Worrior" නම් එම චිත්‍රපටිය 2001දී ප්‍රදර්ශනය ආරම්භ කරනවා.මේ චිත්‍රපටිය ලෝකෙ පුරා කතාබහට ලක් වෙමින් සිනමා සම්මාන රාත්‍රීන් වර්ණවත් කරන්න දායක වුනු චිත්‍රපටියක් වෙනවා.එහි සාර්තකත්වයක් එක්කම අර්ෆාන්ගේ නමත් වැඩි දෙනා අතර කතාබහට ලක්වෙනවා.ඉර්ෆාන්ගේ ජනප්‍රිය නළු ගමනේ පළමු පිම්ම වෙන්නේ ඒක.

කරන් ජොහාර්ගේ හා ආදිත්‍ය චොප්රාගේ නිශ්පාදින දායකත්වයෙන් 2003 දී නිර්මාණයවූ  වුන "හාසිල්" චිත්‍රපටියේ දුශ්ටයගේ චරිතයට පනපෙවූ ඉර්ෆාන්ට ඒ සඳහා හොඳම දුශ්ටයාගේ චරිතය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර්(Filmfare) සම්මානය හිමිවෙනවා.

ඒ වගේම මුම්බායි නගරයේ ජීවත් වූ නවදෙනෙකුගේ චරිත වටා ගැතුනු කතාවක් රැගත් 2007 වසරේ නිර්මාණය වුනු අනුරාග් බාසුගේ "Life in a Metro" චිත්‍රපටිය ඉර්ෆාන්ගේ රංගන ජීවිතයේ තවත් එක් සංධිස්ථානයක්.ලොව පුරා විචාරක පැසසුමට  ලක්වුන මෙන්ම සම්මාන රැසකින් පිදුම් ලද මේ චිත්‍රපටියේ දැක්වූ රංගන කුසලතාව උදෙසා හොඳම සහය නළුවාට හිමි Filmfare සම්මානය දිනාගන්න ඉර්ෆාන් සමත්වෙනවා.

2007 අවුරුද්දෙදීම මීරා නායිර්ගේ "Namesake" චිත්‍රපටියේ ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් සහභාගී වෙන්නට ඉර්ෆාන්ට වාසනාව උදාවෙනවා.මීරා නායිර් කියන්නේ ඉර්ෆාන්ගේ මුල්ම චිත්‍රපටි චරිතය කපාදැමූ අධ්‍යක්ෂකවරියයි.

2008දී ඉර්ෆාන් රංගනයෙන් සහභාගි වුන Slumdog Millionaire චිත්‍රපටිය හොඳම චිත්‍රපටිය විදියට ඔස්කා සම්මානය දිනනවා.

2009 අවුරුද්දේදී ප්‍රධාන නළුවා ලෙසින් ඉර්ෆාන් සහභාගී වුන "Billu Barbar" චිත්‍රපටියේදී එම චිත්‍රපටියේම රඟපෑ ශාරුක් ඛාන්ගේ රංගනයද අභිබවා යන තරම් ප්‍රබල රංගන නිපුණතාවක් පෙන්වන්නට ඔහුට හැකිවෙනවා.

2011 අවුරුද්දෙදී ප්‍රධාන චරිතය රඟපාපු "Paan Singh Tomar" චිත්‍රපටියේ දැක්වූ රංගන කුසලතාව වෙනුවෙන් හොඳම නළුවා ලෙසින් Filmfare සම්මානය දිනාගන්නට ඉර්ෆාන්ට හැකිවුනා.

ඒ වගේම 2017දී "Hindi Medium" චිත්‍රපටියේ ප්‍රධන නළුවා ලෙසින් රංගනයෙන් දායක වෙමින් ඒ වසෙරේද හොඳම නළුවා ලෙසින් Filmfare සම්මානය දිනා ගන්නට ඉර්ෆාන්ට හැකිවුනා.

බොලිවුඩයේ සීමාව අතික්‍රමණය කර හොලිවුඩයටද පා තැබූ නළුවෙක් තමයි ඉර්ෆාන් කියන්නේ.ඉන්දීය රංගන ශිල්පීන් අතරින් වඩාත් සාර්තක ලෙසම හොලිවුඩයට අවතීර්ණ වූ රංගන ශිල්පියා වන්නේ ඉර්ෆාන් ඛාන්.

2007දී නිර්මාණ වුන හොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ ඇන්ජලීනා ජොලීගේද රංගනයෙන් දායක වූ "A Mighty Heart" චිත්‍රපටිය, 2012 දී "Amazing Spider Man" සහ "Life of Pi" , 2015 දී "Jurassic World" , 2016දී "Inferno" සහ 2018දී "The Puzzle" වැනි ඉංග්‍රීසි චිත්‍රපටි සඳහා තමන්ගේ රංගන දායකත්වය සපයන්න ඉර්ෆාන්ට හැකිවුනා.

තමන්ගේ රංගන පෞර්ශය වෙනුවෙන් Filmfare සම්මාන 4ක් IIFA සම්මාන 2ක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍රවූ ඉර්ෆාන් ඛාන් 2011දී සිවිල් පුරවැසියෙකුට ලබාගත හැකි ඉහළම සම්මානයක් වෙන "පද්ම ශ්‍රී" සම්මානයෙන් පිදුම් ලබනවා.

කැමරාව ඉදිරිපිටදී වචන වලට වඩා ඉර්ෆාන් ඛාන්ගේ ඇස් කතා බව විචාරකයන් පවසනවා.

ඒ වගේම ඔස්කාර් සම්මාන ලාබී Slumdog Millionaire චිත්‍රපටියේ අධ්‍යක්ෂනයා වූ ඩැනී බොයිල්ට අනුව චරිත නිරූපණ හැකියාව අතින් ඉර්ෆාන් ඛාන් අති විශිෂ්ටයෙක්.චිත්‍රපටියේදී ඔහුගේ රඟපෑම සුළු චරිතයකට සීමා වුනත් චිත්‍රපටිය ඔස්කා සම්මානය දිනා ගැනීමට ඔහුගේ දක්ෂතා ප්‍රබල බලපෑමක් සිදු කලබව ඩැනී බොයිල් පවසනව.

"පරීක්ෂණයට භාජනය නොවන තාක්කල් තමන් සතු ශක්තිය කොතෙක්දැයි යමෙක් වටහා නොගනීවි" යන Life of Pi චිත්‍රපටියේදී ඉර්ෆාන් විසින් පවසන වැකිය සනාත කරමින් දෛවයේ පරීක්ෂණයට භාජනය වූ අයෙක් තමයි ඉර්ෆාන් කියන්නේ.
ඔහුගේ සාර්තකත්වයට හේතුවූ කරුණු වුනේ ඔහු සතුව තිබුන කැපවීම සහ නොපසුබස්නා උත්සාහයයි.තමන්ගේ මුල්ම චිත්‍රපටිය වුන "සලාම් බොම්බෙ"හි තමන්ගේ චරිතය කපා දැමුණු පසු සිනමාව ගැන කලකිරී සියල්ල අත්හැර දමා පියාගේ ව්‍යාපාරය බාරගැනීමට ගමරට බලා ගියේ නම් ඉර්ෆාන් ඛාන් නම් නාමය අද ලෝකයේ බිලියන ගණනක් නම් අතරින් එකක් පමණයි.
ඔහුගේ බිරිඳට අනුව පාන්දර තුන වෙනකම්ම පොත්පත් කියවන , ලෝකයේ හොඳම තිරපිටපත් කියවන ඉර්ෆාන් ඛාන් ඒවාගෙන් ලබාගන්නා දැනුම අනුව තමන්ගේ චරිත ගොඩනගා ගන්නා ආකාරයත් චරිත දියුණු කරගන්නා ආකාරයත් වෙනම සටහන් කරගන්නා අයෙක්.ඒ අනුව සාර්තකත්වය හඹායන්නෙක්.එසේ ඔහු ලබාගත් සාර්තකත්වය ගැන අවබෝදයක් Lunchbox , Piku , Hindi Medium වගේ චිත්‍රපටි වල ඔහුගේ අද්විතීය රංගනයන් දෙසබලා ලබාගන්න පුළුවන්.

මුදල් නොමැති කමෙන් 1993 තිරගතවූ පළමු ජුරාසික් පාක් චිත්‍රපටිය නැරඹීමට ප්‍රවේශපතක් මිලදී ගැනීමට නොහැකිව දුක්වුන ඉර්ෆාන් 2015දී නිර්මාණය වුන ජුරාසික් පාක් චිත්‍රපටි මාලාවෙම චිත්‍රපටියක් වූ  ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියේ රංගන ශිල්පියෙක් වීමම ඔහුගේ සාර්තකත්වය ගැන ඉතාම විශිෂ්ට ඉඟියක්................!!

" අවසානයේදී, අපගේ මුළු ජීවිතයම වෙන්ව යාමේ ක්‍රියාදාමයක් බවට පත්වෙනවා..නමුත් කණගාටුවට කරුණ නම් සුභ ගමන් යැයි පැවසීමට වෙලාවක් වෙන් නොකිරීමයි..."

         -- ඉර්ෆාන් ඛාන් | Life of Pi චිත්‍රපටිය --

අකාලයේ දිවිමගෙන් සමුගත් විශිෂ්ට රංගන ශිල්පියානෙනි...ඔබට සුභ ගමන් !!
#RIP_IrfanKhan_TheLegend.!!!

..................................................................
|Letterconik
|29-04-2020

No comments:

Post a Comment