" යුගයෙන් යුගය නිම්නාද වන අතීත ඇමතුමක් මගින් මිනිසුන්ගේ ජීවිත ,කාලය ඔස්සේ එකිනෙක හා යාවී පවතී......."
මේ "ප්‍රින්ස් ඔෆ් පර්සියා"(Prince of Persia) චිත්රපයේ එන කියමනක්.පර්සියාව පැත්තෙන් කතාව පටන් ගත්තත් මේ කියන්න යන කතාව මධ්‍යගතව විහිදෙන්නේ අතීත මොංගෝලියාවේ ඉඳලයි.
පරම්පරාවෙන් පරම්පරාවට අපේ ප්‍රවේණික තොරතුරු ජාන මගින් ගලායන බව බොහොමයක් අය දන්නා කරුණක්.මිනිස් කළලය මිහිමත රෝපණය වූ මොහොතේ ඉඳල අතීතය ඔස්සේ වර්තමානයටත්, වර්තමානයෙන් අනාගතයටත් සත්වයින්ගේ ප්‍රවේණික තොරතුරු ජාන ඔස්සේ ගලාගෙන යන්නේ අර මුලින්ම කියපු කියමනේ සඳහන් වෙන ,මිනිස් ජීවිත එකිනෙක යාකරන්න කාලය ඔස්සේ එන අතීත ඇමතුම වගෙ.
එකම පවුලේ අයව එහෙම නැත්නම් එකම පරම්පරාවකින් පැවත එන අයව හොයාගන්න මේ ජාන සැකසුම් උදව් කරගන්න පුළුවන්.
ඒ වගේ හොයාගෙන ගියපු ගමනක අවසානයේ මේ ලෝකේ සෑම 200 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් අතීතයේ ජීවත් වුන එක් සුවිශේෂී පුද්ගලයෙක්ගෙන් පැවත එනව කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද...?
පුළුවන් වුනත් බැරිවුනත් ඒක එහෙමයි.
ජාන විද්යාඥයයෙකු වූ "ක්‍රිස් ටේලර් ස්මිත්"ගේ නායකත්වයෙන් 2003 අවුරුද්දෙදී මධ්‍ය ආසියාතික රාජ්‍යන්හි ජීවත් වන ජනතාවගේ ජාන විකාශනය ගැන හරි අපූරු සමීක්ෂණයක් කරනවා.මධ්‍ය ආසියාතික කලාපයේ ඉන්න එකිනෙකට වෙනස් ජනවර්ග 16ක මිනිස්සුන්ගේ ජාන සාම්පල පරීක්ෂා කරල සිදු කරපු මේ සමීක්ෂණයේදී පුදුම සහගත වගේම වඩාත් කුතුහලය දනවන සුළු සොයාගැනීමක් කරන්න මේ පරීක්ෂණය කණ්ඩායමට හැකියාව ලැබෙනවා.
ඒ තමයි මොංගෝලියානු වැසියන්ගෙන් 38%කත් , අතීත මොංගෝලියානු අධිරාජ්‍යයට යටත් වෙලා තිබ්බ රුසියාව , කසකස්තානය , කිර්ගිස්තානය වගේ මධ්‍ය ආසියාතික රටවල වැසියන්ගෙන් 8%කත් අතරේ පොදු Y chromosomeයක් තියෙනවා කියලා හොයාගන්නවා.ඒවගේම මොංගෝලියානු අධිරාජ්‍යයට අයිති නැතිවුනත් පකිස්තානයෙනුත් මීට සමාන ජාන හොයාගෙන තියෙනවා.
Y chromosome කියන්නේ පියාගෙන් පුතාට උරුම වෙන දෙයක්.දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරන්නෙත් මේකමයි.
ඉතින් මේ පොදු Y chromosomeය මේතරම් ජනතාවක් අතරේ මේතරම් විශාල ප්‍රදේශයක විසිරිලා තියෙන්නේ කොහොමද කියන එක හොයන්න අදාල පරීක්ෂණ කණ්ඩායම වෙහෙසුනා.
ඒ අනුව අදාල Y chromosomeයේ ප්රකාශනය ඔස්සේ අතීතයට ගියාම මේ ඔක්කොම අය ඒ කියන්නේ අර පොදු Y chromosomeය එන්නේ මීට අවුරුදු 1000ක කලින් හිටිය කෙනෙක්ගෙන් කියලා හොයාගෙන තියෙනවා.ඉතින් කාලනිර්ණ සහ වෙනත් ලිඛිත සාධක එක්ක බලලා ඒ ආදී කතෘ මහා මොංගෝලියානු අධිරාජ්‍යය ගෙංගිස් කාන් කියලා හොයාගෙන තියෙනවා.
ඉතින් මේ විදියට මේ පොදු ජාන සැකස්ම ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න ප්‍රධාන වශයෙන් හේතු තුනක බලපෑම ලැබිල තියෙනවා.
ඒ හේතූන් තමයි......
ගෙංගිස් කාන්ට විශාල ළමයින් සංඛ්‍යාවක් ඉඳල තියෙනවා...
ඔහුට නිළ වශයෙන් සහ අවම වශයෙන් බිරිඳන් 9 ක් සහ දරුවන් 27ක් හිටියා.ඒ දරුවන්ටත් සාපේක්ෂව වැඩි ළමයින් ඉඳලා.මොංගෝලියානු ලිඛිත සාක්ෂි වලට අනුව ගෙංගිස් කාන්ගේ වැඩිමල් පුතාට ළමයි 25කුත් , එයිනුත් වැඩිමලාට 22ක් වශයෙන් දරු මුණුබුරෝ පරම්පරාවක් කාන්වරුන්ට ඉඳල තියෙනවා.පස්සෙ කාලෙක චීනයේ යුවාන් අධිරාජ්‍යය ගොඩනගපු ගෙංගිස් කාන්ගෙ මුණුබුරා වුන කුබ්ලෙයි කාන්ටත් අවම වශයෙන් ළමයි 27ක් සිටිබවට පැවසෙනවා.
ඒ වගේම තමයි ගෙංගිස් කාන් කියන්නේ මිහිමත විශාලතම ගොඩබිම් අධිරාජ්‍යය නිර්මාණය කරපු කෙනා.ඒ නිසා විශාල ස්ත්‍රීන් සංඛ්‍යාවක් ඇසුරු කරලා ඒ මගින් බිහිවුන ළමයි මුළු මධ්‍ය ආසියාව පුරාම විසිරිලා ඉන්නවා.
අභ්‍යන්තර ගැටලු නිසා මුළු යුරේසියානු භූමිස්කන්ධයම වසාගෙන තිබුන ලොව විශාලතම අධිරාජ්‍යය වුන මොංගෝලියානු අධිරාජ්‍යය බිඳ වැටෙනකම්ම අවුරුදු සිය ගානක් පුරා මේ වගේ ජාන ව්‍යාපෘතිය වෙලා තියෙනවා.වර්තමානයේ මේසා විශාලා පිරිසක් ශ්‍රේෂ්ඨ කාන්වරුන්ගෙන් පැවත ඒමට එය එක් හේතුවක්.
ගෙංගිස් කාන් කියන්නේ අතිශයින්ම ප්රචණ්ඩ යුධකාමී ශක්තිමත් මෙන්ම ඉතාම බුද්ධිමත් උපක්‍රමශීලී පාලකයෙක් පාලකයෙක්.ආක්‍රමණිකයෙක්.
අහිකුණ්ඨික පැලක ඉපදිලා ලෝකයෙන් හතරෙන් එකක ප්‍රදේශයක පාලකයා වුන ඛාන්ගේ ශක්තිය එතුමාගේ ජානවලත් තිබුනා.ඒ ජාන ඉතා ශක්තිමත් ඒවා.ඉතින් එම ජාන හිමිකරුවන් ස්වාභාවික වරණයෙන් බේරීලා අනික් අයට සාපේක්ෂව වර්ධනය වීම මේකට බලපාපු තවත් හේතුවක්.
ඒ වගේම තමයි ආක්‍රමණ වලදී ගෙංගිස් කාන් ඉතා විශාල වශයෙන් මිනිසුන් මරා දැම්මා.විශේෂයෙන්ම විශාල පිරිමි සංඛ්‍යාවක් ඝාතනය කරා.
සංග්රාම වලදී කාන්ගේ හමුදා අතින් මිනිස් ජීවිත මිලියන 50ක් විනාශ වෙලා තියෙනවා.චීනය ආක්‍රමණය කරද්දී විතරක් ජීවිත මිලියන 25ක්.ඒ නිසා යුරේසියාව සහ ස්ටෙප්ස් තෘණ භූමියට අයත් ප්‍රදේශ පුරා ජීවත් වුන ගෝත්‍රවල සහ වංශයන්ගේ ජාන පොකුරු පිටින් විනාශ වෙලා තියෙනවා.ඒ වගේම කාන්ගේ දැඩි පාලනය යටතේ දරුවන් බිහිකිරීම පවා සීමා කරලා තියෙනවා.
ගෙංගිස් කාන්ගේ පොදු ජාන ප්‍රධාන වීමට ඒකත් හේතුවක් වෙලා තියෙනවා.
ඉතින් පරීක්ෂකයින් ඔවුන්ගේ මේ පරීක්ෂණ වාර්තා "Genetic Legacy of Mongols" නමින් යුරෝපීය විද්‍යා ජර්නලයේ Journal of Human Geneticකොටසේ පලකරලා ප්‍රසිද්ධ කරනවා.
මේ ඔක්කොම ප්‍රතිශත පිරිමි සංඛ්‍යා විතරයි.මොකද Y chromosome එක උරුමවෙන්නේ පිරිමින්ට විතරක් නිසා.
ඒ අනුව මධ්‍ය ආසියාතිකයන්ගෙන් 8%ක් , ඊට අදාලව ලෝක ජනගහනයෙන් 0.5%ක් ඒ කියන්නේ දළවශයෙන් මිලියන 16ක මිනිසුන්ගේ අතීත පියාණන් තමයි ගෙංගිස් කාන්.
National Geography සඟරාවට අනුව නම් පොදු ජානයේ සැබෑ හිමිකරු ගෙංගිස් කාන් බව අන්තිම දශමෙට නිශ්චය කරන්න නම් ගෙංගිස් කාන්ගේ සොහොන හොයාගෙන එයාගේ ජාන එක්ක ගලපන්න ඕනේ කියලා.අවාසනාවකට කාන් අධිරාජ්‍යයාගේ සොහොන තවමත් සොයාගෙන නැහැ.ඒ කාන්ගේ ඉල්ලීම අනුවම එතුමාගේ දේහය මොංගෝලියාවේ අප්‍රසිද්ධ ස්ථානයක මිහිදන් කර ඇති නිසා.
ඒත් මේ පරීක්ෂණ වාර්තා දැනට ලෝකේම පිළිගන්නවා.ඒ වගේම ඒ ඒ රටවල තමන් ශ්‍රෙෂ්ඨ ගෙංගිස් කාන්ගෙන්ද පැවත එන්නේ කියලා බලන්න ජාන පරීක්ෂණ වුනත් කරගන්න අවස්තාව දීලා තියෙනවා.
letterconik
08 - 04- 2020
හරි ලස්සනයි කතාව...වැඩි කතාබහට ලක් නොවන නමුත් සැගවුනු රසබර කතා මේ විදිහට ගේන එක super...දිගටම ලියන්න...
ReplyDeleteස්තූතියි🙂😊
ReplyDelete