Tuesday, April 28, 2020
පිඹුරු දඩයම ( සත්‍යය කතාවකි).
මහ වනයේ ජීවත් වන්නේ වග වලස් ආදී දරුණු සිව්පා සතුන් පමණක් නෙමේ.එය විෂ ඝෝර සර්පයන්ගේද විමානයක් වෙයි.වන මැද නිදහසේ ජීවත් වන මේ සර්පයින්ගෙන් මිනිසාට වන ගැහැට අපමණයි.ඒත් මේ විෂඝෝර සර්පයන්ට බියෙන් මහ වනය අතහැර දමන්නේ කෙසේද?.මහ වනය මැද ඇති උවදුරු දැන දැනම මිනිසා ඒ දෙසට යන්නේ තමන්ගේ බඩ වියත රැක ගැනීමට වෙනත් මගක් නැති වුනාමයි.දාර පිඹුරු දරණක් මැද්දට මැදිවී අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරු වූ දැරියක් ගැන කියවෙන දුක්බර කතාවකි මේ.
මනම්පිටියෙන් හැරී හැතැප්ම අටක් ගිය තැනදී තමා පිඹුරත්තාව හමුවෙන්නේ.ඒ කියන තැනින් හැරී එපමණක්ම දුර ගිය තැන අද අපි කතාරන ගම්මන්ඩිය හමුවෙනවා.ඒ ගමට කියන්නේ "මායිම් මඩුව" කියලයි.මහ වනය ප්‍රාකාරයක් මෙන් මේ පුංචි ගම ගිල ගන්න වගේ බලා හිටියා.මේ ගමට වන සතුන්ගෙන් මෙන්ම සර්පයන්ගෙන්ද නිතරම තර්ජන එල්ල වුනා.
චුට්ටයි , බුකීයි කියන්නේ මේ මායිම් මඩුව කියන ගමේ ජීවත් වුන අඹුසැමි දෙන්නෙක්.ඔවුන්ට හිටියේ එකම එක දරුවයි.එයත් ඉපදී දැනට අවුරුද්දයි.චුට්ටා හැම උදෑසනකම ගෙදරින් පිටවී යනවා.මළ හිරුරැස් අකුලා ගනිද්දී ආපහු පැල්පතට එනවා.හැම දවසෙම චුට්ටා මේ යන්නේ ඈත බැද්දේ කොටා ඇති නවදැලි හේනටයි.තම සැමියා හේනට ගිය විගසම බුකී අර පුංචි දරුවත් වඩාගෙන කැලේට රිංගනවා.මාදං බරක් ඇහිඳගෙන පැටියත් එක්ක පැල්පතට එනවා.බුකී තාම ලාබාල එකියක්.වීර,පලු,දං ගෙඩි කාල පුරුදු වුන බුකීගේ පරණ කෑදරකම තවමත් අත්හැරී නැති හැඩයි.
එදත් තම සැමියා හේනට ගිය හැටියේ බුකී තම දරුවත් උකුළු කරගෙන බැද්දට රිංගුවා.
"මගෙ දෙයියෝ ඔහොම හිටපන්,උඹේ අම්මා දං අඩුක්කුවක් රොක්කාගෙන එන කල්"..ඔන්න ඔහොමයි බුකී දරුවා තැනක හිඳුවා දං ඇහිඳින්න ගියේ.ගස් යට දං පිරිලා.බුකී ඉහේ හුස්මක් නැතිව දං අහුලනවා.බුකීට දැන් ඇගේ පැටියත් අමතක වෙලා වගේ.පුංචි හුරතලා හුරතලේට කතා කරනවා,දෑතින් බඩට ගහ ගන්නවා.ගිරවෙක් වගේ හිනාවෙනවා.ඒත් මේ හඬ වැසිපුර ඇසුනේ බුකීට නෙමේ.ඒ අසල වේවැල් පඳුරක් අසල දින ගණනක් අහරක් බලාපොරොත්තුව සිටි දැවැන්ත පිඹුරු තඩියාටයි.
පොල් කඳක් වගේ මහ පිඹුරා මන්දක් වගේ දරණ ගහගෙන වලිගය අසල තිබුන පඳුරක ඔතාගෙන මේ ඉන්නේ , සතෙක් අර දරණෙ ඇතුලෙ බැරිවෙලාවත් අඩියක් තිබ්බොත් එක පාරට හිරකරලා අල්ල ගන්නම් කියල හිතාගෙනයි.මද්දට සතෙක් අහුවෙලා ඇත්නම් ඊ ලඟට ඒ සතාගේ ඇඟ වෙලා ගන්නවා.සතාගේ ඇටකටු කැඩෙන්නම තද කරලා වෙලා ගන්නවා.සතා හොඳටම හෙම්බත් වුනාම තමා ගිලදමන්නේ.ඊට පස්සේ ඌ තවත් කරන්නේ උගේ බඩේ ඉන්න සතාගේ ඇටකටු තවත් කුඩුවෙන්න ගස් දෙබල් මැද්දෙන් රිංගනවා.ඔන්න ඔහොම තමා පිඹුරා ආහාර ගන්නේ.
බුකීගේ කටහඬ ඇසුනු පිඹුරා ටික ටික දරණෙ දිග හරිමින් ළමයා දිහාවට ඇදී යන්න පටන් ගත්තා.අම්මගේ ආදරයත් පිඹුරාගේ නපුරත් තේරුම් ගන්න බැරිවුන දරුවා තමන්ව ගිලගන්න එන පිඹුරා දැකලා හිනාවෙන්න පටන් ගත්තා.පුංචි දෑත ඒ පැත්තට ලංකරලා හුරතල් බස් කියන්න පටන් ගත්තා.පොල් කඳක් වගේ ඇදී ආ පිඹුරු තඩියා මේ පුංචි දරුවාව වෙලන්න පටන් ගත්තා.ඌ ළමයගේ ඉඟවටා පපුව වටා බෙල්ල වටා හෙමින් හෙමින් ඉහලට ඇදී ගියා.ළමයට දැන් හුස්ම ගන්නවත් බෑ.ඔහු අවසාන වරටත් කෑ ගැහුවා.අමුත්තක් දැනුන බුකී දං ඇහිදීම නවත්තලා එතනට දුවගෙන ආවා.ඈට උඩ බිම රත්වුනා.දැන් එතැන ඉන්නේ තමන්ගේ දරුවා වෙනුවට දැවැන්ත පිඹුරු දරණයක් විතරයි.ඈ කෑගැහුවා.පොළවෙ හැපුනා.දරුවා බේරාගන්න හැමදෙයක්ම කලා.බැරිම තැන පිස්සියක් වගේ කැලේ මැදින් චුට්ටෙව හොයාගෙන දිව්වා.
"නොන්ඩියා" කියන්නේ මේ ප්‍රදේශයේ චණ්ඩිකම් දාපු තනි අලියටයි.ඌ නිතරම චුට්ටෙගේ හේනට යන කැලෑ පාරේ ගැවසෙනවා.මහ හයියෙන් බෙරිහන් දීගෙන මහ හයියෙන් දුවගෙන එන බුකී දැක්ක වල් අලියා වංගුවේ තියෙන දැවැන්ත පළු ගහට මුවා වුනා.කළු ගලක් වගේ දැන් වූ නිහඬයි.ඉවක් බවක් නැතුව දුවගෙන එන බුකී ඌට හොඳටම ලංවුනා.කල් බලලා පාරට අඩිය තිබ්බ නොන්ඩියා එක පාරටම බුකීව හොඬේ පටලවාගෙන ඈතට විසිකරා.බුකී ඈතට විසිවෙලා ගිහින් වැටුනා.අන්දමද වුන බුකී නැගිටගන්නට කලින් පියවර දෙකෙන් තුනෙන් දුවගෙන ආපු අකියා බිම වැටිල හිටපු බුකීගේ බඩ පෑගුවා.ඒත් තාම බුකී මැරිලා නැහැ.ඉතින් අතු රිකිලි ටිකක් කඩාගෙන ආපු නොන්ඩියා බුකීව නොපෙනෙන විදියට ඒවගෙන් වැහුවා.නැවතත් ඌ සියවාරයක් විතර අර කොල ගොඩ පෑගුවා.කොල ගොඩට යටින් හිටපු බුකී පොළවට සමතලා වෙනකම්ම පෑගුවා.
හේනෙ වැඩ අහවර කරලා රාස්සිගේ අව්ව වැටෙන හෝරාවෙදී ආපු චුට්ටේ දැක්කා පැල පාලුවට ගිහින් වග.ගම්මණ්ඩියේ අහල පහල ගෙවල් වලත් බුකීවත් දරු පැටියවත් හිටියේ නැහැ. චුට්ටෙ එක්ක මුළු ගමේම ඈයෝ එකතුවෙලා අතුරුදහන් වුන බුකීවයි දරු පැටියවයි හොයන්න පටන් ගත්තා.අවට පඳුරක් පඳුරක් ගානේ , ගහක් ගලක් ගානේ හොයලා අන්තිමට රතු රිකිළි කීපයක් යට තිබුන කැබලි වලට වෙන් වී පොළවට සමතලා වී තිබුන බුකීගේ මළකඳ සොයා ගත්තත් දරු පැටියාට විච්ච කරුමයක් ගැන හෝඩුවාවක් නැහැ.දවස් දෙකක් යනකල්ම දරුපැටියා ගැන හෝඩුවාවක් හම්බවුනේ නැහැ.
සිද්දිය වෙලා දින දෙකකට පස්සේ පිංහාමි නම් ගමේ ඈයෙක් අලුත කෙටූ හේනක් ගිනි තිබ්බා.හේනේ ගින්දර නිවීගෙන එන විට පිංහාමි හේන බලන්න ගියා.ඔන්න එතකොට තමා ළමයෙකුගේ ඇටකටු සමග ගින්නෙන් දැවී ගිය පිඹුරු තඩියෙකුගේ මළකුණ සොයාගන්න හැකි වුනේ...
( 1995 දී ප්‍රකාශයට පත්වුන , ජී.ආර්.ගුණරත්න බණ්ඩාර මහතාගේ වන්නියේ සත්‍ය කතා නම් ගවේශනාත්මක කෘතිය ඇසුරෙන්)
|Letterconik
|28-04-2020
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment