Tuesday, April 21, 2020

ඊශ්‍රායල හමුදාබලය ලොවට පෙන්වූ ඔපරේශන් තන්ඩර්බෝල්ට්

ලොව විශිෂ්ටතම ප්‍රාණඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම:
ඔපරේශන් තන්ඩර්බෝල්ට් හෙවත් ඔපරේශන් එන්ටැබේ...............

ඊශ්‍රායල හමුදාවේ දස්කම් ලෝකෙට පෙන්වූ ඔපරේශන් තන්ඩර්බෝල්ට්

(ලොව විශිෂ්ටතම ගලවාගැනීමේ මෙහෙයුම)

ඊශ්‍රායල හමුදාව ලොව විශිෂ්ටතම හමුදාවන්ගෙන් එකක්.ඒ බව ඔවුන් විසින් ඉතිහාසය පුරාවට ඔප්පු කරල තියෙනවා.අදටත් ලොව විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම විදියට පිළිගන්න "ඔපරේශන් තන්ඩර්බෝල්ට්" හෙවත් "ඔපරේශන් එන්ටැබේ" කියන්නෙත් අන්න ඒ වගේ එක් ඔප්පු කිරීමක්.පසුකාලීනව මේ සිදුවීම අලලා පොත් පත් , චිත්‍රපට විශාල වශයෙන් නිර්මාණය වුනා.මේ කියන්න යන්නේ කිසිසේත් සිදුකල නොහැකි මෙහෙයුමක් විදියට එකල ලොව පුරාම කතාබහට ලක්වුනු අන්න ඒ මෙහෙයුමේ කතාන්දරයි....

           1976 අවුරුද්දේ ජූනි මාසේ 27 වෙනි ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව්(Tel Aviv) නගරයේ ඉඳලා ප්‍රංශයේ පැරිස් නුවර දක්වා ප්‍රංශ ගුවන් සේවයට අයත් Airbus A300 වර්ගයේ මගී ගුවන් යානයක් ගමන් ගනිමින් තිබුනා.බහුතරයක් යුදෙව්වන් වූ මුළු මගීන් ගණන 246ක් සහ 12 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් සහිතව මේ ගුවන් යානය ඉතා සාමකාමීව ඉහළ ආකාසේ ගමන් කරමින් තිබුනා.නමුත් ඒ සාමකාමී බව පැවතුනේ යානයේ මගීන් සිටින කොටසෙන් යම් කලබලයක ශබ්දයක් නියමු කුටියට ඇසෙන තෙක් පමණයි.ප්‍රධාන ගුවන් නියමුවා වුන මයිකල් බාකෝස් මේ කලබැගෑනිය ගැන සොයාබලන්න යානයේ ප්‍රධාන ඉංජිනේරුවාව මගීන් සිටිනා කොටසට යවනවා.අදාල කොටසට ඇතුලු වෙන දොරටුව විවෘත කල සැනින් ඔහුට දැකගන්නට ලැබෙන්නේ එක් අතකින් රීවෝල්වරයක් තමන් වෙතට එල්ල කරගෙන අනික් අතෙන් අත් බෝම්බයක් දරා සිටින අයෙක්.එසේ ආයුධ සන්නද්ධව සිටියේ "රිවලූෂනරි සෙල්ස්" හෙවත් RZ නමින් හැඳින්වූ ජර්මානු ගරිල්ලා සංවිධානයේ සාමාජිකයෙක් වුන විල්ෆ්‍රඩ් බෝස් නම් තැනැත්තායි.එසේ අනපේක්ෂිත ලෙස ඔවුන් අත්දකිමින් සිටියේ ඇල්ෆ්‍රඩ් බෝස් එම සංවිධානයේම තවත් කාන්තා සාමාජිකාවක් සහ පලස්තීන නිදහස් පෙරමුණේ සටන්කාමීන් දෙදෙනෙක් ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමක් මගීන් 246ත් කාර්යමණ්ඩල 12 දෙනත් ඇතුළුව මෙම Air France 139 ගුවන් යානය උඩු ගුවනේදී පැහැරගනිමින් සිටි ආකාරයයි.ත්‍රස්තවාදීන් ගුවන් යානයට ගොඩවී තිබුනේ ගුවන් යානය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ගුවන් තොටුපළට ගොඩබැස්සූ අවස්තාවේ එයට ගොඩවූ මගීන් 58 දෙනත් සමගයි.ගිනිඅවියද අතැතිව නියමු කුටියට ඇතුළු වුන ඇල්ෆ්‍රඩ් බෝස්ගේ තර්ජණය හමුවේ ගුවන් යානය ලිබියාවේ බෙන්ගාසි නුවර ගුවන් තොටුපළට ගොඩබැස්සුවා.ගුවන් යානයේ ඇන්ජින් පනගන්වා නැවත ගුවන් ගතවීමට සූදානමින් සිටින ලෙස ත්‍රස්තයින්ගෙන් නියෝග ලැබුනා.ඉතාම සුළු වෙලාවකට පස්සේ ආයෙමත් බෙන්ගාසි නුවරින් උඩු ගුවනට එසවුනු යානය පැය ගානයක් අහසේ රස්තියාදුගසමින් සිටියේ ගොඩබස්වන නිශ්චිත ස්තානයක් ගැන කිසිම ඉඟියක් මගීන් හට නොදෙමින්.චීනය , සයිබීරියාව වගේ ඈත පිහිටි රටකට යානය ගමන් කරන බව සියල්ලන් සිතුවත් ඇත්තටම යානය ගොඩ බෑවේ උගන්ඩාවට.උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොළට.
එවකට උගන්ඩාව පාලනය කරේ ඉඩි අමීන්.ත්‍රස්තයින් පැහැරගත් යානය එන්ටැබේ ගුවන් තොටුපළට ගොඩබැස්සුවේ ඉඩි අමීන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේයි.මේ ත්‍රස්ත ක්‍රියාවට ඉඩි අමීන් තමන්ගේ අනුග්‍රහය ලබා දෙන්නේ ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගත් ගුවන් මගීන්ව රට තුල ආරක්ෂාකාරීව නවාතැන් දී හොඳ නමක් දිනා නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමේ පටු යටි අරමුණක් හිතේ තියාගෙන.

එන්ටැබේ ගුවන් තොටේදී ත්‍රස්තයින් හතර දෙනා සමග තවත් ත්‍රස්තවාදීන් හතරෙ දෙනෙක් එකතු වුනා.ඒ වගේම ත්‍රස්තවාදීන්ට උගන්ඩා හමුදාවේ සහයද හිමි වුනා.මගීන්ව ගුවන්තොටේ අත්හැර දැමුනු කොටසකට ගාල් කිරීමෙන් පසුව ,ජූනි මාසේ 28 වෙනිදා ත්‍රස්ත්වාදී විසින් ගුවන් යානය පැහැරගැනීමට හේතුවත් මගීන් නිදහස් කිරීමට අදාල තමන්ගේ කොන්දේසිත් ඉදිරිපත් කරා.

යානය පැහැර ගැනීමේ මූලිකම පරමාර්ථය වුනේ ලෝකයේ රටවල් 5ක් පුරා සිරකරුවන් විදියට හිටපු පලස්තීන සටන්කාමීන් 53දෙනෙක් නිදහස් කරගැනීමයි.ඒ 53 දෙනාගෙන් 40 දෙනෙක්ම සිටියේ ඊශ්‍රායලයේ සිරකඳවුරු තුල.ඉතින් මගීන් නිදහස් කිරීමට නම් මේ සිරකරුවන් 53 දෙනා නිදහස් කලයුතු බවත් එයට සාධනීය පිළිතුරක් නොලැබුනොත්  ජූලි 01 වෙනිදා ඉඳලා සිරකරුවන් නිදහස් කරන තෙක්ම දිනකට එක් මගී ප්‍රාණ ඇපකරුවෙකු බැගින් ඝාතනය කරන බවටත් ත්‍රස්තවාදීන් දැනුම් දුන්නා.මේ ඉල්ලීම් වලට අමතරව ගුවන් යානය නිදහස් කරගැනීමට නම් ඩොලර් මිලියන 5ක කප්පම් මුදලක්ද ඉල්ලා සිටියා.

කොන්දේසි ඉදිරිපත් කරාට පහුවෙනිදා, ඒ කියන්නේ ජූනි 29 වෙනිදා ඊශ්‍රායල ජාතික මගීන් සහ ඊශ්‍රායල නොවන මගීන් වෙන් කර ඔවුනොවුන් එකිනෙකට වෙනත් ශාලා දෙකක රැඳවූවා.ඊටත් පහුවෙනිදා, ජූනි 30 වෙනිදා ඊශ්‍රායල ජාතීන් නොවන කණ්ඩායමෙන් තෝරාගත් වයසක , රෝගාතුර වූවන් සහ පොඩි ළමයි සිටිය මව්වරුන් ඇතුළු 48 දෙනෙක් නිදහස් කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කරා.ඔවුන් එදිනම ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත් කෙරුනා.

ප්‍රාණඇපයේ සිටින තමන්ගේ වැසියන් බේරාගැනීමට දේශපාලනික විසඳුමක් කරා ඊශ්‍රායල රජය මුලින්ම යොමු වුනා.උගන්ඩා පාලක ඉඩි අමීන්ගේ හිත්වතුන්ව සිටි ඊශ්‍රායල නිළධාරීන් පුද්ගලිකව ඉඩි අමීන් සමග ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම පිළිබඳව කතාබහ කරත් එයින් කිසිවක් වෙනස් වුනේ නැහැ.ඒ අතරවාරයේ ඇමරිකාව මාර්ගයෙන් ඉඩි අමීන්ගේ සමීප හිතවතෙකු වූ ඊජිප්තු ජනාධිපති "අන්වර් සාදත්" ලවා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉඩි අමීන් පොළඹවා ගැනීමටත් උත්සහ කරා.ඒ වැඩෙත් අසාර්තකයි..
ඊට පස්සේ තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට කිරීමට ත්‍රස්තවාදීන් ලබා දී තිබුන අවසාන දිනය වුන ජූලි පළමුවෙනිදා ඊශ්‍රායල රජය විසින් තමන් ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට අදාල කොන්දේසි සලකා බැලීමට කැමති බවත් ඒ සඳහා දී තිබූ සහන කාලය දීර්ඝ කරන ලෙසත් දන්වා සිටියා.
ඊශ්‍රායල රජයේ ඒ තීරණය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය තරමක් ලිහිල් කරන්න හේතුවුනේ ප්‍රාණඇපකරුවන් ඝාතනය කිරීම ඇරඹීම ජූනි 04 දක්වා කල් දැමුනු නිසාත් ඊශ්‍රායල නොවන තවත් මගීන් සියදෙනෙක්ව නිදහස් කිරීමත් නිසයි.
ඒ අනුව එන්ටැබේ ගුවන්තොටේ ප්‍රාණ ඇපකරුවන් විදියට ඉතිරි වී සිටියේ තමන්ගේ මගීන් හැරයාම ප්‍රතික්ෂේප කල ප්‍රංශ ගුවන් සේවයේ නිළධාරීන් 12 දෙනත් , තවත් ප්‍රංශ ජාතික තරුණයන් 10දෙනෙකුත් හා ඉතිරි ඊශ්‍රායල ජාතික මගීන් 84 දෙනත් ඇතුලුව සම්පූර්ණ 106 දෙනෙක් විතරයි.

ත්‍රස්තවාදීන් ලබාදී තිබුන දින හතරක සහනකාලයෙන් දින තුනක් ගෙවී ගියා.කිසිම දේශපාලනික විසඳුමක් සාර්තක වන බවක් පෙනෙන්නට වුනේ නැහැ.තවත් ඉතිරිව ඇත්තේ එක දවසක් විතරයි.ඉතින් එදාම හවස ඒ කියන්නේ ජූලි මාසේ 03 වෙනිදා හවස 6:30ට විතර ඊශ්‍රායල රජය හමුදා මෙහෙයුමක් සඳහා තමන්ගේ නිළ අවසරය එරට හමුදාවට බලාදුන්නා.

මුලින්ම මේ ක්‍රියාන්විතය නාවික විශේෂ  කාර්ය බලකා සෙබලුන් යොදාගෙන සිදු කරන්න යෝජනා කෙරුනා.ඒ අනුව එන්‍ටැබේ  ගුවන්තොටුපළ ආසන්නයේ තියෙන කෙන්යාව,ටැන්සානියාව සහ උගන්ඩාව අතරේ ව්‍යාප්තවී තිබුන වික්ටෝරියා නම්වු විශාල ජලාශයට ඊශ්‍රායල නාවික විශේෂ කාර්ය බලකා සෙබලුන් ගොඩබස්සවා වික්ටෝරියා ජලාශය ඔස්සේ රහසේ ගොස් ගුවන්තොටුපළට ඇතුළු වී ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන නැවත ඔවුන්ව සිය මව් රටබලා රැගෙන යාමට ඉඩි අමීන්ගේ සහය පැතීම සිදු කිරීමට යෝජනා වුනා.ඒත් එවැන්නක් සඳහා කාලයක් ඉතිරිව නොමැති නිසාත් වික්ටෝරියා ජලාශය "නයිල් කිඹුලන්" විදියට හඳුන්වන අප්‍රිකානු මිරිදිය පරිසර පද්ධතියේ බහුලව සිටි විශාල කිඹුල් විශේෂයකින් ගෙන් පිරී ඉතිරී තිබුනු නිසා ඒ ක්‍රියාදාමය සාර්තක වීමේ සම්බාවිතාව තිබුනේ ඉතා අඩු මට්ටමකයි.ඒ නිසා ඊශ්‍රායලය මේ නාවික හමුදා මෙහෙයුම අත්හැර දැමුවා.

ඒ අනුව දෙවන සැලැස්ම වුන ගුවන් මගින් කොමාන්ඩෝ සෙබළුන් යවා ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම පිළිබඳ ඊශ්‍රායලය අවධානය යොමු කරා.මේ සැලැස්ම ඉදිරිපත් කරේ "මේජර් ජෙනරාල් යෙකුටියෙල් ඇඩම්" සහ "බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන්" යන නිළධාරීන් විසින්.මෙහෙයුමෙ ප්‍රධාන අණදෙන නිළධාරියා විදියට බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන්ව පත්කෙරුනා.

මේ සැලැස්ම ක්‍රියාවට නැංවීම හිතන තරම් ලේසි පහසු වුනේ නැහැ.මෙහෙයුම සම්බන්ද ප්‍රධාන ගැටලු කීපයක් පැන නැගුනා.
ඉන් පළමුවැන්න වූනේ ප්‍රාණඇපකරුවන් රඳවා සිටින එන්ටැබේ ගුවන්තොටේ සැකැස්ම පිළිබඳ කිසිම අවබෝදයක් නොතිබීමයි.ප්‍රාණඇපකරුවන් රඳවා සිටින්නේ ගුවන්තොටේ කොතැනද කියාවත් අවම වශයෙන් හදිසි අවස්තාවක්දී පුපුරා හැරීමට පුළුවන් විදියේ උගුලක් ත්‍රස්තයින් අටවා තිබුනාද කියාවත් ඊශ්‍රායලය දැනගෙන හිටියෙ නෑ..මේ ගැටලුවට උත්තර හොයන්න ඊශ්‍රායල බුද්ධි අංශය වුන මොසාඩ් සංවිධානයේ අදලා මෙහෙයුම බාරව සිටි බුද්ධි අංශ නිළධාරියා වුන "ආනන් බයිරාන්" ඇතුලු කණ්ඩායම වෙහෙසුනා.වහාම ක්‍රියාත්මක වුන බුද්ධි අංශ නිළදාරීන් ත්‍රස්තවාදීන් විසින් නිදහස් කරලා ප්‍රංශයට යැවුන මගීන් හමුවී ඔවුන්ගෙන් ගුවන් තොටුපළේ සැකැස්ම, ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටින ස්තානය , ත්‍රස්තවාදීන් ගණන , ත්‍රස්තවාදීන් සමග ඉන්න උගන්ඩා හමුදා සෙබළුන් ගැන විස්තර සියල්ලක්ම දැනගත්ත.ඒ වගේම දීර්ඝ කාලයක් පුරාවට අප්‍රිකානු කලාපයේ ඉදිකිරීම් කටයුතු කරපු වගේම එන්ටැබේ ගුවන්තොටුපළේ කොටසක්ද ගොඩනගා තිබුන ඊශ්‍රායලයේ පැරණිම සහ විශාලතම ඉදිකිරීම් සමාගම වුන "සෝලෙල් බෝනේ" ඉදිකිරීම් සමාගමේනුත් බුද්ධි අංශ නිළධාරීන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගත්තා.ඒ තොරතුරු උපයෝගී කරගෙන ගුවන්තොටේ සම්පූර්ණ සැලැස්ම , ප්‍රාණඇපකරුවන් සිටින තැන ,ත්‍රස්තවාදීන් ගණන සහ උගන්ඩා හමුදා සෙබළුන් ගණන ඔවුන් සිටින තැන් ආදී සියළුම විස්තර ඇතුලත් සම්පූර්ණ චිත්‍රයක් මොසාඩ් නිළධාරීන් විසින් ගොඩනැගුවා.ඒත් මෙහෙයුම සඳහා ඒ විතරක් ප්‍රමාණවත් වුනේ නැහැ.
ඒ තවත් ප්‍රධාන ගැටලුවක් ඒ වෙනකොට ඇතිවෙලා තිබුන නිසා.
ඒ තමයි , මධ්‍යදරණී මුහුදට මායිම මැදපෙරදිග කලාපයේ තිබුන ඊශ්‍රායලයේ ඉඳලා අප්‍රිකානු මහද්වීපයේ මධ්‍යයට වන්නට පිහිටි උගන්ඩාව දක්වා වූ කිලෝමීටර තුන්දාහකට අධික දුරකින් යුතුවූ ගුවන් මාර්ගය ගෙවා යෑමට මෙහෙයුම සඳහා යොදාගන්න ගුවන් යානාවලට එක් වරකට පුරවන ඉන්දන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම.උගන්ඩාව බලා යෑමට නම් අනිවාර්යයෙන්ම ගමන අතර මැදදී ආයෙමත් ඉන්දන පිරවිය යුතු වුනා.මෙහෙයුම අතිශයින්ම රහසිගත විදියට සිදුකරන්න ඕනෙ වුන නිසා වෙනත් කිසිම රටක ඊශ්‍රායල හමුදා සෙබලුන් පිරවූ ගුවන් යානා නවත්තන බෑ.විශේෂයෙන්ම උගන්ඩා නායක ඉඩි අමීන්ට හිතවත් ඊජිප්තුව වගේ අප්‍රිකානු කලාපයේ රාජ්‍යන්ගේ ගුවන් සීමාවන් ඔස්සේවත් ගමන් කරන්න බැරි තත්වයක් උදා වෙලා තිබුනා.ගැටලුව ඒ වගේ සංකීරණ වුනත් මේ ප්‍රශ්ණෙටත් උත්තරයක් මොසාඩ් සංවිධානය සතුව තිබුනා.ඔවුන් මෙහෙයුම අතරමැද ඔවුන්ට විශ්වාස කරන්න පුළුවන් එකම එක රාජ්‍යය විදියට උගන්ඩාවට අසල්වැසි රට වුන කෙන්යාව තෝරාගත්තා.ඒ ඒ වන විටත් ඉඩි අමීන් හා කෙන්යා රජය අතර යම්තාක් දුරකට මතබේදාත්මක ප්‍රතිවිරුද්ධභාවයක් ඇතිවී තිබුන නිසයි.ඒ අනුව මොසාඩ් සංවිධානයේ උපදෙස් මත ක්‍රියාත්මක වුන එවකට කෙන්යා කෘෂිකාර්ම ඇමතිගේ බලකිරීම සහ කෙන්යාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් වූ යුදෙව් ජාතිකයන්ගෙන් හිමිවන ආර්තික වාසි සලකා බලා කෙන්යා ජනාධිපතිවරයා ඊශ්‍රායල හමුදා මෙහෙයුම සඳහා තම ගුවන් කලාපයත් ගුවන් තොටුපළවලුත් භාවිතා කරන්නට මොසාඩ් සංවිධානයට අවසර දුන්නා.

මෙහෙයුම සඳහා සියලු බාධක ඒ විදියට ඉවත් කරගත් මොසාඩ් සංවිධානය මෙහෙයුමේ ඉදිරි පියවර තමන්ගේ හමුදාවට භාරකලා.ඒ අනුව විශේෂිත කාර්යන් සඳහා වෙන්වූ කණ්ඩායම් කීපයක් වශයෙන් හමුදා සෙබලුන් 100 කණ්ඩායමක් මෙහෙයුම සඳහා එක්වුනා.

වර්තමාන ඊශ්‍රායල අගමැති වන බෙන්ජමින් නෙතන්යාහුගේ සහෝදරයා වූ ලුතිනල් කර්නල් යොනතන් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුතුව, ගුවන්තොටුපළ ඇතුලට කඩාවැද ප්‍රාණඇපකරුවන් මුදාගෙන තමන්ගේ හමුදා ගුවන් යානය වෙත රැගෙන ඒමේ කාර්යය සඳහා යොමුවූ  "යුනිට් 269" නමින් හැඳින්වුන ඊශ්‍රායල විශේෂ කොමාන්ඩෝ බලකායේ සෙබළුන් 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් , එන්ටැබේ ගුවන්තොටුපළේ තම යානා ගොඩ බැස්සවූ පසු ඒවාට එල්ලවිය හැකි ප්‍රහාර වැලැක්වීම සඳහා කණ්ඩායමක් සහ නැවත පලා යන අතරතුර පසුපස එලවාවිත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම වැළක්වීමට ඒ වන විට එන්ටැබේ ගුවන් පතයේ තිබූ උගන්ඩා ගුවන් හමුදාවට අයත් මිග් යානා විනාශ කිරීම සඳහා කණ්ඩායමක් මෙන්ම මෙහෙයුමෙ සියළුම කටයුතු සම්බන්ධීකරණ කරමින් මෙහෙයුමට අණදීම සඳහා ප්‍රධාන අණදෙන නිළධාරියා වුන බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන් ඇතුළු කණ්ඩායම් සමූහයකින් මේ මෙහෙයුම් බලඇණිය සමන්විත වුනා.

එකක වෛද්‍ය පහසුකම් සහිත වූ බෝයිං 707 වර්ගයේ ගුවන් යානා ද්විත්වයක් සමග හමුදා කණ්ඩය රැගත් ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගමේ නිශ්පාදිත Lockheed C-130 Hercules වර්ගයේ හමුදා ගුවන් යානා 4ක් "ශාම් අල් ශෙයික්" නුවරින් උඩුගුවනට පිවිසුනා. රතු මුහුදට ඉහළින් වූ අන්තර්ජාතික ගුවන් මාර්ගයක් ඔස්සේ ඒ අසල රටවල් එනම් ඊජිප්තු , සුඩාන සහ සෞදි අරාබියානු රේඩාර් පද්ධති මගහැරීම පිණිස අඩි 100කට වඩා ඉහල අහසේ පියාසර කල ගුවන්යානා කෙන්යාවේ නයිරෝබි හරහා උගන්ඩාවේ එන්ටාබේ දක්වා පියාසර කලා.වෛද්‍ය පසුකම් සහිත එක් බෝයිං යානයක් නයිරෝබි ගුවන්තොටුපළේ නවතා තැබූ අතර අනෙක් බෝයිං යානය මෙහෙයුම සිදුවන අතරවාරයේ එන්ටාබේට ඉහල අහසේ සැරිසැරීමට යෙදුනා.

එදා , ඒකියන්නේ ජූලි මාසෙ තුන්වෙනිදා රාත්‍රී 11ට තිත්ත ඝන කළුවරේ ඉතා රහසිගතව ඊශ්‍රායල ගුවන් යානය එන්ටැබේහි ගොඩබෑවා.
කිසිම ගැටලුවක් ඇතිනොවී සියළු බාධක මගහැර ගුවන් තොටුපළට ඇතුලටම යාහැකි වන පරිදි ඊශ්‍රායල සෙබලුන් ඉතා අපූරු උපක්‍රමයක් භාවිතා කරා.ග්‍රීක හමුදා ට්‍රෝයි නුවර ආක්‍රමණය සඳහා යොදාගත් ට්‍රෝජන් අශ්වයාට සමනා ක්‍රමයක් තමයි මෙවර ඊශ්‍රායල හමුදා යොදාගත්තේ.
ඒ නම් ඉඩි අමීන් පැමිණෙන බව අගවමින් උගන්ඩා ආරක්ශකයන් නොමග යවා ගුවන්තොටුපළේ අදාල කොටසට ඇතුළු වීමයි.මේ සඳහා ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් විසින් ඉඩි අමීන්ගේ නිළ රථයට සමාන වූ කළු පැහැ බෙන්ස් රථයක් සහ ඉඩි අමීන්ගේ ආරක්ශක රථවලට සමාන වූ ලෑන්ඩ් රෝවර් රථද ගෙනැවිත් තිබුනා.ඉදිරියෙන් ගමන් ගත් බෙන්ස් රථයේ කොමාන්ඩෝ කණ්ඩායමේ අණදෙන ණිළදාරියා වුන යොනතන් නෙතන්යාහු ඇතුළු කණ්ඩායමක් ගමන් ගත් අතර ඉතිරි සෙබලුන් ඊට පිටුපසින් පැමිණි ලෑන්ඩ් රෝවර් රථවල පැමිණියා.නමුත් අවාසනාවකට ඒ වන විට ඉඩි අමීන් භාවිතා කලේ කළු පැහැ බෙන්ස් රථය වෙනුවට සුදු පැහැ බෙන්ස් රථයක්.ඒ නිසා කළුපාට බෙන්සයෙන් එන්නේ ඉඩි අමීන් නොවන බව දැනගත් උගන්ඩා ආරක්ශකයන් ඊශ්‍රායල හමුදාව ගමන් ගත් වාහන පෙල නැවැත්තුවා.ඒත් යොනතන් නෙතන්යාහුගේ ක්ෂණික නියෝග පරිදි හදිස්සියේ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් සයිලන්සර් සහිත ගිණිඅවි වලින් හඬනොනැගෙන පරිදි  වෙඩිතබා නිහඬවම රහසේම ඒ උගන්ඩා ආරක්ෂකයන්ව ඝාතනය කරා.ඊට පස්සේ මෝටර් රථවලින් බැහැල ගුවන් තොටුපළට ඇතුළු වුන ඊශ්‍රායල සෙබලුන් ඔවුන්ගේ මවු භාෂාව වුන හීබෲ භාශාවෙන් සහ ඉංග්‍රීසි භාශාවෙන්ද තමන් ඊශ්‍රායලය බලඇණියක් වන බවත් වහාම පහත් වෙන ලෙස පැවසුවා.හීබෲ භාෂව තේරෙන ප්‍රාණඇපයේ සිටි යුදෙව්වන් වහාම බිමට පහත්වූ අතර හීබෲ භාෂාව නොතේරුන ත්‍රස්තවාදීන් සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව අන්දමන්දවී සිටියා.ඒ අනුව තවමත් හිටගෙන සිටින පිරිස නියත වශයෙන්ම ත්‍රස්තවාදීන් බව නිගමනය කරපු ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් දිගට හරහට ඔවුන්ට වෙඩි තැබුවා.ත්‍රස්තවාදීනුත් ප්‍රතිප්‍රහාර එල්ල කරා.ඒ වුනාට මහරෑ අඳුරේම රහසිගත හමුදා කණ්ඩායනක් පැමිණ තමන්ට
වෙඩි තැබීමේ අරමුණවත් වටහා ගැනීමට තරම් කාලයක් නොලද ත්‍රස්තවාදීන් තැබූ වෙඩි වලට එකම ඊශ්‍රායල සෙබලෙකුටවත් කෙස්ගසක තරම්වත් හානියක් කරන්න නොහැකි වුනා.ඒ වුනාට ත්‍රස්තවාදී වෙඩි පහරින් එක් ප්‍රාණ ඇපකරුවෙක් මියගියා.ඒ වගේම ඊශ්‍රායල හමුදා වෙඩි පහරිනුත් එක් මගියෙක් මියගොස් තව අයෙක් තුවාල ලැබුවා.මේ අතරතුර උඩු ගුවනේ තිබූ අනෙක් C-130 ගුවන් යානා ත්‍රිත්වයත් එන්ටැබේහි ගොඩබෑ අතර එයින් බැසගත් එක් හමුදා කණ්ඩයක් යානා හතරටම එන්ටැබේ ගුවන් තොටින් ඉන්දන පිරවූ අතර තවත් කණ්ඩායමක් යානා හතර ආරක්ශා කරමින් සිටියා.ඒ අතර ඉතිරි අනෙක් කණ්ඩායම ගුවන්තොටේ තිබූ උගන්ඩා ගුවන් හමුදාවට අයත් මිග් යානා 11 සම්පූර්ණයෙන්ම විනාශ කරා.ප්‍රාණඇපකරුවන් ගුවන් පථයට ගෙනාපු සෙබළුන් ඔවුන්ව ගුවන් යානටයට ඇතුළු කරමින් සිටියා.නමුත් ඒ අතරේ ගුවන් යානා පාලක කුළුනේ සිටි උගන්ඩා සෙබළුන් විසින් හමුදා කණ්ඩය වෙත අනපේක්ෂිත වෙඩිප්‍රහාරයක් එල්ල කරා.එයින් කොමාන්ඩෝ අණදෙන නිළදාරියා වුන යොනතන් නෙතන්යාහු මියගියා.තම අණදෙන්නා ඝාතනය කිරීමට පිළිතුරු දීමක් ලෙස ඊශ්‍රායල සෙබළුන් මැෂින් තුවක්කු හා රොකට් වෙඩි ප්‍රහාර වර්ශාවක් ගුවන් පාලක කුළුණ වෙතත් සැඟවී සිටි අනෙක් උගන්ඩා සෙබළුන් වෙතත් එල්ල කරා.මුල් සැලසුමේ නොවූවත් හදිස්සියේ උද්ගත වුන තත්වයක් මත එසේ ගුවන් තොටුපළට දරුණු ප්‍රහාරයක් එල්ල කල ඊශ්‍රායල සෙබළුන් ප්‍රාණ ඇපකරුවන්ද සමග නැවත තමන්ගේ යානාවලට නැගී ගුවන් තොටුපළෙන් පැන අහසට නැගී නැවතත් කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා.එතැනින් ඊශ්‍රායලයට ගමන් ඇරඹුවා.සතුරා අන්දමන්ද කරමින් ඉතාම සාර්තක විදියට අවසන් කරපු මෙහෙයුම කොච්චර ඉක්මනට සිදුවුනාද කියනවනම් සම්පූර්ණ මෙහෙයුම සඳහාම ගතවුනේ තිබුනේ විනාඩි 53ක් පමණයි.

ඊශ්‍රායලයේ මේ මෙහෙයුම මුළු ලෝකයාම පුදුමයට පත්කරා.ඇමරිකාව එංගලන්තය වගේ බලවත් රටවල් පවා මෙය සිදුකල නොහැකි මෙහෙයුමක් බව පැවසුවා.කොටින්ම ඇමරිකාව පවා මෙම ගලවාගැනීමේ මෙහෙයුමට දායක වුන ඊශ්‍රායල කොමාන්ඩෝ කණ්ඩායම අනුකරණය කරල ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂිත හමුදා කණ්ඩායමක් නිර්මාණය කරා.ඉරානය තමන්ගේ මෙහෙයුම් සඳහා ඊශ්‍රායල හමුදා සහය පැතුවා.
විශේෂයෙන්ම කිසිම ආලෝක සංඥාවක්වත් නැතුව අඳුරේම රහසිගතව ගුවන්‍ යානා ගොඩ බැස්සවීම ලොව කිසිම ගුවන් නියමුවෙකුට කලනොහැක්කක් ලෙස සැලකුනා.ඒ අනුව ඊශ්‍රායල ගුවන් නියමුවන් දක්ෂන්ගෙත් දක්ෂයන් විදියට වීරත්වයට පත්වුනා.මෙහෙයුමට දායක වූ කොමාන්ඩෝ සෙබලුන් විශිෂ්ටන්ගෙත් විශිෂ්ටයන් බවට පත්වුනා.ඔවුන්ට ගරු නම්බු නාම පදක්කම් හිමිවුනා.
ඊශ්‍රායල හමුදාව ලෝකෙ දක්ශතන හමුදාව කියලා කියන්නේ අන්න ඒ විශිෂ්භාවය නිසයි.


            මෙහෙයුමට එක්වූ හමුදා සෙබළුන්

  සිද්ධිය පාදක කරගෙන නිර්මාණය වුන 7 days in Entebbe නම් චිත්‍රපටිය

  ප්‍රධාන අණදෙන්නා වූ බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන්

 මෙහෙයුම අතරතුර මියගිය කොමාන්ඩෝ ඇන්දෙන්නා වූ යොනතන් නෙතන්යාහු

   මෙහෙයුම සඳහා භාවිතා කල බෙන්ස් රථය



         පැහැරගැනීම සිදුකල ඇල්ෆ්‍රඩ් බෝස්

              පැහැරගැනීම සිදුකල සිව්දෙනා

                  එන්ටැබේ ගුවන්තොටුපළ

       ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් විනාශවූ ගුවන් පාලන කුළුණ විනාශ වීමට පෙර

  ඉඩි අමීන් ප්‍රාණඇපකරුවන් සමග කතාබහ කරමින්

   මෙහෙයුම සාර්තකව නිමකල හමුදාව නැවත ඊශ්‍රායලයට පැමිණෙමින්

   බේරාගැනුනු පිරිස් සිය ඥාතීන් මුණ ගැසෙමින්

    බේරගත් පිරිස ඊශ්‍රායලයට ගොඩබසින අවස්තාව

මෙහෙයුමේදී මියගිය තම සොහොයිරාගේ සොහොන අසල සිටින වර්තමාන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු



 |Letterconik
 |21-04-2020








No comments:

Post a Comment