Monday, April 27, 2020

අපිට අයිතිනැති අපේ හීන (LifeNote :02)


අපි හීන තුල ජීවත්වෙන විට ඒ යතාර්තය යැයි හැඟුනත් අවදි වූ පසු එය එසේ නොවන අමුතුම ආකාරයක මායාවක් බව ලෝක ප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂක ක්‍රිස්ටොෆර් නොලන්ගේ "ඉන්සෙප්ෂන්" චිත්‍රපටියේ සඳහන් වුනා මට මතකයි.ඇත්තටම හීන කියන්නේ වෙනස්ම ආකාරයක දෙයක්.ඒක ෆැන්ටසියක්.හරියට රූපරාමු වලින් සිතුවිලි අතර ගෙත්තම් කරපු සිනමාපටයක් වගේ.රාත්‍රියේදී නින්දෙදී අපි හීන දකිනවා.ඒත් ඒ හීනවල වටිනාකමක් නම් කොයින්ද උදේ ඉර පායනවත් එක්ක ඒවා පරවෙලා යනවා නම්.බොහෝවෙලාවට ඒ හීන අර්ථ ශූන්‍යයයි.

අඳුරට අධිපති දෙවියන් අහසට අරක්ගත්ත රාත්‍රියේදී වගේම හොඳට ඉරපායලා තියෙන දීප්තිමක් දහවලක වුනත් හීන දකින්න පුළුවන්.ඒකට තහන්චියක් මේ ලෝකේ කිසිම හර පද්ධතියක නැහැ.අපි සම්මචලයට කිව්වත් දවල් හීන දකින්න එපා කියලා, විශ්වාස කරන්න මිත්‍රයා ඒවා තමයි හුස්ම ගන්න හීන.ජීවය තියෙන්නේ ඒ හීන ඇතුලේ.ඉතිහාසය පුරාවට මහා ශිෂ්ඨාචාර , අමරණීය නිර්මාණ විතරක් නෙමේ සදාතනික මතකයන් ලෝකයාට දායද වුනේ අන්න ඒ හීන නිසා.

මේ ලෝකේ හැමෝටම හීන තියෙනවා.රෑට දකින උදේට පරවෙන හීන නෙමෙයි.ජීවිතයක් ජීවත් කරවන හීන.පොඩි ළමයගේ ඉඳලා ජීවිතේ අවසාන හුස්ම වාතලයට මුසුකරන මිනිසා දක්වාම මහා වපසරියක ඒ හීන විසිරිලා තියෙනවා.කලින් කිව්ව වගේම හීන දකින්න හීන මවන්න කාටවත් තහන්චි නැහැ.ඒක තමයි අපි නිරන්තරෙන්ම උදම්අනන ශිෂ්ඨාචාරගතවුන බුද්ධිමත් ජීවියෙක් වුන මිනිසාගේ අයිතිය.ඒත් ප්‍රශ්ණය තියෙන්නේ එතන නෙමෙයි.ප්‍රශ්ණය, අපි ඒ හීන ඇතුලේ කොච්චර දුරක් ගමන් කරනවාද කියන එකයි.පාවලෝ කොයියෝගේ "මිනිත්තු එකොළහ" නම් නවකතාවේ සඳහන් වෙනවා 'අපි හීන සැබෑ කරගන්න උත්සහ නොකරන තාක්කල් ඒ හීන හරි සුන්දරයි' කියලා.ඒත් ඒ හීන කොහොමහරි හැබෑකර ගත්තොත් ඊටත් වඩා සුන්දරයි කියලා ලියන්න සමහරවිට ඔහුට අමතක වෙන්න ඇති.නැත්නම් එහෙම හීන හැබෑකර ගන්න බැරුව ඇති.ඇත්තටම හීන සීයට සීයක්ම සැබෑකරගත්තු මිනිස්සු මිහිපිට තියා මළවුන් අතරවත් කොටින්ම තුන් සක්වලේ කිසිම කොතැනවත් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ.මොකද හීන කියන්නේ නිතරම දළුලා වැඩෙන දෙයක් නිසා.එක හීනයක් ඉවර වෙද්දී තවත් හීනයක්...ඊට පස්සේ තවත් එකක්...

හීන කියන්නේ සුරංගනා කතාවගේ අමුතුම මායාවන්.ඒවා කොච්චරවත් අපිව අපි නොහිතපු පාරවල් වල ඇවිද්දවන්න ඇතිද...නොහිතපු අයව මුණගස්සන්න ඇතිද..ඒ නිසා ඒ හීනවලට අපි ආදරය කරන්න  පුරුදුවුනා.යථාර්ථයෙන් ඈතට ගියා.

අපි කොච්චර හීන මැව්වත් ඒ හීනවල තනි අයිතියක් බුක්ති විඳින්න අපිට ලැබෙන්නේ හීනෙකින්ම විතරයි.ඒ ඒවාට තව ගැනුම්කරුවන් , කොටස්කරුවන් ඉන්න නිසා.අපිට බැරිනම් අපේ හීනය මාකට් කරන්න,අපිට සිද්ධවෙනවා අපේ ඒ හීනය මකලා දාන්න.හරියටම කිව්වොත් පුංචි ළමයෙක් සුදුපාට කඩදාසියක ලාවට ඇඳපු වැදගත්කමක් නැති නිකම්ම නිකන් පැන්සල් ඉරක් වගේ එකපාරින් මකල දාන්න.

ශාක්‍ය ඝනතන්ත්‍රාධිපති වුන තමන්ගේ පියාගේ හීන පැත්තකට විසිකරලා තමන්ගේ හීන වෙනුවෙන් හිතුවක්කාර ගමනක යන්න සිද්ධාර්ත වගේ රාජකුමාරයෙකුට පුළුවන් වුනත් ගිණියම් වුන මේ පොළවෙ හිටගෙන අවාරෙට හමන මෝසම් සුළං එක්ක හැප්පෙන  අපේ අප්පච්චිලාගේ හීන එහෙම පැත්තකට විසිකරලා දාන්න පුළුවන් කාටද....ඒක එහෙම නෙමේ කියලා හිතෙනවානම් මතක් කරගන්න ඔයා හීන දකින්න පටන් ගත්තු තැන.ඒ හීනය කොහෙද..? අද ඔයා කොහෙද..? හිතට එකඟව කිව්වොත් අපි හඹායන්නේ වෙන කෙනෙක්ගේ හීනයක් පිටිපස්සේ.වෙන කෙනෙක් අපේ සිතුවිලි ඇතුලේ තැන්පත් කරපු කළලයකින් අපේ ආත්මය පුරාවට වැඩෙන හීනයක් පිටිපස්සේ.තමන්ටවත් අයිතිනැති හීනයක් සැබෑකරගන්න සටන් කරන මිනිස්සු තමන් ලඟ ඉන්න එකාගේ හෘදස්පන්දනය අඳුරන්නේ නැති තරමටම ආර්මාර්තකාමි වෙලානම් ,ඒ ගැන සමහරු බැන්නත් ඇත්තටම ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි කියලා තර්ක කරන්න පුළුවන්.මොකද ඒ මිනිස්සුන්ගේ හැඟීම් සහ හැකියා අර හීන එක්කම මකලා දාන්න සිද්ධවුන වුන නිසා.

ජොනී ඩෙප්ලා , මයිකල් ෆෙල්ප්ස්ලා , සංගක්කාරලා , ජැක්සන්ලා අපේ රටෙත් ඕනෙ තරම් ඇති ඒත් උන් විභාග කන්දට යටවෙලා කියන කතාව ඇත්ත කියලා හිතෙනවා අපි අතරෙම ඉන්න සමහර චරිත දිහා බලපුවාම.ඇත්තටම ඒක තමයි "ඉන්සෙප්ෂන්" චිත්‍රපටියේ තියෙනවා කියලා මම කලින් කියපු හීනවල මායාකාරී යථාර්ථය.
අගුළුදාපු මනස ඇතුලේ ඔයාව හිරකරලා දෑත්වලට විලංගු දාලනම් ඔයා කොහොමද ආයෙමත් හීනයක් සිතුවම් කරන්නේ.
අහම්බෙන් වගේ කනවැටුනු එක්තරා ගීතයක පද පේලි අතරෙ ඔය කතාව
හරි අපූරුවට ලියලා තිබුනා මෙන්න මෙහෙම.....

දූලි සුළං මැද ගිණියම් නගරේ
ඇවිලුණු මගෙ සිත සිතුවිලි පොදියට
මගෙන් අහිමිකල මගේ ලොවක් ගැන
හීන මැවූ බව දන්නේ කවුරුන්දෝ...


දූලි සුළං පිරුණු ගිණියම් නගරය අපේ ජීවිත කතාව කියලා හිතුවොත් ලියන මටත් , කියවන ඔයාටත් , අපි දෙන්නා අතරමැද පිරිසටත් , ඉන් භාහිර පිරිසටත් මේක කොතරම් දුරකට සාධාරණද කියලා හෘදසාක්ශියට තට්ටුකරලා අහන්න.

--ජීවිතේට පාඩමක්|LifeNote 02--

|Letterconik
|27-04-2020

No comments:

Post a Comment