Thursday, April 2, 2020

ආදරණීයන් අහිමි වීමේ වේදනාව.

ආදරණීයන් අහිමි වීමේ වේදනාව........

යුද්ධයේ වේදනාව උරුම වන්නේ යුද්ධයෙන් මියගිය උන්ට නොව,නොමැරී ජීවත් වූවන්ටයි.තමන්ගේ ආදරණීයන් අහිමි වී අතීතය තුලින් දෝංකාර දෙන මතකන්ගේ වේදනාකාරී ඉකිබිඳුම ජිවීත කාලය පුරාවටම දරාසිටීම නම් ඒ උරුමයයි.ඇත්තෙන්ම මිනිසෙකුට දෛවය විසින් හිමිකරදෙන වඩාත් කෲරතම දඬුවම වන්නේ එයයි.නිසැකවම එය මරණය මෙන් අනන්ත වාරයක් වේදනාකාරීය.දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු උදාවන සාමයේ හිරු දැකීමට ජීවත් වූවන් සියල්ලම එම දඬුවමට ගොදුරු වූවන්ය.මේ කතාවත් එවැන් නිර්දෝශී වැරදිකරුවෙකු ගැනයි......

ඈන් ෆ්‍රෑන්ක් එහෙම නැත්නම් "ඇනලීස් මාරි ෆ්‍රෑන්ක්" කියන්නේ යුදෙව් පවුලක ළමයෙක්..ඈන් ඉපදෙන්නේ 1929 ජූනි 12 වෙනිදා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවරදී. ඈන්ට හිටපු එකම සහෝදරියගේ නම මාග්‍රට් ෆ්‍රෑන්ක්..මාග්‍රට් ඈන්ට වඩා අවුරුදු තුනකින් වැඩිමල්.ඒ කියන්නේ ෆ්‍රෑන්ක් පවුලේ හිටියේ අම්මයි තාත්තයි අක්කයි නංගියි..නංගි තමා ඈන්.
ඈන්ගේ පියා "ඕටෝ ෆ්‍රෑන්ක්" පළමු ලෝක සංග්‍රාමයේදී ජර්මනිය වෙනුවෙන් යුධ වැදුනු හමුදා නිළධාරියෙක්.යුද්ධය ඉවර වුනාට පස්සේ හමුදාවෙන් ඉවත් වෙලා තමන්ගේම කියලා කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියපු ඔහු ඇතුලු ෆ්‍රෑන්ක් පවුලට තිබුනේ ලස්සන ජීවිතයක්.
ඒ ජර්මනිය පුරා යුදෙව් විරෝධී ආකල්ප වර්ධනය වෙමින් තිබුනු කාලයක්.ඉතින් ෆ්‍රෑන්ක් පවුලට ලස්සන දවස් උදා වුනේ 1933 අවුරුද්දේ ජනවාරි මාසේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි පක්ෂය ජර්මනියේ ආණ්ඩු බලය ලබා ගන්නා තෙක් පමණයි.යුදෙව් විරෝධී නාසීන් රටේ දේශපාලන බලතල හිමි කරගැනීමත් සමග ඈන් ඇතුළු ෆ්‍රෑන්ක් පවුලට ගතහැකි වූ වඩාත් බුද්ධිමත් තීරණය වුනේ ඈන්ගේ මව්බිම වුන ජර්මනියෙන් පිටවෙලා යන එක. ජර්මනියෙන් පිටවෙලා ගියපු ෆ්‍රෑන්ක්වරුන්ගේ ඊලඟ නවාතැන වුනේ නෙදර්ලන්තය.හරියටම කිව්වොත් නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් නුවර.

ඈන්ට වයස අවුරුදු 10ක් වෙද්දී දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වෙනවා හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කිරීමත් එක්ක.ඒ 1939 සැප්තැම්බර් 1 වෙනිදා.
ඊට අවුරුද්දකට පස්සේ 1940දී නාසින් නෙදර්ලන්තයත් යටත් කරගන්නවා.
      ජාර්මානුවන් නෙදර්ලන්තය ආක්‍රමණය කරන කාලෙ වෙද්දී ඈන් ෆ්‍රෑන්ක්ගේ තාත්තා පුංචි ව්‍යාපාරයක්  කරගෙන  Dutch Opekta Company නමින් පොඩි සමාගමක් පවත්වාගෙන හිටපු කෙනෙක්.
            හිට්ලර්ගේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් විදියට යුදෙව්වන් මත දැඩි සම්බාධක පනවනවා.මුල් කාලෙදී සෑම යුදෙව්වෙකුම යුදෙව් ලාංචනය වන තරු සලකුණ දැක්වෙන අත්පටියක් පැලඳීම අනිවාර්ය වුනත් එලිමහනේ හැසිරීමේ වරම හිමිවුනා.ඒත් ටිකෙන් ටික යුදෙව්වන් මත නාසි ප්‍රතිරෝධය වැඩිවෙන්නට වුනා.
උද්‍යාන,නගරශාලා , සිනමා ශාලා  වගේ ප්‍රසිද්ධ සිථාන වලට ඇතුලු වීම තහනම් කරනවා.ඒ වගේම යුදෙව්වන්ට ව්‍යාපාර කටයුතු වල නිරත වීම තනහම් කරනවා.ඒ නිසා ඈන් ෆ්‍රෑන්ක්ගේ තාත්තාගේ ව්‍යාපාරය එයාලට අහිමි වෙනවා.

තත්වය දිනෙන් දින නරක අතට හැරෙද්දී රැකවරණය පතා ඇමරිකාවට පැනල යන්න ඈන්ගේ පවුල උත්සහ කලත් වීසා බලපත්‍ර අහෝසි වීමෙන් ඒ අවස්තාව ඔවුන්ගෙන් ගිලිහෙනවා..ඒ විදියට තමයි දිවිරැකගැනීමේ පළවෙනි උත්සාහය ගිලිහෙන්නේ.
පැනල යන්න බැරි වුන නිසා ඊලඟට තිබුන එකම විසඳුම කොහේහරි හැංඟිලා ජර්මානුවන්ට හසුනොවී ඉන්න එක. ඉතින් ඈන්ගේ තාත්තා සැඟවී සිටීමට තැනක් සූදානම් කරනවා.
නාසීන් විසින් යුදෙව්වන් වහල් කඳවුරු වෙත ගාල් කිරීම මේ වන විටත් ආරම්භ කරල තිබුනා..ඉතින් ඔය අතරෙදී 1942 ජූලි 05 වෙනිදා ඈන් ෆ්‍රෑන්ක්ගේ අක්කට දුරකතන ඇමතුමකින් කැඳවීමක් ලැබෙනවා ජර්මානු වහල් කඳවුරකට එන්න කියලා.මේ නිසා කලින් සැලසුම් කරපු විදියට නොවුනත් කැඳවීමෙන් පසුවදාම ඈන් ෆ්‍රෑන්ක්ගේ දෙමව්පියන් දරුවො දෙන්නත් එක්ක එයාලගේ ව්‍යාපාර කාර්‍යාලය ගාව කලින් සූදානම් කරගෙන තිබුන රහසිගත අට්ටාලයේ එහෙම නැත්නම් රහසිගත කාමරයේ හැංගෙනවා..ඒ 1942 ජූනි මාසේ මුල හරියේ දවසක.

ටික කාලෙකට පස්සේ මේ රහස් කුටියට  මෙයාලගේ පවුලට හිතවත් තවත් පව්ල් දෙකක් එකතු වෙනවා.ඒ කියන්නේ තව හතර දෙනෙක්.මෙයාලා අට දෙනා කිසිම සද්දයක්වත් නැතුව ඉතාම රහසිගතව පුරා වසර දෙකක කාලයක් පුරාවට මේ කියන රහස් කුටියේ හැංගිලා ඉන්නවා..ඈන් විසින් ලෝක ප්‍රකට දින පොත ලියන්නේ මේ කාලේදී.රතු පාට කවරයක් තිබුන මේ දින පොත ඈන්ට හම්බෙන්නේ තෑග්ගක් විදියට 1942 ජූලි 12 වෙනිදට යෙදිල තිබුන එයාගේ 13 වන උපන් දිනේ දවසෙ.අනාගතේ දවසක මාධ්‍යවේදිනියක් වෙන්න හීන මවපු ඈන් තමන්ගේ අත්දැකීම් හා සිතුවිලි මේ දිනපොතේ පිටු අතර අකුරු බවට පෙරලනවා..සමහරවිට පාලුවෙන් පිස්සු නොවැටී ඉන්න පුංචි ඈන්ට ලිවීම උපකාරී වෙන්න ඇති.

බියෙන් හා සැකෙන් යුතුව ජීවිතය උදෙසා දෙවියන් යදිමින් ගෙවී ගිය වසර දෙකක කාලයකින් පස්සෙ දවසක නාසි වාදයෙන් මත්වුන නෙදර්ලන්ත ජාතිකයෙක්ගෙම ඔත්තුවක් යනවා නාසීන්ට..ඒ මෙයාලා හැංගිලා ඉන්න තැන ගැන.ලැබුනු ඔත්තුව අනුව ක්‍රියාත්මක වුන ජර්මානු හමුදා 1944 අගෝස්තු මාසේ 04 වෙනිදා ඈන්ලා හැංගිලා හිටපු රහසිගත අට්ටාලයට කඩා වැදිලා හැංඟිලා හිටපු සියළු දෙනාවම සිරභාරයට ගන්නවා.
ඉස්සෙල්ලාම මෙයාලව යවනවා අවුශ්විට්ස් වදකාගාරයට..ඒක තමා තිබ්බ ප්‍රධානම වධකාගාරය..ඒ වගේම වැඩිම යුදෙව්වන් පිරිසක් අමානුශික විදියට ඝාතනයට ලක්වුනෙත් ඒකෙදී..මෙයාලා ඇතුලු 1000ක් සිරකරුවන් දවස් තුනක පීඩිත දුම්රිය ගමනකින් පස්සේ 1944 සැප්තැම්බර් තුන් වෙනිදා අවුශ්විට්ස් වෙත ලඟාවෙනවා.කෑමවත් වතුරවත් හරියට නැති ඔක්කොම එක ගොඩේ ගියපු ගමනක් ඒක.
අවුශ්විට්ස් වලදී වෛද්‍ය පරීක්ෂණයක් කරලා වැඩ කරන්න පුළුවන් අයව වෙන් කරලා ඉතුරු වුන 350ක් විතර ඒ වෙලාවෙම යවනවා ගෑස් කාමරවලට.ගෑස් කාමරයෙන් ස්වර්ගයට...

ඉතුරු අයව කාන්තා සහ පිරිමි විදියට ආයෙම වෙන් කරලා වෙන වෙනම කඳවුරු දෙකකට දානවා.ඒ නිසා ඈන් ෆ්‍රෑන්ක් එයාගේ සහෝදරියයි අම්මයි එක්ක එක කඳවුරකට යද්දී තාත්තා වහල් සේවය සඳාහා වෙන් කරපු පිරිමි කඳවුරට යැවෙනවා..එදා තමයි ඈන් ෆ්‍රෑන්ක් තමන්ගේ තාත්තව දැකපු අවසාන දවස.තාත්තගෙ පැත්තෙනුත් ඒක එහෙමමයි.

පස්සේ ඈන් ෆ්‍රෑන්ක්වයි සහෝදරියයි එයාලගේ අම්මගෙ වෙන් කරලා යවනවා ජර්මනියේ "බර්ගන් බෙල්සන්" කඳවුරට..ඒ 1944 නොවැම්බර් මාසේ පළමුවෙනිදා.
බර්ගන් බෙල්සන් කඳවුරත් අනෙක් කඳවුරු වගේම මිහිපිට අපායක්.සිරකරුවන්,ඇත්තටම කිසිම වැරද්දක් නොකරපු තමන් යුදෙවන් විදියට ඉපදීම පමණක්ම වැරැද්ද වුන අහිංසක මිනිස්සු...තමන් යුදෙව්ද කියලවත් දන්නැති කුඩා ළමයින් එක පොදියට හිරවෙලා වද විඳපු තැනක්..වසංගත වලට උල්පත වුන ගඳ ගහන අපිරිසිදු තැනක්.ජීවිතය ගැන බලාපොරොත්තු ඉතිරි නොකරපු තැනක්...
       පරිසරයේ අපිරිසිදු බව රෝගා බෝකරන ප්‍රධානම සාධකය වුනා.උණසන්නිපාතය  කඳවුර පුරාම පැතිරුණු අතර ඈන්වත් ඇගේ සහෝදරිය මාග්‍රට්වත් ගොදුරු කරගත්තා..1945 පෙබරවාරි මාසේ දවසක සහෝදරියන් දෙන්නගෙන් වැඩිමලා වුන මාග්‍රට් මිය යනවා..එයින් දවස් කීපයකට පස්සේ ඈනුත් වේදනාකාරී ජීවිතෙන් සමුගෙන් දෙවියන් වෙත යනවා..

ෆ්‍රෑන්ක් සහෝදරියන්ගෙ මරණින් මාස දෙකකට පස්සේ රුසියානු හමුදා ප්‍රමුක මිත්‍ර පාර්ශවීය හමුදා ජර්මනියේ බර්ලීන් ආක්‍රමණය  කිරීමත් එක්ක හිට්ලර් සිය දිවි නසාගෙන ලෝක යුද්දේ  යුරෝපීය මට්ටමින් අවසන්  වෙනවා.ඊට පස්සේ අවුශ්විට්ස් බන්ධනාගාරෙ රුසියානුවන් අතට පත්වෙනවා.
ඊට පස්සේ රුසියානු බලධාරීන් මේ අවුශ්විට්ස් බන්ධනාගාරෙ හිටපු සිරකරුවෝ නිදහස් කරලා එයාලගේ මුල් ගම් බිම් බලා යන්න අවස්තාව හදල දෙනවා.මේ වගේ නිදහස් වුන එක්කෙනෙක් තමයි ඈන් ෆ්‍රෑන්ක්ගේ තාත්තා.නිදහස් වෙලා ආපහු නෙදර්ලන්තයට යන අතරමගදීම තමන්ගේ බිරිඳ මිය ගිය බව එයා දැනගන්නවා.
එයා නෙදර්ලන්තයට ආවට පස්සේ තමා දැන ගන්නේ තමන්ගේ දුවල දෙන්නත් ජීවතුන් අතර නෑ කියලා..ඒ වගේම තමන්ගේ පවුලේ අය එක්ක එකට හැංගිලා හිටපු අනික් හතර දෙනත් ජීවතුන් අතර නෑ කියලා..සරලවම එයා මේ ලෝකේ තනිවෙලා.මිනිහෙක් ජීවිත කාලයක් තුල ඒ වගේ වේදනාවක් කොහොම  නම් දරාගන්නද......?
නෙදර්ලන්තෙට ආපු ඈන්ගේ තාත්තාට දවසක් අහම්බෙන් හම්බෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වලදී ලේඛම් විදියට හිටපු කෙනාව..පුංචි ඈන් මිය ගිය බව දැනගත්තාට පස්සේ මේ තැනත්තා ඈන්ගේ තාත්තට දෙනවා හැංඟිලා හිටපු කාලෙදී ඈන් ලියපු දින පොත.ඒක එයා පරිස්සම් කරලා තියන් ඉඳලා..මතක සටහනක් විදියට.
අන්න ඒක තමා "Diary of Anne Frank" නමින් ලෝකය පුරා ප්‍රසිද්ධ වුන ඈන් ෆ්‍රෑන්ක්ගේ දින පොත.

පස්සෙ කාලෙක ඒ කියන්නේ 1960 දවසක ඈන් ෆ්‍රෑන්ක්ගේ තාත්තා යනවා එයාලා හැංගිලා හිටපු රහස් කුටිය බලන්න ආයෙමත් පාරක්..අන්න ඒ වෙලාවේ ගත්තු චායාරූපයක් තමා ඔය ඉහලින් දාලා තියෙන්නේ..ඉතින් ඒ කුටියේ හිටපු අයගෙන් අවසානෙට ඉතුරු වුනේ ඈන් ෆ්‍රෑන්ක්ගේ තාත්තා විතරයි....
කුටියේ බිත්ති පුරා හඬනගන මතකයන්ගේ දෝංකාරය ඔහුට කෙතරම් නම් එදා ඇහෙන්න ඇතිද.?
තමන්ගේ ආදරණීයන් අහිමි වීමෙන් තමන්ගේ ඉතිරි ජීවිත කාලය පුරාවටම ඇති කරන ආත්මීය හිස්බව , මතකයන්ගේ වේදනාව , අසීමිත දුක සහ පරාජයේ අඳුරු බව
මේ චායාරූපයේ ඈන් ෆ්‍රෑන්ක්ගේ තාත්තගේ මූනෙන් කොච්චර හොඳට පෙන්නුම් කරනවද..

 සංකල්ප ගුණතිලක✍️--
 03 -04- 2020.     

2 comments: