Sunday, May 10, 2020

වෛද්‍ය මොරිස්ගේ ආන්දෝලනාත්මක වෛද්‍ය පරීක්ෂණ


(ඉතිහාසයේ පව්සමා කිරීමක්)

ඇමරිකානු ජාතික වෛද්‍ය ජේම්ස් මොරිස් සිම්ස් හඳුන්වන්නේ නූතත නාරිවේදයේ පියා විදියටයි.ඒ ඔහු විසින් අදාල ක්ෂේත්‍රයට දායාද කල දැනුම් සම්භාරය නිසා.ඔහුගේ සොයාගැනීම් වත්මන් ලෝකයාගේ යහපත  උදෙසා හේතු වුවත් මේ වන විට ඔහුගේ ඔහු සිදුකල පරීක්ෂණ මතභේදයට තුඩදුන් කරුණක් වෙලා.

ජේම්ස් මොරිස් සිම්ස් කියන්නේ ඇමරුකානු ජාතික වෛද්‍යවරයෙක්.ඔහු උපත ලබන්නේ 1813 ජනවාරි මාසේ 25 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේදීයි.ඔහු 1835දී ෆිලඩෙල්ෆියාහි ජෙෆර්සන් වෛද්‍ය විද්‍යාලයෙන් තමන්ගේ වෛද්‍ය උපාධිය ලබාගත්තා.උපාධිය ලබාගත්තට පස්සේ නැවතත් තමන්ගේ උපන් ගම් ප්‍රදේශයට ගියත් වෛද්‍යවරයෙක් විදියට වෘත්තීයමය සාර්තකත්වයක් බලාගන්න ජේම්ස් මොරිස්ට බැරිවුනා.ඒ ඔහුගෙන් ප්‍රතිකාර ලද මුල්ම රෝගීන් දෙදෙනාම මියගිය නිසායි.
ඊට පස්සේ ගම්බිම් අත්හැරලා ඇලබාමා වෙත පදිංචියට ආපු ජේම්ස් මොරිස්ට තමන්ගේ වාසනාව හමුවුනේ එහිදීයි.උපන් ගමෙන් අසාර්ථක වුනත් අලුත් ප්‍රදේශයකට ආ මේ නන්නාදුනන වෛද්‍යවරයා ඒ ප්‍රදේශයේ එතෙක් බිහිවූ සාර්ථකම වෛද්‍යවරයා වෙනවා.කෙතරම් ජනප්‍රියතාව ජේම්ස් මොරිස් අත්පත් කරගත්තාද කියනවා නම් ඒ වනවිට ඉතිහාසයේ වැඩිම රෝගීන් සංඛාව වාර්තා වුනේ මොරිස්ගේ සායන වලින්.මොරිගේ ජිවිතේ තවත් හැරවුම් ලක්ෂයක් හමුවෙන්නේ මෙ කාලයේදීයි.ඒ හැරවුම් ලක්ෂය වුනේ වහල් සේවකයන්ට ප්‍රතිකාර කිරීමට අවස්තාවක් ලැබීමයි.
ඇමරිකානු ජාතිකයන්ගේ සුදු හමට වඩා මෙලනීන් සහිත කළු හමක් දරාසිටි අප්‍රිකානු ඇමරිකානු කලු ජාතිකයන් තමයි මේ වහල්ලු විදියට හැඳින්වුනේ.ඒ කාලේ කලු හම සුදු හමට යටයි. ඉතින් කුතුහලයෙන් පිරුණු මනසක් තිබුන ජේම්ස් මොරිස් මේ කළු ජාතික වහල් මිනිසුන් උදෙසා රෝහලක් ආරම්භ කරා.ඒ තමන්ගේ මුදලින්.ඒ වුනාට ඔහුගේ යටි අරමුණ වුනේ ස්වයං අධ්‍යාපනය.රෝගී වූ වහලුන් මේ සඳහා භාවිතා කරන්න කාගෙන්වත්  තහංචි නැති නිසා ඒ.

1845 අවුරුද්දේ දවසක වෛද්‍ය මොරිස් ගාවට එනවා මීට කලින් කවදාවත්ම මොරිස්ට හමුනොවුන විදියේ සංකූලතාවක් සහිත රෝගී කාන්තාවක්.ඒ කාන්තාව පීඩා වින්දේ Vesicovaginal fistula නම් තත්වයෙන්.ඒ කියන්නේ මුත්‍රා මාර්ගය සහ යෝනි මාර්ගය අතර සම්බන්ධවීමක්.ඒක අසාමාන්‍යය තත්වයක්.ඒ වගේම වේදනාකාරීයි.මේ කාලෙදී ,ඒ කියන්නේ 19 වැනි සියවස පමණ වෙද්දී මේ තත්වය සමාජයේ සුලභව දකින්න ලැබුනු දෙයක්.ඒ කාලේ උපත් පාලන සාර්තක උපත් පාලන ක්‍රම නොතිබූ නිසා දරු උපත් ඉතා ඉහළ සීග්‍රතාවකින් සිදුවීම ඒ විදියට මේ තත්වය බහුල වීමට බලපෑවා.
ඒ වගේම මෙයින් පීඩා විඳි කාන්තාවන් සමාජයේ පිළිකුලට භාජනය වුනා.ඒ කොහොම වුනත් මේ සඳහා ප්‍රතිකාර ක්‍රම හෝ ප්‍රතිකාර සඳහා යොමු වීමක් හෝ දකින්න ලැබුනේ නැහැ.ඒ නාරිවේදය දියුණු නොවීමත් වෛද්‍යවරුන් පිරිමින් වූ නිසා කාන්තාවන් සායන වලට නොපැමිනීමත් නිසායි.කොහොම වුනත් මතු ලෝකයාගේ වාසනාවට එදා ඒ ස්ත්‍රිය වෛද්‍ය ජේම්ස් මොරිස් හමුවී තිබුනා.එදායින් පස්සේ මේ වගේ සංකූලතාවන් ගැන අවධානය සහ කුතුහලය යොමු කරපු වෛද්‍ය ජේම්ස් මොරිස් කාන්තාවන් සම්බන්ධ රෝග ගැන පරීක්ෂණ කිරීම ආරම්භ කරා.
මුලින්ම වහල් හිමියන්ගෙන් අදාල තත්වයන්ගෙන් පෙලෙන වහල් කාන්තාවන් සිටීනම් තමන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට කාන්තාවන් කීප දෙනෙකු සොයාගැනීමට වෛද්‍ය ජේම්ස් මොරිස්ට හැකිවුනා.ඊට පස්සේ තමන්ගේ පුද්ගලික රෝහලේ නේවාසිකව ඔවුන්ව රඳවා ගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරා.1845 ඉඳලා 1849 දක්වා පුරා අවුරුදු හතරක කාලයක් මේ පරීක්ෂණ කටයුතු සිදු කෙරුනා.Vesicovaginal fistula තත්වයට අමතරව rectovaginal fistula සහ neonatal tetunus වැනි රෝග සඳහා ඔහු පරීක්ෂණ මෙහෙයවූවා.
ඔහුගේ අරමුණ වුනේ මේ fistula තත්වයන් සැත්කම් මගින් සාර්තකව සුව කලහැකි ක්‍රමයක් සොයාගැනීමයි.ඒ සඳහා ඔහු කළු ජාතික වහල් කාන්තාවන් නිරන්තර සැත්කම් වලට භාජනය කරා.නමුත් ඔහු මේ සැත්කම් සියල්ලම සිදුකලේ කිසිඳු නිර්වින්දන ක්‍රියාවලියකින් තොරවයි.ඒ කාලේ කළු ජාතිකයන්ට වේදානාව නොදැනෙන බවට සමාජයේ ව්‍යාජ මතයක් තිබුනා.මේ විදියට නිර්වින්දන භාවිතා නොකරන්න ඒකත් හේතුවක් වෙන්න ඇති.කොහොමහරි මොහුගේ මේ පරීක්ෂණ සැත්කම් වලට භාජනය වුනු ඇතැම් කාන්තාවන් මියගියා.

කොහොමින් කොහොමහරි වසර හතරක කාලයක් වැය කරලා එක දවසක් තමන්ගේ පරීක්ෂණ සැත්කම් වල සාර්තකත්වය අත්දකින්න වෛද්‍ය ජේම්ස් මොරිස්ට හැකිවුනා.ඒ "ඇනාර්කා" නම් vesicovaginal fistula තත්වයෙන් පීඩාවිඳි එක් කළු ජාතික වහල් කාන්තවක් සැත්කමකින් සාර්තකව සුව කල පසුවයි.ඒත් මේ සාර්තක සැත්කමට කලින් තව අසාර්ථක සැත්කම් 30කට කිසිඳු නිර්වින්දයකින් තොරවම මුහුණ දීමට මේ කාන්තාවට සිදුවුනා.

1852 දී තමන්ගේ පරීක්ෂණ වාර්තා ඔහු විසින් ප්‍රකාශයට පත් කරා.සැත්කම් ක්‍රමය සාර්තක බව ලෝකයා දැනගත්තා.එහි ගෞරවය වෛද්‍ය ජේම්ස් මොරිස්ගේ නම ඉදිරියේ විතරක් සටහන් වුනා.වේදානාත්මක සැත්කම්වලට මුහුණදීපු කාන්තාවන් අමතකවී ගියා.අවසානයේදී ඒ කාන්තාවන් ගැන මතක ඉතුරු වුනේ වෛද්‍ය මොරිස්ගේ පුද්ගලික වාර්තාවල විතරයි.

පරීක්ෂණය සාර්තක වුනාට පස්සේ තමයි සුදු ජාතික කාන්තාවන්ට මේ ප්‍රතිකාර ක්‍රමය විවෘත වුනේ.ඒත් ඔවුන්ට නම් කළු ජාතික කාන්තාවන්ට නොලැබුනු නිර්වින්දන වල සහය හිමිවුනා.ප්‍රතිකාර වඩාත් ඉහළ තලයකට ඉසවා තැබීමට වෛද්‍ය මොරිස් විසින් 1855 නිව් යෝර්ක් නුවර කාන්තා රෝහලක් ආරම්භ කරනවා.ඒ ඇමරිකානු ඉතිහාසයේ පළමු කාන්‍තා රෝහලයි.

වහල් කාන්තාවන්ගේ වේදනා මත තමන්ගේ දැනුම රෝපණය කරලා වෛද්‍යවිද්‍යාවේ නව මානයක් විවෘත කෙරූ මේ ඇමරිකානු ජාතික වෛද්‍යවරයා ලෝකය පුරා විහිදීගියපු කීර්තියක් අත්පත් කරගත්තා.ඒ වගේම ගරු නම්බුනාම , සම්මාන,පදක්කම් සහ තනතුරු රාශියකින් පිදුම් ලැබුවා.ඒ වගේම වෛද්‍යවිද්‍යාවේ තමන් විවර කල නව දොරටුව පිළිබඳව ඔහු විසින් පොත් පත් රචනා කරා.
අවසානයේදී ඉහල ගෞරවාන්විත ජීවිතයකට හිමිකම් කියමින් සිටි වෛද්‍ය මොරිස් 1883 නොවැම්බර් මාසේ 13 වෙනිදා ඇතිවූ හෘදයාබාධයක් නිසා ඇමරිකාවේ මෑන්හැටන් හිදී මියපරලොව ගියා.ඔහුගේ දේහය මේ වෙද්දී නිව් යෝර්ක් නුවර සුසාන භූමියක මිහිදන් කරල තියෙනවා.

වෛද්‍ය මොරිස් මියගිහින් කාලයක් ගතවුනා.සිවිල් අරගලවල ප්‍රතිපලයක් විදියට වහල්භාවය අවසන් වුනා.කළු ජාතිකයන්ටත් සුද්දන් හා සමානවම අයිතිවාසිකම් හිමිවුනා.මොරිගේ පරීක්ෂණ වලට භාජනය වෙල ලෝකෙටම රහසෙ සමුගත් කළුජාතික කාන්තාවන්ව ආයෙමත් මතක්වුනා.මොරිගේ ඒ පරීක්ෂණ අමානුශික බවට කතාබහක් ඇතිවුනා.ඒ වගේම ඒවාට ජාතිවාදී අර්ථදැක්වීමකුත් සමහර තැන්වලින් ලැබුනා.කාන්තා අයිතිවාසිකම් උදෙසා වූ සංවිධාන වෛද්‍ය මොරිස්ගේ අමානුශික වෛද්‍ය පරීක්ෂණ වලට එරෙහිව හඬ නැගුවා.ඒත් ඒ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.වෛද්‍ය මොරිස් වගේම ඔහුගේ පරීක්ෂණ වලට භාජනය වුන කාන්තාවන්ද තම තමන්ගේ ජීවිත වලින් සමුඅරන් සෑහෙන කාලයක් ගෙවිලා ගිහින්.ඉතිහාසය තුල තවමත් ඉතුරු වෙලා තිබුනේ අඳුරු වේදනාවේ කළු පැල්ලම විතරයි.වෛද්‍ය මොරිස්ට පක්ෂව වගේම විපක්ෂව අදහස් පැතිරෙන්නට වුනා.මේ ගතකරග තත්පරේදී වුනත් හරි වැරැද්ද ගැන පවතින්නේ අවිනිශ්චිතභාවයක්.
පරීක්ෂණ කටයුතු අමානුශික වුනත් වෛද්‍ය මොරිස්ගේ සොයාගැනීම නිසා ජිවිත රාශියක් වර්තමානයේ සුවසෙත අත්කරගන්නවා.ඒක අනාගතේ දක්වාම පරම්පරා රාශියක කාන්තාවන් දස දහස් ගණනකට සුවසෙත සලසන වෛද්‍යවිද්‍යාවේ දැවැන්ත ආයෝජනයක් වගේ."නාරිවේදයේ පියා" යන ගෞරව නාමය නිසඟයෙන්ම මොරිස්ට හිමිවිය යුතුබව පිලිගැනුනා.ඒ වගේම කතාවේ හිටපු තව කෙනෙක්ට ගෞරව නාමයක් පූජාකෙරුනා.ඒ තමයි වේදනාකාරී සැත්කම් 30ක් ඉවසාගෙන සිටි,මොරිස්ගේ සාර්තකත්වය පිටුපස සිටි ඒ කාන්තාවට.නිළවශයෙන් නොවුනත් ඇයව "නාරිවේදය මව්තුමය" ලෙසින් වෛද්‍යා ආචාරධර්ම ගැන කතාබහ කරන බොහෝදෙනෙක් අද පිළිගන්නවා.

විවාදාත්මක භාවය තවදුරටක් ඉදිරියට ඇදෙද්දී  කාන්තා සංවිධාන විසින් නිව් යෝර්ක් නගර උඋද්‍යානයේ නිර්මාණය කර තිබුණු වෛද්‍ය මොරිස්ගේ ලෝකඩ ප්‍රතිමාව ඉවත්කරන මෙන් නගර බලධාරීන්ගෙන් ඉල්ලමින් පිළිරුව ඉදිරිපිට විරෝධතා දක්වනවා.මේ විරෝධතාවල ප්‍රතිපලයක් විදියට 2018 අප්‍රේල් මාසේ 17 වෙනිදා පුරා වසර 124ක් මුළුල්ලේ විරාජමානව නිව් යෝර්ක් නගර මධ්‍යයේ වැජඹුන වෛද්‍ය මොරිස්ගේ පිළිරුව එතැනින් ඉවත් කෙරෙනවා.ඒ නිව් යෝර්ක් නගර සැලසුම් කොමිසමේ රහස් චන්ද විමසීමකින් පසුවයි.එතැන් ඉවත් කල පිළිරුව වෛද්‍ය මොරිස්ව මිහිදන් කර ඇති නිව් යෝර්ක් නුවර බෲක්ලින් සුසාන භූමියේ ස්ථාපිත කරනවා.
ඒ වගේම 2006දී, මොරිස් විසින් තමන්ගේ සායන මෙහෙයවූ ඇලබාමාහි පිහිටි බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ තිබුන "ඇලබාමාහි වෛද්‍යවිද්‍යා දැවැන්තයා" ලෙසින් නම් කරන ලද ඩොලර් 20,000කට අධික වටිනාකමකින් යුතු  සිතුවමක් ඉවත් කිරීමට එම විශ්වවිද්‍යාලය තීරණය කරනවා.

වෛද්‍ය මොරිස්ගේ වගේම වහල් කාන්තාවන්ගේද කතාවන් ඉතිහාසය තුල තවමත් අසම්පූර්ණයි.ඒ ඉතිහාසය හැමදාම සාධාරණ සහ අසාධාරණය අතර දෝලනයවන්නක් නිසා.


වෛද්‍ය ජේම්ස් මොරිස් සිම්ස්(නාරිවේදයේ පියා)

 මොරිස් ඇතුළු කණ්ඩායම "ඇනාර්කා"නම් වහල් කාන්තාව පරික්ෂාවට භාජනය කරමින්


 මොරිස්ගේ පිළිරුව ඉදිරිපිට සිදුකෙරෙන විරෝධතා



                    පිළිරුව ඉවත් කරමින්



      ඉවත්කල පසු සතුට සමරන විරෝධතාකරුවන්


    පිළිරුව ඉවත්කලාට පසු


|Letterconik blog
|10-05-2020


No comments:

Post a Comment