Saturday, March 7, 2020

විසිවන සියවසේ ආදරය උදෙසා කල ශ්‍රේෂ්ටතම පරිත්‍යාගය❤


සාලිය කුමාරයා කියන්නේ මුළු ලංකා දීපයටම අගරජ වෙන්න හිටපු කෙනෙක්.එයා තමයි ලංකා ඉතිහාසයේ හිටිපු බලවත්ම පාලකයාගේ පුතා.ඒත් අශෝකමාලා කියන සැඩොල් කුලේ ස්ත්‍රිය විවාහ කරගන්න එයා රජකම අතාරිනවා..

  මේ කතාවේ ප්‍රේමවන්තයා වෙන්නෙත් රජ පවුලක කෙනෙක්.හරියටම කිව්වොත් එයා බ්‍රිතාන්‍යය රජ කිරුළ දරපු රජ කෙනෙක්.ඒ තමයි අට වෙනි එඩ්වර්ඩ් රජතුමා.
8 වෙනි එඩ්වඩ් එහෙම නැත්නම් "එඩ්වර්ඩ් ඇල්බට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෘ පැට්‍රික් ඩේවිඩ්" කුමරු උපත ලබන්නේ වික්ටෝරියා රැජිණ රජකම් කරන කාලයේදීයි.ඒ 1894 ජූනි මස 23 දින සරේ ප්‍රාන්තයේ රිච්මන්ඩ් පාක් හි White Lodge මන්දිරයේදී එවකට යෝර්ක් හි ආධිපාදවරයාව සිටි එමෙන්ම පසු කලෙක බ්‍රිතාන්‍යයේ රජ වූ පස්වන ජෝර්ජ් රජුට හා ඔහුගේ බිරිඳ වූ මේරි රැජිණට දාව  සහොදරයන් හයදෙනෙකු සහ එක් සහෝදරියකගෙන් යුත් පවුලේ වැඩිමලා විදියටයි.
උපදින විට රජකිරුළට තෙවන උරුමක්කාරයා වුනේ එඩ්වඩ් කුමරුයි.ඒ ඔහුගේ සීයාට සහ පියාණන්ට පසුවයි.හත්වන එඩ්වඩ් ලෙස සිය පියාණන්ගේ පියා රජවූ අතර එයින් පසු රජකම ඔහුගේ පියාට හිමිවිය.1910 මැයි මස 06 වන දින එඩ්වඩ් කුමරුගේ පියා "5 වන ජෝර්ජ්" ලෙස බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ රාජ්‍යත්වයට පත්වන විට ,එඩ්වඩ් කුමරු නිරායාසයෙන්ම රජපවුලේ වැඩිමලා විසින් දැරිය යුතු "Cornwall හි ආදිපාද" තනතුරටත් , රජ කිරුළේ උරුමකරු විසින් හෙබවිය යුතු "Rothesay හි ආදිපාද" තනතුරත් පත්විය.එමෙන්ම 1910 ජූනි 23 දින එනම් ඔහුගේ 16 වන උපන්දිනය දා  වේල්සයේ කුමරු ලෙසත් චෙස්ටර් හි අර්ල්වරයා ලෙසත් ඔහුව නම් කෙරිනි.
1907 දී "රාජකීය නාවික විද්‍යාලයට" ඇතුලත් වූ ඔහු නාවික කැඩෙට් වරයෙක් ලෙස පළමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සේවය කලේය.ඉන්පසු 1911 දී නාවික විද්‍යාලයෙන් ඉවත් වූ ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Magdalen විද්‍යාලයට ඇතුලත් විය.

එඩ්වඩ් කුමරු හට විවාහක කාන්තාවන් සමග ප්‍රේම සම්බන්ධතා කීපයක්ම තිබිනි."තෙල්මා මෝර්ගන්" යනු එයින් එක් අයෙකි.1931 ජනවාරි 10 දින තෙල්මා මෝර්ගන් විසින් සාදයක් සංවිධානය කර තිබුනි.එයට එඩ්වඩ් කුමරුටද ආරාධනා ලැබුනු අතර කුමරුගේ ජීවිතේ වෙනස් කරන හමුවීම සිදුවන්නේ මෙම සාදයේදීයි.
    තෙල්මා මෝර්ගන් විසින් Wallis Simpson(වාලිස් සිම්සන්) නම් සිය ඇමරිකානු ජාතික මිතුරියකටද මෙම සාදය සඳහා ආරාධනා කර තිබිනි.
Wallis Simpson උපන්නේ 1896 ජූනි 19 දා ඇමරිකාවේ Maryland හිදීයි.ඇය ඉපදී පස් මසක් ගත වූ පසු ඇගේ පියා මෙලොව ඇතැර ගියේ කිසිඳු වත්කමක් සිය බිරිඳට හා දියණියට ඉතිරි නොකරමිනි.එම නිසා ඔහුගේ මරණින් පසු අන්ත දුගී තත්වයට පත්වූ ඔවුන්ව රැකබලා ගත්තේ වාලිස්ගේ මියගිය පියාගේ සහෝදරයා විසිනි.
 තරුණ වසයට අවතිර්ණ වුනත් වාලිස් එතරම්ම රූමත් ස්ත්‍රියක් නොවීය.නමුත් ඇයට  දීප්තිමත් නෙත් යුගලක් සහ ආකර්ශනීය කෙස් කළඹක් තිබිනි.නීල වර්ණ නෙත් යුගලක් හිමි ඉතා කඩවසම් අයෙක් වූ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු ඇයට වශී වීමට එය හොඳටම ප්‍රමාණවත් විය.
එඩ්වඩ් කුමරු හමුවන විට වාලිස් දෙවතාවක් විවාහ වී සිටි කාන්තාවක් විය.ඇයගේ පළමු විවාහය සිදු වූයේ ඇමරිකානු නාවික හමුදාවේ නියමුවරයෙක් සමගයි.නමුත් පළමුවන ලෝක යුද්ධය අවසන් කර නැවත පැමිනි ඔහුට යුද්ධයෙන් ලද කම්පනය නිසා සිය සුපුරුදු පැරණි ජීවිතයට අවතීර්ණ වීමට නොහැකි වී බේබද්දෙකු බවට පත්විය.වාලිස් ගේ පළමු විවාහ දිවිය එසේ බිඳී ගොස් දෙදෙනා දික්කසාද වී මාස 6කට පසු එනම් 1928 ජූලි මාසයේදී ඇය සිය දෙවන විවාහය ව්‍යාපාරිකයෙකු වූ අර්නස්ට් සිම්පසන් සමග සිදු කර ලන්ඩනයේ පදිංචි විය.වාලිස් හට තෙල්මා මෝර්ගන්ගේ සාදය සඳහා ආරාධනා ලැබෙන්නෙත් එඩ්වඩ් කුමරු මුන ගැසෙන්නෙත් මේ අවධියේදීය.

මුලින්ම වාලිස් සිම්පසන් හා එඩ්වඩ් කුමරු අතර මුලින් ඇතිවූ මිත්‍රත්වය ක්‍රමයෙක් ආදරයක් දක්වා වර්ධනය වූයේ එඩ්වඩ් හා පියරජු අතරත් එඩ්වඩ් සහ තෙල්මා මෝගන් අතරත් වූ සම්බන්ධතා ටිකෙන් ටිකෙ පලුදු හා දුර්වල කරමිනි.ඒ වන විට වාලිස් සිම්සන් විසින් සිය දෙවන විවාහයෙන්ද දික්කසාද වීමේ මූලික පියවර තබා තිබූ සමයකයි.ඇය ඇමරිකානු ජාතික කාන්තාවක් වීමත් දෙවතාවක්ම විවාහ වී සිටීමත් මෙන්ම දෙවන විවාහයේ සැමියා තවමත් ජීවතුන් අතර සිටීමත් යන හේතු කරුණුකොට ගෙන ජෝර්ජ් රජු ඇතුලු රාජකීයනුත් රජයේ ඉහළ පෙලේ නිළධාරීනුත් එඩ්වර්ඩ්ගේ මෙම ප්‍රේම සම්බන්දය පිළිබඳ දැරුවේ දැඩි සෘණාත්මක මතයකි.ජෝර්ජ් රජු විසින් ඔවුන් දෙදෙනා පසුපස රහස් ඔත්තු සේවයේ නිළධාරීන් පවා යෙදවීය.නමුත් දෙදෙනා අතර බැඳීම ඒ කිසිවකට බිඳ හෙලිය නොහැකි විය.ඇතැම් ඉතිහාසඥයන්ට අනුව වාලිස් සැබෑවටම ආදරය කලේ එඩ්වඩ් හට නොව ඔහු සතු බලයට ධනයට හා කීර්තියට බව පැවසුනත් ඒවා රජපවුලේ ගෞරවය උදෙසා වාලිස් හටම වැරැද්ද පැටවීමේ අරමුණෙන් ගොතන ලද කතන්දර බව  සමහරු ප්‍රකාශ කරයි.

  කෙසේ වෙතත් 1936 ජනවාරි 20 මධ්‍යම රාත්‍රිය එළඹීමට ඔන්න මෙන්න තිබියදී සිය පිය රජු වූ පස්වන ජෝර්ජ් රජ මිය ගිය බව ඔටුන්න හිමි එඩ්වඩ් කුමරුට දැනගන්න ලැබිනි.ඒ අනුව පියාගේ ඇවෑමෙන් මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ එඩ්වර්ඩ්ට හිමි විය.ඔහු 8 වන එඩ්වර්ඩ් ලෙස රාජ්‍යත්වයට පත් විය.
රාජ්‍යත්වයට පත්වූ විගසම ඔහු ලබාදුන් ඇතැම් තීන්දු තීරණ අනුව සිය පියා විසින් සිදුකරන ලද ඇතැම් ප්‍රතිසංස්කරණ  නොසලකා හරින බවත් සාම්ප්‍රදායික රාජ්‍ය පාලන ක්‍රමවේදයන් අභියෝගයට ලක්කරන බවත් පෙනෙන්නට තිබිනි.රාජ්‍ය පරිපාලනය නව්‍යකරණයකට ලක් කිරීමට එඩ්වඩ් රජුට අවශ්‍ය විය.ඔහු විසින් සිය වයෝවෘධ රාජකීය උපදේශකයන් සේවයෙන් ඉවත් කරන ලද්දේ ඔවුන් සතු උපදෙස් හා විසඳුම් යල්පැන ගිය ඒවා බව පවසමිනි.එමෙන්ම ඇතැම් රාජකීය නිළධාරීන්ගේ වැටුප් හා දීමනා කපා හරින ලදී.මේ හේතූන් නිසා ඔහු වටා සිටි ඇතැමුන් ඔහු පිළිබඳ කලකිරීමෙන් සිටි නමුත් ලෝක යුද්ධයට දායක වී යුද්ධ පිළිබඳ මනා අවබෝදයක් ලබා සිටි නිසත් අධිරාජ්‍යයේ සෑම අස්සක් මුල්ලක් කරාම සංචාරය කර අධිරාජ්‍යය පිළිබඳ මනා අවබෝදයක් ලබා සිටි නිසාත් ඔහු දේශපාලනික වශයෙන් සාර්තකවේයැයි විශ්වාසයක් රජයේ ඉහල පෙලේ නිළධාරීන් සතුව පැවතිනි.නමුත් ඊටද කනකොකා හඬන්නට පටන් ගත්තේ ඔහු සතුවූ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසයි.විශේශ රැස්වීම් , හමුවීම් මෙන්ම කැබිනට් පත්‍රිකා අත්සන් තැබීම් පවා ඔහු විසින් වගකීම් විරහිත ලෙස නොසලකා හරින ලදී.අවසාන මොහොතේ පවා ඒවා ව්‍යාර්ත කරන ලදී.ඔහු එසේ රාජකාරි පැහැර හැර වගකීම් වූයේ වාලිස් සිම්සන් වෙත ඔහුගේ වූ දැඩි බැඳීම නිසා බව ඇතැමෙක්ගේ පිළිගැනීම විය.තවද ඉතා වටිනා අණපනත් පවා ජර්මානු ඔත්තුකරුවන් සතුවීමේ අවධානමක් මතුවූයේ මේ අවධියේයි.ඇතැමුන් මෙයටද වාලිස් සිම්සන් හට චෝදනා කරේ ඇය ජර්මන් ඔත්තුකරුවෙකු ලෙසට හංවඩු ගසමිනි.අර්බුදය තව දුරටත් ව්‍යාකූල වෙමින් වර්ධනය වෙමින් තිබිනි.
මෙවන් අවධියක රජුගේ පුද්ගලික ලේඛම් වූ ඇලෙක්සැන්ඩර් හ'ඩින්ජ් ( Alexander Hardinge) විසින් රහසිගත ලිපියක් එඩ්වඩ් රජ වෙත එවා තිබිනි.එහි වූයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාකූල තත්වය හමුවේ මාධ්‍ය හා මහජනයා වැඩිකලක් නිහඬව නොසිටින බවත් රජයට ඉල්ලා අස්වන ලෙස බලකරනු ඇති බවත්ය.එම තත්වයෙන් මිදීමට රජුලෙස එඩ්වඩ් හට විසඳුම් තුනක් තිබිනි.ඒවානම්,
 1. සිය ආදරවන්තිය වූ වාලිස් සිම්සන් අත්හැරීම.
2. රජය ඉල්ලා අස්වීම.
3.වාලිස් මෙනවිය තමන් සතුකරගෙන රජකම අත්හැරීම.

සිය ප්‍රේමවන්තිය වූ වාලිස් සිම්සන් විවාහ කරගැනීමේ දැඩි අවශ්‍යතාවක ඒ වන විටත් සිටි එඩ්වඩ් රජු අවසාන විසඳුම තෝරාගැනීමට තීරණය කලේය.ඒ අනුව 1936 දෙසැම්බර් මස 10 වන දින උදෑසන 10ට සිය සහෝදරයන් ඉදිරියේ තමන් කිරුළ අත්හරින බවට ලිඛිතව දිවුරුම් දී මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජකමින් ඉල්ලා අස්වන ලදී.ඒ කිරුළ අත්හැරි ප්‍රතම හා එකම බ්‍රිතාන්‍ය පාලකයා ලෙස ඉතිහාස ගත වෙමිනි.
8 වන එඩ්වඩ් රජුගේ ඉවත්වීමෙන් හිස්වූ සිහසුන ඔහුගේ වැඩිමල් සොයුරාට හිමිවූ  අතර ඔහු "6 වන ජෝර්ජ්" ලෙස රජවිය.ඔහුගෙන් පසුව ඔහුගේ දියණිය වූ එලිසබෙත් කුමරිය හට රජකිරුළ හිමිවිය."2 වන එලිසබෙත්" ලෙස වර්තමානයේ බලයේ සිටින්නේ ඇයයි.

රජකම අත්හැරීමෙන් පසුව එඩ්වර්ඩ් කුමරු හා වාලිස් ස්ම්සන් මෙනවිය 1937 ජූනි මස 6 වන දින සරල විවාහ මංගල උත්සවයකින් විවාහ විය.රජකම අහිමිවීමත් සමගම එඩ්වඩ් හට Royal Highness හෙවත් "රාජකීය උතුමාණන්" යන ගෞරව නාමය අහිමි වුවද ඔහුගේ සහෝදරයා වූ 6 වන ජෝර්ජ් රජු විසින් එවන ලද විශේශ ලිපියකින් එඩ්වඩ් හට එම ගෞරව නාමය භාවිතා කල හැකිබවත් නමුත් ඔහුගේ බිරිඳ වූ වාලිස් හට හෝ ඇයට දාව උපදින කිසිඳු දරු මුණුබුරෙකුට එම නාමය භාවිතා කිරීම තහනම් බවත් දන්වන ලදී.
නමුත් එඩ්වඩ් හා ඔහුගේ බිරිඳව ජීවිත කාලය පුරාම බලපැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යයන් පිටුවහල් කරන ලදී. තවද රජ පවුල විසින් ඔවුන්ව නොසලකා හරින ලදී.නමුත් එඩ්වඩ් හට ඉතා කෙටි කාලයක් සඳහා පමණක් "බහමාස් හි ආණ්ඩුකාර " ධූරය හෙබවීමට අවස්තාවක් හිමිවුය.කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිතෙන් වැඩිම කාලයක් ඔවුන් දෙදෙනා ප්‍රංශයේ ජීවත් විය.එඩ්වඩ් මියගියේද ප්‍රංශයේදීමය.ඒ 1972 මැයි 28 වෙනිදායි.වාලිස් ආර්යාව තවත් අවුරුදු 14 ජීවත් වූ නමුත් ඉන් වැඩිම කලක් ගෙවා දැමුවේ ගිලන් ඇඳෙහි ලෝකයාගෙන් හුදකලාවයි.පසුව ඇයද දුක්බර ලෙස 1986 අප්‍රේල් 24 දින මෙලොව අතැර ගියාය.ඒ ඇයගේ 90 වෙනි උපන්දිනයට මාස දෙකක් තිබියදීය.

එසේ විසිවන සියවස උරුමකම් කී විශිෂ්ටතම ආදර කතාවක හිමිකරුවන් දෙදෙනාම මෙලොව අතැර ගියහ.සිය ආදරය  වෙනුවෙන් ලොව විශාලතම මෙන්ම බලවත්ම අධිරාජ්‍යයේ කිරුළ මෙන්ම සියලු රාජකීය වරප්‍රසාද අත්හැර අටවන එඩ්වඩ් රජු විසින් ආදරය යනු පරිත්‍යාගය මිස අන්‍ කිසිවක් නොවන බවට ඉතිහාසය තුල සදා නොමැකෙන ලෙස සනිටුහන් කරන ලදී.

චායාරූපය :- එඩ්වඩ් කුමරු හා වාලිස් මැතිණිය.

    --- සංකල්ප ගුණතිලක✍️

2 comments: