Saturday, May 23, 2020
මොනවද මේ ජාන කියන්නේ ??
(ජාන ගැන දැනගතයුතු සියල්ලම සරලව)
ශාක සහ සත්වයින් යන දෙවර්ගයම ජීවීන් ලෙස විද්‍යාවේදී හඳුන්වයි.මේ සියළුම ජීවීන්ගේ මූලිකම තැනුම් ඒකකය වන්නේ සෛලයයි(Cells).සෛල රැසක් එකතුවී "පටක"(Tissue) සෑදෙන අතර පටක රැසක් එකතු වී පද්ධතියක්(system) නිර්මාණය වේ.ආහාර ජීරණ පද්ධතිය,ශ්වසන පද්ධතිය,ස්නායු පද්ධතිය ආදී විදියට අපි හඳුන්වන්නේ ඒ පටක එකතු වී සෑදෙන පද්ධතීන් වේ.මිනිස් සිරුරක් සෑදෙන්නේ මෙවන් පද්ධතීන් රැසක එකතුවෙනි.ශාකයක් සැලකීමේදීද මේ පොදු සැකැස්ම මෙලෙසම පවතී.
සාමාන්‍යය මිනිස් ශරීරයක් තුල මෙවැනි සෛල ට්‍රිලියන30 පමණ ඇත.
සෛලයක් යනු අන්වීක්ෂීය ව්‍යුහයකි.පියවි ඇසෙන් සෛල දැකිය නොහැක.ඒවා ඒ තරමට ම කුඩා වේ.ආලෝක අන්වීක්ෂයකින් සෛල වල දල සැකැස්ම පමණක් නිරීක්ෂණය කල හැකි අතර සෛලයේ අභ්‍යන්තර ව්‍යූහයන් නිරීක්ෂණය කල හැක්කේ ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පමණි.
සෛලයක මධ්‍යයේ "න්‍යශ්ටිය" නම් ව්‍යාහයක් ඇත.මේ න්‍යෂ්ටිය සෛලයේ පැවැත්ම සහ එහි ක්‍රියාවලිය වැනි සියලුම ජීව ක්‍රියාවන් පාලනය කරන්නාවූ පාලන මධ්‍යස්තානයයි.සෛලයේ පැවැත්මට සහ ජීව ක්‍රියාපාලනය සඳහා අවශ්‍යය වන්නා වූ ප්‍රෝටීන නිපඳවීම සඳහා අවශ්‍යය දත්ත ගබඩා කර තබා ගැනීම නිසා මෙසේ න්‍යෂ්ටිය වැදගත් වේ.
අනෙකුත් ජීවීන්ගේ මෙන්ම මිනිසුන්ගේද පරම්පරාගත ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත්තේ මේ න්‍යෂ්ටියේ පවත්නා තොරතුරු ගබඩා තුලයි.
මේ විදියට තොරතුරු ගබඩාකර ගැනීම සිදුවන්නේ සෛලයක න්‍යෂ්ටියේ පවත්නා DNA නම් අණු තුලයි.
"ඩියොක්සි රයිබෝ නියුක්ලෙයික් ඇසිඩ්"(Deoxyribo Nucleic Acid=DNA) නම් මේ අණුවේ හැඩය "ද්විත්ව හෙලික්සීය" හෝ "ඇල්ෆ හෙලික්සීය" යැයි කියනු ලැබේ.සරලවම එය ඉනිමගක් දක්ශිනාවර්තව ඇඹරී ගිය ආකාරයක හැඩයක් පෙන්වයි.මේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් යන විද්‍යාඥයන් දෙදෙනා විසින් සොයාගත් නිසා එය 'වොට්සන්-ක්‍රීස්' ආකෘතිය ලෙසද හඳුන්වයි.DNA අණුවේ මෙම ව්‍යුහය සොයාගැනීම ජීව විද්‍යාවේ සිදුවූ වඩාත් පෙරලිකාරම සහ වැදගත්ම සොයාගැනීම වේ.එය ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී ට්‍රාන්සිස්ටරය සොයාගැනීම මගින් ඇතිවූ පෙරළියය සමානය.වොට්සන් සහ ක්‍රික් හට මේ සඳහා නොබෙල් ත්‍යාගය පවා හිමිවිය.
DNA අණුව යනු ඉතා කුඩා අණුවක් වුවත් එය ඉතා සංකීර්ණ ව්‍යුහයකි.DNA අණුවක් යනු නියුක්ලියෝටයිඩ නම් කුඩා කොටස් විශාල ගණනකින් සෑදුණු සර්වසම දාම දෙකක් එකිනෙකට සමාන්තරව එහෙත් ප්‍රතිවිරුද්ධ දිශාවලට යොමුවන සේ එකිනෙක අතර බන්ධන සාදාගැනීමෙන් සෑදුනු ව්‍යුහයකි.(ඉනිමගේ හැඩය සිහියට ගන්න).ඉන් පසුව එය දක්ෂිණාවර්තව ඇඹරී ගොස් ඇත.ද්විත්ව හෙලික්සීය ව්‍යුහය යනු මෙයයි.
DNA අණුතුල එකිනෙකට වෙනස් නයිට්‍රජනීය භශ්ම වර්ග හතරක් ඇත.ඒවා නම්,
1).ඇඩිනීන්(Adenine)
2).තයිමින්(Thiamine)
3).ගුවැනින්(Guanine)
4).සයිටොසීන්(Cytosine) , යන වර්ග හතරයි.
DNA අණුවේ තැනුම් ඒකකය වන නියුක්ලියෝටයිඩවල එක බැගින් මේ භෂ්ම පිහිටින නිසා එවැනි නියුක්ලියෝටයිඩ විශාල සංඛ්‍යාවක් එක්තුවීමෙන් සෑදෙන DNA අණුවේ සමාන්තර දාම දෙකේ මෙවැනි භෂ්ම රැසක් පේලියක් ලෙස පිහිටයි.සමාන්තර දාමයන් ද්විත්වය ඉනිමගක් ලෙස එකතු කරමින් ඒවා අතර බන්ධන සාදන්නේ මේ නයිට්‍රජනීය භෂ්ම වලිනි.මෙහිදී එක් දාමයක භෂ්මයක් ඊට සමාන්තරව පිහිටන අනෙක් දාමයේ භෂ්මයක් සමග යුගලනය වීම සිදුවේ.නමුත් මෙසේ යුගලනය වීම හිතුමතේට සිදුවිය නොහැකි ක්‍රියාවකි.ඒ සඳහා නිශ්චිත රටාවක් ඇත.එනම් මෙම නයිට්‍රජනීය භෂ්ම යුගලනය වීම සිදුවන්නේ අදාල භෂ්මය සඳහාම වෙන්වූ විශේෂිත භෂ්මයක් සමගය.ඒ අනුව ඇඩිනීන් තයිමින් සමගත්(A-T බන්ධනය) , ගුවැනීන් සයිටොසීන් සමගත්(G-C බන්ධනය) පමණක් යුගලනය වේ.කිසිලෙසකින්වත් ඇඩිනීන් තමාට අදාල සහකරු වන තයිමින් හැර සයිටොසීන් හෝ ගුවැනින් සමග යුගලනය නොවෙයි.අනෙක් භෂ්මද එසේමය.එබැවින් මෙම යුගලනය වීම අතිශයින්ම තියුණු ලෙස සිදුවේ.සාමාන්‍යයෙන් DNA ප්‍රතිවලිත වීමේදී(නව DNA සෑදීමේ ක්‍රියාවලිය) එසේ වැරදි භෂ්ම යුගලන සිදුවිය හැකි වුවත් නිවැරදි කිරීමේ ක්‍රියාවලි මගින් ඒවා වහාම නිවැරදි ආකාරයට නැවත සකසනු ලබයි.ඒ විකෘති ඇතිවීම වැළැක්වීමටයි.ඒ අනුව අවසාන ප්‍රතිපලය 100%ක්ම නිවැරදිය.
DNA අණුවේ භෂ්ම යුගලනය වීමේ අණුපිළිවෙලක්,රටාවක් ඇතිබව ඉහත සඳහන් කෙරිනි.අප "ජාන"(Genes) ලෙස හඳුවන්නේ මේ අණුපිළිවෙලයි.ඒ අනුව අපගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරතබාගන්නේ මේ අනුපිළිවෙල තුලයි.එය තොරතුරු තාක්ෂණයේදී ද්වීමය සංඛ්‍යාවලින්(binary codes) තොරතුරු ප්‍රකාශ කිරීම වැනිය.ද්වීමය සංඛ්‍යා දැක්වීමේදී ප්‍රකාශ වන 1 0 1 0 1 0...රටාව වෙනුවට DNA තුල ඇත්තේ A-T,C-G යුගලනය වීම්ය.
නිදසුනක් ලෙස:
A-T
C-G
G-C
T-A
A-T වැනි අණුපිළිවෙලකින් එක් ජානයකුත්,ඊට වෙනස්,
C-G
A-T
T-A
G-C
C-G අණුපිළිවෙලිම් වෙනත් ජානයකුත් පෙන්නුම් කරයි.එකිනෙකට වෙනස් ජාන යනු එකිනෙකට වෙනස් ප්‍රවේණික තොරතුරුයි.
මේ භෂ්ම අණුපිවෙළවල් තුලින් කරන ප්‍රධානම කාර්යයක් වන්නේ ප්‍රෝටීන සංස්ලේෂණයට අවශ්‍යය දත්ත සැපයීමයි.එහිදී සිදුවන්නේ මේ භෂ්ම අණුපිළිවෙලට අදාලව ඇමයිනෝ අම්ල ස්ථානගතවී ප්‍රෝටීන දාමය නිර්මාණය වීමයි.ශරීරයේ සියලුම ව්‍යූහමය හා කෘත්‍යමය යන දෙංශයේම මූලික ද්‍රව්‍යය වන්නේ මේ ප්‍රෝටීනයි.
මිනිස් සිරුරේ(සෛල තුල) ජාන 20,000ත් 25,000ත් අතර පවතින අතර ඇතැම් ජානවල නයිට්‍රජනීය භෂ්ම සීයක් වැනි සුළු සංඛ්‍යාවක සිට භෂ්ම මිලියන දෙක දක්වා වූ විශාලත්වයෙන් යුතුවේ.
#පරම්පරාවෙන් ප්‍රවේණික තොරතුරු ගලායන්නේ කොහොමද ………………?
ජාන යනු DNA අණුවේ භෂ්ම අනුපිළිවෙල බවත්,එවැනි DNA අණු සෛලවල න්‍යෂ්ටියේ ඇතිබවත් මුලදි සඳහන් විය.සාමාන්‍යයෙන් එක් සෛලයක ඇති DNA අණුවක් දිගහැරියොත් එහි දිග පෘතුවියත් සඳත් අතර දුරට සමාන බව පැවසෙයි.ඒ අනුව එහි ප්‍රමාණය ගැන අපට සිතාගත හැක.ඒත් එවැනි දීර්ඝ දාමයක් කුඩා සෛලයක් තුල කෙසේ පවතින්නේද යන්න ගැන ගැටලුවක් පැනනගියි.ඒ ගැටලුවට පිළිතුර වන්නේ එනම් දීර්ඝ දාමයක් සෛලයක් තුල පවත්තින්නේ ඉතාම විශිෂ්ට අන්දමින් සම්පිණ්ඩනය වීමෙනි.මේවා මෙසා සම්පිණ්ඩනය වී සෛලය තුල පවතින්නේ "ක්‍රෝමසෝම"(chromosomes) හෙවත් "වර්ණ දේහ" නමිනි.ඒ අනුව එක් වර්ණ දේහයක ජාන විශාල ප්‍රමාණයක් ඇත.
සාමාන්‍යය සෛලයක් තුල එවැනි වර්ණ දේහ 46ක් හෙවත් වර්ණ දේහ යුගල් 23ක් පිහිටයි.
මිනිසෙක් නිර්මාණය වන්නේ මවගේ ඩිම්බයක් සහ පියාගේ ශුක්‍රාණුවක් එක් වීමෙන් බව අප දන්නා කරුණක්.ඩිම්බයත් ශුක්‍රාණුවත් එක්වී "යුක්තානුව" නම් තනි සෛලීයක් සාදයි.එය ගුණනය වෙමින් සෛල සංඛ්‍යාව වැඩිකරගනිමින් කළලය සෑදී දරුවෙකු නිර්මාණය වේ.එවිට මෙසේ බිහිවන සම්පූර්ණ ජීවියාගේ මූලාරම්භය අර මවගේ ඩිම්බයත්,පියාගේ සුක්‍රාණුවත් එක්වීමෙන් සෑදුනු යුක්‍තානුවයි.සාමාන්‍යයෙන් මෙසේ ඩිම්බ හා ශුක්‍රාණු එකතු වීමේදී ඩිම්බයෙ වර්ණදේහ 23කුත් ශුක්‍රාණුවෙන් 23කුත් ආදී ලෙස එකතු වී යුක්තානුවේ වර්ණදේහ 46 නිර්මාණය වේ.මේ යුක්තානුව ගුණනය වීමෙන් බිහිවන අනෙක් සෛල වලටද මේ වර්ණ දේහ 46ක් එලෙසම උරුම වේ.එසේ වන්නේ නව සෛල නිර්මාණය කරමින් සෛල විභාජනය වීමේදී DNA අණුද සර්වසම DNA අණු නිර්මාණය කරමින් ප්‍රතිවලිත වීම මගිනුයි.මේ DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියකි.
ඒ අනුව ජීවියෙකු නිර්මාණ වීමේදී 50%ක් ජාන මව් පාර්ශවයෙනුත් ඉතිටි 50% පිය පාර්ශවයෙනුත් ලැබෙයි.මව්පිය මිශ්‍ර ලක්ෂන සහිත දරුවන් බිහිවන්නේ මේ නිසායි.
#දුවෙක්ද පුතෙක්ද කියලා තීරණය වෙන්නේ කොහොමද………………………………?
ඉහත සඳහන් පරිදි මිනිසා සතු වර්ණදේහ යුගල් 23න් එක් යුගලක් ලිංග වර්ණදේහයක් වේ.එනම් ස්ත්‍රී පුරුෂ ආදී ලෙස ලිංගිකත්වය තීරණය වන්නේ ඒ ලිංග වර්ණදේහය මගිනි.
ශුක්‍රාණුව සහ ඩිම්බය එක්වී සාදන මූලික ව්‍යුහය වන යුක්තානුව සෑදීමේදී මව් පාර්දවයෙන් එක් ලිංග වර්ණදේහයකුත් පිය පාර්ශවයෙන් එක් ලිංග වර්ණ දේහයකුත් උරුම වී ලිංග වර්ණ දේහ යුගල නිර්මාණය වේ.පිරිමියෙකු සතු මේ ලිංග වර්ණ දේහ යුගල නිරීක්ෂනය කලහොත් ඒ යුගල X සහ Y ලෙස වර්ග දෙකක වර්ණ දේහ දෙකක් බව පෙනේ.නමුත් කාන්තාවකගේ ඇත්තේ X X ලෙස එකම වර්ගයක වර්ණ දේහ යුගලකි.මෙහි Y නම් ලිංග වර්ණදේහය මගින් ලිංගිකත්වය "පිරිමි" ලෙස තීරණය වීමත් "X" මගින් ලිංගිකත්වය "ස්ත්‍රී" ලෙස තීරණය වීමත් සිදුවේ.
ඩිම්බය සහ ශුක්‍රාණුව සංසේචනය වීමේදී පිය පාර්ශවය සතු ලිංග වර්ණදේහ යුගලෙන් එක් වර්ණදේහයකුත්(එනම් X හෝ Y දෙකෙන් එකක්) , මව් පාර්ශවය සතුවූ වර්ණදේහ යුගලෙන් එක් වර්ණ දේහයකුත්(එනම් X එකක්) එක්වීම සිදුවේ.
මෙහිදී,
මව + පියා ----> දරුවා
X Y XY = පිරිමි
X X XX = ගැහැණු , ලෙස ලිංගිකත්වය තීරණය වීම සිදුවේ.
එකම පවුලේ එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත සාමාජිකයන් සිටින්නේ ඇයි ?
මවගෙන් සහ පියාගෙන් සමසමව වර්ණදේහ උරුම වුනත් එකම පවුලේ ළමුන් දෙදෙනෙක් අතර කැපී පෙනෙන වෙනස්කම් ඇත.එසේ වන්නේ ජාන වල වෙනස්කම නිසාය.සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ජාන 99.9%ක්ම සමාන වන අතර 0.1% ක ප්‍රමාණයක් පමණක් එකිනෙකාගෙන් වෙනස් වේ.පුද්ගලයන් අතර විවිධත්වය ඇතිවන්නේ මේ 0.1% නිසායි.
මවගෙන් සහ පියාගෙන් හිමිවන්නේ ජාන නොවේ.හිමි වන්නේ වර්ණදේහයි.වර්ණදේහ යනු පිළිවෙලට ඇසිරූ ඒකකයි.
මෙම වර්ණදේහ යුගලනය වීමේදී ඇතිවන විවිධත්වය නිසා එකිනෙකට වෙනස් ජානමට සැකැස්මක්(0.1% පමණක්) දරුවන්ට උරුම වේ.මේ නිසා දරුවන් එකිනෙකාගෙන් වෙනස්විය හැක.
නිදසුනක් ලෙස ඇස්වල වර්ණය තීරණය කරන වර්ණදේහ යුගල සලකමු.
මව සතුව නිල් ඇස් සඳහා එක් වර්ණදේහයක්ද,දුඹුරු ඇස් සඳහා එක් වර්ණ දේහයක්ද වශයෙන් වර්ණදේහ දෙකකින් අක්ෂි වර්ණය තීරණය කරන වර්ණදේහ යුගල සෑදී ඇත.පියාගේ අදාල වර්ණ දේහ යුගල සෑදී ඇත්තේ දුඹුරු ඇස් සඳහා වන වර්ණ දේහ දෙකකිනි.
මේවිට සංසේචනයේදී මවගෙන් නිල් ඇස් සඳහා වූ වර්ණදේයල දරුවාට උරුම වුවහොත් ඒ දරුවාට නිල් ඇස් හිමිවේ.මේ දෙමාපියන්ට දාව දුඹුරු ඇස් ඇති දරුවෙකුද බිහිවිය හැක.ඒ මවගෙන් කලින් දරුවාට ලැබුනු නිල් ඇස් වර්ණදේහය වෙනුවට මෙවර දුඹුරු ඇස් වර්ණදේහය ලැබූ විටය.
එලෙසම රවුම් නහයක් තීරණය කරන වර්ණදේහය එක් දරුවෙකුට ලැබී උල් නහයක් තීරණය කරන වර්ණදේහය තව දරුවෙකුට උරුමවිය හැක එවිට දරුවන් දෙදෙනාගේ නාසයේ හැඩයන් වෙනස් වේ.
#දෙමාපියන්ට නැති ලක්ෂන දරුවන්ට උරුම වන්නේ කෙසේද ?
දිගු කෙස් ඇති දෙමාපියන්ට බොකුටු ගැසුනු කෙස් සහිත දරුවන් බිහිවනවා ඔබ දැක ඇත.
එමෙන්ම මිටි දෙමාපියන් දෙදෙනෙක්ට දාව ඉතා උස දරුවන් බිහිවිය හැක.
තවද කාල වර්ණ සමක් ඇති දෙමාපියන්ට සුදු පැහැපත් සමක් ඇති දරුවන් බිහිවිය හැක.
එවැනි වෙනස්කම් සහිතව දරුවන් ඉපදුනු විට මේ වෙන කෙනෙක්ට දාව ඉපදුනු දරුවන් යැයි සැක ඇතිවී පවුල් ආරවුල් පවා ඇතිවනවා අප දැක ඇත.සැබෑවටම එසේ වන්නේ කෙසේද ?
ප්‍රවේණිගත උරුම වීම් ගැන මෙලෙස සරලව විග්‍රහ කලද එය මීට වඩා බොහෝ සංකීර්ණ ක්‍රියාවලියකි.මිනිසාගේ ජාන එකතුවේ(මෙය මානය ජීනෝමය ලෙස හඳුන්වයි) ඇති ජාන ඒවායේ ප්‍රබලතාව අනුව ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරයි.
ඒවා නම්,
1). ප්‍රමුඛ ජාන
2). නිලීන ජාන
ප්‍රමුඛ ජාන ප්‍රමුඛය.එනම් වර්ණදේහ යුගලෙන් එකක් පමණක් තනිව පිටියත් ඒවාට තමන් සතු ලක්ෂණය පිළිඹිබු කලහැක.නිලීන ජාන දුර්වලය.ස්වාධීනව තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමට ඒවාට නොහැකිය.ඒවාට ඒ වර්ගයේම තව අයෙක් අවශ්‍යය.
උදාහරණයක් ලෙස, මිටි දෙමාපියන් සිටින පවුලක ශරීර උස ප්‍රමාණය තීරණය කරන වර්ණදේහ (ජාන එකතුව) අතරින් මිටිබව තීරණය කරන වර්ණදේහය වඩා බලවත් බව සිතන්න.එනම් එය ප්‍රමුඛ ජානය වේ.මේ මිටිබව තීරණය කරන වර්ණදේහයට තනිව ස්වාධීනව තමන්ගේ ප්‍රකාශනය කලහැකිය.එනම් මේ වර්ණදේහ යුගලෙන් එකක් පමණක් මිටිබව තීරණය කරන්නා වුවත් එය ප්‍රමුඛ නිසා එහි ප්‍රකාශනය අනෙකේ ප්‍රකාශනය අභිබවා නැගීසිටියි.ඒ නිසා දරුවාද මිටි අයෙක් වේ.සාමාන්‍යයෙන් සිදුවීමට වැඩිම සම්භාවිතාවක් ඇත්තේ එයයි.එසේ ප්‍රමුඛ ජානයේ ප්‍රකාශනය සිදුවීම 75%ක සම්භාවිතාවකි.
දැන් මේ වර්ණදේහ උරුම වීම අනුව උස දරුවන් බිහිවීම හෙවත් නිලීන ජානයේ 25%ක ප්‍රකාශනය සිදුවන්නේ කෙසේදැයි සලකා බලමු.
මිටිනව ප්‍රමුඛ ලක්ෂණය වූ දෙමාපියන් යුවල දෙකක් සලකන්න.
මිටිබව තීරණය කරන වර්ණදේහය ----> A
උසබව තීරණය කරන වර්ණදේහය -----> a , යැයි සිතමු.
ඒ අනුව පළමු දෙමාපිය යුවල සතු වර්ණදේහ යුගලයන් පහත පරිදි යැයි සිතමු,
*මව ----> Ab (මිටිබව තීරණය කරන ප්‍රමුඛ වර්ණදේහය සහ උසබව තීරණය කරන නිලීන වර්ණදේහය)
*පියා -----> Ab
එවිට මවගෙ ප්‍රමුඛ A වර්ණදේහය පියාගේ නිලීන a වර්ණ දේහය සමග එක්වී (Aa) නම් වර්ණදේහ යුගල නිර්මාණය වේ.මෙලෙසම පියාගේ ප්‍රමුඛ A වර්ණදේහය සහ මවගේ නිලීන b වර්ණදේහය එක්වීද (Aa) වර්ණදේහ යුගල නිර්මාණය වේ.මේ යුගලයන්ගේ ප්‍රමුඛ වර්ණදේහයක් ඇති නිසා එහි නිලීන වර්ණදේහයේ බලය අහෝසි වී ප්‍රමුඛ වර්ණ දේහයේ ලක්ෂණ වන මිටිබව උරුම වේ.නමුත් යම් ලෙසකින් නිලීන වර්ණදේහ දෙක එක්වී (aa) වර්ණදේහ යුගලය නිර්මාණය වුවහොත් නිලීන ලක්ෂණය වන උසබව උරුම වේ.මෙසේ aa සෑදීමේ සම්භාවිතාව 1/4ක් හෙවත් 25%කි.
මිටිබව ප්‍රමුඛ වන දෙනව දෙමාපිය යුවලක් සලකමු.මෙහිදී මවට හෝ පියාට ප්‍රමුඛ (AA) වර්ණදේහ යුගල පිහිටයි නම් කිසිවිටෙකත් නිලීන (aa) යුගලක් නොසාදන බැවින් එම දෙමාපියන් යුවලට දාව උස ළමයෙකු බිහිනොවේ.වර්ණදේහ සටහන් ඇඳීමෙන් මේ බව පැහැදිලිව සොයාගත හැක.
හමේ වර්ණය,කෙස්වල ස්වාභාවය,කන්වල හැඩය,ඇස්වල වර්ණය ආදී විවිධ ලක්ෂණ මෙන්ම රුධිර වර්ගය පවා තීරණය වීම මෙසේ සිදුවේ.
ජානවලින් ගලාඑන්නේ DNA තුල නැතිනම් වර්ණදේහ තුල ලේඛනගතවූ තොරතුරු පමණි.යමෙක් තමන්ගේ ජීවිත කාලය තුලදී අත්පත්කරගත් දෑ ඔහුගේ හෝ ඇයගේ ජානවලට එකතු නොවේ.එනම් ඒවා ඔහුගේ හෝ ඇයගේ දරු මුණුබුරන්ට උරුම නොවේ.නිදසුනක් ලෙස ශරීරයේ මාංශපේශී වර්ධනය කරගත් අයෙකුගේ(body builder) වර්ධනය වූ පේශීවලට අදාලව ඔහුගේ ජානමත වෙනස්කමක් සිදු නොකරයි.ඔහුට දාව උපදින දරුවන්ට උපතින් ශක්තිමත් වර්ධනය වූ මාංශපේශී නොලැබෙයි.තවද නිර්භීත දක්ෂ සොල්දාදුවෙකුට දාව ඔතෑනි නිහඬ කඩිසර නැති බියගුලු ගතිපැවතුම් ඇති දරුවෙක් බිහිවිය හැකියි.ඒ අදාල නිළධාරියා තමන්ගේ පුහුණුව තුලින් ලබාගත් අත්දැකීම් නිසා වර්ධනවූ නිර්භීත බව ඔහුගේ ජානවල වෙනස්කමක් නොකරන බවයි.
නමුත් බුද්ධිය හෝ සෞන්දර්යාත්මක හැකියාවන් ආදී දක්ෂතා ප්‍රවේණිකව ගමන් කරයි.එසේ වන්නේ ඒවා මිනිසාගේ මොළය ආශ්‍රිත ව්‍යුහමය සහ රසායනික ක්‍රියාවලීන්ගේ ප්‍රතිපලයක් ලෙස ලැබෙන ඒවා නිසායි.නමුත් උපතින් ලැබෙන හැකියාවට අමතරව තමන් විසින් වර්ධනය කරගත් හැකියාවන් මෙලෙස පරම්පරාවෙන් පරම්පරාවට උරුම නොවෙයි.
|Letterconik
|24-05-2020
Wednesday, May 20, 2020
ප්‍රේමය සියල්ල උසුලයි ! ප්‍රේමය සදාතනිකයි !
ප්‍රේමය,
ඉවසිලිවන්තය, කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඬඟු වන්නේ නැත.
ප්‍රේමය,
අවිනීත නොවේ.
ආත්මාර්ථාකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි.
ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනිකය…..
-| ශුද්ධ වූ බයිබලය |-
සාජන්ට් "රැල්ෆ් ජෝර්ජ් නැපේල්" කියන්නේ 1943 ඉඳලා 1946 දක්වා වසර තුනක කාලයක් ඇමරිකාවේ 329 වෙනි පාබල හමුදා රෙජිමේන්තුවේ 83 වෙනි සේනාංකයේ සේවය කරපු මැෂින් තුවක්කුකරුවෙක්.
1944 අවුරුද්දේ සීතල දෙසැම්බර් මාසයේදී සාජන්ට් රැල්ෆ් ඇතුළු කණ්ඩායමක්,නත්තලේ පණිවිඩය රැගෙන මිහිමත පතිත වූ සුදුපැහැ හිම පලස මතින් ජර්මනියේ "බර්ගෙල්" නම් ගම්මානය දක්වා පා ගමනින් ගමන් කරමින් සිටියා.සීතල හිම පියළි මුසුකරමින් රැල්ෆ් ඇතුළු කණ්ඩායම වසා ගනිමින් අපිළිවෙලට හමාගිය සුළං දහරාවේ නත්තල් ගීතිකා වෙනුවට රැඳී තිබුනේ ඈතින් ඇසෙන වෙඩි හඬවල් ,කාලතුවක්කු හඬවල් සහ බෝම්බ පිපිරීම් හඬවල් ආදයියයි.., ප්‍රේමයේ ආශිර්වාදය වෙනුවට තැවරී තිබුනේ මරණයේ වේදනාවයි..,සාමයේ පණිවිඩය වෙනුවට රැගෙන ආවේ යුද්ධයේ ගිනිපුපුරුයි...!
ඒ සියල්ලම ඒ වන විටත් බුර බුරා ඇවිලෙමින් තිබුනු දෙවන මහා ලෝක සංග්‍රාමය විසින් ලෝකයාට ලබාදී තිබූ දායාදයන්.
1944 දෙසැම්බර් මාසයේ 14 වෙනිදා මේ හමුදා කණ්ඩායම බර්ගේල් වෙත පා තැබුවා.ඒත් බර්ගේල්හි රැඳී සිටි ජර්මාණු බට කණ්ඩායමක් විසින් සාජන්ට් රැල්ෆ්ගේ කණ්ඩායමට දිගට හරහට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ නොසිතූ විදියටයි.රයිෆල් වෙඩි පහරවල් සහ මැෂින් තුවක්කු අතර පමණක් දෝලනය වුනු ඒ තීරණාත්මක මොහොතේ සමතුලිතතාව බිඳ වැටුනේ ජර්මාණු සංචිතයෙන් යුධ ටැංකියක් අවතීර්ණ වීමත් සමගයි.ජර්මානු පාබල සෙබළුන්ගේ රැකවරණය මධ්‍යයේ යුධ පිටියේ ඉදිරියට ඇදුණු යුධ ටැංකිය ඇමරිකානු සෙබළුන් රැඳී සිටි සීමාවට යාර තිහක් එපිටින් සිටින සේ ස්ථාන ගතවූ පසු ප්‍රබල ශෙල් වෙඩි ප්‍රහාරයක් ඇමරිකානු සෙබළ කණ්ඩායම ඉලක්ක කර එල්ල කලා.ශෙල් වෙඩි හඬට රයිෆල් වෙඩි හඬ යටපත් වුනා.ඇමරිකානු සෙබළුන් සීසීකඩ විසිවී ගියේ සුළඟට හසුවූ හිම පියළි වගේ.සියල්ලටම බරපතල තුවාල සිදු වුනා.මැෂින් තුවක්කුව පිටුපස සිටි සාජන්ට් රැල්ෆ් යාර 10ක් පමණ පසුපසට විසිවී ගියා.
" එක්වරම දීප්තිමත් ආලෝකයකින් දෑස් අඩවන් වී ගියා..මොහතට පසු දෑස් විවර කර බැලූ විට මම සිටියේ මැෂින් තුවක්කුවට මීටර් කීපයක් පිටුපසින්..." ,ඒ රැල්ෆ්ගේ මතකයන්.
සුදු පැහැහි හිම ස්ථරය රක්ත පැහැගෙන තිබුනා.කිසිවක් නෑසෙන තරමට කන් අගුළු වැටිලා.ඒත් තවමත් රැල්ෆ් හුස්ම ගන්නවා.
මාරන්තික ප්‍රහාරයෙන් පසු ඇතිවූ කම්පනය මධ්‍යයේ හිස ඔසවා වටපිටාවට දෑස් යොමුකල රැල්ෆ් දුටුවේ දුමාරය මධ්‍යයේ මැරීවැටී සිටින සහ තුවාල ලබාසිටින තම සහෝදර සෙබළුන්.ඔවුන්ගේ දුඹුරු පැහැ හමුදා නිළඇඳුම් රත් පැහැයෙන් තෙත්වී තිබුනා.
තමන්ගේ මුළු සිරුරම විනිවිද යන තරම් වේදනාවක් තම පාදයන්ගේ සිට සිරර පුරා විදුලියක් සේ පැතිරෙන බව රැල්ෆ්ට දැනුනේ ඉන් පසුවයි.
ශරීරයේ පහල කොටස ඇදුම්කන වේදනාව කුමක්දැයි පිරික්සීමේ අදහසින් නිරීක්ෂණය කල රැල්ෆ් දුටුවේ දණහිසෙන් පහල කැබලි වී ගිය එක් පාදයක් සහ දරුණු ලෙස තුවාල ලබාතිබූ අනෙක් පාදයයි.තමන් තවමත් ජීවතුන් අතර බවත් ජීවිතය හෝ මරණය තෝරාගැනීමේ තීරණය දැන් සම්පූර්ණයෙන්ම තමන් අත රැඳී ඇතිබවත් වහාම වටහා ගත් රැල්ෆ් තමන්ගේත් ,නොමැරී බේරුනු තම සඟයන්ගේත් ජීවිත උදෙසා නැවතත් සටනට අවර්තීරණය වෙන්නට තීරණය කරා.
ඒත් අවාසනාවකට රැල්ෆ්ට දෙපයින් නැගී සිටින්නට තියා එවැන්නක් ගැන සිතන්නටවත් බැහැ.ඒත් ජීවිතය උදෙසා සටන් කල යුතුයි.මැෂින් තුවක්කුකරු විදියට ඒ අභියෝගයට වඩාත් සුදුසු වන්නේ තමන්ම බව රැල්ෆ්ට වැටහුනා.ඉතින් ඇවිදින්නට බැරිනම් බඩගාගෙන හෝ සටන ඇරඹිය යුතුයි.!
වැලමිට බිම ගසමින් දෑත් වාරුවෙන් බඩගාගෙන තම මැෂින් තුවක්කුව වෙත ගිය රැල්ෆ් නැවතත් එය සකසාගෙන සතුරන් මත දිගට හරහට වෙඩි වරුසාවක් පතිත කලා.යුධ ටැංකියෙ බලයෙන් දිරි උපදවා සිටි ජර්මානුවන් රැල්ෆ්ගේ අනපේක්ෂිත වෙඩි වරුසාවට මැදිවී එකා දෙන්නා මැරී වැටුනා.ඉතිරි පිරිසත් වහාම පසු බැසීමට තීරණය කලා.පාබල සෙබළුන්ගේ ආරක්ෂාව අහිමි වූ යුධ ටැංකියත් රැල්ෆ්ගේ මැෂින් තුවක්කුවෙන් පිටවූ අකාරුණික වෙඩි පහරට මුහුණ දීම ප්‍රතික්ශේප කර පසු බැස යන්නට ගියා.
සටන අවසන් වුනා.රැල්ෆ් ඇතුළු පිරිසට ජීවිත්වීමේ වාසනවා හිමිවුනා.ඒ මැෂින් තුවක්කුවෙන් පිටවූ වෙඩි වරුසාවට නොව රැල්ෆ්ගේ අධිෂ්ඨානයට ස්තූතිවන්ත වෙන්නටයි.
ඇමරිකානුවෙකුට නිර්භීතභාවය උදෙසා ලැබිය හැකි ඉහළම සම්මානය වන "Medal of Honor" පදක්කම සාජන්ට් රැල්ෆ්ට හිමිවෙන්නේ මෙන්න මේ අධිෂ්ඨානශීලී නිර්භීතභාවය නිසායි.ඒ 1945 අගෝස්තු මාසේ 23 වෙනිදා,යුධ විරුවන් සිහිකරනුවස් ධවල මන්දිරයේදී සංවිධානය කෙරුනු විශේෂ උත්සවයකදී, ඒ වනවිට ඇමරිකානු ජනාධිපති වුන හැරී ටෲමන් අතින් සියගණනක ගෞරවාන්විත නිළධාරීන් ඉදිරියේදීයි.
වීරත්වයෙන් පිදුම් ලැබුවත් රැල්ෆ්ගේ ජීවිතය ඒ වන විට ගෙවුනේ රෝද පුටුවක් මත.ඒ සටන් බිමේදී පාදයන්ට වූ හානිය නිසා පාද දෙකම ඉවත්කිරීමට සිදුවූ නිසායි.
ආබාධිත වෙනවිට අවිවාහකයෙක් වුන රැල්ෆ්ගේ ජීවිතෙන් අර්ධයක් ඉවත් වෙන්නේ ඒ විදියටයි.ජීවිතේ සිහින, බලාපොරොත්තු රැල්ෆ්ගෙන් සෑහෙන දුරකට යනවා.
බිඳ වැටුනු සිහින නිසා ගොළුවගිය සතුට විසින් රැල්ෆ්ගේ අනාගතය මත ඇතිකල හිස් අවකාශයතුල හුදෙකලා වූ රැල්ෆ්ගේ ජීවිතය භාරගන්න රැල්ෆ්ගේ පෙම්වතිය නොපැකිලිව ඉදිරිපත් වෙන්නේ ප්‍රේමය සියල්ල උසුලන බව පෙන්වා දෙමින්.
ප්‍රේමයේ,
විශ්වාසයට ඉමක් නැත..
බලාපොරොත්තුවට නිමක් නැත..
ඉවසීමට අගක් නැත..
ප්‍රේමය සදාතනිකය...! කියන්නා සේම රැල්ෆ්ගේ පෙම්වතිය වුන "ජීන් මෝර්" සහ රැල්ෆ් 1945 දෙසැම්බරයේදී විවාහ වෙනවා.
රැල්ෆ් හා ජීන් දෙදෙනා එක්ව ඔවුනොවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නවා.ඉතිරි ජීවිත කාලෙම ඔවුන් දෙදෙනා පසුපස සතුට හඹා එනවා.ඒත් ජීවිතය බොහෝ කටුකයි.
රැල්ෆ්-ජීන් සදාතනික ප්‍රේම වෘක්ෂය මලින් බර වෙනවා.ඒ දෙන්න තුන් දෙනා,තුන් දෙනා හතර දෙනා ආදී විදියට දරුවන් කැලක් රැල්ෆ්-ජීන් කැදැල්ලට සිනහව කැන්දන් ඒමත් සමගයි.
දැන් රැල්ෆ්-ජීන් දරුවන් සිව් දෙනෙක්ගේ ආදරණීය දෙමාපියන්.
රැල්ෆ්ට නොමැකෙන වේදනාවක් ඉතිරි කල අබාධිත බවටත් දෛවය විසින් පිහිටක් ලැබෙනවා.ඒ රැල්ෆ්ගේ නැසීගිය පාදයන් සඳහා කෘතිම පා යුගලක් සවිකරගැනීමත් සමගයි.ඊට පස්සේ රෝදපුටුවට සමුදුන් රැල්ෆ් තමන්ගේ බිරිඳ වුන ජීන්ගේ උදව්ද ඇතුව ඇවිදීමටත්,ගෝල්ෆ් මෙන්ම බාස්කට් බෝල් ක්‍රීඩා කිරීමටත් පුහුණු වුනා.ඒ වගේම රැල්ෆ් විශ්වවිද්‍යාල උපාධියක්ද ලබාගත්තා.
ජීවිතේ සියළු බලාපොරොත්තු හඹාගිය රැල්ෆ් දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු සහ ආදරණීය භාර්යාවකගේ සැමියෙකු ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගතකලා.
ප්‍රේමය සදාතනික වුනත් ජීවිත සදාතනික නැහැ.ඒක තමා සොභාදහමේ නීතිය.එදා යුධ පිටියෙදී මාරයා පරදා ජීවිතය දිනාගත් රැල්ෆ් සතුටේ අස්වැන්න භුක්ති විඳ, 1987 ජනවාරි 27 වෙනිදා මියගියා.ඒ වෙද්දී රැල්ෆ්ගේ වයස අවුරුදු 63යි.රැල්ෆ් භුක්තිවිඳි සතුටේ අස්වැන්න වපුරන්නට රැල්ෆ් පසුපස සිටි යෝධ සෙවනැල්ල වුනේ ඔහුගේ ආදරණීය පෙම්වතියයි.ආදරණීය බිරිඳයි.
ප්‍රේමය සියල්ල උසුලයි
ප්‍රේමයේ බලාපොරොත්තුවට නිමක් නැත.
ප්‍රේමය සදාතනිකය..!!
ජීන්-රැල්ෆ් යුවල ඒ කතාව ඔප්පු කලේ අන්න එහෙමයි.
(චායාරූපය: Medal of Honor පදක්කම ලබාගෙන සුළු මොහොතකට පසු රැල්ෆ්ව සිපගන්නා ඔහුගේ පෙම්වතිය ජීන් මෝර්)
|Letterconik blog
|20-05-2020
Sunday, May 17, 2020
ගුවන් යානා වැලියට හංඟපු ඉරාකය
ඒ 2003 අවුරුද්ද.ඒ කාලේ ඉරාකය පාලනය කරේ සදාම් හුසේන්.ලෝක දේශපාලන සහ ආර්ථික බල අරගලයේ ප්‍රතිපලයක් විදියට ඇමරිකාවේ ප්‍රධාන මිලිටරි දායකත්වය ඇතිව මහා බ්‍රිතාන්‍යය,ඕස්ට්‍රේලියා සහ පෝලන්ත හමුදා සන්ධානගතවූ බහුජාතික ඒකාබද්ධ හමුදාවක් විසින් ඉරාකය මත ආක්‍රමණයක් දියත් කලා.ඒ න්‍යෂ්ටික,ජීව සහ රසායනික අවි වැනි භයානක විනාශකාරී අවි ආයුධ නිශ්පාදනය,ත්‍රස්තවාදය පෝෂණය කිරීම,මානව හිමිකම් උල්ලංඝනය කිරීම වැනි චෝදනා ගොනුකරමින් එවකට ඉරාකය පාලනය කල සදාම් හුසේන් රෙජීමය බලයෙන් පහකිරීමේ ප්‍රකාශිත හේතූන් මතයි.
2003 මාර්තු මාසේ 19 වෙනිදා ගුවනින්ද,ඊට පසු දින එනම් මාර්තු 20 වෙනිදා ගොඩබිමින්ද ප්‍රහාර දියත් කරමින් ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ඉරාක ආක්‍රමණය හෙවත් ඉරාක යුද්ධය ආරම්භ වුනා.ඛණිජ තෙල් වලට ස්තූතිවන්ත වෙන්නට ප්‍රබල ආර්තිකයකට උරුම කම් කීවත් බටහිර ආක්‍රමණික හමුදාවන්ගෙන් එල්ල වුන මරුපහරවල් වලකාලීමට සමත් ප්‍රතිරෝධයක් පෙන්වන්ට ඉරාක හමුදා අපොහොසත් වුනා.ප්‍රතිපලය වුනේ දිය 26ක් පුරා දිගහැරුනු සංග්‍රාමකාලය ඇතුළුව මසකට ආසන්න ඉතා කෙටි කාලයකදී ඉරාක බල අධිකාරිය පරාජයවී සම්පූර්ණ ඉරාකය බිඳවැටීමයි.යුද්ධ කාලය පුරාවටම ඉරාක ගුවන් හමුදාවන්ගේ සැලකිය යුතු හරඹ දැක්වීමක් ඉරාක යුධ පිටියට ඉහල අහසේ දැකගන්නට නොලැබීම ඒකාබද්ධ හමුදාවන්ගේ මවිතයට හේතු වූ කරුණක් වුනා.
යුද්ධය අවසන් වුනාට පස්සේ සදාම් හුසේන් පාලන තන්ත්‍රය සඟවා ඇතැයි පැවසුනු භායානක ආයුධ සොයාගැනීමේ මෙහෙයුම ඇමරිකානු පරීක්ෂණ කණ්ඩාම් විසින් දියත් කලා.නමුත් ඔවුන්ට එවැනි ආකාරයක කිසිම අවියක් හමුවුනේ නැහැ.
නමුත් දිනක්, ඉරාකයේ බැග්ඩෑග් අගනුවර බටහිර කොටසේ පිහිටි "අල්-ටැකාඩම්" ගුවන් හමුදා කඳවුරට ඔබ්බෙන් පිහිටි ,එමෙන්ම බැග්ඩෑග්-ජෝර්දාන් අධිවේගී මාර්ගයට මායිම්ව පිහිටියාවූ කාන්තාර ප්‍රදේශයේ ගිනියම් වූ වැලිතලය පසාරුකරගෙන මතුපිටට ඉලිප්පී ,එක හා සමාන හැඩයෙන් යුතුව එකිනෙකට ඉතා ආසන්නයේ තිබූ අත්භූත වස්තූන් ද්විත්වයක් ඇමරිකානු නිළධාරීන්ගේ නෙත ගැටෙනවා.ඒ ප්‍රහාරක ගුවන් යානයක පිටුපස කොටසක් බව හඳුනාගැනීමට ඔවුන්ට අපහසු වුනේ නැහැ.ඒ අනුව අවට ප්‍රදේශයේ කැණීම් සිදුකල ඇමරිකානුවන්ට දැකගත හැකිවූයේ යුධපිටියෙන් අතුරුදන් වූ ඉරාක ගුවන් හමුදාවට අයත්ව තිබූ ප්‍රහාරක ජෙට් යානායි.මේවා අතර රුසියාවේ නිශ්පාදිත "Mig 25" යානා සහ "SU-25" වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාද තිබුනා.අඩි දහයක් පමණ ගැඹුරට හාරා තිබුනු වලවල් තුල මේවා සඟවා සම්පූර්ණයෙන්ම වැලිවලින් වසා දමා තිබුනා.ඒ වගේම වලදැමීමේ කාර්යය පහසු කරගැනීමට මේවායේ පියාපත් ගලවා තිබුනා.ඇතැම් යානා ඒවායේ ඉලෙක්ට්‍රොනික උපාංගා ආරාක්ෂා කරගැනීමේ අරමුණෙන් පොලිතීන් වලින් ආවරණය කර තිබුනත් බහුතරයක් යානා වැලි යට සඟවා තිබුනේ කිසිඳු ආරක්ෂක උපක්‍රමයකින් තොරවයි.
සොයාගත් යානා ගණන පිළිබඳ නිශ්චිත සඳහනක් නැතැත් ඇමරිකානු හමුදා වාර්තා හමුදා ප්‍රකාශකන්ට අනුව යානා 30ක් මේ විදියට සොයාගෙන තිබෙනවා.
'යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද' කියන්නා වාගේ යුද්ධෙට පාවිච්චි නොකර මේ මිග් යානා මේ විදියට වැලියට සඟවා තැබීමට හේතුව ප්‍රශ්ණාර්තයක් ඉතිරි කල කරුණක් වුනා.ඉතින් මේ ප්‍රශ්ණාර්තෙට පිළිතුර වුනේ තමාගේ ගුවන් හමුදාව පිළිබඳව සදාම් හුසේන් සතුව පැවති සෘණාත්මක ආකල්පය.ඒ සෘණාත්මක ආකල්පයන්ට මූලබීජය වුනේ 1980 සැප්තැම්බරයේ ඉඳලා 1988 අගෝස්තු දක්වා පුරා වසර 8ක් පැවති ඉරාක-ඉරාන යුද්ධයේදී ඉරාක ගුවන් හමුදාවේ අසාර්ථකභාවයයි.
ඉරාක-ඉරාන යුද්ධයේදී ඉරාන ගුවන් හමුදාව සතු යානාවන්ගේ තාක්ෂණික දියුණුබව සහ ඉරාන ගුවන් නියමුවන්ගේ දක්ශතා හමුවේ ඉරාක ප්‍රහාරක බලගනයන්ට පසුබසින්නට සිදුවුනා.ආකාස යුධපිටියේදී ඉරාක මිග් යානාවන්ට ප්‍රබලම මුෂ්ටි පහර එල්ල කල ,එවකට ඉරාන ගුවන් හමුදාවේ කොඳුනාරටිය බඳුවූ ඇමරිකාවේ නිශාපාදිත "F-14 Tomcat" ප්‍රහාරක ජෙට් යානා වල නැගුනු දක්ෂ ඉරාන නියමුවන්ගේ උකුසු ඇසට හසුවූ ඉරාක යානා උඩු ගුවනේදීම සුන්නත්දූලි වී ගියා. "F-14" ප්‍රහාරක ජෙට් යානා ඉරාක මිග් යානා පරදවන ප්‍රබලත්වයකින් යුතුවුනා.ඒ වගේම ඉරාන ගුවන් හමුදා භාවිතා කල "ෆීනික්ස්" නම්වූ ඇමරිකාවේ නිශ්පාදිත ගුවන් යානා නාශක මිසයිලය එවකට ලොව තිබූ දරුණුතම ගුවන් යානා නාශක මිසයිලය වුනා.එක් "F-14" යානයක් අහසට නැගුණු විට අවට ආකාසය අරක්ගත් ඉරාක මිග් යානා මරණ භයෙන් ත්‍රස්තව වහාම පලා ගියේ තමන්ට විනාශය අත්කරදීම මේ ඉරාන යානාවට ඉතාපහසු බව ඔවුන් දැනගෙන සිටි නිසායි.මේ භීතිකාව තව තවත් තීව්‍ර කිරීමට 1981 ජනවාරි මාසේ 07 වෙනිදා පර්සියානු ගල්ෆ් කලාපයට ඉහල අහසේ සිදුවූ සිදුවීමක් හේතුවුනා.අදාල කලාපයේ පිහිටි "කාර්ග්" දූපත දෙසට හඳුනානොගත් පියාසර වස්තුවක් ගමන් කරන බව එදින ගුවන් මෙහෙයුමේ නිරතව සිටි ඉරාන නියමු "අසදුල්ලා අඩේලි" හට පාලක මැදිරියෙන් දැනුම් දුන්නා.පණිවිඩය අනුව එදෙසට තම F-14 යානය මෙහෙයවූ අසදුල්ලා අඩේලිට අනපේක්ෂිත ඉලක්කයක් ලබාදෙමින් එහිවූයේ පාලක මැදිරියෙන් විස්තර කල එක් පියාඹන වස්තුවක් වෙනුවට පියාඹන වස්තු තුනක්.ඒ ඉරාක මිග් යානා ත්‍රිත්වයක්.කලයුත්ත වහාම තීරණය කල අසදුල්ලා අඩේලි තුනට එකේ අවාසිය පසෙකලා තමා සතුව තිබුනු ප්‍රබලම අවිය වූ ෆීනික්ස් මිසයිලය භාවිතා කිරීමට තීරණය කරා.ඒ අනුව සතුරු යානා ත්‍රිත්වයේ මධ්‍යයෙන් ගමන්කල යානය ඉලක්ක කර මිසයිලය මුදාහල අඩේලිගේ සැලැසුම වුනේ මධ්‍යයේ ඇති යානය පුපුරවා එහි බලපෑමෙන් දෙපස වූ අනෙක් යානා ද්විතයට හානි කිරීමයි.ඔහුගේ සිතැඟි ඒ අයුරෙන්ම ඉටුකරමින් ෆීනික්ස් මිසයිලය පුපුරා ගියේ ඉරාක මිග් යානා ත්‍රිත්වයම විනාශ කරමින්.මේ සිදුවීමෙන් පස්සේ එක් ඉරාන F-14 යානයකට ඉරාක මිග් යානා ත්‍රිත්වයක් එක්වර බිම හෙලිය හැකි බවට විශ්වාසයක් ඉරාක හමුදා තුල ඇතිවුනා.එයින් ඉරාක ගුවන් හමුදා තව තවත් අසරණ කෙරුනා.ඉරාන ඉරාක යුද්ධයෙන් වසර ගණනකට පසුව වුනත් සදාම් හුසේන්ගේ මනසේ හොල්මන් කරේ මේ අත්දැකීමයි.
ඇමරිකානු යානා සහ මිසයිල භාවිතා කල ඉරාන හමුදා අතින් ඉරාක ගුවන් හමුදාවට අත්වූ ඉරණමම,වසර ගණනකට පසුව දුවද මෙවර ඉරාකයට පහරදෙන ඇමරිකා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් අතින්ද අත්වෙතැයි බියවූ සදාම් හුසේන්ට තමන්ගේ යානා ප්‍රවේසම් කරගැනීමේ අවශ්‍යතාවක් ඇතිවුනා.ඒ නිසා ඒ යානා වැලිතලා යට සඟවා තැබුවේ මතු ප්‍රයෝජනය සඳහායි.ඇමරිකානු නවීන යානා සමග සටන් කිරීමට ඒ වන විට පැරණි තත්වයේ තිබුනු ඉරාක මිග් යානාවලට නොහැකි වුනත් මතුයම් දිනක මැදපෙරදිග කලාපයේ අසල්වැසි රාජ්‍යයකට අතවර කිරීමට ඒවා ප්‍රමාණවත් බව වටහාගෙන සිටි සදාම් හුසේන් තම යානා රැකගැනීමේ මේ අමුතුම ක්‍රමය අනුගමනය කලේ තමා කිසිදිනක බලයෙන් පහනොවැතැයි සිතමින්.නමුත් සදාම් හුසේන්ගේ සිහිනවලට අන්පේක්ෂිත අවසානයක් අත්කරදෙමින් 2003 අප්‍රේල් ඉරාක දේශාපලනය බල-අධිකාරිය බිඳ වැටුනු අතර 2006 දෙසැම්බර් මාසේ 30 වෙනිදා නඩුවිභායකින් පසුව සදාම් හුසේන්ව එල්ලා මරාදමනු ලැබුවා.
ඉරාක පොළව යටින් ගොඩගත් මිග් යානා සතු නොදන්නා රුසියානු තාක්ෂණය ගැන වැඩිදුර අධ්‍යානය සඳහා ඒවා සුරක්ෂිත ඇමරිකාවට යවනු ලැබුවා.ඉරාකයේ සඟවා ඇතැයි පැවසුනු කිසිඳු න්‍යෂ්ටික,ජීව සහ රසායනික අවියක් කෙතරම් සෙව්වත් ඇමරිකානුවන්ට හමුවුනේ නැහැ.ඒ වෙනුවට ඔවුන්ට හමුවුනේ වැලියට සඟවා තිබූ ප්‍රහාරක ගුවන් යානායි.
පස්සෙ කාලෙක මාධ්‍යවේදියෙකු විසින් පෙන්ටගන නිළධාරියෙකුගෙන්, ඉරාකයෙන් ගුවන් යානා කීපයක් හැරෙන්නට වෙනත් කිසිඳු භයානක විනාශකාරි අවියක් සොයාගන්නට නොලැබුනා නොවේදැයි ඇසූ විට එම නිළධාරියා සිනාවක් සමගින් පිළිතුරු දුන්නේ..;
" මේවත් ආයුධ තමයි..භායනක නොවුනට !" යනුවෙනුයි.
(චයාරූප:ඇමරිකානුවන් විසින් ගොඩගන්නා ඉරාක මිග් යානා)
|Letterconik
|18-05-2020
Tuesday, May 12, 2020
අසංධිමිත්තාට මොකද වුනේ? (සිනමාව සහ මනෝවිද්‍යාව)
අසන්ධිමිත්තා...සන්ධියක් නොපෙනෙන තරම් තර වූ ස්ත්‍රියක්.ඒක සද්ධර්මාලංකාරයේ එන නමක්.ඒහෙම තිබුනේ ඒ පොතේමයි.පොත කිව්වේ සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා නවකතාවේ.අපේ රටේ ඉන්න දක්ශ සිනමාකරුවෙක් වන අශෝක හඳගම මහත්තයා මේ නමින්ම මේ කතාව සිනමාවට නැගුවා.සාමාන්‍යය රැල්ලෙන් ඔබ්බට ගියපු මේ නවකතාව වගේම චිත්‍රපටියත් සමාජයේ ලොකු කතාබහක් ඇති කරන්න සමත්වුනා කියන එක අපි ඕන කෙනෙක් දන්න දෙයක්.ගොඩාක් අයට මේක හරිම වෙනස් අත්දැකීමක්.ඒ නිසා අමතුයි.විකාරයි වගේ.ඒ විකාර ගතියම තමා කතාවට පට්ටම ගතියක් ගෙනාවේ.මොකද ඒ විකාර ගතිය අලුත් අත්දැකීමක් නිසා.කොහොමද අසංධිමිත්තා හැදුනේ...?
මීට කාලෙකට කලින් ඒ කියන්නේ 2013 අවුරුද්දේ සමන් වික්‍රමාරච්චි මහත්තයා ස්වර්ණ පුස්තක සමාන කමිටුවේ ජූරි සභාවේ ඉන්නවා.මේ කාලේ වෙද්දී අදියර කීපයකින් යුක්තවුන ජූරි සභාවේ සම්ප්‍රදාය වුනේ නිර්දේශිත පොත් බෙදාගෙන කියවන එක.ඒත් මෙදා පාර කමිටු සාමාජිකයන් සම්ප්‍රදාය වෙනස් කරලා සෑම නිර්දේශිත ග්‍රන්තයක්ම කියවන්න තීරණය කරනවා.ඉතින් සමන් වික්‍රමාරච්චිත් ඒ අවුරුද්දේ නිර්දේශ වෙලා තිබ්බ පොත් එකසිය ගානම කියෙව්ව.ඒකෙන් සමන් වික්‍රමාරච්චි හඳුනාගත්ත දේ තමයි මේ සෑම කතාවක්ම පොදු ශානරයන් කීපයක් ඔස්සේ විතරක් විහිදෙනව කියන එක.සමහර ඒවා උන්නතිගාමී කතා.ඒ කියන්නේ පොඩ්ඩෙක් ලොක්කෙක් වෙන කතා.මේ පොඩි ලොකු කිව්වේ වයස එහෙම නෙමේ.සමාජ තත්වය ගැන.ඉතින් බොහොමයක් තිබ්බේ මේ වගේ කතා.එහෙම නැත්නම් ඒක ඉතිහාස කතාවක්.ඉතින් සමන් වික්‍රමාරච්චිට ඕනෙ වෙනවා මේ ගමන්මග වෙනස් දිශානතියකට හරවන්න.ඒ නිසා එයා වෙනස්ම ආකාරයේ නවකතා දෙකක් රචනා කරනවා.ඉන් එකක් තමයි "අසංධිමිත්තා" කියන්නේ.සිනමාවට නැගුනේ ඒක.අනෙක් එක තමයි "අප්පච්චි ඇවිත්" .ඒ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මාණය දිනන්නේ ඒක.අසංධිමිත්තත් ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් විස්ස අතරය එනවා.
ඉතින් ඔන්න ඔහොම තමයි අසංධිමිත්තා ඉපදුනේ.ඒ නවකතාවක් විදියට.
අසංධිමිත්තා කියවගෙන යද්දී මතක් වුනා තවත් ඒ වගේම කතාවක්.ඒ තමයි ඇමරිකානු ලේඛක Stephan Kingගේ "Secret Window,Secret Garden" නම් නවකතාව.මේ නවකතාවත් සිනමාවට නැගෙනවා "Secret Window" නමින් 2004 අවුරුද්දෙදී.සුපිරි නළු ජොනී ඩෙප් තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පනදෙන්නේ.
මේ කතාව පුරාමත් ගලාගෙන යන්නේ එක්තරා ජනප්‍රිය ලේඛකයෙකු වටා ගොඩනැගෙන, ඔහුට මුහුණ දීමට සිදුවන අත්භූත සිදුවීම් මාලාවක් ගැන.ඔහු වටාත් අත්භූත චරිත ගොඩනැගෙනවා.හරියට අසංධිමිත්තා වටේට අර වික්‍රමසේකරල ගොඩනැගුන වගේ.ඒ අවස්ථා දෙකේදීම පොදු ලක්ෂණයක් තමයි අදාල චරිතය ජීවිතයේ යම් පසුබෑවමකට සහ සමාජයෙන් හුදකලාවීමකට භාජනය වී තිබීම.ඒ නිසා තමන්ගේ පෞර්ෂය ගැන ගැටලුවක් ඒ අයටම මතුවෙලා තියෙන එක.ඔන්න ඔය තත්වය උපරිමේටම ගියාම එයාලා ගොඩනගා ගන්නවා එයාලටම වෙන්වුන එයාලගේ මනෝමය ලෝකේ විතරක් ජීවත්වන චරිත කීපයක්.ඔය කතා දෙකම කියවලා බලලා තියේනම් ඒක පැහැදිලිව විග්‍රහකරගන්න පුළුවන්.
ඔය "ආකර්ෂණයේ නීතිය" එහෙම නැත්නම් Law of Attraction කියන සංකල්පයේදිත් භාවිතා කරන්නේ ඔන්න ඔය යටිසිතේ ආශාවනේ.එතනදි නම් අපි කරන්නේ අපිට ඕනෙ දේ අපිවෙත ලඟාකරල දෙන්න අපිවිසින්ම යටිසිත මෙහෙයවන එක.ඒ කියන්නේ අපි කැමතිදේවල් ගැන යටිසිතට පණිවිඩ යවනවා.යටිසිතේ ඒ ගැන ආශාවක් රෝපණය කරනවා.යටිසිත කොහොමත් අපිට ගෙනත් දෙන්නේ එයා ආස දේනේ.ඒ නිසා දැන් ඔන්න අපිට ඕනෙ දේ එයා ගෙනත් දෙනවා.වක්‍රාකාරව අපි අපිට ඕනේ දේ ගෙන්න ගන්නවා යටිසිත මාර්ගයෙන්.ඒක තමයි "ආකර්ෂණයේ නීතිය" කියන්නේ.
හරි දැන් ආයෙ එමු කලින් තැනටම.යටිසිත කියන දේ,ඒ කියන්නේ අපේ ඇතුලාන්තයේ කාටත් නොපෙනී,අවම වශයෙන් අපිටත් හොරා සැඟවිලා තියෙන දේනේ යටිසිත්ස් දෙනව කිව්වේ.ඉතින් ඒ දේවල් ලංකරගන්න බැරිවුනා දුක් වෙනවා,ඇස් වලින් නොවුනත් හිතෙන් අඬනවා.දුකේ උපරිමේට , හැඬීමේ උපරිමේට ගියාම තමා ඕක මානසික රෝගයක් දක්වා වර්ධනය වෙන්නේ.
බුදුවරු , පසේබුදුවරු ඒ වගේම රහතන්වහන්සේලා නම් ඔය යටිසිත කියන අසරුවාව දමනය කරලා නිශේද කරලා තියෙන්නේ.ඒ නිසා එයා සිත කියන අශ්වයාව කුලප්පු කරන්නේ නැහැ.උන්නාන්සේලාට අංශුමාත්‍රයකවත් ආශාවක් ඇතිනොවන්නේ ඒ නිසා.ඒ නිසා උන්නාන්සේලාට දුක්ඛ දෝමනස්ස නැහැ.උමතු වෙන්නේ නැහැ.විදර්ශනා භාවනාවෙන් තමයි ඒ හපන්කම කරන්න පුළුවන් වෙන්නේ.ඒත් ඒ ගැන කතාකරන්න වෙලාවක් නෙමේ මේක.මොකද මූලික පරමාර්යෙන් ඈතට යන්න හොඳනැති නිසා.මූලික පරමාර්තය තමයි අසංධිමිත්තාගේ සයිකොලොජිය ගැන කතාකරන එක.දැක්ක නේද නොදැනීම සිත අපිව වෙන වෙන පාරවල්වල ඇවිද්දවන හැටි...
අසංධිමිත්තාට තියෙන්නේ තමන්ට ජීවිතේ නොලැබුනු දේවල් නිසා වර්ධනය වුන මානසික ගැටලුවක්.එයා අත්භූත චරිත හදාගෙන ඒ චරිත එක්ක අර නොලැබුනු දේ හොයනවා.මෙන්න මේ වගේ ඒවට තමයි මනෝවිද්‍යාවේදී Split Personality එහෙම නැත්නම් Dissociative Identity Disorder කියන්නේ.ඕකටම තමයි Multiple Personality Disorder කියල කියන්නෙත්.අසංධිමිත්තාට තිබ්බේ ඕක.අර කලින් කිව්ව Secret Window කතාවෙත් තියෙන්නේ ඕකමයි.
මේ Personality Disorder කියන ඒවා ප්‍රධාන කුලක එහෙම නැත්නම් පොකුරු ,කාණ්ඩ තුනකට බෙදෙනවා.ඒවා තමයි ;
Cluster A -- Suspicious Disorder
Cluster B -- Emotional Disorder
Cluster C -- Anxious Disorder
Multiple Personality Disorder කියන්නේ ඔය Cluster A එකෙයි B එකෙයි එකතුවක් බොහෝවිට.ඒ කියන්නේ Suspicious එකෙයි Emotional එකෙයි.
මේ කුලක තුනට අයිතිවෙන Disorders වර්ග කීපයක් තියෙනවා.ඒකෙන් Cluster A එකට අයිති වෙන්නේ Pranoid ,Schizoid සහ Schizotypal කියලා.ඔය අතරින් Schizotypal කියන එක ,ඒ කියන්නේ Schizotypal Personality Disorder එක විශේෂයි අපේ මාතෘකාවට.මොකද ඒක තමයි අසංධිමිත්තාට තියෙන්නේ.දුර්වල සාමාජීය කුසලතාවන් එහෙම නැත්නම් දුර්වල සාමාජීය සම්බන්ධතා වගේම විකාරරූපී මවාගැනීම් ඇතිවෙන්නේ මේ තත්වයේදී.හරියටම අසංධිමිත්තාට තිබ්බ වගේ.අර Secret Window කතාවෙත් මේකම වෙන්න ඕන තියෙන්නේ.මොකද ඒ කතාවෙදිත් අදාල තැනැත්තා සමාජයෙන් දුරස්ව හුදෙකලාව තමයි ජීවත් වෙන්නේ.එහෙම ඉන්න අතරේ ඔහු මවපු එක නවකතාවක ලෝකෙක එයා ජීවත් වෙනවා.හරියට අසංධිමිත්තා කතාවේ වගේමයි.අසංධිමිත්තත් ගෙදරට වෙලා තනියම පොත් පත්තර කියව කියව ඉද්දි එයාගේ චරිතෙට සමාන චරිතක් ගැන කතාවක් තිබුන පොතක කතාන්දරය ඇසුරෙන් තමයි එයාගේ මනෝලෝකය ගොඩනගාගන්නේ.කතාවේ අන්දමන්ද ගතිය දැන් පැහැදිලිද...මේ කතාව තේරුම් ගන්න නම් මනෝවිද්‍යාව පැත්තෙන් බලන්න ඕනෙ.ඒක විකාරයක් නොවෙන්නේ එතකොට.
මනෝවිද්‍යාව නවකතා ලෝකෙට සහ සිනමාවට ආපු අවස්තා සෑහෙන ගණනක් තියෙනවා.2010 අවුරුද්දේදී නිර්මාණය වුන හින්දි චිත්‍රපටියක් තියෙනවා Karthik Calling Karthik කියලා.එකේ තියෙන්නේ Schizophrenia නම් මානසික ව්‍යාදියෙන් පෙලෙන තරුණයෙක් ගැන.Schizophrenia කියන්නේ අසාමාන්‍යය හැසිරීම සහ යතාර්තයෙන් ඔබ්බට ගියපු මවාගැනීම් ඇතිකර තත්වයක්.
ඒ වගේම ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ රංගණයෙන් වර්ණවත් වුන 2010 අවුරුද්දේ නිර්මාණය වුන Shutter Island චිත්‍රපටියෙත් කතාකරන්නේ මානසික රෝගියෙක් ගැන.කතාව අවසානයේ ප්‍රේක්ෂකයාව උභතෝකෝටික ප්‍රශ්ණයකට ඇදදමන මේ කතාවේ කියන්නේ Delusional Disorder නම් තත්වය ගැන.කතාවේ ප්‍රධාන චරිතය වුන ඩෙට් නම් නිළදාරියා මවාගත්තු ලෝකෙක ඉන්නේ අන්න ඒ Delusional Disorder එක නිසා.Delusions එහෙම නැත්නම් මායාවන් හොඩනැගීම කියන දේ Schizophrenia ,Paraphrenia, Bipolar Disorder වගේ බෝහෝමයක් මානසික රෝගවල ලක්ෂණයක්.
The Silent patient වගේ නවකතාත් සහ Fight Club , Girl in the Train , Identity වගේ චිත්‍රපටිත් මනෝවිද්‍යාත්මක පදනමක් මත නිර්මාණය කල විශිෂ්ට නිර්මාණ.ඒවා හොයාගෙන රසවිඳින්න.
(විශේෂ ස්‍තුතිය: මනෝවිද්‍යා උපදේශිකා සඳනි යශෝධා මෙනවිය වෙත)
|Letterconik
|13-05-2020
Monday, May 11, 2020
අක්ෂි බද්ධය (වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්ය)
මේ මොකක්ද..?
ඇහැක් නේද.ඒත් වෙනස්නේ...
මොකක්ද වෙනස.?
මොනවද මේ ඉරි ඉරි වගේ රේඛා රටාවක් තියෙන්නේ..ලස්සනයි !!
රේඛා රටාවක් නේද..ඉන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ...
මේ තියෙන්නේ අක්ෂි බද්ධයක් කරාට පස්සේ ඇහැක් පේන විදිය.
අක්ෂි බද්ධයක් කියලා කිව්වට ඇත්තටම සම්පූර්ණ අක්ෂි බෝලයක් බද්ධ කරන්න බැහැ.ඒකට හේතුව තමයි දෘෂ්ටික ස්නායු වලය හානිවීම.
ස්නායු තන්තු මිලියන ගණනකින් සැදුම්ලත් ස්නායු බණ්ඩලයක් තමයි මේ දෘෂ්ටික ස්නායු(Optic nerves) කියල කියන්නේ.එක ඇසකට එක බැගින් දෘෂ්ටික ස්නායු ද්විත්වයක් පිහිටනවා.ඒවා අඟල් 1-2ක් අතර දිගකින් සහ අඟලකින් 1/5ක තරම් පළලකින් යුක්තයි.ඇසේ කණිනිකාව සහ කාචය ඔස්සේ ඇසතුලට ගමන් කරන ආලෝක කිරණ ඇසේ ආලෝක සංවේදක සෛල පිහිටි ස්තරය වන "දෘෂ්ටි විතානය" මත පතිත වුනාම එයින් ජනනය කරන ස්නායු ආවේග මොළයට අරන් යන්නේ මේ දෘෂ්ටික ස්නායු මාර්ගයෙන්.මොළයෙන් තමා ඒ ආවේගයන්ට අනුව අපි දකින්නේ මොකක්ද කියන දේ ප්‍රතිනිර්මාණය කරන්නේ.ඉතින් මේ දෘෂ්ටික ස්නායුවට හානියක් වුනොත්(කැපුනොත්) ඒක නැවත පිළිසකර කරන්න බැහැ.එතකොට ඇසෙන් මොළයට ආවේග අරන් යන මාර්ගය බිඳවැටෙන නිසා අදාල ඇසෙන් අපිට දකින්න බැහැ.
මේ විදියට සම්පුර්ණ ඇහැක්ම බද්ධ කරන්න ගියොත් දෘෂ්ටික ස්නායුවට හානිවෙනවා.ඒ නිසා සම්පුර්ණ ඇහැක්ම බද්ධ කරන්නේ නැහැ.ඒ වෙනුවට කරන්නේ අපගේ ඇහේ "කණිනිකාව"(Cornea) නම් කොටස පමණක් බද්ධ කරන එක.ඒකෙන් කරන්නේ ඇහට වැටෙන ආලෝක කිරණ සම්පිණ්ඩනය කරලා දෘෂ්ටි විතානය මතට නාභිගත කරන්න උපකාර කරන එක.හරියට ඇසේ කාචයෙන් කරනවා වගේම.ඒ කියන්නේ "කණිනිකාව" බද්ධ කිරීමේ අරමුණ වෙන්නේ ඇසෙ නාභිගත කිරීමේ හැකියාව(Focusing)වැඩි කිරීම.හරියට කැමරාවක වගේ.
මේ තියෙන්නේ ඒ විදියට අක්ෂි බද්ධයක් කියලා අපි පොදු ව්‍යවහාරයේ හඳුන්වන, කණිනිකා බද්ධයකින් පස්සේ ඇහැක් පේන විදිය.මේ රටාවකට විහිදුනු රේඛාවන් වගේ පේන්නේ කණිනිකාව ඇසට බද්ධකරන්න භාවිතා කරපු මැහුම්.සාමාන්‍යයෙන් අක්ෂි බද්ධයක් සම්පූර්ණයෙන් සුව වෙන්න අවුරුද්දක් වගේ ගතවෙන්න පුළුවන්.මේ මැහුම්ද වෛද්‍යවරාගේ නිරීක්ෂණ වලට පස්සේ සැත්කමින් යම කාලයක් ගෙවිල ගියාම ඉවත් කරනවා.
මේ චායාරූපයේ තියෙන්නේ ඒ විදියට මැහුම් ඉවත් කරන්න කලින් මැහුම් රටාවන් පේන විදිය.
බලන්න වෛද්‍ය විද්‍යාව කෙතරම් පුදුම සහගතද ???
|Letterconik blog
|11-05-2020
ඇහැක් නේද.ඒත් වෙනස්නේ...
මොකක්ද වෙනස.?
මොනවද මේ ඉරි ඉරි වගේ රේඛා රටාවක් තියෙන්නේ..ලස්සනයි !!
රේඛා රටාවක් නේද..ඉන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ...
මේ තියෙන්නේ අක්ෂි බද්ධයක් කරාට පස්සේ ඇහැක් පේන විදිය.
අක්ෂි බද්ධයක් කියලා කිව්වට ඇත්තටම සම්පූර්ණ අක්ෂි බෝලයක් බද්ධ කරන්න බැහැ.ඒකට හේතුව තමයි දෘෂ්ටික ස්නායු වලය හානිවීම.
ස්නායු තන්තු මිලියන ගණනකින් සැදුම්ලත් ස්නායු බණ්ඩලයක් තමයි මේ දෘෂ්ටික ස්නායු(Optic nerves) කියල කියන්නේ.එක ඇසකට එක බැගින් දෘෂ්ටික ස්නායු ද්විත්වයක් පිහිටනවා.ඒවා අඟල් 1-2ක් අතර දිගකින් සහ අඟලකින් 1/5ක තරම් පළලකින් යුක්තයි.ඇසේ කණිනිකාව සහ කාචය ඔස්සේ ඇසතුලට ගමන් කරන ආලෝක කිරණ ඇසේ ආලෝක සංවේදක සෛල පිහිටි ස්තරය වන "දෘෂ්ටි විතානය" මත පතිත වුනාම එයින් ජනනය කරන ස්නායු ආවේග මොළයට අරන් යන්නේ මේ දෘෂ්ටික ස්නායු මාර්ගයෙන්.මොළයෙන් තමා ඒ ආවේගයන්ට අනුව අපි දකින්නේ මොකක්ද කියන දේ ප්‍රතිනිර්මාණය කරන්නේ.ඉතින් මේ දෘෂ්ටික ස්නායුවට හානියක් වුනොත්(කැපුනොත්) ඒක නැවත පිළිසකර කරන්න බැහැ.එතකොට ඇසෙන් මොළයට ආවේග අරන් යන මාර්ගය බිඳවැටෙන නිසා අදාල ඇසෙන් අපිට දකින්න බැහැ.
මේ විදියට සම්පුර්ණ ඇහැක්ම බද්ධ කරන්න ගියොත් දෘෂ්ටික ස්නායුවට හානිවෙනවා.ඒ නිසා සම්පුර්ණ ඇහැක්ම බද්ධ කරන්නේ නැහැ.ඒ වෙනුවට කරන්නේ අපගේ ඇහේ "කණිනිකාව"(Cornea) නම් කොටස පමණක් බද්ධ කරන එක.ඒකෙන් කරන්නේ ඇහට වැටෙන ආලෝක කිරණ සම්පිණ්ඩනය කරලා දෘෂ්ටි විතානය මතට නාභිගත කරන්න උපකාර කරන එක.හරියට ඇසේ කාචයෙන් කරනවා වගේම.ඒ කියන්නේ "කණිනිකාව" බද්ධ කිරීමේ අරමුණ වෙන්නේ ඇසෙ නාභිගත කිරීමේ හැකියාව(Focusing)වැඩි කිරීම.හරියට කැමරාවක වගේ.
මේ තියෙන්නේ ඒ විදියට අක්ෂි බද්ධයක් කියලා අපි පොදු ව්‍යවහාරයේ හඳුන්වන, කණිනිකා බද්ධයකින් පස්සේ ඇහැක් පේන විදිය.මේ රටාවකට විහිදුනු රේඛාවන් වගේ පේන්නේ කණිනිකාව ඇසට බද්ධකරන්න භාවිතා කරපු මැහුම්.සාමාන්‍යයෙන් අක්ෂි බද්ධයක් සම්පූර්ණයෙන් සුව වෙන්න අවුරුද්දක් වගේ ගතවෙන්න පුළුවන්.මේ මැහුම්ද වෛද්‍යවරාගේ නිරීක්ෂණ වලට පස්සේ සැත්කමින් යම කාලයක් ගෙවිල ගියාම ඉවත් කරනවා.
මේ චායාරූපයේ තියෙන්නේ ඒ විදියට මැහුම් ඉවත් කරන්න කලින් මැහුම් රටාවන් පේන විදිය.
බලන්න වෛද්‍ය විද්‍යාව කෙතරම් පුදුම සහගතද ???
|Letterconik blog
|11-05-2020
Sunday, May 10, 2020
වෛද්‍ය මොරිස්ගේ ආන්දෝලනාත්මක වෛද්‍ය පරීක්ෂණ
(ඉතිහාසයේ පව්සමා කිරීමක්)
ඇමරිකානු ජාතික වෛද්‍ය ජේම්ස් මොරිස් සිම්ස් හඳුන්වන්නේ නූතත නාරිවේදයේ පියා විදියටයි.ඒ ඔහු විසින් අදාල ක්ෂේත්‍රයට දායාද කල දැනුම් සම්භාරය නිසා.ඔහුගේ සොයාගැනීම් වත්මන් ලෝකයාගේ යහපත උදෙසා හේතු වුවත් මේ වන විට ඔහුගේ ඔහු සිදුකල පරීක්ෂණ මතභේදයට තුඩදුන් කරුණක් වෙලා.
ජේම්ස් මොරිස් සිම්ස් කියන්නේ ඇමරුකානු ජාතික වෛද්‍යවරයෙක්.ඔහු උපත ලබන්නේ 1813 ජනවාරි මාසේ 25 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේදීයි.ඔහු 1835දී ෆිලඩෙල්ෆියාහි ජෙෆර්සන් වෛද්‍ය විද්‍යාලයෙන් තමන්ගේ වෛද්‍ය උපාධිය ලබාගත්තා.උපාධිය ලබාගත්තට පස්සේ නැවතත් තමන්ගේ උපන් ගම් ප්‍රදේශයට ගියත් වෛද්‍යවරයෙක් විදියට වෘත්තීයමය සාර්තකත්වයක් බලාගන්න ජේම්ස් මොරිස්ට බැරිවුනා.ඒ ඔහුගෙන් ප්‍රතිකාර ලද මුල්ම රෝගීන් දෙදෙනාම මියගිය නිසායි.
ඊට පස්සේ ගම්බිම් අත්හැරලා ඇලබාමා වෙත පදිංචියට ආපු ජේම්ස් මොරිස්ට තමන්ගේ වාසනාව හමුවුනේ එහිදීයි.උපන් ගමෙන් අසාර්ථක වුනත් අලුත් ප්‍රදේශයකට ආ මේ නන්නාදුනන වෛද්‍යවරයා ඒ ප්‍රදේශයේ එතෙක් බිහිවූ සාර්ථකම වෛද්‍යවරයා වෙනවා.කෙතරම් ජනප්‍රියතාව ජේම්ස් මොරිස් අත්පත් කරගත්තාද කියනවා නම් ඒ වනවිට ඉතිහාසයේ වැඩිම රෝගීන් සංඛාව වාර්තා වුනේ මොරිස්ගේ සායන වලින්.මොරිගේ ජිවිතේ තවත් හැරවුම් ලක්ෂයක් හමුවෙන්නේ මෙ කාලයේදීයි.ඒ හැරවුම් ලක්ෂය වුනේ වහල් සේවකයන්ට ප්‍රතිකාර කිරීමට අවස්තාවක් ලැබීමයි.
ඇමරිකානු ජාතිකයන්ගේ සුදු හමට වඩා මෙලනීන් සහිත කළු හමක් දරාසිටි අප්‍රිකානු ඇමරිකානු කලු ජාතිකයන් තමයි මේ වහල්ලු විදියට හැඳින්වුනේ.ඒ කාලේ කලු හම සුදු හමට යටයි. ඉතින් කුතුහලයෙන් පිරුණු මනසක් තිබුන ජේම්ස් මොරිස් මේ කළු ජාතික වහල් මිනිසුන් උදෙසා රෝහලක් ආරම්භ කරා.ඒ තමන්ගේ මුදලින්.ඒ වුනාට ඔහුගේ යටි අරමුණ වුනේ ස්වයං අධ්‍යාපනය.රෝගී වූ වහලුන් මේ සඳහා භාවිතා කරන්න කාගෙන්වත් තහංචි නැති නිසා ඒ.
1845 අවුරුද්දේ දවසක වෛද්‍ය මොරිස් ගාවට එනවා මීට කලින් කවදාවත්ම මොරිස්ට හමුනොවුන විදියේ සංකූලතාවක් සහිත රෝගී කාන්තාවක්.ඒ කාන්තාව පීඩා වින්දේ Vesicovaginal fistula නම් තත්වයෙන්.ඒ කියන්නේ මුත්‍රා මාර්ගය සහ යෝනි මාර්ගය අතර සම්බන්ධවීමක්.ඒක අසාමාන්‍යය තත්වයක්.ඒ වගේම වේදනාකාරීයි.මේ කාලෙදී ,ඒ කියන්නේ 19 වැනි සියවස පමණ වෙද්දී මේ තත්වය සමාජයේ සුලභව දකින්න ලැබුනු දෙයක්.ඒ කාලේ උපත් පාලන සාර්තක උපත් පාලන ක්‍රම නොතිබූ නිසා දරු උපත් ඉතා ඉහළ සීග්‍රතාවකින් සිදුවීම ඒ විදියට මේ තත්වය බහුල වීමට බලපෑවා.
ඒ වගේම මෙයින් පීඩා විඳි කාන්තාවන් සමාජයේ පිළිකුලට භාජනය වුනා.ඒ කොහොම වුනත් මේ සඳහා ප්‍රතිකාර ක්‍රම හෝ ප්‍රතිකාර සඳහා යොමු වීමක් හෝ දකින්න ලැබුනේ නැහැ.ඒ නාරිවේදය දියුණු නොවීමත් වෛද්‍යවරුන් පිරිමින් වූ නිසා කාන්තාවන් සායන වලට නොපැමිනීමත් නිසායි.කොහොම වුනත් මතු ලෝකයාගේ වාසනාවට එදා ඒ ස්ත්‍රිය වෛද්‍ය ජේම්ස් මොරිස් හමුවී තිබුනා.එදායින් පස්සේ මේ වගේ සංකූලතාවන් ගැන අවධානය සහ කුතුහලය යොමු කරපු වෛද්‍ය ජේම්ස් මොරිස් කාන්තාවන් සම්බන්ධ රෝග ගැන පරීක්ෂණ කිරීම ආරම්භ කරා.
මුලින්ම වහල් හිමියන්ගෙන් අදාල තත්වයන්ගෙන් පෙලෙන වහල් කාන්තාවන් සිටීනම් තමන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට කාන්තාවන් කීප දෙනෙකු සොයාගැනීමට වෛද්‍ය ජේම්ස් මොරිස්ට හැකිවුනා.ඊට පස්සේ තමන්ගේ පුද්ගලික රෝහලේ නේවාසිකව ඔවුන්ව රඳවා ගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරා.1845 ඉඳලා 1849 දක්වා පුරා අවුරුදු හතරක කාලයක් මේ පරීක්ෂණ කටයුතු සිදු කෙරුනා.Vesicovaginal fistula තත්වයට අමතරව rectovaginal fistula සහ neonatal tetunus වැනි රෝග සඳහා ඔහු පරීක්ෂණ මෙහෙයවූවා.
ඔහුගේ අරමුණ වුනේ මේ fistula තත්වයන් සැත්කම් මගින් සාර්තකව සුව කලහැකි ක්‍රමයක් සොයාගැනීමයි.ඒ සඳහා ඔහු කළු ජාතික වහල් කාන්තාවන් නිරන්තර සැත්කම් වලට භාජනය කරා.නමුත් ඔහු මේ සැත්කම් සියල්ලම සිදුකලේ කිසිඳු නිර්වින්දන ක්‍රියාවලියකින් තොරවයි.ඒ කාලේ කළු ජාතිකයන්ට වේදානාව නොදැනෙන බවට සමාජයේ ව්‍යාජ මතයක් තිබුනා.මේ විදියට නිර්වින්දන භාවිතා නොකරන්න ඒකත් හේතුවක් වෙන්න ඇති.කොහොමහරි මොහුගේ මේ පරීක්ෂණ සැත්කම් වලට භාජනය වුනු ඇතැම් කාන්තාවන් මියගියා.
කොහොමින් කොහොමහරි වසර හතරක කාලයක් වැය කරලා එක දවසක් තමන්ගේ පරීක්ෂණ සැත්කම් වල සාර්තකත්වය අත්දකින්න වෛද්‍ය ජේම්ස් මොරිස්ට හැකිවුනා.ඒ "ඇනාර්කා" නම් vesicovaginal fistula තත්වයෙන් පීඩාවිඳි එක් කළු ජාතික වහල් කාන්තවක් සැත්කමකින් සාර්තකව සුව කල පසුවයි.ඒත් මේ සාර්තක සැත්කමට කලින් තව අසාර්ථක සැත්කම් 30කට කිසිඳු නිර්වින්දයකින් තොරවම මුහුණ දීමට මේ කාන්තාවට සිදුවුනා.
1852 දී තමන්ගේ පරීක්ෂණ වාර්තා ඔහු විසින් ප්‍රකාශයට පත් කරා.සැත්කම් ක්‍රමය සාර්තක බව ලෝකයා දැනගත්තා.එහි ගෞරවය වෛද්‍ය ජේම්ස් මොරිස්ගේ නම ඉදිරියේ විතරක් සටහන් වුනා.වේදානාත්මක සැත්කම්වලට මුහුණදීපු කාන්තාවන් අමතකවී ගියා.අවසානයේදී ඒ කාන්තාවන් ගැන මතක ඉතුරු වුනේ වෛද්‍ය මොරිස්ගේ පුද්ගලික වාර්තාවල විතරයි.
පරීක්ෂණය සාර්තක වුනාට පස්සේ තමයි සුදු ජාතික කාන්තාවන්ට මේ ප්‍රතිකාර ක්‍රමය විවෘත වුනේ.ඒත් ඔවුන්ට නම් කළු ජාතික කාන්තාවන්ට නොලැබුනු නිර්වින්දන වල සහය හිමිවුනා.ප්‍රතිකාර වඩාත් ඉහළ තලයකට ඉසවා තැබීමට වෛද්‍ය මොරිස් විසින් 1855 නිව් යෝර්ක් නුවර කාන්තා රෝහලක් ආරම්භ කරනවා.ඒ ඇමරිකානු ඉතිහාසයේ පළමු කාන්‍තා රෝහලයි.
වහල් කාන්තාවන්ගේ වේදනා මත තමන්ගේ දැනුම රෝපණය කරලා වෛද්‍යවිද්‍යාවේ නව මානයක් විවෘත කෙරූ මේ ඇමරිකානු ජාතික වෛද්‍යවරයා ලෝකය පුරා විහිදීගියපු කීර්තියක් අත්පත් කරගත්තා.ඒ වගේම ගරු නම්බුනාම , සම්මාන,පදක්කම් සහ තනතුරු රාශියකින් පිදුම් ලැබුවා.ඒ වගේම වෛද්‍යවිද්‍යාවේ තමන් විවර කල නව දොරටුව පිළිබඳව ඔහු විසින් පොත් පත් රචනා කරා.
අවසානයේදී ඉහල ගෞරවාන්විත ජීවිතයකට හිමිකම් කියමින් සිටි වෛද්‍ය මොරිස් 1883 නොවැම්බර් මාසේ 13 වෙනිදා ඇතිවූ හෘදයාබාධයක් නිසා ඇමරිකාවේ මෑන්හැටන් හිදී මියපරලොව ගියා.ඔහුගේ දේහය මේ වෙද්දී නිව් යෝර්ක් නුවර සුසාන භූමියක මිහිදන් කරල තියෙනවා.
වෛද්‍ය මොරිස් මියගිහින් කාලයක් ගතවුනා.සිවිල් අරගලවල ප්‍රතිපලයක් විදියට වහල්භාවය අවසන් වුනා.කළු ජාතිකයන්ටත් සුද්දන් හා සමානවම අයිතිවාසිකම් හිමිවුනා.මොරිගේ පරීක්ෂණ වලට භාජනය වෙල ලෝකෙටම රහසෙ සමුගත් කළුජාතික කාන්තාවන්ව ආයෙමත් මතක්වුනා.මොරිගේ ඒ පරීක්ෂණ අමානුශික බවට කතාබහක් ඇතිවුනා.ඒ වගේම ඒවාට ජාතිවාදී අර්ථදැක්වීමකුත් සමහර තැන්වලින් ලැබුනා.කාන්තා අයිතිවාසිකම් උදෙසා වූ සංවිධාන වෛද්‍ය මොරිස්ගේ අමානුශික වෛද්‍ය පරීක්ෂණ වලට එරෙහිව හඬ නැගුවා.ඒත් ඒ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.වෛද්‍ය මොරිස් වගේම ඔහුගේ පරීක්ෂණ වලට භාජනය වුන කාන්තාවන්ද තම තමන්ගේ ජීවිත වලින් සමුඅරන් සෑහෙන කාලයක් ගෙවිලා ගිහින්.ඉතිහාසය තුල තවමත් ඉතුරු වෙලා තිබුනේ අඳුරු වේදනාවේ කළු පැල්ලම විතරයි.වෛද්‍ය මොරිස්ට පක්ෂව වගේම විපක්ෂව අදහස් පැතිරෙන්නට වුනා.මේ ගතකරග තත්පරේදී වුනත් හරි වැරැද්ද ගැන පවතින්නේ අවිනිශ්චිතභාවයක්.
පරීක්ෂණ කටයුතු අමානුශික වුනත් වෛද්‍ය මොරිස්ගේ සොයාගැනීම නිසා ජිවිත රාශියක් වර්තමානයේ සුවසෙත අත්කරගන්නවා.ඒක අනාගතේ දක්වාම පරම්පරා රාශියක කාන්තාවන් දස දහස් ගණනකට සුවසෙත සලසන වෛද්‍යවිද්‍යාවේ දැවැන්ත ආයෝජනයක් වගේ."නාරිවේදයේ පියා" යන ගෞරව නාමය නිසඟයෙන්ම මොරිස්ට හිමිවිය යුතුබව පිලිගැනුනා.ඒ වගේම කතාවේ හිටපු තව කෙනෙක්ට ගෞරව නාමයක් පූජාකෙරුනා.ඒ තමයි වේදනාකාරී සැත්කම් 30ක් ඉවසාගෙන සිටි,මොරිස්ගේ සාර්තකත්වය පිටුපස සිටි ඒ කාන්තාවට.නිළවශයෙන් නොවුනත් ඇයව "නාරිවේදය මව්තුමය" ලෙසින් වෛද්‍යා ආචාරධර්ම ගැන කතාබහ කරන බොහෝදෙනෙක් අද පිළිගන්නවා.
විවාදාත්මක භාවය තවදුරටක් ඉදිරියට ඇදෙද්දී කාන්තා සංවිධාන විසින් නිව් යෝර්ක් නගර උඋද්‍යානයේ නිර්මාණය කර තිබුණු වෛද්‍ය මොරිස්ගේ ලෝකඩ ප්‍රතිමාව ඉවත්කරන මෙන් නගර බලධාරීන්ගෙන් ඉල්ලමින් පිළිරුව ඉදිරිපිට විරෝධතා දක්වනවා.මේ විරෝධතාවල ප්‍රතිපලයක් විදියට 2018 අප්‍රේල් මාසේ 17 වෙනිදා පුරා වසර 124ක් මුළුල්ලේ විරාජමානව නිව් යෝර්ක් නගර මධ්‍යයේ වැජඹුන වෛද්‍ය මොරිස්ගේ පිළිරුව එතැනින් ඉවත් කෙරෙනවා.ඒ නිව් යෝර්ක් නගර සැලසුම් කොමිසමේ රහස් චන්ද විමසීමකින් පසුවයි.එතැන් ඉවත් කල පිළිරුව වෛද්‍ය මොරිස්ව මිහිදන් කර ඇති නිව් යෝර්ක් නුවර බෲක්ලින් සුසාන භූමියේ ස්ථාපිත කරනවා.
ඒ වගේම 2006දී, මොරිස් විසින් තමන්ගේ සායන මෙහෙයවූ ඇලබාමාහි පිහිටි බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ තිබුන "ඇලබාමාහි වෛද්‍යවිද්‍යා දැවැන්තයා" ලෙසින් නම් කරන ලද ඩොලර් 20,000කට අධික වටිනාකමකින් යුතු සිතුවමක් ඉවත් කිරීමට එම විශ්වවිද්‍යාලය තීරණය කරනවා.
වෛද්‍ය මොරිස්ගේ වගේම වහල් කාන්තාවන්ගේද කතාවන් ඉතිහාසය තුල තවමත් අසම්පූර්ණයි.ඒ ඉතිහාසය හැමදාම සාධාරණ සහ අසාධාරණය අතර දෝලනයවන්නක් නිසා.
වෛද්‍ය ජේම්ස් මොරිස් සිම්ස්(නාරිවේදයේ පියා)
මොරිස් ඇතුළු කණ්ඩායම "ඇනාර්කා"නම් වහල් කාන්තාව පරික්ෂාවට භාජනය කරමින්
මොරිස්ගේ පිළිරුව ඉදිරිපිට සිදුකෙරෙන විරෝධතා
පිළිරුව ඉවත් කරමින්
ඉවත්කල පසු සතුට සමරන විරෝධතාකරුවන්
පිළිරුව ඉවත්කලාට පසු
|Letterconik blog
|10-05-2020
Thursday, May 7, 2020
දරුවා වඩාගත් ඈ යක්ෂ අවතාරයක්ද ? ( සත්‍ය කතාවකි)
සොබා දහමේ දහසක් සිදුවීම් පොදි බැඳගත් මොහොතක සූරිය දෙවියෝ මරංගල ඉසව්ව දෙස දෙනෙත් හැර බලද්දී බුදුරාපොත ලේමා තුවක්කු කෙටියත් අතේ ඇතිව මහ බැද්දට වැදී නොපෙනී ගියා.
ලේමා මේ වන විටත් සැතපුම් දහයක් දොළහක් තරම් දුරක් බැද්දේ ඈතට පමං වුනත් කෝ තවමත් වන හැත්තෙක් හරියට මුලිච්චි වුනේ නැහැ නොවැ.ටික වෙලාවකදී ලේමා "කුඹුක් ඉන්න" කඳු ඉසව්ව පසු කරන්ඩ පටන් ගත්තා.මිනිස් පුළුටක් නැති මහ බැද්ද වියරු වැටිච්ච කොටි නාම්බෙක් වගේ තරහෙන් පුපුරනවා.මොතක් ගතවුනා.මහ තඩි තිඹිරි ගෙට එහා පැත්තේ "මොහ්! මොහ්!" ගාන සද්දයක්.සද්දෙට සතා හඳුනාගත් ලේමා ඒකා පුච්චන්ඩ(වෙඩි තියන්න) තුවක්කුව උරුක්කරන් ගල් රූපයක් වගේ හිටගෙන මොහොතකින් හෙණයක් වගේ පුපුරපු වෙඩිල්ලට මුළු බැද්දම ලොකු කලබැගෑනියක.හත් දෙයියන්ඩම උප්පුවෙච්චාවේ ,වෙඩිල්ල කෑ තඩි එකා බැද්ද දිරි ගහං දුවන්ඩ පටන් ගත්තා.
ලේමා කැලේ එලවන්ඩ හරිම රුසිය.වෙඩිල්ල අනිල වුන(භාගෙට වැදුන) ඌරු මොටා පස්සේ ලේමා තුවක්කුවක් ගෙන දුවන්ඩ පටන් ගත්තේ කොක් කනමට අතදමමින් සන්නම් මන්නම් එලියට ගෙන තවත් උණ්ඩයක් තුවක්කුවට කොටමින්මයි.සෑහෙන දුරක් කැලේ සතා පස්සේ ගිය ලේමා නැවතත් කොක්කනට අත දැම්මේ ඊයම් පෙතක්(ටිකක්) එළියට ගන්න හිතාගෙනයි.චෙහ්! ඒකා කොහෙද දොක්කන් වෙලා.කොක්කනෙන් වැටුනෙයි කොයි හද්දෙයියෝද දන්නේ.ඔන්න එතකොටම තමයි මොකෙක්දෝ කෑ ගහනවා ඇහුනේ.ඌරා වැටිලද කොහෙද ඒකා මර ලතෝනි දෙන්නේ.ලේමා අඩිය දෙක කැළෑ බූටෑ අතරින් ඉදිරියට ඇදෙනවා.දැන් පැහැදිලිවම ඒ හඬ ලේමාගේ කනට මුලිච්චි වෙනවා.
ඒත් ඒක ඌරු ශබ්දයක් නම් නෙමේ.නැහැ නැහැ වෙන්ඩ බැහැ.දෙයියෝ ! මේ කිරි සප්පයෙක් අඬනවා නොවැ.ආයේ කිසිම සැකයක් නැහැ.ඒ දරුවෙක් තමා.ලේමා ඒ හඬ එන එහෙ කොනට කං දීගෙනම තවත් කිට්ටු වුනා.දැන් ලේමාගේ පපුවේ පිටි කොටනවා.ඒකා දඩ දඩ ගානවා.මිනිස් කුලයක් නැති මේ හද්ද බැද්දට කොයින්ද දරුවෙක්..? ලේමා දැන් ඉස්සරහට වඩා පස්සට තමයි ඇදෙන්නේ .ඊට පස්සේ ඌ ඉවක් බවක් නැතිව බූටෑ දෙපිටින් දාගෙන දුවන්ඩ පටන් ගත්තා.මරංගල ඈයෝ යක්කු භූතයින් පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති උදවිය.ඒ හන්දාම තමා ලේමා සැතපුම් දහයක් දොළහක් නොනැවතී දුව යායට වැදුනේ.
මහ බැද්දේ "කුඹුක් ඉන්න" ඉසව්වේ කිරිසප්පයෙක් අඬන කතාව යාය පුරා පැතිර යන්ඩ වැඩි වෙලාවක් ගත වුනේ නැහැ.ඊට පස්සේ යායෙ කවුරුත් ඒ පළාතකටවත් නොයන්ඩ වගබලා ගත්තා.
"මහ බැද්දට අරක්ගත් යක්ෂයා තමා ඒ"....කවුරුත් ඒ විදියට පිළිගත්තා.ගමේ උං එහෙම කීවත් කොයි කොතැනත් නාහෙට අහන්නැති ගොපිලෙක් දෙන්නෙක් ඉන්නවනේ.
යාය පුරා ඒ විදියට කතා යද්දී "අඩා බොල තෝ මක්කද ඒ කතා ගැන හිතුවේ.මංනං ඔය එකක් වත් වැද්ද ගන්න එකෙක්යැ...ඒකි යකා බැරිනම් මොකා වුනත් අපි යමු හදි ගැහෙන්ඩ.තොගෙ පුච්ච බටෙත් ඇන්න වර හෙට දොහේ.මං එඤ්ඤං..." එදා දොඩාගත් විදියට ඔවුන් කුඹුක් ඉන්න ඉසව්වට සේන්දු වුනා.දෙන්න අතේම තුවක්කු කෙටි.ඒවා උරුක් කරගත් දෙන්නා හතුරෙක් හොයන්නා වගේ දහ දිහාවට ඇහැ ගහනවා.කැලෑ දෙයියන්ඩම ඔප්පු වෙච්චාවේ, ඒකා කීවේ ඇත්තකයි.
" ඔය...ඔය...ඔන්න තොට ඇහෙනවැ..." දෙන්නම ඉදිරිය බලාගෙන හඬ පසුපස ගාටනවා.දෙන්නගෙම ඇස් ඉදිරියට එල්ල වෙලා.මෙහෙම ඉදිරියට ඇදෙද්දී තමා එකෙක් වන බූටෑවෙන් වැසීගිය කුණු වළකට ඇද බෑවුනේ.හපෝ ඊට පස්සේ වෙච්ච හරිය මතක් වෙනකොටත් ඇඟ ගැහෙනවා.ඒකා අකුල දිරි ගහන් වළට වැටෙන කොටම වළේ හිටි එකියක් පැටියත් ඇන්න දුවන්න පටන් ගත්තා.
ඒකී කැරලි කොණ්ඩය කඩාදාගෙන ඉඟට තිබුනේ රෙදි ගොමස් කඩයක් විතරයි.ඒක රෙද්දක් කියන්ඩවත් බැරිතරමට ගෝමස් කඩ වෙලා.යන්තම් වළේ නොවැටී බේරුන එකා පලා යන එකීගේ හැඩරුවත් , ඒකී වදින ඉසව්වත් බලාගෙන බෙරිහන් දෙන්න පටන් ගත්තා.දැන් නම් ඒකි පසු පස හඹා යනවා.ඒකිත් පස්ස නොබලාම මහවනය දෙවනක් කරගෙන දුවනවා.දැන් ඔවුන් සැතපුම් කීයක් නම් දුව එන්ඩත් ඇතිද?..තාමන් ඉදිරියේ විශාල ගල් ඇන්දක්.එතන ගල් පර්වතයක්.ඒකි දරුවත් ගෙන දුව යන්නේ ඒ පැත්තටයි.ඔවුන් හිතුවා හරි.වේගයෙන් දුවගිය ඈ පර්වතය පාමුල ඇති විශාල ගල් ගෙට රිංගා ගත්තා.
"අඩා ඔහේ හිටු! ඒකි වැද්දියක්.අපි ගියොත් වින්නැහියක් වෙන්න ඉඩ තියෙනව.ඒකිගෙ වරිගෙ උන් ඒකේ ලැගල ද කොහෙද...දැන් උන් රොත්ත පිටින් දුනු පොරෝ ගෙන අපි පස්සේ එලවයි..අඩා! අපි හනික දුවමු."
ඊලඟට ඒ දෙන්නා පන කඩාගෙන දුවන්න පටන් ගත්තා.ඊලඟට ඔවුන් දෙන්නා නතරවුනේ මරංගල බුදුරාපන ඉසව්ව පෙනෙන තෙක්මානයට ආවට පස්සෙයි.හපෝ...ඇඟ දැවිල්ල.ඔවුන්ගේ ඉහිං කනිං සීරුම් ලේ ගලන තුවාල.දැන් තමා දැනෙන්නේ,මක් කරන්ඩැ.ඔයින් බේරුනා මදැ.දැන් ඔවුන් ගෙනා අලුත්ම පනිවිඩය ඉහ තියාගෙන මුළු යායම දඟලනව.එක එකා එක එක දේ දොඩවනවා.
සමහරු කීවේ "ඔය යස්ස අවතාරෙම තමා"කියලයි.
"දරුවෙක් වඩාගෙන ගල්ගෙට වැදුනේ වෙන කවුරුවත්යැ, වැද්දියම් මිසක්", ඒ යායේ උන්ගේ තවත් මතයක්.මේ විදියට මරංගලට ඒ සිද්දිය දෝංකාරයක් මෙන්ම ලොකු පෙරළියක් වීමට තරම් දෙයක් වුනා.
සයිමා,කොයිලා,බණ්ඩා යායේ සිටි නම් දරාපු වෙඩික්කාරයෝ විතරක් නෙමෙයි අංගම්කාරයෝයි.ඔවුන් කොහොමහරි තුවක්කුත් පතොරමුත් හදිකරගෙන ගෙන සටනකට යාමට වගේ දින කීපයක්ම සූදානම් වුනා.
එදා බැද්දේ ගිහින් වලේ වැටිච්ච ගොපිලත් ඒ ඉසව්වේ එවුන්ඩ මුලිච්චි කරගන්න ඉදිරිපත් වුනා.ආයේ උන්ගේ හිතේ පල පදියං වූ දෙගිඩියාවක් සැකයක් නැති කිරීමට ඔවුන් තුන් හතර දෙනා තවත් උදයක බැද්දට සේන්දු වුනා.
දැන් වෙලාව දහවල් එකොළහට විතර ඇති.ඒ මොහොතේ බැද්දට වැදුණ සයිමා , කොයිලා , බණ්ඩා ඇතුළු පිරිස ගල් ගෙට පලායන අවතාරය හොයාගෙන බැද්ද දෙවනක් කරනවා.මද වෙලාවක් මේ විදියට ගතවුනා.කන්ද පාමුල ගලා බසින දිය කඩිත්තෙන් නැගෙන "චොර චොර" හඬ පිරිසට හොඳට ඇහෙනවා.ඒ සමගම ඒ පැත්තෙන් තවත් ශබ්දයක්.කවුරුත් ඒ ඒ තැනම හිටගෙන ඒ දෙසට අවධානය යොමු කලා.කාරණය කාටත් තේරුම් ගිය නිසා කවුරුත් තුවක්කු එල්ල කරගෙන මූණෙන් මූණ බලන්ඩ පටන් ගත්තා.පළමුව දොල බිබිල දිහාවෙන් ඇසුනු කැකුලගේ ඇඬීම දැන් ලඟ ලඟම ඇහෙනවා.ලඟ සිටි කෙනෙකුටවත් යමක් දොඩා ගන්ඩත් නොහැකි අවස්තාවක්.තතර දෙනා තුවක්කු හතර එල්ල කර ගෙන ඉටි රූප වගේ බලාගෙන ඉන්නවා.දැන් ඒ හඬ තවත් ලඟ ලඟම ඇහෙනවා.
තවත් මොහොතක් ගෙවීගියේ මොනතරම් තීරණාත්මක විදිහටද?...දැන් ඒ හඬ මර ලතෝනියක් බවට හැරිලා.තව මොහොතකින් වෙන්නේ මොක ද?...තීරණාත්මක අවස්තාවක් ගෙවී යන හැටියක්.මුළු බැද්දම නිහඬයි. 'සටස්' ගාන හඬක් නැති තරමට නිහඬයි පැටිය පමණක් බැද්දේ නිහැඬියාව කාබාසිනිය කරනවා.මෙතෙක් වෙලා බැද්දේ අතුපතර සැඟවෙච්චි සකලයන්(කුරුල්ලන්) "සට පට" ගාමින් ඈතට පදින්ඩ(පියඹන්න) පටන් ගත්තා.මෙහෙම වෙලාවක තමා ඒ අවතාරේ ඔවුන් අතරට කඩාවැදුනේ.ඒකි විරිත්තාගෙන ඇස් උඩ ඉන්දාගෙන තම දරුවා ලයට තදකර ගත්තා.අවතාරයේ කුයිල වැදුන උන් කන්දුන් කුන්දුන් නැතිව ඒකි යන අතර "අද ඕනෑ කෙං ගෙඩියක් වෙච්චාවේ මේකි අඹා යමු!" ඔවුන්ගේ අදහස එයයි.ඈ දරුවත් ඇන්න ගල් ඇන්ද දිහාවටම දුව යනවා.එතැන ඇති ගල් ගුහාව විශාල එකක්.අන්න දැන් ඒකි ගල් ගුහාවට වැදුනා.ඈ දැන් නොපෙනී ගිහින් අහවරයි.ඈ පසුපස මෙතෙක් වෙලා හඹාගිය හතර දෙනාගේ වේගය ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා.
"හද්දෙයියන්ඩ ම පෙනිච්චාවේ, මේක ගල් ගුහාවක්යැ.විශාල ගල් ශාලාවක්නේ." කවුරුත් ඒ විදියටම තමා පුදුමයට පත්වුනේ.
තුවක්කු හතරක කට ගල් ගෙට එල්ල වෙලා.දැන් ඔවුන්ට ගල්ගේ යසට පෙනෙන තරමට...
" අන්න බලෝ..අරුං මොක්කුද ? , වලස් ගෙඩියෝ...වලස් ගෙඩියෝ විසිපහක් තිහක් පමණ වලස් ගෙඩියෝ.උන් දැක්කොත් අපි සුං"
එහෙම කියන්ඩත් ඉස්සර හාවෙක් වටකරග් බලු රැලක් වගේ වලස් රොත්ත හතර දෙනාම වහා එලා ගත්ත.එක පිට එක වෙඩි පත්තු වුනා.දැන් එතන මහා යුද්ධ පිටියක්.පතුරං කොටනවා.නැවත වෙඩි තියනවා.වලස්සුත් කෑ ගහනවා.මිනිස්සුත් කෑ ගහනවා.දැන් එතන මහා ගාල ගෝට්ටියක්.සමහර වලස් ගෙඩියෝ පුච්ච කඩන(වෙඩිල්ලට) මැරී වැටෙනව.ක්ෂණිකව සයිමා ගුහාවේ තිබුණ ගල් ඇඳට ගොඩවී බිම වලිකන වලස් හැත්තට පහර පිට පහර ඇද බාන්ඩ පටන් ගත්තා.තවත් වලස් ගෙඩියෙක් එකෙකුගේ තුවක්කු බටේ එල්ලී ඒක ඩැහැගන්න පොරකනවා.සමහර අවස්තාවක වලස් රොත්ත පොල් පොදියේ මිනිස්සු වෙත ගෝළු ගානවා(ගොරවගෙන පනිනවා).මේවන විටත් මහ වනය අස්සක් මුල්ලක් නෑර කැළඹී ගිහින් තීරණාත්මක තවත් අවස්තාවක්.තත්පර වලින් මිනිත්තු වලින් කාබාසිනා වෙන්න පටන් ගත්තා.අන්තිමේදී වලස් ගෙඩියෝ තුන් හතර දෙනෙක් එතන පතබෑ වෙද්දී අනෙක් උන් රොත්ත පිටින් කැලේට වැදී සැඟවී ගියා.
"කොහොමද වෙච්ච හරිය"
"ඒක ඉතිං අහන්ඩ දෙයක්යැ.අපිම බේරුනා මිසක් යායෙ වෙන එකක් ආවා නම් අද වෙන්ඩ තියෙන හරිය සිද්දවෙලා අහවරයි." , හතර දෙනාම මිනිස් වලස් පොරයෙන් ජයගෙන දැන් කට පුත්තානවා.ඊලඟට ඔවුන් හිතන්න ඇත්තේ ගල්ගෙට වැදුන එකී ගැනයි.ඈ ගල්ගෙයි නම් අඩියක්වත් දකින්න නැහැ.මේකිට මංදො වුනා කියලා.අනික් එක මේ වලස් රොත්තක් ලගින තැනක මිනිස් පුළුටක් කොහොම ඉන්ඩ කියාද?...ඒකි වැද්දියක් නෙමේ.! කැලෑ යකින්නක්!! ඒ අදහස ඔවුන්ගෙ සිත්තුල පැලපදියම් වුනා.මේ නිසාම ඈ තවත් සෙවීම ගැන ඔවුන්ගේ තිබූ අදහස් සිදී යන්ඩ පටන් ගත්තා.(මේ අවතාරය නැවත කිසි දිනක මිනිස් ඇසට මුණ නොගැසුණ බව ගැමියෝ පවසයි).
ඊලඟට මේ පිරිස විපරම් කරන්න පටන් ගත්තේ විශාල ගල්ගුහාව ගැනයි.එක තැනක ඇති ගල් ඇඳ තුන් හතර දෙනෙකුට කිසිම අපහසුවක් නැතිව කුද ගහන්ඩ වුනත් හැකි එකක්. ඒ අහලක ගලින් නිමවන ලද තවත් මොකක්දෝ එකක් ඊලඟට ඔවුන්ගේ නෙත් මුලිච්චි වුනේ ගල් ගුහාවේ පියස්ස දෙසටයි.ඔවුන් පුදුමයට පත්වුනා.දෙයියන්ඩම ඔප්පු වෙච්චාවෙ.කවදාවත් ඔවුන් බලාපොරොත්තු වූ දෙයක්යැ අද මේ ඔවුන්ට මුලිච්චි වෙලා තියෙන්නේ.ගල් පියස්සේ යටි පැත්තේ විශාල කොටසක ඇන්ද චිත්‍ර සිය ගණනකි.
ඔන්න ඔය විදියට තමා ඒ චිත්‍ර ගුහාව පළමු වරට මිනිස් ඇසට දැකගන්ඩ ලැබුනේ.මේ චිත්‍රවලින් සත්ව රූප කීපයක් නිර්මාණය කර තිබුනා.පැහැදිලි ලෙස හඳුනාගත හැකි රූප වූයේ මුවා , කපුටා සහ කොකාගේ රූපයි.මේ චිත්‍ර වල තවරා ඇති සායම් සීගිරි චිත්‍රවල දක්නට ලැබෙන සායම්වලට සමාන බව පැහැදිලිව පේනව.සමහර සත්ව රූප විශාලත්වයෙන් අඩි තුනක් පමණ වුනා.ගුහාවේ දිග අඩි සීයක් තරම් වුනට් චිත්‍ර ඇඳ තිබූ කොටස අඩි හතලිහක තරම් කොටසක් පමණයි.මනාව කොටන ලද ටැම් නිසා වැසි ජලයෙන් චිත්‍ර නොතෙමී තිබීමට තරම් සමත් කමක් ලැබුවා.
මේ ගුහාව සොයාගැනීම ගැන කතාව ගැමියෙකු කීවේ ඔන්න ඔහොමයි.
මේ චිත්‍ර ගුහාව අදත් (මෙහි අද යන දිනය මීට වසර 25කට පෙර මේ කතාව ප්‍රකාශයට පත්වූ දිනය බව සලකන්න) මිනිස් ඇසුරෙන් සැතපුම් විස්සක් තරම් මහ වන මැද ඇති නිසා එම ගුහාවල අදත් ලැගුම් ගන්නේ වලසුන් පමණයි.
ප.ලි.:- පදියතලාව නගරයේ සිට සැතපුම් 8ක් පමණ නැගෙනහිර දෙසට ගියවිට මරංගල නම් කැලෑ ගමකි.ඒ ගමේ සිට තවත් සැතපුම් 12ක් පමණ වනය තරණය කලවිට මේ චිත්‍ර ඇඳි සුවිසල් ගල්ලෙන හමුවේ.
-------------------------------------------------------------------
1995 වසරේ ප්‍රකාශයට පත්වුන ජී.ආර්.ගුණරත්න බණ්ඩාර මහතාගේ "වන්නියේ සත්‍යය කතා" නම් ගවේශනාත්මක ග්‍රන්තය ඇසුරෙන්.
|Letterconik
|07-05-2020
Wednesday, May 6, 2020
ජීවිතයේ අඳුර සහ ආලෝකය (LifeNote :03)
"අඳුර මැඳින් ආලෝකයට දිදුලන්න ඉඩ දෙන්න."
- ශුද්ධ වූ බයිබලය-
අනාදිමත් කාලයක ඉඳලා අඳුරේ ප්‍රතිවාදියා වුනේ ආලෝකය.නිහැඬියාව , ගුප්තබව , බිය සැක සහ මරණය තේමාවන් අඳුරෙන් පිළිබිඹු වෙද්දි උද්‍යෝගය, සතුය , ප්‍රඤ්ඤාව වගේ තේමාවන් ආලෝකයෙන් පිළිබිඹු වුනා.මිනිස්සුන්ගේ හිත්වල අඳුරට වඩා ලෙන්ගතු කමක් ආලෝකය වෙනුවෙන් ඉතිරිවුනේ ඒ නිසා වෙන්න ඇති.පන්සල් ගියාම අපි පහන් පත්තුකරන්නෙත් ඒකයි.භව අඳුර දුරලා ප්‍රඤ්ඤාව නම් ආලෝකය ලඟාකරමි යන අදිටනින්.ඒත් වර්තමානයේ නම් කට්ටිය පහන් පත්තු කරන්නේ දිව්‍ය සැප ලබන්න හිතාගෙන.නැත්නම් ෆැශන් එකට.ඒ දෙකෙන් කෝක වුනත් ලෞකික ඇලීම ඇතිවෙනවා.ප්‍රඤ්ඤාවෙන් ඈතට යනවා.නිවන ගිලිහෙනවා.ඉතින් ඒ විදියට බැලුවාම ආලෝකයට , අර ප්‍රඤ්ඤාවේ සංකේතයට පුළුවන් අපිව ප්‍රඤ්ඤාවෙන් ඈතට අරන් යන්න.ඒකත් හරියට දේශපාලනේ වගේමයි.රට සුඛිත මුදිත කරන්න මිනිස්සු බලේ දෙනවා.බලයට ආපු එයාලම සුඛිත මුදිත භාවය මිනිස්සුන්ගෙන් ඈතට අරන් යනවා.ඒ මිනිස්සු රැවටෙන නිසා.දැන දැනම රැවටෙන නිසා.දිව්‍ය ලෝකෙ යන්න පහන් පත්තු කරන්නේ සිද්ධාර්ථ බෝසතනාන් නිවන අවබෝධ කරගත්තේ සත්දිනකින් උදාවීමට තිබුන සක්විති සැපත අළුයම බිමහෙලූ කෙලපිඬක් වගේ අත්හැරල කියා නොදැන නෙමේ.නිවන් මග දැනගෙන මිත්‍යාවේ එල්ලෙන ඒ වගේ උදවිය ,කියන්නෙ බොරු කියල දැනදැනම දේශපාලකයන්ට රැවටෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
ඒ කතා කොහොම වුනත් අඳුරට ආලෝකයෙන් තොර පැවැත්මක් නැහැ.ආලෝකයක් නැතිතැන අඳුරෙන් පලක් නැහැ.ඒ දෙන්න හරියට එකම කාසියේ දෙපැත්ත වගේ.ඔය එක එක තරඟ පටන් ගද්දී නැත්නම් වාසනවා උරගා බලද්දී අපි කාසි උඩදානවා නේද.එතකොට එක්කො නෝන වැටෙනවා.නැත්නම් පොල්ල වැටෙනවා.හෙඩ් ඇන්ඩ් ටේල් කියලනේ ඉංග්‍රීසියෙන් කියන්නේ.ඔයි දෙකෙන් කෝක වුනත් විශේෂ වෙන්නේ අනික් එක පවතින නිසා.අඳිරේදී ආලෝකයත්,ආලෝකයේදී අඳුරත් පවතින්නේ අන්න ඒවගේ එනිනෙකාගේ පැවැත්ම මත අනිකාගේ විශේෂත්වය ස්මතුවෙන නිසා.
මිනිස්සුන්ගෙ ජීවිතත් අඳුරෙයි ආලෝකයෙයි දෙකේම ගිලිල තියෙනවා.ඒක සමානව නොවෙන්න පුළුවන්.අඩුවැඩි වශයෙන් ආලෝකයත් ,අඳුරත් ජීවිතය මත බලය විහිඳුවලා තියෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් අඳුරේ පැවැත්ම නිසාම තමයි ජීවිතයේ ආලෝකයේ පැවැත්ම දැනෙන්න ගන්නේ.ඒ තියරියමයි අඳුරටත්.හිතන්න තමන්ට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කොහොමද කියලවත් දන්නෙනැති ඉතාම ධනවත් විදියට ඉපදුන කෙනෙක්ට සැප සම්පත් යාන වාහන මහපුදුම දේවල් නෙමේ.ඒවා තමයි එයාගේ සාමාන්‍යය ජීවිතේ.මේ ලෝකේ හැමෝම එහෙම අය නම් එයා ධනවත් කෙනෙක් නෙමෙයි.එයත් බිලියන ගානක් අතරින් සාමාන්‍යය එක්කෙනෙක්.ලෝකයා දුගී බව ,පීඩිත බව , බඩගින්න ,දුක වගේ මාතෘකා කියවලා තියෙන නිසා තමයි අරයගේ ධනය කැපී පේන්නේ.ලෝකයම දුගීවුනත් කතාව ඒ වගේමයි.සිල්වත් බව ,දුසිල්වත් බව , ආදරය , සතුට වගේ මේ හැම දේකදිමත් ඒක එහෙම්මයි.ආදරය කරන දෙන්නෙක් අතර මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වුනාම ,දෙන්නා ටික දවසක් කතාබහ නොකර හිටියාම, දෙන්නාට දෙන්නා මතක් වෙද්දී ,දෙන්නට දෙන්නා නැතුව බෑ වගේ තේරෙද්දී ආදරේ අගය දැනෙන්න ගන්නවා.අන්න දැක්කද.අඳුර ඕනේ ආලෝකයේ වටිනාකම දැනෙන්න.
උදේට ඉරපායද්දි ඉර එලිය එක්ක ලැබෙන අනෙක් දායාදය තමයි හෙවණැල්ල.ඒ කියන්නේ අඳුර.මොකද සොභාදහම දන්නවා නිතිය.සොභාදහම් මාතාව අඳුරයි ආලෝකයයි වෙන් නොකරන්නේ ඒ නිසා.ඒ දෙකෙන් එකකටවත් ස්වාධීනව පැවැත්මක් නැහැ.
ශිෂ්ටාචාරය ක්‍රමයෙන් ගොඩනැගෙද්දී දැනුමත් ක්‍රමයෙන් වර්ධනය වුනා."දැනුම තමයි බලය",ලෝක ප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ පීටර් බේලිශ් කියන්නේ එහෙම.බලය සංකීර්ණ වෙද්දී අරගල ඇතිවුනා.අරගල නිසා යුද්ධ ඇතිවුනා.යුද්ධනිසා විනාශයන් ඇතිවුනා.ඔන්න දැනුම කියන ආලෝකයෙන් යුද්ධය සහ විනාශය කියන අඳුර ඇතිවුනා.හැබැයි යුද්ධ නිසා නව දැනුම ගලාගෙන ආවා.අලුත් සංකල්ප ඇතිවුනා.එක දැනුම් පද්ධතියකට කොටුවෙලා හිටපු මිනිසා තවත් දැනුම් පද්ධතියක කොටුවෙලා හිටපු පිරිසක් එක්ක යුද්ධ කරා.එකිනෙකට වෙනස් පද්ධතීන් දෙකක් එකිනෙක ගැටුනා.දැනුම හුවමාරු වුනා.සංස්කෘතීන් හුවමාරු වුනා.අලුත් යුද්ධ උපක්‍රම ඇතිවුනා.ඒවගෙන් අලුත් තාක්ෂණය බිහිවුනා.සන්නිවේදනය , ගමනාගමනය , වෛද්‍ය විද්‍යාව,සමාජ විද්‍යාව,දේශපාලනය,නීතිය වගේ බොහොමයක් ක්ෂේත්‍ර පුනරුදයකට ලක්වුනා.ඒවා මිනිස් වර්ගයාගේ යහපත උදෙසා නැවතත් යෙදවුනා.අන්න අඳුරෙන් ආයෙම ආලෝකය උදාවුනා.
සදාකාලිකවම සාමයෙන් ජීවත් වල ලෝකයක් යුද්ධවල බිහිසුනු බව දන්නෑ.සදාකාලිකවම යුද්ධවලින් බැටකන ලෝකයක් සාමයේ සුමිහිරි වින්දනය දන්නැහැ.ලෝකයා යුධමය කාලයක් පහුකරන්නම ඕනේ සාමයේ අගය තේරුම් ගන්න.හරියට දෙවන ලෝක සංග්‍රාම අවසන් වුනාට පස්සේ ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වුනා වගේ.
ජීවිතය අඳුර එක්ක හාදවෙලා වගේනම් ඒ හාදකමේ ප්‍රතිපලය ආලෝකය වන්නටත් පුළුවන්.ලෝකයාට දීප්තිමත්ම මතක එකතුවුනේ ඉතිහාසයේ අඳුරුතම යුගයන් වලදී.ලෝකේ දිනපු හැමෝම වගේ ජයග්‍රහනයේ ආලෝකය දල්වගන්නේ අඳුර මැදින් දීර්ග සක්මනක යෙදුනට පස්සේ.ලෝකෙ පුරා අලෙවි වාර්තා තියපු හැරීපොටර් නවකතාමාලාව ලියපු ජේ.කේ.රෝලිං කියන්නෙත් එහෙම අඳුරු සක්මනකින් පස්සෙ ආලෝකය හොයාගත්තු කෙනෙක්.ලොව වටිනාම තාක්ෂනික සමාගම වන ඇපල් සමාගම නිර්මාණය කරපු ස්ටීව් ජොබ්ස් කියන්නෙත් එහෙම කෙනෙක්, ලෝකයේ දෙවනියට වැඩිම වත්කමක් ඇති රංගන ශිල්පියාවන ඉංදීය සුපිරි නළු ශාරුක් ඛාන් කියන්නෙ තවත් උදාහරණයක්, ඒවගේම ලෝකේ එකොළොස් වෙනියට ධනවත්ම තැනැත්තා ආසියාවේ අංක එකේ ධනවතා මුකේශ් අම්බානි කියන්නෙත් එහෙම කෙනෙක්.
බඩගින්නෙ ඉන්න මිනිසා කෑමක් හොයන්නා වාගේ අඳුරේ සැරිසැරූවන් තමයි ආලෝක දඩයමට දක්ෂම.ඉතින් අද අඳුරෙනම් හෙට ආලෝකය නිශ්චිතයි.හැබැයි ආලෝකය දල්වනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕන අපිමයි.
|Letterconik | LifeNote: 03
|06-05-2020
Sunday, May 3, 2020
චායාරූපයක කතාවක්
සෙබල ඇඳුමට යටින් ගැහෙන දයාන්විත හදවත්.!!
මිත්‍ර පාර්ශවීය සේනාවන් සතර දිගින් ජර්මනිය ආක්‍රමණය කර නාසි හමුදා පරාජය කරලා දෙවන ලෝක යුද්ධය අවසාන කරා.ඊට පස්සේ බටහිරින් පැමිණි ඇමරිකානු , ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය සේනාංකත් , නැගෙනහිරින් පැමිණි රුසියානු සේනාංකත් තම තමන් විසින් අත්පත් කරගත් ජර්මනු භූමි බාගයන් තමන් විසින්ම පාලනය කිරීමට එකඟතාවකට පිවිසුනා.ඒ 1945 ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වුනු පෝස්ට්ඩෑම් සම්මේලනයෙන්.
පස්සෙ කාලෙක ලෝක බල අරගලය වඩ වඩාත් තීව්‍ර වෙද්දී බටහිර ජර්මානු ප්‍රදේශ පාලනය කල ඇමරිකාව , ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යන බටහිර රටවල් තුන තම තමන් පාලනය කල ප්‍රදේශයන් එකතුකරලා "ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුව" හෙවත් බටහිර ජර්මනියත් , නැගෙනහිර රුසියානු පාලන ප්‍රදේශය "ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව" හෙවත් නැගෙනහිර ජර්මනිය විදියටත් කොටස් දෙකකට වෙන් වෙනවා.
මුල් කාලයේදී මේ බටහිර සහ නැගෙනහිර ජර්මනිය අතර මිනිස්සුන්ට ගමනා ගමනය කරන්න අවස්තාව ලැබෙනවා.
1961 අගෝස්තු මාසයේ දවසක නැගෙනහිර ජර්මනියේ ජීවත් වුන එක්තරා පියෙක් ඔහුගේ පුංචි පුතා එක්ක බටහිර ජර්මනියේ විසූ තමන්ගේ ඥාතීන් පිරිසක් දැකබලා ගැනීමේ අරමුනින් නැගෙනහිර ජර්මනියේ ඉඳලා බටහිර ජර්මනියට නෑගමනක් යනවා.මේ පිය පුතු දෙදෙනා තමන්ගේ ඥාතීන් සමග සතුටෙන් කාලය ගත කරමින් ඉන්නා එක් රැයක, එනම් හරියටම 1961 අගෝස්තු මාසේ 12 වෙනිදා හිරු බැසගොස් පසුදින හිරු උදාවන තෙක් අතර මැද ගෙවීගිය රාත්‍රියේදී නැගෙනහිර ජර්මානු බලධාරීන් විසින් බටහිර හා නැගෙනහිර ජර්මානු බල ප්‍රදේශ වෙන් කරන සීමාව කටු කම්බි යොදා නිමකල දේශ සීමාවකින් නිළවශයෙන් රටවල් දෙකක් විදියට වෙන් කරනවා.
කම්බි වැට ඇමිනූ මොහොතේ ඉඳලා මතු උදාවන කිසිම මොහොතකදී මේ දේශ සීමාව හරයා කිසිවෙකුටවත් මේ පැත්තෙ ඉඳලා ඒ පැත්තටත්,ඒ පැත්තෙ ඉඳලා මේ පැත්තටත් ගමන් කිරීම සපුරා තහනම් වුනා.රැකියා කටයිතු සඳහා , ව්‍යාපාර කටයුතු සඳහා මෙන්ම නෑදෑගමන් වගේ මෙකී නොකී ඕනෑම හේතුවක් නිසා එක් ප්‍රදේශයකින් අනෙක් ප්‍රදේශයට ගිය බාල මහළු තරුණ ඕනෑම කෙනෙක් එක් රැයකින් බෙදුනු රටවල් දෙකක තමන්ගේ පවුලේ අයගෙන්, තමන්ගේ ආදරණීයන්ගෙන් ඈත්ව සදාකාලිකවම හුදෙකලා වුනා.
පසුදා උදෑසන අවදිවූ දෑසින් උදාවී තිබුන වෙනස්ම ලෝකය දැකගත් අර මුලින් කිව්ව තාත්තා තමා හා දරුවා එක් පසෙකත් , තම ආදරණීය බිරිඳ අනෙක් පසත් වන ලෙස රාජ්‍යයන් දෙකක් වෙන්කල කම්බිවැටකින් සදාකාලිකව වෙන් වෙලා ඇති බව වටහාගන්නවා.
තම දරුවා තමන්ගේ බිරිඳ සමග හැදී වැඩිය යුතුයැයිද, තමා නැති අඩුව පුරවමින් තම බිරිඳට ආදරය සහ රැකවරණය සැලසිය යුතුයැයිද වහාම තීරණය කල මේ පියාණන්, පියෙකුට ඒ වෙලාවේදී ගන්න පුළුවන් වෙදනාබරම නමුත් පරිත්‍යාගශීලීම තීරණය ගන්නවා.තමන් මේ බටහිර ජර්මනියේ තනිවී ඇතිබවත් ,තම මෑණියන් හා එක්වීමට අනෙක්පසට එනම් නැගෙනහිර ජර්මනියට යාමට අවස්තාව දෙන ලෙසත් කම්බිවැට අසල මුර සේවයේ යෙදෙන තරුණ සෙබලාට ආයාචනා කරන මෙන් තම පුත්‍රයාට උපදෙස් දුන් මේ පියානන් පුත්‍රයා ඒ කාර්යය සඳහා පිටත් කර පසෙකට වී සඟවී බලා සිටිනවා.
දේශසීමාව වුන කම්බිවැට බලාගිය දරුවා එතැන කම්බිවැටට අනෙක්පස සිටි නැගෙනහිර ජර්මානු සෙබලාට තමාට අනෙක් පසට යාමට උපකාර කරන මෙන් ඉල්ලා හඬාවැටෙනවා.
ඇතැම්විට ඒ තරුණ සෙබලාත් පියෙක් වන්නට ඇති.දරුවාගේ දෑසේ වූ වේදනාව වටහාගත් ඔහු තමන්ගේ ජීවිතය ලංසුවට තබා බටහිර ජර්මානු බල ප්‍රදේශයේ සිටි දරුවා ඔසවා කම්බිවැටෙන් මෙහා පැත්තට එනම් තමන් සිටි නැගෙනහිර ජර්මානු බල ප්‍රදේශයට ගන්නවා.එසේ හොරැසින් දරුවා දේශසීමා හරහා මාරුකරන මොහෙතෙදී අහම්බෙන් කැමරා කාචයේ සටහන් වූ චායාරූපයක් තමා මේ තියෙන්නේ.වර්තමානයේ මේ චායාරූපයයත් එහි පසුබිම් කතාවත් එක්කම බර්ලින් තාප්පයේ අනුස්මරණ කෞතුකාගාරයක් වෙන "චෙක්පොයින්ට් චාලි" නම් පෞද්ගලික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.
අදාල සෙබලා විසින් සිදුකරන මේ මානුශීය නමුත් නීති විරෝධී ක්‍රියාදාමය අවාසනාවකට වාගේ ඔහුගේ ඉහළ නිළධාරියාගේ නෙත ගැටෙනවා.සෘජුවම ඉහළින් එන දැඩි නියෝගය පසෙකලා සිදුකල මේ ක්‍රියාවට දඬුවම විදියට දේශද්‍රෝහී ලේබලය යටතේ මරණ දඬුවමට ලක්වීමට ඉඩ තිබුනත් කල උතුම් ක්‍රියාවට දෙවියන් වහන්සේගේ කෘතගුණ දැක්වීමක් ලෙස නොසිතූ විදියට සොල්දාදුවාගේ දඬුවම ලිහිල් වෙනවා.දඬුවම විදියට ඔහුව ඔහු සේවය කල හමුදා ඒකකයෙන් ඉවත් කරනවා.ඉන් පසුව ඔහුට සිදුවූ දෙයක් හෝ ඔහුගෙන් උපකාර ලද දරුවාට සිදුවූ දෙයක් හෝ පිළිබඳ කිසිම වාර්තාවක් නැහැ.
ඒ වුනත් නැගෙනහිර ජර්මානු සෙබලාගේ උරහිසට ඉහලින් වටපිට බැලෙන , සැලෙන , ව්‍යාකූල මෙන්ම බිය සැක සහ චකිතය පිරී ඉතිරී යන ඔහුගේ දෙනෙතින් නිළ ඇඳුමට යටින් ගැහෙන ඔහුගේ හදවතේ වූ දයාන්විත බව සහ ආදරය පැහැදිලිවම පිළිබිඹු වෙනවා...
මේ චායාරූපයෙන් රයිෆලයක් ඔසවාගත් ඒ අඥාත සොල්දාදුවා සහ ඔහුගේ ක්‍රියාව අමරණීයත්වයට පත්කරනවා.
ඒ වගේම මේකෙන් තවත් පාඩමක් ලෝකයාට කියාදෙනවා.ඒ බල අරගලයන්ගේ ප්‍රතිවිපාක කඳුළු සහ වේදනාබර මතකයන් වේශයෙන් ඉතිහාසය පුරාවටම අහිංසක සාමාන්‍ය ජනයා තෙරපමින් සිටින බවයි.
|Letterconik
|03-05-2020
Subscribe to:
Posts (Atom)