Sunday, March 8, 2020
ප්‍රතික්ෂේප කිරීම තුලින් පරාර්තකාමීත්වය කියා දුන් ගෝඩ්ෆාදර්
1973 වසර ඔස්කා සම්මාන ඉතිහාසයට සුවිශේෂී මතක සටහනක් එකතු කල වසරක්.
ඒ එම වසරේ මාර්තු 5 වෙනි අඟහරුවාදා පැවැත්වූ 45 වෙනි ඇකඩමි සම්මාන රාත්‍රියේ සිදුවූ අපූරු සිදුවීමක් නිසයි.
ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මාෆියා පවුලක් වටා ගෙතුනු කතා තේමාවක් රැගත් මාරියෝ පූසෝගේ ගෝඩ්ෆාදර් නවකතාව ඇසුරෙන් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ(Francis Ford Coppola) අධ්යක්ෂනයෙන් 1972 වසරේදී නිර්මාණය වුනු ගෝඩ්ෆාදර් චිත්‍රපටය ඇකඩමි සම්මාන 3ක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 5ක් ඇතුලු සම්මාන වැස්සකින් පිදුම් ලද එමෙන්ම අදටත් ලොව බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතියක් ලෙස සැලකෙනවා.
එහි ප්‍රධාන චරිතය වූ මාෆියා නායක දොන් විටෝ කොලියෝන්ගේ චරිතය සඳහා දැක්වූ අද්විතීය රංගන කුසලතාව වෙනුවෙන් 1973 වසරේ පැවති 45 වන ඇකඩමි සම්මාන රාත්‍රියේ වසරේ විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය මාලන් බ්රැන්ඩෝ(Marlon Brando) හට හිමිව තිබුනා.
නමුත් එදින නිවේදක රොජර් මෝ විසින් මාලන් බ්රැන්ඩෝ ලෙස ජයග්‍රාහී නාමය ප්‍රකාශ කිරීමත් සමග ශාලාව පුරා පැතිරී ගිය අත්පොලසන් හා ඔල්වරසන් හඬ මධ්‍යයෙන් මාලන් බ්රැන්ඩෝ නම් නැගිට සිටියෙ නැහැ.ඒ වෙනුවට සාම්ප්‍රදායික රතු ඉන්දියානු ඇඳුමකින් සැරසුණු තරුණියක් රැස්ව සිටි පිරිස අතරින් නැගී සිටියා.ඇය මාලන් බ්රැන්ඩෝ නියෝජනය කරමින් සම්මාන රාත්‍රිය සඳහා සහභාගී වූ සාශීන් ලිට්ල්ෆෙදර්(Sacheen Littlefeather) නම් රතු ඉන්දියානු සම්භවයක් ඇති අප්‍රකට නිළියක් මෙන්ම ස්වදේශිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක්.
වේදිකාවට ගොඩවෙත්ම සම්මානය ඇයට ප්‍රධානය කලත් හස්ත මුද්‍රාවෙන් එය ප්‍රතික්ෂේප කල ඇය සම්මානය නොගෙනම මයික්‍රොෆෝනය අසලට ගමන් කරන්නේ මාලන් බ්රැන්ඩෝ විසින් සටහන් කරල ලද පණිවිඩයක් සහිත ලිපියක්ද සමගයි.,
"වසර දෙසීයක් පුරාවට අප විසින් ස්වදේශී
ඉන්දියානුවන් රවටමින් සිටිනවා..
ඔවුන්ව මරා දමනවා..
ඔවුන්ගේ ඉඩම් බලෙන් අත්පත්
කරගන්නවා..
නිදහසේ ජීවත් වීමේ අයිතිය ඔවුන්ගෙන්
උදුරා ගන්නවා..
අපගේ සිනමාව තුල පවා ඉන්දියානුවන්
සරදමට ලක් කරමින්, ඔවුන්ව යක්ෂයන්
ලෙස හංවඩු ගසනවා..
එවැනි සිනමාපට හා රූපවාහිනී වැඩසටන්
නරඹන ඉන්දියානු දරුවන්
තමන්ගේ ජාතියට උරුම වන
මෙම පහත් සැලකීම දකින විට මේ
ලෝකයේ ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනගා
ගන්නේ කෙසේද..
එහිදී අපට කිසිමදාක සිතාගැනීමටවත්
නොහැකි පරිදි
ඔවුන්ගේ සිතුවිකි බිඳ වැටෙනවා...
ඉතින් මහත්වරුනි...,
එවැනි පසුබිමක එවැනි සිනමාවකින් ඔබලා
විසින් පිරිනමන මේ ගෞරවාන්විත
සම්මානය
මා හට භාරගත නොහැකියි...
ස්තූතියි. "
සිය ලිපියේ එසේ සනිටුහන් කරමින් රතුඉන්දියානු ස්වදේශීය ජනයාගේ අයිතිවාසිකම් උදෙසා රංගන ශිල්පියෙකුට සිය ජීවිත කාලයේ ලැබිය හැකි ඉහලම සම්මානය වන ඔස්කා සම්මානය මාලන් බ්රැන්ඩෝ නම් අද්විතීය රංගධරයා විසින් කැප කරන්නේ සුවහසක් ලෝකවාසීන්ගේ අවධානය රතු ඉන්දියානු ජනයාගේ ජීවන ගැටලු වෙත යොමුකරමිනුයි.
සාශීන් ලිට්ල්ෆෙදර් විසින් ඉතා කෙටියෙන් ඉදිරිපත් කල මෙම සුවිශේෂී ලිපියේ සම්පූර්ණ පිටපතක් ඊට පසුදිනම "The New York Times" සඟරාවේ "The Unfinished Oscar Speech" ලෙස පලවෙන්නේ බ්රැන්ඩෝ විසින් කරන ලද දීර්ඝ විස්තරය සහිතවයි.
එමෙන්ම මාලන් බ්රැන්ඩෝගේ ලිපිය විසින් එම වසරේම සිදුවූ ස්වදේශික ඉන්දියානුවන් හා ඇමරිකානු නිළධාරීන් අතර Wounded Kneeහිදී ඇතිවූ ගැටම්කාරී වාතාවරණය දෙසට ලෝක අවධානය ලබා දීම මෙන්ම රතු ඉන්දියානුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතාබහක් ඇති කිරීමත් සිදු කරන ලද්දේ බ්රැන්ඩෝගේ කැපකිරීමට සාධාරණයක් ඉටු වෙමිනි.
ඉතින් ජීවිතයේ ලැබෙන වටිනාම සම්මානය අසාධාරණත්වයෙන් පීඩා විඳින අහිංසක ස්වදේශික ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැප කරමින් සුපිරි නළු මාලන් බ්රැන්ඩෝ විසින් ප්‍රතික්ෂේප කිරීමේ හා පරාර්තකාමීත්වයේ පාඩම ලෝකෙට කියා දුන් වගයි.
---- සංකල්ප ගුණතිලක✍️
Subscribe to:
Post Comments (Atom)
Respect🙂
ReplyDelete