Wednesday, April 29, 2020

ජීවිතය නම් සිනමාවෙන් සමුගත් ඛාන්වරයා.❤🙏


ඉන්දීය සිනමාවේ ප්‍රභල "ඛාන්" සන්නාමයන් අතරින් කැපී පෙනෙන ආකර්ෂණීය පෞර්ෂයක් ගොඩනගාගෙන සිටි ඛාන්වරයෙක් දිවිගමනින් සමුගත්තා.ඔහු බොලිවුඩයේ රාමුවට පමණක් කොටු නොවී හොලිවුඩයටද පා තැබූ අයෙක්.විටෙක බොළඳ විටෙක වීර ප්‍රේමවන්‍තයාගේ චරිතය වෙනුවට වඩා ගැඹුරු වගේම කැපීපෙනන පෞර්ශයෙන් යුතු චරිත නිරූපණය කිරීමේ රංගන විභයක් දරාසිරි ඔහු නමින් ඉර්ෆාන් ඛාන්.

ධනවත් ව්‍යාපාරිකයෙකු වුන යාසීන් අලී ඛාන්ටත් ඔහුගේ බිරිඳ වුන සයීඩා බේගම් ඛාන්ටත් දාව 1967 ජනවාරි මාසේ හත්වෙනිදා රාජස්ථානයේ ජායිපූර්හි ගම්මානයකදී "ශහබ්සාද් ඉර්ෆාන් අලී ඛාන්" උපත ලැබුවා.

තමන් සතුව තිබූ ක්‍රිකට් දක්ෂතාව නිසා මතුයම් දිනක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ ආසාවක කුඩා ඉර්ෆාන් ගිලී සිටියත් වයසින් මුහුකුරායත්ම ක්‍රමයෙන් රංගනය උදෙසා  ඔහුගේ දෛවයේ ලියවී තිබුන ආසාව ඉස්මතු වෙන්නට වුනා.1984දී තරුණ ඉර්ෆාන්ට නවදිල්ලියේ පිහිටි ජාතික නාට්‍ය පාසලෙන් ශිෂ්‍යත්වයක් පිරිණැමෙනවා.ව්‍යාපාර බාරදීමේ පියාතුල තිබුන බලාපොරොත්තු කඩ කරමින් ඉර්ෆාන් තමන් උපන් ගම වුන ජායිපූර්හිදී හදාරමි තිබූ ශාස්ත්‍ර්වේදී උපාධිය නිම කල වහාම නවදිල්ලියට ඇවිත් තමා ලද ශිෂ්‍යත්වයට අනුව ජාතික නාට්‍ය පාසලේ රංගනය හදාරණවා.

1988දී නාට්‍ය පාසලේ අධ්‍යාපන අවසන් කල ඉර්ෆාන්ට , මීරා නායිර් අධ්‍යක්ෂකවරිය යටතේ ඇයගේ "සලාම් බොම්බේ" චිත්‍රපටියේ සුළු චරිතයක් රඟදක්වන්න අවස්තාවක් ලැබෙනවා.ඒත් අවාසනාවට චිත්‍රපටි සංස්කරණයේදී ඉර්ෆාන්ගේ චරිතය මීරා නායිර් විසින් ඉවත් කරනවා.බලාපොරොත්තු කඩවීමෙන් නොනැවතුනු ඉර්ෆාන් රූපවාහිනී මාලා නාටක වෙත අවධානය යොමු කරනවා.

"චානක්‍ය" , "භාරත් ඒක් කෝජ්" , "චන්ද්‍රකාන්ත්" , "ශ්‍රීකාන්ත්" ආදී රූපවාහිනී මාලා නාටක ‍රැසක චරිත නිරූපණය කරන්න ඉර්ෆාන්ට අවස්තාව ලැබුනත් ඒ බොහොමයක් සඳහා ඔහුට ගෙවීමක් ලැබෙන්නේ නැහැ.ඉර්ෆාන්ගේ රංගන හැකියාව මදි බවත් , ලස්සන මදි බවත් එබැවින් මුදල් ගෙවිය නොහැකි බවත් ඉර්ෆාම්ගේ මූනටම පැවසූ ඇතැම් නිශ්පාදකවරු ඔහුට මුදල් දීම ප්‍රතික්ෂේප කරනවා.

1990 ඉඳලා අසාර්තක සිනමාපට කීපයකට සිය රංගනයෙන් ඉර්ෆාන් දායක වුනත් ඒවා චිත්‍රපටියන්ගේ අසාර්තක භාවය නිසා ඉර්ෆාන්ට කැපීපෙනෙන නළුවෙක් විදියට වර්ධනය වෙන්න බැරිවෙනවා.

මේ අතරේ බ්‍රිතාන්‍ය ජාතික "අසීෆ් කපාඩියා" නම් අධ්‍යක්ෂකවරයා ඓතිහාසික කතාපුවතක් රැගත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව එනවා.නමුත් ඒ වනවිට ඉන්දියාවේ නම් දරාගෙන හිටපු සුපිරි යැයි පිළිගැනුන නළුවෙක්ට ගෙවීට තරම් හැකියාවක් අධ්‍යක්ෂක අසීෆ්ට තිබුනේ නැහැ.ඒ නිසා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා ඒ වනවිට එතරම් කීරිති නාමයක් දිනා නොසිටි  නමුත් දක්ෂ රංගන හැකියාවක් තිබූ ඉර්ෆාන්ව තෝරාගැනෙනවා.
ඉර්ෆාන්ට හම්බුම මේ අවස්තාව තමයි එයාගේ ජීවිතය උඩුයටිකුරු කරන සිදුවීම වුනේ.පුරා සති එකොළහක් රාජස්තානයේ සහ හිමාචල් ප්‍රදේශයේ රූගත කෙරුනු "The Worrior" නම් එම චිත්‍රපටිය 2001දී ප්‍රදර්ශනය ආරම්භ කරනවා.මේ චිත්‍රපටිය ලෝකෙ පුරා කතාබහට ලක් වෙමින් සිනමා සම්මාන රාත්‍රීන් වර්ණවත් කරන්න දායක වුනු චිත්‍රපටියක් වෙනවා.එහි සාර්තකත්වයක් එක්කම අර්ෆාන්ගේ නමත් වැඩි දෙනා අතර කතාබහට ලක්වෙනවා.ඉර්ෆාන්ගේ ජනප්‍රිය නළු ගමනේ පළමු පිම්ම වෙන්නේ ඒක.

කරන් ජොහාර්ගේ හා ආදිත්‍ය චොප්රාගේ නිශ්පාදින දායකත්වයෙන් 2003 දී නිර්මාණයවූ  වුන "හාසිල්" චිත්‍රපටියේ දුශ්ටයගේ චරිතයට පනපෙවූ ඉර්ෆාන්ට ඒ සඳහා හොඳම දුශ්ටයාගේ චරිතය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර්(Filmfare) සම්මානය හිමිවෙනවා.

ඒ වගේම මුම්බායි නගරයේ ජීවත් වූ නවදෙනෙකුගේ චරිත වටා ගැතුනු කතාවක් රැගත් 2007 වසරේ නිර්මාණය වුනු අනුරාග් බාසුගේ "Life in a Metro" චිත්‍රපටිය ඉර්ෆාන්ගේ රංගන ජීවිතයේ තවත් එක් සංධිස්ථානයක්.ලොව පුරා විචාරක පැසසුමට  ලක්වුන මෙන්ම සම්මාන රැසකින් පිදුම් ලද මේ චිත්‍රපටියේ දැක්වූ රංගන කුසලතාව උදෙසා හොඳම සහය නළුවාට හිමි Filmfare සම්මානය දිනාගන්න ඉර්ෆාන් සමත්වෙනවා.

2007 අවුරුද්දෙදීම මීරා නායිර්ගේ "Namesake" චිත්‍රපටියේ ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් සහභාගී වෙන්නට ඉර්ෆාන්ට වාසනාව උදාවෙනවා.මීරා නායිර් කියන්නේ ඉර්ෆාන්ගේ මුල්ම චිත්‍රපටි චරිතය කපාදැමූ අධ්‍යක්ෂකවරියයි.

2008දී ඉර්ෆාන් රංගනයෙන් සහභාගි වුන Slumdog Millionaire චිත්‍රපටිය හොඳම චිත්‍රපටිය විදියට ඔස්කා සම්මානය දිනනවා.

2009 අවුරුද්දේදී ප්‍රධාන නළුවා ලෙසින් ඉර්ෆාන් සහභාගී වුන "Billu Barbar" චිත්‍රපටියේදී එම චිත්‍රපටියේම රඟපෑ ශාරුක් ඛාන්ගේ රංගනයද අභිබවා යන තරම් ප්‍රබල රංගන නිපුණතාවක් පෙන්වන්නට ඔහුට හැකිවෙනවා.

2011 අවුරුද්දෙදී ප්‍රධාන චරිතය රඟපාපු "Paan Singh Tomar" චිත්‍රපටියේ දැක්වූ රංගන කුසලතාව වෙනුවෙන් හොඳම නළුවා ලෙසින් Filmfare සම්මානය දිනාගන්නට ඉර්ෆාන්ට හැකිවුනා.

ඒ වගේම 2017දී "Hindi Medium" චිත්‍රපටියේ ප්‍රධන නළුවා ලෙසින් රංගනයෙන් දායක වෙමින් ඒ වසෙරේද හොඳම නළුවා ලෙසින් Filmfare සම්මානය දිනා ගන්නට ඉර්ෆාන්ට හැකිවුනා.

බොලිවුඩයේ සීමාව අතික්‍රමණය කර හොලිවුඩයටද පා තැබූ නළුවෙක් තමයි ඉර්ෆාන් කියන්නේ.ඉන්දීය රංගන ශිල්පීන් අතරින් වඩාත් සාර්තක ලෙසම හොලිවුඩයට අවතීර්ණ වූ රංගන ශිල්පියා වන්නේ ඉර්ෆාන් ඛාන්.

2007දී නිර්මාණ වුන හොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ ඇන්ජලීනා ජොලීගේද රංගනයෙන් දායක වූ "A Mighty Heart" චිත්‍රපටිය, 2012 දී "Amazing Spider Man" සහ "Life of Pi" , 2015 දී "Jurassic World" , 2016දී "Inferno" සහ 2018දී "The Puzzle" වැනි ඉංග්‍රීසි චිත්‍රපටි සඳහා තමන්ගේ රංගන දායකත්වය සපයන්න ඉර්ෆාන්ට හැකිවුනා.

තමන්ගේ රංගන පෞර්ශය වෙනුවෙන් Filmfare සම්මාන 4ක් IIFA සම්මාන 2ක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍රවූ ඉර්ෆාන් ඛාන් 2011දී සිවිල් පුරවැසියෙකුට ලබාගත හැකි ඉහළම සම්මානයක් වෙන "පද්ම ශ්‍රී" සම්මානයෙන් පිදුම් ලබනවා.

කැමරාව ඉදිරිපිටදී වචන වලට වඩා ඉර්ෆාන් ඛාන්ගේ ඇස් කතා බව විචාරකයන් පවසනවා.

ඒ වගේම ඔස්කාර් සම්මාන ලාබී Slumdog Millionaire චිත්‍රපටියේ අධ්‍යක්ෂනයා වූ ඩැනී බොයිල්ට අනුව චරිත නිරූපණ හැකියාව අතින් ඉර්ෆාන් ඛාන් අති විශිෂ්ටයෙක්.චිත්‍රපටියේදී ඔහුගේ රඟපෑම සුළු චරිතයකට සීමා වුනත් චිත්‍රපටිය ඔස්කා සම්මානය දිනා ගැනීමට ඔහුගේ දක්ෂතා ප්‍රබල බලපෑමක් සිදු කලබව ඩැනී බොයිල් පවසනව.

"පරීක්ෂණයට භාජනය නොවන තාක්කල් තමන් සතු ශක්තිය කොතෙක්දැයි යමෙක් වටහා නොගනීවි" යන Life of Pi චිත්‍රපටියේදී ඉර්ෆාන් විසින් පවසන වැකිය සනාත කරමින් දෛවයේ පරීක්ෂණයට භාජනය වූ අයෙක් තමයි ඉර්ෆාන් කියන්නේ.
ඔහුගේ සාර්තකත්වයට හේතුවූ කරුණු වුනේ ඔහු සතුව තිබුන කැපවීම සහ නොපසුබස්නා උත්සාහයයි.තමන්ගේ මුල්ම චිත්‍රපටිය වුන "සලාම් බොම්බෙ"හි තමන්ගේ චරිතය කපා දැමුණු පසු සිනමාව ගැන කලකිරී සියල්ල අත්හැර දමා පියාගේ ව්‍යාපාරය බාරගැනීමට ගමරට බලා ගියේ නම් ඉර්ෆාන් ඛාන් නම් නාමය අද ලෝකයේ බිලියන ගණනක් නම් අතරින් එකක් පමණයි.
ඔහුගේ බිරිඳට අනුව පාන්දර තුන වෙනකම්ම පොත්පත් කියවන , ලෝකයේ හොඳම තිරපිටපත් කියවන ඉර්ෆාන් ඛාන් ඒවාගෙන් ලබාගන්නා දැනුම අනුව තමන්ගේ චරිත ගොඩනගා ගන්නා ආකාරයත් චරිත දියුණු කරගන්නා ආකාරයත් වෙනම සටහන් කරගන්නා අයෙක්.ඒ අනුව සාර්තකත්වය හඹායන්නෙක්.එසේ ඔහු ලබාගත් සාර්තකත්වය ගැන අවබෝදයක් Lunchbox , Piku , Hindi Medium වගේ චිත්‍රපටි වල ඔහුගේ අද්විතීය රංගනයන් දෙසබලා ලබාගන්න පුළුවන්.

මුදල් නොමැති කමෙන් 1993 තිරගතවූ පළමු ජුරාසික් පාක් චිත්‍රපටිය නැරඹීමට ප්‍රවේශපතක් මිලදී ගැනීමට නොහැකිව දුක්වුන ඉර්ෆාන් 2015දී නිර්මාණය වුන ජුරාසික් පාක් චිත්‍රපටි මාලාවෙම චිත්‍රපටියක් වූ  ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියේ රංගන ශිල්පියෙක් වීමම ඔහුගේ සාර්තකත්වය ගැන ඉතාම විශිෂ්ට ඉඟියක්................!!

" අවසානයේදී, අපගේ මුළු ජීවිතයම වෙන්ව යාමේ ක්‍රියාදාමයක් බවට පත්වෙනවා..නමුත් කණගාටුවට කරුණ නම් සුභ ගමන් යැයි පැවසීමට වෙලාවක් වෙන් නොකිරීමයි..."

         -- ඉර්ෆාන් ඛාන් | Life of Pi චිත්‍රපටිය --

අකාලයේ දිවිමගෙන් සමුගත් විශිෂ්ට රංගන ශිල්පියානෙනි...ඔබට සුභ ගමන් !!
#RIP_IrfanKhan_TheLegend.!!!

..................................................................
|Letterconik
|29-04-2020

Tuesday, April 28, 2020

පිඹුරු දඩයම ( සත්‍යය කතාවකි).


    මහ වනයේ ජීවත් වන්නේ වග වලස් ආදී දරුණු සිව්පා සතුන් පමණක් නෙමේ.එය විෂ ඝෝර සර්පයන්ගේද විමානයක් වෙයි.වන මැද නිදහසේ ජීවත් වන මේ සර්පයින්ගෙන් මිනිසාට වන ගැහැට අපමණයි.ඒත් මේ විෂඝෝර සර්පයන්ට බියෙන් මහ වනය අතහැර දමන්නේ කෙසේද?.මහ වනය මැද ඇති උවදුරු දැන දැනම මිනිසා ඒ දෙසට යන්නේ තමන්ගේ බඩ වියත රැක ගැනීමට වෙනත් මගක් නැති වුනාමයි.දාර පිඹුරු දරණක් මැද්දට මැදිවී අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරු වූ දැරියක් ගැන කියවෙන දුක්බර කතාවකි මේ.

    මනම්පිටියෙන් හැරී හැතැප්ම අටක් ගිය තැනදී තමා පිඹුරත්තාව හමුවෙන්නේ.ඒ කියන තැනින් හැරී එපමණක්ම දුර ගිය තැන අද අපි කතාරන ගම්මන්ඩිය හමුවෙනවා.ඒ ගමට කියන්නේ "මායිම් මඩුව" කියලයි.මහ වනය ප්‍රාකාරයක් මෙන් මේ පුංචි ගම ගිල ගන්න වගේ බලා හිටියා.මේ ගමට වන සතුන්ගෙන් මෙන්ම සර්පයන්ගෙන්ද නිතරම තර්ජන එල්ල වුනා.

  චුට්ටයි , බුකීයි කියන්නේ මේ මායිම් මඩුව කියන ගමේ ජීවත් වුන අඹුසැමි දෙන්නෙක්.ඔවුන්ට හිටියේ එකම එක දරුවයි.එයත් ඉපදී දැනට අවුරුද්දයි.චුට්ටා හැම උදෑසනකම ගෙදරින් පිටවී යනවා.මළ හිරුරැස් අකුලා ගනිද්දී ආපහු පැල්පතට එනවා.හැම දවසෙම චුට්ටා මේ යන්නේ ඈත බැද්දේ කොටා ඇති නවදැලි හේනටයි.තම සැමියා හේනට ගිය විගසම බුකී අර පුංචි දරුවත් වඩාගෙන කැලේට රිංගනවා.මාදං බරක් ඇහිඳගෙන පැටියත් එක්ක පැල්පතට එනවා.බුකී තාම ලාබාල එකියක්.වීර,පලු,දං ගෙඩි කාල පුරුදු වුන බුකීගේ පරණ කෑදරකම තවමත් අත්හැරී නැති හැඩයි.

     එදත් තම සැමියා හේනට ගිය හැටියේ බුකී තම දරුවත් උකුළු කරගෙන බැද්දට රිංගුවා.

"මගෙ දෙයියෝ ඔහොම හිටපන්,උඹේ අම්මා දං අඩුක්කුවක් රොක්කාගෙන එන කල්"..ඔන්න ඔහොමයි බුකී දරුවා තැනක හිඳුවා දං ඇහිඳින්න ගියේ.ගස් යට දං පිරිලා.බුකී ඉහේ හුස්මක් නැතිව දං අහුලනවා.බුකීට දැන් ඇගේ පැටියත් අමතක වෙලා වගේ.පුංචි හුරතලා හුරතලේට කතා කරනවා,දෑතින් බඩට ගහ ගන්නවා.ගිරවෙක් වගේ හිනාවෙනවා.ඒත් මේ හඬ වැසිපුර ඇසුනේ බුකීට නෙමේ.ඒ අසල වේවැල් පඳුරක් අසල දින ගණනක් අහරක් බලාපොරොත්තුව සිටි දැවැන්ත පිඹුරු තඩියාටයි.
   පොල් කඳක් වගේ මහ පිඹුරා මන්දක් වගේ දරණ ගහගෙන වලිගය අසල තිබුන පඳුරක ඔතාගෙන මේ ඉන්නේ , සතෙක් අර දරණෙ ඇතුලෙ බැරිවෙලාවත් අඩියක් තිබ්බොත් එක පාරට හිරකරලා අල්ල ගන්නම් කියල හිතාගෙනයි.මද්දට සතෙක් අහුවෙලා ඇත්නම් ඊ ලඟට ඒ සතාගේ ඇඟ වෙලා ගන්නවා.සතාගේ ඇටකටු කැඩෙන්නම තද කරලා වෙලා ගන්නවා.සතා හොඳටම හෙම්බත් වුනාම තමා ගිලදමන්නේ.ඊට පස්සේ ඌ තවත් කරන්නේ උගේ බඩේ ඉන්න සතාගේ ඇටකටු තවත් කුඩුවෙන්න ගස් දෙබල් මැද්දෙන් රිංගනවා.ඔන්න ඔහොම තමා පිඹුරා ආහාර ගන්නේ.

  බුකීගේ කටහඬ ඇසුනු පිඹුරා ටික ටික දරණෙ දිග හරිමින් ළමයා දිහාවට ඇදී යන්න පටන් ගත්තා.අම්මගේ ආදරයත් පිඹුරාගේ නපුරත් තේරුම් ගන්න බැරිවුන දරුවා තමන්ව ගිලගන්න එන පිඹුරා දැකලා හිනාවෙන්න පටන් ගත්තා.පුංචි දෑත ඒ පැත්තට ලංකරලා හුරතල් බස් කියන්න පටන් ගත්තා.පොල් කඳක් වගේ ඇදී ආ පිඹුරු තඩියා මේ පුංචි දරුවාව වෙලන්න පටන් ගත්තා.ඌ ළමයගේ ඉඟවටා පපුව වටා බෙල්ල වටා හෙමින් හෙමින් ඉහලට ඇදී ගියා.ළමයට දැන් හුස්ම ගන්නවත් බෑ.ඔහු අවසාන වරටත් කෑ ගැහුවා.අමුත්තක් දැනුන බුකී දං ඇහිදීම නවත්තලා එතනට දුවගෙන ආවා.ඈට උඩ බිම රත්වුනා.දැන් එතැන ඉන්නේ තමන්ගේ දරුවා වෙනුවට දැවැන්ත පිඹුරු දරණයක් විතරයි.ඈ කෑගැහුවා.පොළවෙ හැපුනා.දරුවා බේරාගන්න හැමදෙයක්ම කලා.බැරිම තැන පිස්සියක් වගේ කැලේ මැදින් චුට්ටෙව හොයාගෙන දිව්වා.

    "නොන්ඩියා" කියන්නේ මේ ප්‍රදේශයේ චණ්ඩිකම් දාපු තනි අලියටයි.ඌ නිතරම චුට්ටෙගේ හේනට යන කැලෑ පාරේ ගැවසෙනවා.මහ හයියෙන් බෙරිහන් දීගෙන මහ හයියෙන් දුවගෙන එන බුකී දැක්ක වල් අලියා වංගුවේ තියෙන දැවැන්ත පළු ගහට මුවා වුනා.කළු ගලක් වගේ දැන් වූ නිහඬයි.ඉවක් බවක් නැතුව දුවගෙන එන බුකී ඌට හොඳටම ලංවුනා.කල් බලලා පාරට අඩිය තිබ්බ නොන්ඩියා එක පාරටම බුකීව හොඬේ පටලවාගෙන ඈතට විසිකරා.බුකී ඈතට විසිවෙලා ගිහින් වැටුනා.අන්දමද වුන බුකී නැගිටගන්නට කලින් පියවර දෙකෙන් තුනෙන් දුවගෙන ආපු අකියා බිම වැටිල හිටපු බුකීගේ බඩ පෑගුවා.ඒත් තාම බුකී මැරිලා නැහැ.ඉතින් අතු රිකිලි ටිකක් කඩාගෙන ආපු නොන්ඩියා බුකීව නොපෙනෙන විදියට ඒවගෙන් වැහුවා.නැවතත් ඌ සියවාරයක් විතර අර කොල ගොඩ පෑගුවා.කොල ගොඩට යටින් හිටපු බුකී පොළවට සමතලා වෙනකම්ම පෑගුවා.

   හේනෙ වැඩ අහවර කරලා රාස්සිගේ අව්ව වැටෙන හෝරාවෙදී ආපු චුට්ටේ දැක්කා පැල පාලුවට ගිහින් වග.ගම්මණ්ඩියේ අහල පහල ගෙවල් වලත් බුකීවත් දරු පැටියවත් හිටියේ නැහැ. චුට්ටෙ එක්ක මුළු ගමේම ඈයෝ එකතුවෙලා අතුරුදහන් වුන බුකීවයි දරු පැටියවයි හොයන්න පටන් ගත්තා.අවට පඳුරක් පඳුරක් ගානේ , ගහක් ගලක් ගානේ හොයලා අන්තිමට රතු රිකිළි කීපයක් යට තිබුන කැබලි වලට වෙන් වී පොළවට සමතලා වී තිබුන බුකීගේ මළකඳ සොයා ගත්තත් දරු පැටියාට විච්ච කරුමයක් ගැන හෝඩුවාවක් නැහැ.දවස් දෙකක් යනකල්ම දරුපැටියා ගැන හෝඩුවාවක් හම්බවුනේ නැහැ.
    සිද්දිය වෙලා දින දෙකකට පස්සේ පිංහාමි නම් ගමේ ඈයෙක් අලුත කෙටූ හේනක් ගිනි තිබ්බා.හේනේ ගින්දර නිවීගෙන එන විට පිංහාමි හේන බලන්න ගියා.ඔන්න එතකොට තමා ළමයෙකුගේ ඇටකටු සමග ගින්නෙන් දැවී ගිය පිඹුරු තඩියෙකුගේ මළකුණ සොයාගන්න හැකි වුනේ...

( 1995 දී ප්‍රකාශයට පත්වුන , ජී.ආර්.ගුණරත්න බණ්ඩාර මහතාගේ වන්නියේ සත්‍ය කතා නම් ගවේශනාත්මක කෘතිය ඇසුරෙන්)


|Letterconik
|28-04-2020

නත්තල් තෑග්ග (ඇමරිකානු කෙටි කතාවකි)


------------------------------------------------------------------- O.Henry නම් ඇමරිකානු ලේඛකා විසින් 1905දී රචනා කරන ලද "The Gift of the Magi" නම් කෙටි කතාවේ සිංහල පරිවර්තනය.වාණිජකරණයේ උඩුසුළඟට  හසුව සුනුවිසුනු වී යන බලාපොරොත්තු සහ ආදරයේ ත්‍යාගශීලි පරිත්‍යාගයන් මනාව විවරණයට ලක් කරන්නකි මේ...
-------------------------------------------------------------------

      ඩෙල්ලා චාම් ගති පැවතුම් සහිත තරුණ බිරිඳකි.එදිනෙදා ජීවිතය යාන්තමින් ගැටගසා ගැනීමට තරම් වත්කමක් ඇති ඕ නිකම්ම නිකම් ගෘහණියක් වූවාය.එදා උදේ ඩෙල්ලාගේ ස්වාමිපුරුෂයා සිරිත් පරිදි වැඩට ගිය පසු නිවසෙහි තනිවූ ඇගේ මුල්ම කාර්යය වුනේ මාරු කාසි එකතු කල තමාගේ කැටය සඟවා තිබුණු තැනින් එළියට ගැනීමයි.

         ඩෙල්ලා තම කැටයෙහි වූ මුදල් තුන් සැරයක්ම ගණන් කර බැලුවාය.මුළු මුදලම සීමාවුනේ ඩොලර් එකයි සත අසූහතකට.ඒ සියල්ලම සිල්ලර මාරුකාසි,කේවල් කරලා මාළු වෙළෙන්දගෙනුයි එළවලු වෙළෙන්දගෙනුයි අඩු කරගත්තු සතේ දෙකේ කාසි.ඩොලර් එකයි සත අසූ හතෙන් කරන්න පුළුවන් මොන කෙංගෙඩියක්ද? නත්තල හෙටයි ! ජිම් එක්ක විවාහ වුනාට පස්සේ එළඹෙන පළවෙනි නත්තල !

කළයුතු එක දෙයක් ගැනනම් ඇයට හොඳටම පැහැදිලිය.ඒ ඇඳේ දිගාවී පුළුවන් තරම් හැඬීමයි.ජීවිතය කියන්නේ සිනහව සහ කඳුළ යන දෙකෙහි මනා ගැළපීමෙන් බිහිවී ඇති වින්දනාත්මක උරුමයක් විත්තිය ඇයට ඒත්තු ගොස් නැතුවා නොවේ.එහෙත් එය මෙතැනදී දෙන විසඳුම කුමක්ද?

      ඩෙල්ලා පදිංචිව සිටින නිවාස තට්ටුවේ කුලිය සතියට ඩොලර් අටයි.ඇගේ ස්වාමිපුරුෂයා ,ජිම් සතියකට උපයන මුදල ඩොලර් විස්සයි.එදිනෙදා අවශ්‍යය බඩු මිල ඉහළගිය නමුත් ආදායම නම් ඉහළ ගියේ නැහැ.ජිම් කලින් සතියකට ලැබූ ඩොලර් තිහ විස්ස දක්වා අඩුවුනේ ඔහු වැඩ කරන සාප්පුවේ ආදායම සීඝ්‍රයෙන් පහලට රූටාගෙන ගිය නිසයි.හැඬීම නැවැත්වූ ඩෙල්ලා කඳුළු පිස දමගෙන දෙකොපුලෙහි පියරු ටිකක් තවරා ගත්තාය.ඇගේ මනස තුල උද්ගතවන්නේ නත්තල සඳහා ජිම්ට දියයුතු තෑග්ග සම්බන්ධයෙන් මැවෙන සිහින කල්පනාය.අවුරුද්ද පුරාම එම තෑග්ග එම තෑග්ග තමාගේ ආදරය ඔහුට සිහි ගන්වන්නක් විය යුතුය.එය ඔහුටම ගැලපෙන දුර්වල අන්දමේ තෑග්ගක් විය යුතුය.එහෙත් ඩොලර් එකයි සත අසූ හතෙන් මිලදී ගත හැක්කේ මොන තෑග්ගක්ද?
     
    කැඩපත දෙස දෑස යොමුකල ඇගේ මුහුණ අමුතු සතුටකින් බබලන්නට විය.එහෙත් ඊලඟ මොහොතෙදී එය ලේ සිදීගිය පාණ්ඩු පැහැයට හැරුනේ හදිසි අකුණු සැරයකට බිය වූ කලෙක මෙනි.

    ජිම් ඉතා අගයකල වස්තු දෙකක් විය.එකක් නම් සිය පිය උරුමයෙන් ඔහුට ලැබීතිබුනු රනින් නිමවූ කොපුවක් සහිත අත් ඔරලෝසුවයි.අනෙක නම් සිය බිරිඳ වූ ඩෙල්ලාගේ දිගු සුමුදු වරලසයි.ඩෙල්ලා කැඩපත දෙස බලාගත්වනම සිය කෙස් කළඹ මුදා හැරියාය.එය තමන්ගේ දණහිසෙන් පහළය වැටීතිබෙනු ඇය දිටුවේ සියුමු සතුටකුත් සමගය.එහෙත් ඕ වහාම එය හිස මුදුනට කර බැඳගත්තාය.ඇයගේ දෙනෙතින් කඳුළු බිඳු කීපයක් ඒ සමගම බිම පතිත වූයේ ඇයටත් හොරාය.
             
             ඩෙල්ලා ගමන්බිමන් යනවිට අඳින කබායෙන් සැරසුනාය.දුඹුරු හිස්වැස්ම පැළඳගත්තාය.නිවසෙන් පිටවී දොරවසා අගුළු දමා පියගැට පෙළ බැස වීදීයට පිවිසුනාය.වීදිය දිගේ ගමන් කල ඕ කාන්තා ඇඳුම් පැළඳුම් මෝස්තර, කොණ්ඩා සැරසිලි අරුමෝසම් බඩු,නානා මාදිලියේ කාන්‍තා පාවහන් ප්‍රදර්ශනය කල වෙළඳ සංකීරණයකට ලඟා වුනාය."නවීන පන්නයේ කොණ්ඩා මෝස්තර" යනුවෙන් දිස්වුණු නාම පුවරුවක් අබියස ඇය නැවතුනාය.

         මදක් වටපිට බලා අඩියට දෙකට කොණ්ඩා මෝස්තර සාප්පුවට ඇතුළු වුනු ඩෙල්ලා සාප්පු අයිතිකාරිය ඇමතුවාය.

"ඔබ කොණ්ඩා මිලදී ගන්නවාද?"

"ඔව්,කාගෙද?"

"මගේ !"

"කෝ ! බලන්න, හිස්වැස්ම ගැලෙව්වානම්."

හිස්වැසුම අතට ගත් ඩෙල්ලා කෙස් කළඹ ලිහා මුදා හැරියාය.

"ඩොලර් විස්සක් දෙන්නම්"

"එහෙනම් ඉක්මන් කරන්න"

ගණුදෙනුව හමාර කල ඩෙල්ලා ඩොලර් විස්සද මිටමොළවාගෙන ජිම්ට පිරිණැමීමට සුදුසු තෑග්ගක් ගැනීම සඳහා ඉක්මන් පියවර තැබුවාය.රිදී පැහැයෙන් බැබළුණු එම කුඩා වස්තුව ජිම්ටම ගැලපෙන එකක් සේ ඇයට හැඟිණි.එය ඩොලර් විසි එකක් ගෙවා මිලදී ගැනීමට ඇයට සිදුවිය.තෑග්ග ගැනීමෙන් ප්‍රීතියෙන් මත්වූ ඇය ඉතුරු ශත අසූහතද රැගෙන නිවෙසට පැමිණියාය.

     හනි හනිකට කැඩපත අබියසට ගිය ඩෙල්ලා අනිමිසලෝචනාවෙන් මෙන් සිය හිස දෙස බලාසිට අඩ පැයකින් පමණ කෙටි හිසකෙස් පිළිවෙලකට සකස් කරගත්තාය.

"මම කරගත්තු දේට ජිම් දෙස් දෙවොල් තියන එකක් නෑ.කෙස් කළඹ ආයෙමත් ඉස්සර තිබුන විදියටම වැඩේවි.ඩොලර් එකයි සත අසූහතකින් කොහොමද තෑග්ගක් ගන්නේ. අනේ දෙවියනේ ! කොණ්ඩෙ නැතිවුනත් ජිම්ට මාව ලස්සනට පේනෙන්න සලස්වන සේක්වා!."යි තමාටම මුමුණමින් සිතිවිලි අතර අසරණව පසුවුනු ඩෙල්ලා පියවි ලොවට පිවිසුනේ නියමිත වෙලාවට නිවෙසට ඇතුළුවූ ජිම් දැකීමෙන් පසුවයි.

         ඩෙල්ලා ඉදිරියට පැමිණි ජිම් ඇයදෙස බලා ගත්වනම පසුවිය.එම බැල්මෙහි තරහක් නොවීය.විමතියක්ද නොවීය.විරෝධාකල්පයක් හෝ පිළිකුලක්ද නොවීය.ඔහු ඇය දෙස බලාගෙන සිටියේ අමුතුම තාලයේ උපේක්ෂා සහගත හැඟීමකිනි.ඩෙල්ලා ජිම් සමීපයට පිය නැගුවාය.

"අනේ ජිම්, ඔය විදියට ඔයා මා දිහා බලන්න එපා! මං ඒක කලේ ඔයාට තියෙන ආදරේට!හෙට ඔයාට දෙන්න නත්තල් තෑග්ගක් අරගන්න.දැන් අපි සන්තෝෂ වෙමු.මගේ කොණ්ඩෙනම් ආයෙමත් වැඩේවි ඉක්මනට.බලමුකෝ මොකක්ද වුනේ කියලා.කොච්චර ලස්සනද මේ තෑග්ග කියලා.ඔයාටම ගැලපෙන තෑග්ග.!"

"මොනවා...තෑග්ග නෙම්.!ඔයාගේ කොණ්ඩෙට මේ මොනවද වෙලා තියෙන්නේ ?"

"මං කොණ්ඩෙ කැපුවා!"

"ඔව් ! කොණ්ඩෙ කපලා වික්කා"

     නින්දෙන් අවදිවූවාක් මෙන් දෑස පිසහාගත් ජිම් සිය කබා සාක්කුවෙන් කුඩා පාර්සලයක් ඉවතට ගෙන එය ඩෙල්ලා අත තැබුවාය.වෙව්ලන ඇඟිලි වලින් එම පාර්සලය ලිහාගත් ඇයට දැකගත හැකිවුනේ තමා මෙතුවක් කල් බලාගැනීමට ආශාවෙන් පුලපුලා බලාසිටි කොණ්ඩා කටු සහ කෙස්වැටිට සරසන ආම්පන්න කට්ටලයකි.එහෙත් ඒවායෙන් සරසන්නට කෙස් කළඹක් ඇයට දැන් නැත.ඇය තම ළැමතුරෙන් කුඩා පෙට්ටියක් ඉවතට ගනිමින්,

"ජිම් මේ බලන්නකෝ ! මේක ඔයාට කියාපු තෑග්ග නේද කියලා.මගේ කොණ්ඩෙ නැතුවට මේ තෑග්ග නම් ඔයාටම ගැලපෙනවා.ඒකට නම් ඔයා ගොඩාක් සතුටු වෙයි." යි කීවාය.

පෙට්ටිය විවෘත කර තෑග්ග දෙස ඇසිපිය නොගසා බලාගෙන සිටි ජිම් සිතට කඩා වැදුනු ආවේගය යටපත් කරගනිමින් සිනාසෙන්නට වෑයම් කළේය.

"ඩෙල්ලා..අපි අපේ තෑගි දෙක තව ටිකක් කල්ගත වෙනකම් පරෙස්සම් කරලා තියාගමු.දැන් ඔය තියෙන දෙයක් ලිපේ තියන්න රෑ කෑමට.අපේ තෑගි පාවිච්චි කරන්න දැන්ම ඉක්මන් වැඩියි...
ඔයාට කොණ්ඩ සැරසිලි කට්ටලේ ගන්න මං සල්ලි හොයාගත්තේ මගේ අත් ඔරලෝසුව විකුණලා ! ඔයා මට තෑග්ගට ගෙනාපු ඔරලෝසු පටිය හයිකරන්න දැන් මා ලඟ අත් ඔරලෝසුවක් නෑ..! "


(උපුටා ගැනීමකි)

|Letterconik
|28-04-2020




Monday, April 27, 2020

අපිට අයිතිනැති අපේ හීන (LifeNote :02)


අපි හීන තුල ජීවත්වෙන විට ඒ යතාර්තය යැයි හැඟුනත් අවදි වූ පසු එය එසේ නොවන අමුතුම ආකාරයක මායාවක් බව ලෝක ප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂක ක්‍රිස්ටොෆර් නොලන්ගේ "ඉන්සෙප්ෂන්" චිත්‍රපටියේ සඳහන් වුනා මට මතකයි.ඇත්තටම හීන කියන්නේ වෙනස්ම ආකාරයක දෙයක්.ඒක ෆැන්ටසියක්.හරියට රූපරාමු වලින් සිතුවිලි අතර ගෙත්තම් කරපු සිනමාපටයක් වගේ.රාත්‍රියේදී නින්දෙදී අපි හීන දකිනවා.ඒත් ඒ හීනවල වටිනාකමක් නම් කොයින්ද උදේ ඉර පායනවත් එක්ක ඒවා පරවෙලා යනවා නම්.බොහෝවෙලාවට ඒ හීන අර්ථ ශූන්‍යයයි.

අඳුරට අධිපති දෙවියන් අහසට අරක්ගත්ත රාත්‍රියේදී වගේම හොඳට ඉරපායලා තියෙන දීප්තිමක් දහවලක වුනත් හීන දකින්න පුළුවන්.ඒකට තහන්චියක් මේ ලෝකේ කිසිම හර පද්ධතියක නැහැ.අපි සම්මචලයට කිව්වත් දවල් හීන දකින්න එපා කියලා, විශ්වාස කරන්න මිත්‍රයා ඒවා තමයි හුස්ම ගන්න හීන.ජීවය තියෙන්නේ ඒ හීන ඇතුලේ.ඉතිහාසය පුරාවට මහා ශිෂ්ඨාචාර , අමරණීය නිර්මාණ විතරක් නෙමේ සදාතනික මතකයන් ලෝකයාට දායද වුනේ අන්න ඒ හීන නිසා.

මේ ලෝකේ හැමෝටම හීන තියෙනවා.රෑට දකින උදේට පරවෙන හීන නෙමෙයි.ජීවිතයක් ජීවත් කරවන හීන.පොඩි ළමයගේ ඉඳලා ජීවිතේ අවසාන හුස්ම වාතලයට මුසුකරන මිනිසා දක්වාම මහා වපසරියක ඒ හීන විසිරිලා තියෙනවා.කලින් කිව්ව වගේම හීන දකින්න හීන මවන්න කාටවත් තහන්චි නැහැ.ඒක තමයි අපි නිරන්තරෙන්ම උදම්අනන ශිෂ්ඨාචාරගතවුන බුද්ධිමත් ජීවියෙක් වුන මිනිසාගේ අයිතිය.ඒත් ප්‍රශ්ණය තියෙන්නේ එතන නෙමෙයි.ප්‍රශ්ණය, අපි ඒ හීන ඇතුලේ කොච්චර දුරක් ගමන් කරනවාද කියන එකයි.පාවලෝ කොයියෝගේ "මිනිත්තු එකොළහ" නම් නවකතාවේ සඳහන් වෙනවා 'අපි හීන සැබෑ කරගන්න උත්සහ නොකරන තාක්කල් ඒ හීන හරි සුන්දරයි' කියලා.ඒත් ඒ හීන කොහොමහරි හැබෑකර ගත්තොත් ඊටත් වඩා සුන්දරයි කියලා ලියන්න සමහරවිට ඔහුට අමතක වෙන්න ඇති.නැත්නම් එහෙම හීන හැබෑකර ගන්න බැරුව ඇති.ඇත්තටම හීන සීයට සීයක්ම සැබෑකරගත්තු මිනිස්සු මිහිපිට තියා මළවුන් අතරවත් කොටින්ම තුන් සක්වලේ කිසිම කොතැනවත් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ.මොකද හීන කියන්නේ නිතරම දළුලා වැඩෙන දෙයක් නිසා.එක හීනයක් ඉවර වෙද්දී තවත් හීනයක්...ඊට පස්සේ තවත් එකක්...

හීන කියන්නේ සුරංගනා කතාවගේ අමුතුම මායාවන්.ඒවා කොච්චරවත් අපිව අපි නොහිතපු පාරවල් වල ඇවිද්දවන්න ඇතිද...නොහිතපු අයව මුණගස්සන්න ඇතිද..ඒ නිසා ඒ හීනවලට අපි ආදරය කරන්න  පුරුදුවුනා.යථාර්ථයෙන් ඈතට ගියා.

අපි කොච්චර හීන මැව්වත් ඒ හීනවල තනි අයිතියක් බුක්ති විඳින්න අපිට ලැබෙන්නේ හීනෙකින්ම විතරයි.ඒ ඒවාට තව ගැනුම්කරුවන් , කොටස්කරුවන් ඉන්න නිසා.අපිට බැරිනම් අපේ හීනය මාකට් කරන්න,අපිට සිද්ධවෙනවා අපේ ඒ හීනය මකලා දාන්න.හරියටම කිව්වොත් පුංචි ළමයෙක් සුදුපාට කඩදාසියක ලාවට ඇඳපු වැදගත්කමක් නැති නිකම්ම නිකන් පැන්සල් ඉරක් වගේ එකපාරින් මකල දාන්න.

ශාක්‍ය ඝනතන්ත්‍රාධිපති වුන තමන්ගේ පියාගේ හීන පැත්තකට විසිකරලා තමන්ගේ හීන වෙනුවෙන් හිතුවක්කාර ගමනක යන්න සිද්ධාර්ත වගේ රාජකුමාරයෙකුට පුළුවන් වුනත් ගිණියම් වුන මේ පොළවෙ හිටගෙන අවාරෙට හමන මෝසම් සුළං එක්ක හැප්පෙන  අපේ අප්පච්චිලාගේ හීන එහෙම පැත්තකට විසිකරලා දාන්න පුළුවන් කාටද....ඒක එහෙම නෙමේ කියලා හිතෙනවානම් මතක් කරගන්න ඔයා හීන දකින්න පටන් ගත්තු තැන.ඒ හීනය කොහෙද..? අද ඔයා කොහෙද..? හිතට එකඟව කිව්වොත් අපි හඹායන්නේ වෙන කෙනෙක්ගේ හීනයක් පිටිපස්සේ.වෙන කෙනෙක් අපේ සිතුවිලි ඇතුලේ තැන්පත් කරපු කළලයකින් අපේ ආත්මය පුරාවට වැඩෙන හීනයක් පිටිපස්සේ.තමන්ටවත් අයිතිනැති හීනයක් සැබෑකරගන්න සටන් කරන මිනිස්සු තමන් ලඟ ඉන්න එකාගේ හෘදස්පන්දනය අඳුරන්නේ නැති තරමටම ආර්මාර්තකාමි වෙලානම් ,ඒ ගැන සමහරු බැන්නත් ඇත්තටම ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි කියලා තර්ක කරන්න පුළුවන්.මොකද ඒ මිනිස්සුන්ගේ හැඟීම් සහ හැකියා අර හීන එක්කම මකලා දාන්න සිද්ධවුන වුන නිසා.

ජොනී ඩෙප්ලා , මයිකල් ෆෙල්ප්ස්ලා , සංගක්කාරලා , ජැක්සන්ලා අපේ රටෙත් ඕනෙ තරම් ඇති ඒත් උන් විභාග කන්දට යටවෙලා කියන කතාව ඇත්ත කියලා හිතෙනවා අපි අතරෙම ඉන්න සමහර චරිත දිහා බලපුවාම.ඇත්තටම ඒක තමයි "ඉන්සෙප්ෂන්" චිත්‍රපටියේ තියෙනවා කියලා මම කලින් කියපු හීනවල මායාකාරී යථාර්ථය.
අගුළුදාපු මනස ඇතුලේ ඔයාව හිරකරලා දෑත්වලට විලංගු දාලනම් ඔයා කොහොමද ආයෙමත් හීනයක් සිතුවම් කරන්නේ.
අහම්බෙන් වගේ කනවැටුනු එක්තරා ගීතයක පද පේලි අතරෙ ඔය කතාව
හරි අපූරුවට ලියලා තිබුනා මෙන්න මෙහෙම.....

දූලි සුළං මැද ගිණියම් නගරේ
ඇවිලුණු මගෙ සිත සිතුවිලි පොදියට
මගෙන් අහිමිකල මගේ ලොවක් ගැන
හීන මැවූ බව දන්නේ කවුරුන්දෝ...


දූලි සුළං පිරුණු ගිණියම් නගරය අපේ ජීවිත කතාව කියලා හිතුවොත් ලියන මටත් , කියවන ඔයාටත් , අපි දෙන්නා අතරමැද පිරිසටත් , ඉන් භාහිර පිරිසටත් මේක කොතරම් දුරකට සාධාරණද කියලා හෘදසාක්ශියට තට්ටුකරලා අහන්න.

--ජීවිතේට පාඩමක්|LifeNote 02--

|Letterconik
|27-04-2020

Sunday, April 26, 2020

මරණයේ දූතයා යන විරුධාවලිය ලද දොස්තර ජෝසෆ් මෙන්ගල්



|නාසීන්ගේ අමානුශික වෛද්‍ය පරීක්ෂණ|

              මරණයේ දොරටුව කියල හැඳින්වුන අවුශ්විට්ස් වධකාගාරය දෙවන ලෝක යුධ සමයේ නාසින් සතුව තිබුන ප්‍රධානම වගේම විශාලම යුදෙව් ඝාතකාගාරයක්.
මිලියනයකට අධික යුදෙව්වන්ගේ මරණයේ වේදනාබර විලාපයන් අවසන් වරට අසා සිටියේ මේ අවුශ්විට්ස්හි නිසොල්මන් බිත්ති වලින්.
අවුශ්විට්ස් පැමිණි බහුතරයක් යුදෙව්වන්ගේ අවසාන හුස්මපොද විශවායූන් සමග මිශ්‍ර කරල වාතලයේ පාකර ඉතිහාසය තුල සඟවා දැමීමේ වගකීම ගෑස් කුටීර සතුවුනත් මෙහි පැමිණි නිවුන් සහෝදර සහෝදරියන්ගේ ඉරණම තීරණය වුනේ නම් අමානුශික මෙන්ම කෲර අන්දමට ජීව විද්‍යාත්මක පරීක්ෂණ සිදුකෙරුන විද්‍යාගාර තුලදීයි.
ඉතිහාසයේ කිසිම දිනක සමාවකට භාජනය නොවිය යුතු යැයි සැලකෙන මේ පිළිකුල් සහගත පරීක්ෂණ පිටුපස සිටි මහ මොළකරුවා වුනේ "මරණයේ දූතයා" නම් විරුධාවලිය ලද ජර්මානු ජාතික දොස්තර ජෝස්ෆ් මෙන්ගල්.

'කාල් මෙන්ගල් සහ පුත්‍රයෝ' නම් කෘෂිකාර්මික උපකරණ නිශ්පාදන සමාගමේ හිමිකරුවා වුන කාල් මෙන්ගල්ටත් ඔහුගේ බිරිඳ වුන වොල්බර්ගා මෙන්ගල්ටත් දාව පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා විදියටයි ජෝසෆ් මෙන්ගල් උපත ලැබුවේ.
අනාගතේ යම් දිනක මෘර්ගයෙකු වීමේ දෛවයක් ඔහුගේ නමින් ලියවී තිබුනත් කුඩා ජෝසෆ් කලාවට ඇලුම් කල ඉතා ප්‍රසන්න දරුවෙක් වුනා.ඒ වගේම පාසලේදී ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක් වුනා.තරුණ වයසට එළඹෙද්දී ඉතාම කඩවසම් ආත්ම විශ්වාසයකින් යුතු ආකාර්ශණීය තරුණයෙක් වුනා.
පවුලේ සමාගමේ වගකීම ජෝසෆ් වෙත පැවරීමේ බලාපොරොත්තුවක් ඔහුගේ පියාවුන කාල් මෙන්ගල් සතුව තිබුනත් තරුණ ජෝසෆ්ගේ සිත තුල පැන නැගුන ආශාව වුනේ ජීව විද්‍යා සහ මානව විද්‍යා යන විශයන් ඔස්සේ තමන්ගේ වෘතීය ජීවිතේ ගොඩනගා ගන්න.ඒ නිසා 1930 අප්‍රේල් මාසයේදී උපන් ගම අත්හැර මියුනිච් වෙත පැමිණි මෙන්ගල් මියුනිච් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනේ දර්ශණවේදය හැදෑරීමට.ඒ කාලේ නැගී එමින් තිබුන හිට්ලර්ගේ නාසි පක්ෂයේ මූලස්ථානය පිහිටලා තුබුනෙත් මෙන්න මේ මියුනිච් නුවරමයි.
1931 අවුරුද්දෙදී නාසීන්ට සමාන අදහස් දැරුව "ස්ටැල්හෙල්ම්" නම් ජාතිවාදී සංවිධානයක සාමාජිකත්වය ලබාගත් ජෝසෆ් මෙන්ගල්, 1935 දී මියුනිච් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව උදෙසා ආචාර්ය උපාධියකුත් 1938 දී ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය  උපාධියකුත් හිමිකරගත්තා.
ඊට පස්සේ 1938දී නාසින්ගේ ප්‍රධානම මිලිටරි සංවිධානයක් වුන එස් එස් හමුදාව සමග සම්බන්ද වුන ජෝසෆ් මෙන්ගල් 1942දී මෙහෙයුමක් අතරතුරදී දරුණු විදියට තුවාල ලබා ක්‍රියාන්විත සේවයෙන් ඉවත් වෙනතාක් කල් විවිධ සම්මාන සහ ගරු නාම දිනාගනිමින් හමුදාසේවයේ නියැලුනා.

ඊට පස්සේ ක්‍රියාන්විත රාජකාරියෙන් ඉවත්වුන ජෝසෆ් මෙන්ගල්ව අවුශ්විට්ස් කඳවුරේ ප්‍රධාන වෛද්‍ය නිළධාරියා විදියට පත්කරනවා.ඒ 1943දී.මෙන්ගල්ගේ උමතු ක්‍රියා ආරම්භ වෙන්නේ මින් පසුවයි.

ජර්මානු යකඩ සපත්තුවට යටවී තිබුන යුරෝපීය බිම්කොටස් සියල්ලෙන්ම දුම්රිය මාර්ගයෙන් අවුශ්විට්ස් වෙතට රැගෙන ආ මිලියන ගණනක් යුදෙව්වන්ගෙන් වෙහෙසවී වැඩකල නොහැකි කොටින්ම වහල් සේවයේ යෙදවිය නොහැකි යුදෙව්වන්ව කඳවුරට රැගන ආ සැනින් ගෑස් කුටීර වෙත යැවීමේ සම්ප්‍රදාය ජෝසෆ් මෙන්ගල් අවුශ්විට්ස් සේවයට වාර්තා කරන කාලෙ වෙද්දිත් පැවතුනා.මේ විදියට ගෑස් කුටීර වලින් සිය ජීවිත ගමන අවසන් කරේ දුර්වල මහළු උදවිය , කුඩා දරුවන් ඇකයේහොවාසිටි කාන්තාවන් , ගැබිනි කාන්තාවන් සහ කුඩා ළමුන් ආදියයි.මේ විදියට මරණයට කැපවුන යුදෙව්වන් අතරින් නිවුන් ළමුන් වෙන්කරගත් ජෝසෆ් මෙන්ගල් තමන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ව භාවිතා කරා.
නිවුන් දරුවන් එකිනෙකාගෙන් වෙන කරලා එක්කෙනෙක් නිර්පද්‍රිතව රඳවා තියපු මෙන්ගල් අනෙකාව තමන්ගේ කුතුහලය තුලින් පැනනැගුණු කරුණ විමසා බැලීමේ පරීක්ෂණ වස්‍තුව විදියට පාවිච්චි කරා.මෙන්ගල් විසින් එක් නිවුන් දරුවෙකුගේ ශරීරයට විවිධ ද්‍රව්‍යය, විවිධ රසායනික ද්‍රව්‍යයන් හා රෝගකාරක එන්නත් කරමින් ඔවුන්ගේ ශරීරයේ සිදුවන වෙනසක් අධ්‍යනය කරා.ඒ අතරතුර පරීක්ෂණ හේතුවෙන් එම නිවුන් දරුවා මියගියොත් ,නිර්පද්‍රිතව තැබූ අනෙක් නිවුන් දරුවාගේ හෘදයට ක්ලොරොෆෝම් එන්නත් කර ඝාතනය කර නිවුන් දරුවන් දෙදෙනාගේම සිරුරු එකට තමා විච්චේදයන කර තිබෙනවා.ඒ එකිනෙලාගේ වෙනස්කම් පැහැදිලිව වටහා ගැනීමටයි.
මේ විදියට එක් රැයක් තුල මෙන්ගල් විසින් නිවුන් දරුවන් යුගල් 14ක් ඝාතනය කල බව වාර්තාවෙනවා.
පරීක්ෂණ අතරතුර මියනොගිය අයෙක් සිටියේනම් මෙන්ගල් විසින් ඔවුන්ව ඝාතනය  කරේ තමන්ට ඔවුන්ගෙන් යළි ප්‍රයෝජනක් නැතිබව පවසමින්.පසුව ඒ සිරුරුද විච්චේදයනයට භාජනය කරා.
ඇසින් දුටු සාක්ෂිවලට අනුව මෙන්ගල් ළමුන් දෙදෙනෙකු එකට තමා බසා බද්ධ දරුවන් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතවෙලා තියෙනවා.එම දරුවන්ටද සිදුවුනේ වේදනාවෙන් මිය යෑමටයි.

මෙන්ගල්ගේ උමතු පරීක්ෂණ වලට භාජනය වුනේ නිවුන්නුම විතරක් නෙමෙයි.ඇස්වල විවිධ වර්ණයන් සහිත යුදෙව්වන් , ස්වාභාවයෙන්ම කුරු මිනිසුන් සහ ගැඹිනි මව්වරුන්ද මෙන්ගල්ගේ කෲර කුතුහලයේ වේදනාබර වන්දිගෙවීමට යටත් වුනා.

එකිනෙකට වෙනස් වර්ණවල ඇස් ඇති හෙටරොක්‍රෝමියා(Heterochromia) නම් තත්වයේ සිටි යුදෙව්වන්ගේ එම වර්ණවත් දෑස් උගුල්ලා වැඩිදුර පරීක්ෂණ සඳහා බර්ලීනය වෙත යැව් අතර ඇස් වල වර්ණය වෙනස් කිරීම ගැන කුතුහලයෙන් සිටි මෙන්ගල් සිරකරුවන්ගේ ඇස් වලට විවිධ රසායනික ද්‍රව්‍යය එන්නත් කර අක්ෂි වර්ණ වෙනස් කිරීමට හැකිදැයි පරීක්ෂා තිබෙනවා.
කුරුබවෙන් යුතු මිනිසුන් සහ වෙනත් ආබාධයන් සහිතවුන මිනිසුන්ව විවිධ ආකරයේ ඖෂධ සහ අනවශ්‍යය ආකාරයට එක්ස් කිරණ වලට නිරාවාරණය කරමින් පරීක්ෂණ සිදු කල මෙන්ගල් පසුව ඔවුන්ව ඝාතනය කර අස්ථි පද්ධති වෙන් කරලා ඒවා වැඩිදුර අධ්‍යනය සඳහා බර්ලීයනට යවනු ලැබුවා.

අවුශ්විට්ස්හි කාන්තා රැඳවුම් කොටසේ ටයිෆස් වසංගතය පැතිරුනු අවස්තාවේ කාන්තා රැඳවියන් 600ක් එක්වරම ගෑස් කුටීර වෙත යවා ඝාතනය කර හමුදා සෙබලුන් නිරෝධායනය කිරීමේ කාර්යය නිසාත් පස්සෙ කාලෙක ව්‍යාප්ත වුන ස්කාලට් උණරෝගයේදීද රෝගයට ගොදුරු වූ රැඳවියන් ඝාතනය කරමින් සිදු කල කාර්යය උදෙසාත් මෙන්ගල් හට ජර්මානු ෆෙඩරල් රජයෙන් War Merit Cross නම් ඉහළ පෙලේ පදක්කම පිරිනැමුනා.ඒ 1944දී.

ඒ වගේම කඳවුරේ අයහපත් සනීපාරක්ෂක පහසුකම්,අපිරිසිදු බව සහ මන්දපෝෂණය නිසා රැඳවියන් අතර ව්‍යාප්තවුනු මුඛ්‍යය සහ මුහුණ ආසාධානය කළ "ස්ටොමැටයිටිස්" නම් බැක්ටීරියා ආසාධිත රෝගය පිළිබඳ අධ්‍යානය කිරීම සඳහා ආසාදිත රැඳවියන්ගේ හිස් කඳෙන් වෙන් කර එම හිස් එස් එස් හමුදාවේ ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැව්වේද මෙන්ගල් විසින්.

ජෝසෆ් මෙන්ගල්ගේ මේ අමානුශික පරීක්ෂණ සඳහා ඔහුට අවසරය ලැබුනේ ජර්මානු පරීක්ෂණ පදනම විසිනුයි.ඒ වෛද්‍ය අධ්‍යාපනය හදාරන අවධියේදී මෙන්ගල්ගේ ගුරුවරයා වූ ජානවිද්‍යාඥය වෛද්‍ය වොන් ව'ෂුවර්ගේ ඉල්ලීමක් මතයි.වෛද්‍ය වොන් ව'ෂුවර් මෙන්ගල් හට එවැනි අවසරයක් ලබාදුන්නේ මෙන්ගල් මාර්ගයේ ජෛව සාම්පල තමන් වෙත ගෙන්වාගැනීමේ අරමුණද පෙරදැවිව මිස මෙන්ගල් සතුවූ නොසන්සිඳෙන කුතුහයල සහ හැකියාවන් ගැන පැහැදීමකින්ම පමණක් නෙමෙයි.

අධික කුතුහලය වගේම මෙන්ගල් සතුව ක්ෂණිකව කෝපවීමේ ලක්ෂනක්ද තිබුනා.ඒ ඔහුට තමන්ගේ මවගෙන් උරුම වුන ලක්ෂයක්.
වරෙක වැඩපල කිරීමේ හැකියාව නිසා මරණයෙන් බේරුන මැදිවයසේ වූ කාන්තාවකගෙන් මරණයට වෙන්වුන් ඇයගේ 14 හැවිරිදි දියණියව වෙන් කරන්නට යාමේදී යම් කලබලයක් ඇතිවුනා.එහි ප්‍රතිපලයක් විදියට අදාල කාන්තාව තම දරුවා රැගන යාමට පැමිණි නාසි සෙබලාගේ මුහුණ තමන්ගේ අතෙහි නියපොතු වලින් සූරා දැමුවා.එයින් සෙබලා තරමක් පසුබැසුවත් නොබියව ඉදිරියට පැමිනි මෙන්ගල් සිදුකරේ තමන්ගේ දෑතින්ම වෙඩිතබා ඒ මොහොතේම ඒ මවත් දියණියත් ඝාතනය කිරීමයි.
තවත් වරෙක බලෙන් ක්ෂය රෝගය ආසාධනය කල දරුවෙකු පිළිබඳ ගැටලුවකදී මෙන්ගල් සහ වෙනත් වෛද්‍යවරෙක් අතර බහින්බස් වීමක් වුනා.වාදයෙන පසු කාමරයෙන් පිටවුනු මෙන්ගල් පැයක් යනතුරුත් නැවත දකින්නට ලැබුනේ නැහැ.පැයකින් පසුව නැවත පැමිණි මෙන්ගල් අදාල වෛද්‍යවරයාගෙන් සිදුවූ සිදුවීම පිළිබඳ සමාව අයැද තිබෙනවා.පසුව ගෙවී ගිය පැයේ සිදුවූයේ කුමක්දැයි සොයාබැලීමේදී වෛද්‍යවරයා සොයාගත්තේ මෙන්ගල් විසින් අදාල රෝගියාව ඝාතනය කර කාය විච්චේදයට ලක් කර ඇති ආකාරයයි.මෙන්ගල් විසින් තමන්ගේ වෛද්‍ය සඟයා මත තිබුන වෛරය පිටකර තිබුනේ ඒ විදියටයි.
ඉතිහාසය පිරික්සීමේදී හමුවෙන මේවගේ ක්‍රියාවලින් පෙනීයන්නේ මෙන්ගල්ගේ දක්ෂතා පරයා ඔහුගේ උමතුබව ඉස්මතුවන ආකාරයයි.

කාලය මේ විදියට විලාපයන් මධ්‍යයේ ගෙවීගෙන යද්දී මිත්‍ර පාර්ශවීය රුසියානු හමුදා විසින් ජර්මානු හමුදා විනාශ කරමින් තමන්ගේ ආක්‍රමණය මෙහෙයවමින් සිටියා.1945 ජනවාරි මාසය මුලදී ජර්මානු පරාජයේ පූර්ව ලක්ෂන පෙන්වමින් රුසියානු හමුදාවන් ජර්මානු යටත් විජිත වලට කඩාවදිමින් තිබූ අවධියක ජෝසෆ් මෙන්ගල් සහ ඔහුගේ වෛද්‍යය සඟයන් වහාම අවුශ්විට්ස් කඳවුරෙන් ග්‍රොස් රෝසන් කඳවුර වෙතට පලාගියා.මෙන්ගල් තමන්ගේ අත්‍යාවශ්‍යම පරීක්ෂණ වාර්තා සහ ජෛව සාම්පල පිරවූ පෙට්ටි කීපයක්ද තමන් සමග රැගෙන ගියා.ඒ 1945 ජනවාරි මාසේ 17 වෙනිදායි. පලායාමේදී අත්හැර දමා පැමිණි අනෙක් සියලුම වාර්තා එස් එස් හමුදාව විසින් ගිනිබත් කරේ අවුශ්විට්ස් කඳවුරේදීමයි.ඒ රුසියානු හමුදාවන් අතට පත්වීම වළක්වාලීමටයි.
මෙන්ගල් පැනල ගිහින් දින 14කට පස්සේ ඒ කියන්නේ 1945 ජනවාරි 27 වෙනිදා රුසියානු හමුදා අවුශ්විට්ස් කඳවුර අත්පත් කරගත්තා.
එයින් නොනැවතුනු රුසියානු හමුදා ඉදිරියට ඇදෙමින් ග්‍රොස් රෝසන් කඳවුරත් අත්පත් කරගත්තා.නමුත් ඊට සතියට කලින් 1945 පෙබරවාරි 18 වෙනිදා මෙන්ගල් එයිනුත් පලාගොස් තිබුනා.
රුසියානු හමුදාවන්ගේ බේරීමට බටහිර දෙසට පලායමින් සිටි මෙන්ගල් ඇමරිකානුවන්ට හසුවෙනවා.නමුත් මේ අවස්තාවේ වාසනාව තිබුනේ මෙන්ගල් සතුවයි.යුධ අපරාධකරුවන්ගේ වාර්තාවල මෙන්ගල්ගේ නම සඳහන් වුනේ නෑ.ඒ වගේම එස් එස් හමුදා නිළධාරීන් සතු රුධිර වර්ගය දැක්වෙන ටැටූ සලකුණත් මෙන්ගල් සතුව තිබුනේ නැහැ.ඉතින් ඒ නිසා ඔහුව නිදහස් කෙරෙනවා.
පස්සෙ කාලෙක "ෆ්‍රිට්ස් උල්මාන්" නමින් ව්‍යාජ නමකින් පෙනී සිටිමින් තමන්ගේ පරීක්ෂණ වාර්තා සොයා ජර්මනියේ රුසියානු බලප්‍රදේශ වලට පැමිණිනුත් තමන් හඳුනාගතහොත් මරණය නියත බව දැනගත් මෙන්ගල් ජර්මනියෙන් පලායනවා.ඒ 1949 අප්‍රේල් 17 වෙනිදායි.
පශ්චාත් යුධ සමයේ ක්‍රියාත්මක වුන එස් එස් හමුදා හා සම්බන්ද රහසිගත සංවිධානයක් මාර්ගයෙන් රතුකුරිස සංවිධානයේ ව්‍යාජ හැඳුනුම්පත් හදාගන්න මෙන්ගල් 1949 ජූලි මාසයේදී ලතින් ඇමරිකා කාලපයේ ආජන්ටිනාවට පලා යනවා.ආජන්ටිනාවේ බුවනෝ අයර්ස් නුවර වඩු කාරිමිකයෙක් විදියට රැකියාවක් කරමින් ජීවත් වුන අතරම බලපත්‍රයක් රහිතවම වෛද්‍යවරයෙක් ලෙසත් සේවය කර තිබෙන මෙන්ගල් 1954දී තමන්ගේ බිරිඳ දික්කසාද කර නැවත යුරෝපයෙ සංචාරයක නිරත වෙනවා.ඒ ගමනේදී තමන්ගේ මියගිය සහෝදරයාගේ බිරිඳ හමුවූ මෙන්ගල් 1958දී ඇයව විවාහ කරගෙන නැවත බුවනෝ අයර්ස් නගරයේම පදිංචි වෙනවා.

මුලදී මිත්‍ර පාර්ශවීය හමුදා විසින් මෙන්ගල් මියගොස් ඇතිබව සැලකුවත් පසුකාලීනව තොරතුරු හෙළිවීමේදී ඔහු ජීවතු අතර බව වටහ ගන්නවා.ඊශ්‍රාලයේ මොසාඩ් සංවිධානය ප්‍රමුඛ බුද්ධි අංශ මෙන්ගල් සොයාගෙන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත්කරත් ඉතාම දක්ශ ලෙස විවිධ නම් භාවිතාකරමින් සහ විවිධ රටවලට පැනයමින් ඒවායෙන් බේරීමට මෙන්ගල් සමත් වෙනවා.
අවසානයේ 1962දී දේශපාලන හේතුවක් මත මෙන්ගල් සොයායෑමේ මෙහෙයුම නවතා දමන්නට මොසාඩ් සංවිධානය තීරණය කරනවා.ඊට හරියටම අවුරුදු 17ක පස්සේ එනම් 1979 පෙබරවාරි මාසේ 7 වෙනිදා බ්‍රසීලයේ සාවෝ පාවුලෝහි මුහුදුබඩ ප්‍රදේශයක් වූ "බර්ටිඕගා" ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතවුන මෙන්ගල් පිහිනමින් සිටියදී ඇතිවූ ආඝාත තත්වයක් නිසා දියේ ගිලී එවකට වයස අවුරුදු 67ක් වුන මේ කෲර ඝාතකයා මියයනවා.පසුව ඔහුගේ දේහය 1971 වසරේ සිට ඔහු විසින් භාවිතා කරමින් සිටි "වුල්ෆ්ගැන්ග් ගර්හාඩ්" යන ව්‍යාජ නාමයෙන්ම බ්‍රසීලයේ සුසාන භූමියක මිහිදන් කරනවා.

මෙන්ගල්ගේ වෛද්‍ය වාර්තා සහ පරීක්ෂණ දත්ත මෙන්ගල් සමගම සදාකාලික රහසක් විදියට මිහිදන් වෙනවා.ඒ මෙන්ගල් විසින් ජර්මනියෙන් පලායාමට ප්‍රථම තම පරීක්ෂණ වාර්තා මෙන්ගල්ගේ මිත්‍රයා , ගුරුවරයා මෙන්ම උපදේශකයාද වුන වොන් ව'ෂුවර් හට ලබාදී තිබුනත් ව'ෂුවර් අතින් ඒවා විනාශ වී යෑම නිසයි.අවසානයේදී මෙන්ගල්ගෙ වාර්තා සහ සොයාගැනීම් ලෝකයාගේ උන්නතිය උදෙසා භාවිතා කිරීමේ අවස්තාවක් නොමැතිව අතුරුදන් වීම නිසා ඉතිරි වී ඇත්තේ මෙන්ගල්ගේ කෲර මෙන්ම අමානුශික පරීක්ෂණවල බිහිසුනු බව කියැවෙන මතකයන් පමණයි.

1943-1945 අතර කාලයේ දහස් ගණනක් යුදෙව්වන්ගේ අමානුශික ඝාතකයා වුන ජෝසෆ් මෙන්ගල් "මරණයේ දූතයා" විදියට ලෝකයා විසින් හඳුන්වනවා.
අවුශ්විට්ස්වල ළමා සිරකරුවන් විදියට හිටපු  රුසියානු හමුදා විසින් බේරාගන්නා තෙක් ජීවිත රැකගැනීමට වාසනාව ලද්දාවූ වර්තමානයේ ජීවත්වන ඕනෑම අයෙකුගෙන් අවුශ්විට්ස්හි ලද අඳුරුතම මතකය කුමක්දැයි ඇසුවහොත් මෙන්ගල්ගේ විකාරරූපී උමතු පරීක්ෂණ බව  පවසනු නොඅනුමානයි.



                දොස්තර ජෝසෆ් මෙන්ගල්

                        ජෝසෆ් මෙන්ගල්

                    වදකාගාරයේ රැඳවියන්

මෙන්ගල්ගේ අමානුශික පරීක්ෂණ සඳහා කෙපකෙරුණු පරීක්ෂණ නියැඳි හෙවත් නිවුන් දරුවන්.මෙම චායාරූපයේ සිටින ඇතැමුන් දිවි බේරාගැනීමට වාසනාව ලබා ඇත.

                    මෙන්ගල්ගේ පරීක්ෂණ

     මෙන්ගල් තමන් විසින්ම පරීක්ෂණ සිදුකරන ආකාරය

   බද්ද දරුවන් පිළිබඳ මෙන්ගල්ගේ පරීක්ෂණ

 1970දී ලබාගත් චායාරූපයක්.දකුණේ ඉඳල තුන්වෙනියට ඉඳගෙන ඉන්නේ ඒ වෙද්දී ලෝකයාගෙන් සැඟවී රහසිගත් දිවියක් ගෙවමින් සිටි මෙන්ගල්

   අවුශ්විට්ස් වදකාගාරයේ පිවිසුම් දොරටුව


|Letterconik
|25-04-2020

Saturday, April 25, 2020

සොභාදහමේ ආශ්චර්ය - පාට දෙකේ ඇස්


පාට දෙකකින් දෑස් හිමිවන හෙටරොක්‍රෝමියා
(Heterochromia)

ලෝක ජනගහනයෙන් 1%කට තරම් සුළු ප්‍රමාණයක පමණක් දකින්න ලැබෙන "හෙටරොක්‍රෝමියා" නම් මෙම තත්වය රෝගාභාධයක් නොවේ.ඒ මගින් ඇස්වල පෙනීමේ හැකියාවටද බලපෑමක් එල්ල නොකරයි.

ඇස්වල වර්ණය තීරණය වන්නේ ඇසේ කළු ඉංගිරියාව(iris) නමින් හඳුන්වන කොටසේ ඇති මෙලනීන් වර්ණක ප්‍රමාණයට අනුවයි.
නිල් පැහැය , කොළ පැහැය , කොළ පැහැයට හුරු රත්තරන් පැහැය සහ දුඹුරු පැහැය ලෙස වර්ණ පරාසයක ඇසේ වර්ණය විහිදී ඇත.සාමාන්‍යයෙන් අඩුම මෙලනීන් ප්‍රමාණය සඳහා නිල් වර්ණයත් වැඩිම මෙලනීන් ප්‍රමාණයක් සඳහා දුඹුරු වර්ණයත් හිමිවේ.

Heterochromia නම් මෙම තත්වය ආකාර තුනකින් දැකිය හැකි අතර ඇස්දෙක පැහැදිලි ලෙසම එකිනෙකට වෙනස් වර්ණ දෙකකින් යුක්තවන්නේ නම් සම්පූර්ණ හෙටරොක්‍රෝමියා (complete heterochromia) තත්වයක් ලෙසත් , එකම ඇසක වර්ණ එකිනෙකට වෙනස් වර්ණ දෙකක් ඇත්නම් පාර්ශ්වික හෙටරොක්‍රෝමියා(Partial heterochromia) තත්වයක් ලෙසත් කළු ඉංගිරියා කොටසේ භාහිරට වන්නට වෘත්තාකාරව එක් වර්ණයකුත් ඇතුලතින් තවත් වර්ණයකුත් ඇත්නම් මධ්‍යගත හෙටරොක්‍රෝමියා(central heterochromia) තත්වයක් ලෙසත් හඳුන්වයි.

උපතේදී ස්වාභාවිකවම මෙය ඇතිවිය හැකිය.එසේම පසුකාලීනව විවිධ හේතූන් මතද මෙය ඇතිවිය හැක.මෙය රෝගී තත්වයක් නොවන බැවින් ප්‍රතිකාර අනවශ්‍යය නමුත් වෙනත් සංකූලතාවක බලපෑමක් මත මෙය ඇතිවුනි නම් මේ සඳහා ප්‍රතිකාර සපයයි.

මනුශ්‍යය වර්ගයා බිහිකිරීමේ කාර්යයේදී සොබාදහම පෙන්වන අපූර්ව විවිධත්වය මෙය නොවේද....

(HealthyLifekit facebook පිටුව ඇසුරෙන්)

|Letterconik
|25-04-2020

Thursday, April 23, 2020

ජීවිතය බේරගත් පියවුරු......♀️♀️♀️

ජීවිතය බේරාගත් පියවුරු...............♀️♀️♀️

තම ව්‍යාජ පියවුරු නිසා ජීවිතය බේරාගත් කන්තාවක් ගැන කතාවක් කැනඩාවෙන් ආරංචි වෙනවා.මේක කතාව පසුගියදවසක පලවුනේ "SAGE මෙඩිකල් ජර්නලයේ".

2018 අවුරුද්දේ දවසක කැනඩාවේ ටොරන්ටෝ නුවර වීදියක ඇවිද යමින්සිටි තිස් හැවිරිදි කාන්තාවකට නාදුනන තුවක්කු කරුවෙක්ගෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වුනා.
ඇයගේ වම් පියවුරේ පසෙකට වැදුනු උණ්ඩය හෘදය දක්වාම ගොස් ඇයගේ ජීවිතය අහිමි කිරීමට ඉඩ තිබුනත් ඇයගේ ජීවිතය බෙරෙන්නේ පියවුරු විශාල කිරීමේ සැත්කමකට මුහුණදී ව්‍යාජ කෘතිම පියවුරු( සිලිකන් පියවුරු) සවිකරගෙන සිටි නිසයි.

වම් පියවුරෙන් ඇගේ ශරීරයට ඇතුළු වූ උණ්ඩය සිලිකන් වලින් සාදා තිබූ ඇයගේ ව්‍යාජ  පියවුර හරහා යාමේදී හෘදය දක්වා යාමට තිබූ එහි ගමන්පථය වෙනස්වී ගොස් අවසානයේ ඇයගේ දකුණු පියවුරට යටින් වූ පපු පෙදෙසේ නැවතී තිබෙනවා.මේ නිසා ඇගේ ජීවිතය ආරක්ෂා වී ඇති අතර හනි වී ඇත්තේ ඇයගේ එක් පර්ශු අස්ථියකට පමණයි.

මින්පෙර මෙවැනි ව්‍යාජ පියවුරු නිසා උණ්ඩවල චලිතයේ වෙනස්කම් සිදුවූ බවට වාර්තාවන්නේ අවස්තා හතරකදී පමණයි.එයින් අවස්තා දෙකකදීම අදාල කාන්තාවන්ගේ ජිවිත බේරී ඇති නමුත් ඒ අවස්තා හතරේම සිදුවී ඇත්තේ උණ්ඩයේ වේගය බාලවී කෙටි දුරකින් නැවතීමයි.නමුත් මේ අවස්තාවේ උණ්ඩයෙ ගමන්මග වෙනස් වී වෙනත් පෙදෙසකට ගමන් කර තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.


       සිලිකන් පියවුරු හරහා උණ්ඩය ගිය මාර්ගය



       ඉවත්කල ව්‍යාජ පියවුර සහ උණ්ඩය දැක්වෙන X ray සටහන.


|Letterconik
|24-04-2020

Healthy Life kit ෆේස්බුක් පිටුවෙවෙන් උපුටා ගන්නා ලදී.

Tuesday, April 21, 2020

ඊශ්‍රායල හමුදාබලය ලොවට පෙන්වූ ඔපරේශන් තන්ඩර්බෝල්ට්

ලොව විශිෂ්ටතම ප්‍රාණඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම:
ඔපරේශන් තන්ඩර්බෝල්ට් හෙවත් ඔපරේශන් එන්ටැබේ...............

ඊශ්‍රායල හමුදාවේ දස්කම් ලෝකෙට පෙන්වූ ඔපරේශන් තන්ඩර්බෝල්ට්

(ලොව විශිෂ්ටතම ගලවාගැනීමේ මෙහෙයුම)

ඊශ්‍රායල හමුදාව ලොව විශිෂ්ටතම හමුදාවන්ගෙන් එකක්.ඒ බව ඔවුන් විසින් ඉතිහාසය පුරාවට ඔප්පු කරල තියෙනවා.අදටත් ලොව විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම විදියට පිළිගන්න "ඔපරේශන් තන්ඩර්බෝල්ට්" හෙවත් "ඔපරේශන් එන්ටැබේ" කියන්නෙත් අන්න ඒ වගේ එක් ඔප්පු කිරීමක්.පසුකාලීනව මේ සිදුවීම අලලා පොත් පත් , චිත්‍රපට විශාල වශයෙන් නිර්මාණය වුනා.මේ කියන්න යන්නේ කිසිසේත් සිදුකල නොහැකි මෙහෙයුමක් විදියට එකල ලොව පුරාම කතාබහට ලක්වුනු අන්න ඒ මෙහෙයුමේ කතාන්දරයි....

           1976 අවුරුද්දේ ජූනි මාසේ 27 වෙනි ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව්(Tel Aviv) නගරයේ ඉඳලා ප්‍රංශයේ පැරිස් නුවර දක්වා ප්‍රංශ ගුවන් සේවයට අයත් Airbus A300 වර්ගයේ මගී ගුවන් යානයක් ගමන් ගනිමින් තිබුනා.බහුතරයක් යුදෙව්වන් වූ මුළු මගීන් ගණන 246ක් සහ 12 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් සහිතව මේ ගුවන් යානය ඉතා සාමකාමීව ඉහළ ආකාසේ ගමන් කරමින් තිබුනා.නමුත් ඒ සාමකාමී බව පැවතුනේ යානයේ මගීන් සිටින කොටසෙන් යම් කලබලයක ශබ්දයක් නියමු කුටියට ඇසෙන තෙක් පමණයි.ප්‍රධාන ගුවන් නියමුවා වුන මයිකල් බාකෝස් මේ කලබැගෑනිය ගැන සොයාබලන්න යානයේ ප්‍රධාන ඉංජිනේරුවාව මගීන් සිටිනා කොටසට යවනවා.අදාල කොටසට ඇතුලු වෙන දොරටුව විවෘත කල සැනින් ඔහුට දැකගන්නට ලැබෙන්නේ එක් අතකින් රීවෝල්වරයක් තමන් වෙතට එල්ල කරගෙන අනික් අතෙන් අත් බෝම්බයක් දරා සිටින අයෙක්.එසේ ආයුධ සන්නද්ධව සිටියේ "රිවලූෂනරි සෙල්ස්" හෙවත් RZ නමින් හැඳින්වූ ජර්මානු ගරිල්ලා සංවිධානයේ සාමාජිකයෙක් වුන විල්ෆ්‍රඩ් බෝස් නම් තැනැත්තායි.එසේ අනපේක්ෂිත ලෙස ඔවුන් අත්දකිමින් සිටියේ ඇල්ෆ්‍රඩ් බෝස් එම සංවිධානයේම තවත් කාන්තා සාමාජිකාවක් සහ පලස්තීන නිදහස් පෙරමුණේ සටන්කාමීන් දෙදෙනෙක් ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමක් මගීන් 246ත් කාර්යමණ්ඩල 12 දෙනත් ඇතුළුව මෙම Air France 139 ගුවන් යානය උඩු ගුවනේදී පැහැරගනිමින් සිටි ආකාරයයි.ත්‍රස්තවාදීන් ගුවන් යානයට ගොඩවී තිබුනේ ගුවන් යානය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ගුවන් තොටුපළට ගොඩබැස්සූ අවස්තාවේ එයට ගොඩවූ මගීන් 58 දෙනත් සමගයි.ගිනිඅවියද අතැතිව නියමු කුටියට ඇතුළු වුන ඇල්ෆ්‍රඩ් බෝස්ගේ තර්ජණය හමුවේ ගුවන් යානය ලිබියාවේ බෙන්ගාසි නුවර ගුවන් තොටුපළට ගොඩබැස්සුවා.ගුවන් යානයේ ඇන්ජින් පනගන්වා නැවත ගුවන් ගතවීමට සූදානමින් සිටින ලෙස ත්‍රස්තයින්ගෙන් නියෝග ලැබුනා.ඉතාම සුළු වෙලාවකට පස්සේ ආයෙමත් බෙන්ගාසි නුවරින් උඩු ගුවනට එසවුනු යානය පැය ගානයක් අහසේ රස්තියාදුගසමින් සිටියේ ගොඩබස්වන නිශ්චිත ස්තානයක් ගැන කිසිම ඉඟියක් මගීන් හට නොදෙමින්.චීනය , සයිබීරියාව වගේ ඈත පිහිටි රටකට යානය ගමන් කරන බව සියල්ලන් සිතුවත් ඇත්තටම යානය ගොඩ බෑවේ උගන්ඩාවට.උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොළට.
එවකට උගන්ඩාව පාලනය කරේ ඉඩි අමීන්.ත්‍රස්තයින් පැහැරගත් යානය එන්ටැබේ ගුවන් තොටුපළට ගොඩබැස්සුවේ ඉඩි අමීන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේයි.මේ ත්‍රස්ත ක්‍රියාවට ඉඩි අමීන් තමන්ගේ අනුග්‍රහය ලබා දෙන්නේ ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගත් ගුවන් මගීන්ව රට තුල ආරක්ෂාකාරීව නවාතැන් දී හොඳ නමක් දිනා නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමේ පටු යටි අරමුණක් හිතේ තියාගෙන.

එන්ටැබේ ගුවන් තොටේදී ත්‍රස්තයින් හතර දෙනා සමග තවත් ත්‍රස්තවාදීන් හතරෙ දෙනෙක් එකතු වුනා.ඒ වගේම ත්‍රස්තවාදීන්ට උගන්ඩා හමුදාවේ සහයද හිමි වුනා.මගීන්ව ගුවන්තොටේ අත්හැර දැමුනු කොටසකට ගාල් කිරීමෙන් පසුව ,ජූනි මාසේ 28 වෙනිදා ත්‍රස්ත්වාදී විසින් ගුවන් යානය පැහැරගැනීමට හේතුවත් මගීන් නිදහස් කිරීමට අදාල තමන්ගේ කොන්දේසිත් ඉදිරිපත් කරා.

යානය පැහැර ගැනීමේ මූලිකම පරමාර්ථය වුනේ ලෝකයේ රටවල් 5ක් පුරා සිරකරුවන් විදියට හිටපු පලස්තීන සටන්කාමීන් 53දෙනෙක් නිදහස් කරගැනීමයි.ඒ 53 දෙනාගෙන් 40 දෙනෙක්ම සිටියේ ඊශ්‍රායලයේ සිරකඳවුරු තුල.ඉතින් මගීන් නිදහස් කිරීමට නම් මේ සිරකරුවන් 53 දෙනා නිදහස් කලයුතු බවත් එයට සාධනීය පිළිතුරක් නොලැබුනොත්  ජූලි 01 වෙනිදා ඉඳලා සිරකරුවන් නිදහස් කරන තෙක්ම දිනකට එක් මගී ප්‍රාණ ඇපකරුවෙකු බැගින් ඝාතනය කරන බවටත් ත්‍රස්තවාදීන් දැනුම් දුන්නා.මේ ඉල්ලීම් වලට අමතරව ගුවන් යානය නිදහස් කරගැනීමට නම් ඩොලර් මිලියන 5ක කප්පම් මුදලක්ද ඉල්ලා සිටියා.

කොන්දේසි ඉදිරිපත් කරාට පහුවෙනිදා, ඒ කියන්නේ ජූනි 29 වෙනිදා ඊශ්‍රායල ජාතික මගීන් සහ ඊශ්‍රායල නොවන මගීන් වෙන් කර ඔවුනොවුන් එකිනෙකට වෙනත් ශාලා දෙකක රැඳවූවා.ඊටත් පහුවෙනිදා, ජූනි 30 වෙනිදා ඊශ්‍රායල ජාතීන් නොවන කණ්ඩායමෙන් තෝරාගත් වයසක , රෝගාතුර වූවන් සහ පොඩි ළමයි සිටිය මව්වරුන් ඇතුළු 48 දෙනෙක් නිදහස් කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කරා.ඔවුන් එදිනම ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත් කෙරුනා.

ප්‍රාණඇපයේ සිටින තමන්ගේ වැසියන් බේරාගැනීමට දේශපාලනික විසඳුමක් කරා ඊශ්‍රායල රජය මුලින්ම යොමු වුනා.උගන්ඩා පාලක ඉඩි අමීන්ගේ හිත්වතුන්ව සිටි ඊශ්‍රායල නිළධාරීන් පුද්ගලිකව ඉඩි අමීන් සමග ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම පිළිබඳව කතාබහ කරත් එයින් කිසිවක් වෙනස් වුනේ නැහැ.ඒ අතරවාරයේ ඇමරිකාව මාර්ගයෙන් ඉඩි අමීන්ගේ සමීප හිතවතෙකු වූ ඊජිප්තු ජනාධිපති "අන්වර් සාදත්" ලවා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉඩි අමීන් පොළඹවා ගැනීමටත් උත්සහ කරා.ඒ වැඩෙත් අසාර්තකයි..
ඊට පස්සේ තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට කිරීමට ත්‍රස්තවාදීන් ලබා දී තිබුන අවසාන දිනය වුන ජූලි පළමුවෙනිදා ඊශ්‍රායල රජය විසින් තමන් ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට අදාල කොන්දේසි සලකා බැලීමට කැමති බවත් ඒ සඳහා දී තිබූ සහන කාලය දීර්ඝ කරන ලෙසත් දන්වා සිටියා.
ඊශ්‍රායල රජයේ ඒ තීරණය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය තරමක් ලිහිල් කරන්න හේතුවුනේ ප්‍රාණඇපකරුවන් ඝාතනය කිරීම ඇරඹීම ජූනි 04 දක්වා කල් දැමුනු නිසාත් ඊශ්‍රායල නොවන තවත් මගීන් සියදෙනෙක්ව නිදහස් කිරීමත් නිසයි.
ඒ අනුව එන්ටැබේ ගුවන්තොටේ ප්‍රාණ ඇපකරුවන් විදියට ඉතිරි වී සිටියේ තමන්ගේ මගීන් හැරයාම ප්‍රතික්ෂේප කල ප්‍රංශ ගුවන් සේවයේ නිළධාරීන් 12 දෙනත් , තවත් ප්‍රංශ ජාතික තරුණයන් 10දෙනෙකුත් හා ඉතිරි ඊශ්‍රායල ජාතික මගීන් 84 දෙනත් ඇතුලුව සම්පූර්ණ 106 දෙනෙක් විතරයි.

ත්‍රස්තවාදීන් ලබාදී තිබුන දින හතරක සහනකාලයෙන් දින තුනක් ගෙවී ගියා.කිසිම දේශපාලනික විසඳුමක් සාර්තක වන බවක් පෙනෙන්නට වුනේ නැහැ.තවත් ඉතිරිව ඇත්තේ එක දවසක් විතරයි.ඉතින් එදාම හවස ඒ කියන්නේ ජූලි මාසේ 03 වෙනිදා හවස 6:30ට විතර ඊශ්‍රායල රජය හමුදා මෙහෙයුමක් සඳහා තමන්ගේ නිළ අවසරය එරට හමුදාවට බලාදුන්නා.

මුලින්ම මේ ක්‍රියාන්විතය නාවික විශේෂ  කාර්ය බලකා සෙබලුන් යොදාගෙන සිදු කරන්න යෝජනා කෙරුනා.ඒ අනුව එන්‍ටැබේ  ගුවන්තොටුපළ ආසන්නයේ තියෙන කෙන්යාව,ටැන්සානියාව සහ උගන්ඩාව අතරේ ව්‍යාප්තවී තිබුන වික්ටෝරියා නම්වු විශාල ජලාශයට ඊශ්‍රායල නාවික විශේෂ කාර්ය බලකා සෙබලුන් ගොඩබස්සවා වික්ටෝරියා ජලාශය ඔස්සේ රහසේ ගොස් ගුවන්තොටුපළට ඇතුළු වී ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන නැවත ඔවුන්ව සිය මව් රටබලා රැගෙන යාමට ඉඩි අමීන්ගේ සහය පැතීම සිදු කිරීමට යෝජනා වුනා.ඒත් එවැන්නක් සඳහා කාලයක් ඉතිරිව නොමැති නිසාත් වික්ටෝරියා ජලාශය "නයිල් කිඹුලන්" විදියට හඳුන්වන අප්‍රිකානු මිරිදිය පරිසර පද්ධතියේ බහුලව සිටි විශාල කිඹුල් විශේෂයකින් ගෙන් පිරී ඉතිරී තිබුනු නිසා ඒ ක්‍රියාදාමය සාර්තක වීමේ සම්බාවිතාව තිබුනේ ඉතා අඩු මට්ටමකයි.ඒ නිසා ඊශ්‍රායලය මේ නාවික හමුදා මෙහෙයුම අත්හැර දැමුවා.

ඒ අනුව දෙවන සැලැස්ම වුන ගුවන් මගින් කොමාන්ඩෝ සෙබළුන් යවා ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම පිළිබඳ ඊශ්‍රායලය අවධානය යොමු කරා.මේ සැලැස්ම ඉදිරිපත් කරේ "මේජර් ජෙනරාල් යෙකුටියෙල් ඇඩම්" සහ "බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන්" යන නිළධාරීන් විසින්.මෙහෙයුමෙ ප්‍රධාන අණදෙන නිළධාරියා විදියට බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන්ව පත්කෙරුනා.

මේ සැලැස්ම ක්‍රියාවට නැංවීම හිතන තරම් ලේසි පහසු වුනේ නැහැ.මෙහෙයුම සම්බන්ද ප්‍රධාන ගැටලු කීපයක් පැන නැගුනා.
ඉන් පළමුවැන්න වූනේ ප්‍රාණඇපකරුවන් රඳවා සිටින එන්ටැබේ ගුවන්තොටේ සැකැස්ම පිළිබඳ කිසිම අවබෝදයක් නොතිබීමයි.ප්‍රාණඇපකරුවන් රඳවා සිටින්නේ ගුවන්තොටේ කොතැනද කියාවත් අවම වශයෙන් හදිසි අවස්තාවක්දී පුපුරා හැරීමට පුළුවන් විදියේ උගුලක් ත්‍රස්තයින් අටවා තිබුනාද කියාවත් ඊශ්‍රායලය දැනගෙන හිටියෙ නෑ..මේ ගැටලුවට උත්තර හොයන්න ඊශ්‍රායල බුද්ධි අංශය වුන මොසාඩ් සංවිධානයේ අදලා මෙහෙයුම බාරව සිටි බුද්ධි අංශ නිළධාරියා වුන "ආනන් බයිරාන්" ඇතුලු කණ්ඩායම වෙහෙසුනා.වහාම ක්‍රියාත්මක වුන බුද්ධි අංශ නිළදාරීන් ත්‍රස්තවාදීන් විසින් නිදහස් කරලා ප්‍රංශයට යැවුන මගීන් හමුවී ඔවුන්ගෙන් ගුවන් තොටුපළේ සැකැස්ම, ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටින ස්තානය , ත්‍රස්තවාදීන් ගණන , ත්‍රස්තවාදීන් සමග ඉන්න උගන්ඩා හමුදා සෙබළුන් ගැන විස්තර සියල්ලක්ම දැනගත්ත.ඒ වගේම දීර්ඝ කාලයක් පුරාවට අප්‍රිකානු කලාපයේ ඉදිකිරීම් කටයුතු කරපු වගේම එන්ටැබේ ගුවන්තොටුපළේ කොටසක්ද ගොඩනගා තිබුන ඊශ්‍රායලයේ පැරණිම සහ විශාලතම ඉදිකිරීම් සමාගම වුන "සෝලෙල් බෝනේ" ඉදිකිරීම් සමාගමේනුත් බුද්ධි අංශ නිළධාරීන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගත්තා.ඒ තොරතුරු උපයෝගී කරගෙන ගුවන්තොටේ සම්පූර්ණ සැලැස්ම , ප්‍රාණඇපකරුවන් සිටින තැන ,ත්‍රස්තවාදීන් ගණන සහ උගන්ඩා හමුදා සෙබළුන් ගණන ඔවුන් සිටින තැන් ආදී සියළුම විස්තර ඇතුලත් සම්පූර්ණ චිත්‍රයක් මොසාඩ් නිළධාරීන් විසින් ගොඩනැගුවා.ඒත් මෙහෙයුම සඳහා ඒ විතරක් ප්‍රමාණවත් වුනේ නැහැ.
ඒ තවත් ප්‍රධාන ගැටලුවක් ඒ වෙනකොට ඇතිවෙලා තිබුන නිසා.
ඒ තමයි , මධ්‍යදරණී මුහුදට මායිම මැදපෙරදිග කලාපයේ තිබුන ඊශ්‍රායලයේ ඉඳලා අප්‍රිකානු මහද්වීපයේ මධ්‍යයට වන්නට පිහිටි උගන්ඩාව දක්වා වූ කිලෝමීටර තුන්දාහකට අධික දුරකින් යුතුවූ ගුවන් මාර්ගය ගෙවා යෑමට මෙහෙයුම සඳහා යොදාගන්න ගුවන් යානාවලට එක් වරකට පුරවන ඉන්දන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම.උගන්ඩාව බලා යෑමට නම් අනිවාර්යයෙන්ම ගමන අතර මැදදී ආයෙමත් ඉන්දන පිරවිය යුතු වුනා.මෙහෙයුම අතිශයින්ම රහසිගත විදියට සිදුකරන්න ඕනෙ වුන නිසා වෙනත් කිසිම රටක ඊශ්‍රායල හමුදා සෙබලුන් පිරවූ ගුවන් යානා නවත්තන බෑ.විශේෂයෙන්ම උගන්ඩා නායක ඉඩි අමීන්ට හිතවත් ඊජිප්තුව වගේ අප්‍රිකානු කලාපයේ රාජ්‍යන්ගේ ගුවන් සීමාවන් ඔස්සේවත් ගමන් කරන්න බැරි තත්වයක් උදා වෙලා තිබුනා.ගැටලුව ඒ වගේ සංකීරණ වුනත් මේ ප්‍රශ්ණෙටත් උත්තරයක් මොසාඩ් සංවිධානය සතුව තිබුනා.ඔවුන් මෙහෙයුම අතරමැද ඔවුන්ට විශ්වාස කරන්න පුළුවන් එකම එක රාජ්‍යය විදියට උගන්ඩාවට අසල්වැසි රට වුන කෙන්යාව තෝරාගත්තා.ඒ ඒ වන විටත් ඉඩි අමීන් හා කෙන්යා රජය අතර යම්තාක් දුරකට මතබේදාත්මක ප්‍රතිවිරුද්ධභාවයක් ඇතිවී තිබුන නිසයි.ඒ අනුව මොසාඩ් සංවිධානයේ උපදෙස් මත ක්‍රියාත්මක වුන එවකට කෙන්යා කෘෂිකාර්ම ඇමතිගේ බලකිරීම සහ කෙන්යාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් වූ යුදෙව් ජාතිකයන්ගෙන් හිමිවන ආර්තික වාසි සලකා බලා කෙන්යා ජනාධිපතිවරයා ඊශ්‍රායල හමුදා මෙහෙයුම සඳහා තම ගුවන් කලාපයත් ගුවන් තොටුපළවලුත් භාවිතා කරන්නට මොසාඩ් සංවිධානයට අවසර දුන්නා.

මෙහෙයුම සඳහා සියලු බාධක ඒ විදියට ඉවත් කරගත් මොසාඩ් සංවිධානය මෙහෙයුමේ ඉදිරි පියවර තමන්ගේ හමුදාවට භාරකලා.ඒ අනුව විශේෂිත කාර්යන් සඳහා වෙන්වූ කණ්ඩායම් කීපයක් වශයෙන් හමුදා සෙබලුන් 100 කණ්ඩායමක් මෙහෙයුම සඳහා එක්වුනා.

වර්තමාන ඊශ්‍රායල අගමැති වන බෙන්ජමින් නෙතන්යාහුගේ සහෝදරයා වූ ලුතිනල් කර්නල් යොනතන් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුතුව, ගුවන්තොටුපළ ඇතුලට කඩාවැද ප්‍රාණඇපකරුවන් මුදාගෙන තමන්ගේ හමුදා ගුවන් යානය වෙත රැගෙන ඒමේ කාර්යය සඳහා යොමුවූ  "යුනිට් 269" නමින් හැඳින්වුන ඊශ්‍රායල විශේෂ කොමාන්ඩෝ බලකායේ සෙබළුන් 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් , එන්ටැබේ ගුවන්තොටුපළේ තම යානා ගොඩ බැස්සවූ පසු ඒවාට එල්ලවිය හැකි ප්‍රහාර වැලැක්වීම සඳහා කණ්ඩායමක් සහ නැවත පලා යන අතරතුර පසුපස එලවාවිත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම වැළක්වීමට ඒ වන විට එන්ටැබේ ගුවන් පතයේ තිබූ උගන්ඩා ගුවන් හමුදාවට අයත් මිග් යානා විනාශ කිරීම සඳහා කණ්ඩායමක් මෙන්ම මෙහෙයුමෙ සියළුම කටයුතු සම්බන්ධීකරණ කරමින් මෙහෙයුමට අණදීම සඳහා ප්‍රධාන අණදෙන නිළධාරියා වුන බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන් ඇතුළු කණ්ඩායම් සමූහයකින් මේ මෙහෙයුම් බලඇණිය සමන්විත වුනා.

එකක වෛද්‍ය පහසුකම් සහිත වූ බෝයිං 707 වර්ගයේ ගුවන් යානා ද්විත්වයක් සමග හමුදා කණ්ඩය රැගත් ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගමේ නිශ්පාදිත Lockheed C-130 Hercules වර්ගයේ හමුදා ගුවන් යානා 4ක් "ශාම් අල් ශෙයික්" නුවරින් උඩුගුවනට පිවිසුනා. රතු මුහුදට ඉහළින් වූ අන්තර්ජාතික ගුවන් මාර්ගයක් ඔස්සේ ඒ අසල රටවල් එනම් ඊජිප්තු , සුඩාන සහ සෞදි අරාබියානු රේඩාර් පද්ධති මගහැරීම පිණිස අඩි 100කට වඩා ඉහල අහසේ පියාසර කල ගුවන්යානා කෙන්යාවේ නයිරෝබි හරහා උගන්ඩාවේ එන්ටාබේ දක්වා පියාසර කලා.වෛද්‍ය පසුකම් සහිත එක් බෝයිං යානයක් නයිරෝබි ගුවන්තොටුපළේ නවතා තැබූ අතර අනෙක් බෝයිං යානය මෙහෙයුම සිදුවන අතරවාරයේ එන්ටාබේට ඉහල අහසේ සැරිසැරීමට යෙදුනා.

එදා , ඒකියන්නේ ජූලි මාසෙ තුන්වෙනිදා රාත්‍රී 11ට තිත්ත ඝන කළුවරේ ඉතා රහසිගතව ඊශ්‍රායල ගුවන් යානය එන්ටැබේහි ගොඩබෑවා.
කිසිම ගැටලුවක් ඇතිනොවී සියළු බාධක මගහැර ගුවන් තොටුපළට ඇතුලටම යාහැකි වන පරිදි ඊශ්‍රායල සෙබලුන් ඉතා අපූරු උපක්‍රමයක් භාවිතා කරා.ග්‍රීක හමුදා ට්‍රෝයි නුවර ආක්‍රමණය සඳහා යොදාගත් ට්‍රෝජන් අශ්වයාට සමනා ක්‍රමයක් තමයි මෙවර ඊශ්‍රායල හමුදා යොදාගත්තේ.
ඒ නම් ඉඩි අමීන් පැමිණෙන බව අගවමින් උගන්ඩා ආරක්ශකයන් නොමග යවා ගුවන්තොටුපළේ අදාල කොටසට ඇතුළු වීමයි.මේ සඳහා ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් විසින් ඉඩි අමීන්ගේ නිළ රථයට සමාන වූ කළු පැහැ බෙන්ස් රථයක් සහ ඉඩි අමීන්ගේ ආරක්ශක රථවලට සමාන වූ ලෑන්ඩ් රෝවර් රථද ගෙනැවිත් තිබුනා.ඉදිරියෙන් ගමන් ගත් බෙන්ස් රථයේ කොමාන්ඩෝ කණ්ඩායමේ අණදෙන ණිළදාරියා වුන යොනතන් නෙතන්යාහු ඇතුළු කණ්ඩායමක් ගමන් ගත් අතර ඉතිරි සෙබලුන් ඊට පිටුපසින් පැමිණි ලෑන්ඩ් රෝවර් රථවල පැමිණියා.නමුත් අවාසනාවකට ඒ වන විට ඉඩි අමීන් භාවිතා කලේ කළු පැහැ බෙන්ස් රථය වෙනුවට සුදු පැහැ බෙන්ස් රථයක්.ඒ නිසා කළුපාට බෙන්සයෙන් එන්නේ ඉඩි අමීන් නොවන බව දැනගත් උගන්ඩා ආරක්ශකයන් ඊශ්‍රායල හමුදාව ගමන් ගත් වාහන පෙල නැවැත්තුවා.ඒත් යොනතන් නෙතන්යාහුගේ ක්ෂණික නියෝග පරිදි හදිස්සියේ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් සයිලන්සර් සහිත ගිණිඅවි වලින් හඬනොනැගෙන පරිදි  වෙඩිතබා නිහඬවම රහසේම ඒ උගන්ඩා ආරක්ෂකයන්ව ඝාතනය කරා.ඊට පස්සේ මෝටර් රථවලින් බැහැල ගුවන් තොටුපළට ඇතුළු වුන ඊශ්‍රායල සෙබලුන් ඔවුන්ගේ මවු භාෂාව වුන හීබෲ භාශාවෙන් සහ ඉංග්‍රීසි භාශාවෙන්ද තමන් ඊශ්‍රායලය බලඇණියක් වන බවත් වහාම පහත් වෙන ලෙස පැවසුවා.හීබෲ භාෂව තේරෙන ප්‍රාණඇපයේ සිටි යුදෙව්වන් වහාම බිමට පහත්වූ අතර හීබෲ භාෂාව නොතේරුන ත්‍රස්තවාදීන් සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව අන්දමන්දවී සිටියා.ඒ අනුව තවමත් හිටගෙන සිටින පිරිස නියත වශයෙන්ම ත්‍රස්තවාදීන් බව නිගමනය කරපු ඊශ්‍රායල කොමාන්ඩෝ සෙබලුන් දිගට හරහට ඔවුන්ට වෙඩි තැබුවා.ත්‍රස්තවාදීනුත් ප්‍රතිප්‍රහාර එල්ල කරා.ඒ වුනාට මහරෑ අඳුරේම රහසිගත හමුදා කණ්ඩායනක් පැමිණ තමන්ට
වෙඩි තැබීමේ අරමුණවත් වටහා ගැනීමට තරම් කාලයක් නොලද ත්‍රස්තවාදීන් තැබූ වෙඩි වලට එකම ඊශ්‍රායල සෙබලෙකුටවත් කෙස්ගසක තරම්වත් හානියක් කරන්න නොහැකි වුනා.ඒ වුනාට ත්‍රස්තවාදී වෙඩි පහරින් එක් ප්‍රාණ ඇපකරුවෙක් මියගියා.ඒ වගේම ඊශ්‍රායල හමුදා වෙඩි පහරිනුත් එක් මගියෙක් මියගොස් තව අයෙක් තුවාල ලැබුවා.මේ අතරතුර උඩු ගුවනේ තිබූ අනෙක් C-130 ගුවන් යානා ත්‍රිත්වයත් එන්ටැබේහි ගොඩබෑ අතර එයින් බැසගත් එක් හමුදා කණ්ඩයක් යානා හතරටම එන්ටැබේ ගුවන් තොටින් ඉන්දන පිරවූ අතර තවත් කණ්ඩායමක් යානා හතර ආරක්ශා කරමින් සිටියා.ඒ අතර ඉතිරි අනෙක් කණ්ඩායම ගුවන්තොටේ තිබූ උගන්ඩා ගුවන් හමුදාවට අයත් මිග් යානා 11 සම්පූර්ණයෙන්ම විනාශ කරා.ප්‍රාණඇපකරුවන් ගුවන් පථයට ගෙනාපු සෙබළුන් ඔවුන්ව ගුවන් යානටයට ඇතුළු කරමින් සිටියා.නමුත් ඒ අතරේ ගුවන් යානා පාලක කුළුනේ සිටි උගන්ඩා සෙබළුන් විසින් හමුදා කණ්ඩය වෙත අනපේක්ෂිත වෙඩිප්‍රහාරයක් එල්ල කරා.එයින් කොමාන්ඩෝ අණදෙන නිළදාරියා වුන යොනතන් නෙතන්යාහු මියගියා.තම අණදෙන්නා ඝාතනය කිරීමට පිළිතුරු දීමක් ලෙස ඊශ්‍රායල සෙබළුන් මැෂින් තුවක්කු හා රොකට් වෙඩි ප්‍රහාර වර්ශාවක් ගුවන් පාලක කුළුණ වෙතත් සැඟවී සිටි අනෙක් උගන්ඩා සෙබළුන් වෙතත් එල්ල කරා.මුල් සැලසුමේ නොවූවත් හදිස්සියේ උද්ගත වුන තත්වයක් මත එසේ ගුවන් තොටුපළට දරුණු ප්‍රහාරයක් එල්ල කල ඊශ්‍රායල සෙබළුන් ප්‍රාණ ඇපකරුවන්ද සමග නැවත තමන්ගේ යානාවලට නැගී ගුවන් තොටුපළෙන් පැන අහසට නැගී නැවතත් කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා.එතැනින් ඊශ්‍රායලයට ගමන් ඇරඹුවා.සතුරා අන්දමන්ද කරමින් ඉතාම සාර්තක විදියට අවසන් කරපු මෙහෙයුම කොච්චර ඉක්මනට සිදුවුනාද කියනවනම් සම්පූර්ණ මෙහෙයුම සඳහාම ගතවුනේ තිබුනේ විනාඩි 53ක් පමණයි.

ඊශ්‍රායලයේ මේ මෙහෙයුම මුළු ලෝකයාම පුදුමයට පත්කරා.ඇමරිකාව එංගලන්තය වගේ බලවත් රටවල් පවා මෙය සිදුකල නොහැකි මෙහෙයුමක් බව පැවසුවා.කොටින්ම ඇමරිකාව පවා මෙම ගලවාගැනීමේ මෙහෙයුමට දායක වුන ඊශ්‍රායල කොමාන්ඩෝ කණ්ඩායම අනුකරණය කරල ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂිත හමුදා කණ්ඩායමක් නිර්මාණය කරා.ඉරානය තමන්ගේ මෙහෙයුම් සඳහා ඊශ්‍රායල හමුදා සහය පැතුවා.
විශේෂයෙන්ම කිසිම ආලෝක සංඥාවක්වත් නැතුව අඳුරේම රහසිගතව ගුවන්‍ යානා ගොඩ බැස්සවීම ලොව කිසිම ගුවන් නියමුවෙකුට කලනොහැක්කක් ලෙස සැලකුනා.ඒ අනුව ඊශ්‍රායල ගුවන් නියමුවන් දක්ෂන්ගෙත් දක්ෂයන් විදියට වීරත්වයට පත්වුනා.මෙහෙයුමට දායක වූ කොමාන්ඩෝ සෙබලුන් විශිෂ්ටන්ගෙත් විශිෂ්ටයන් බවට පත්වුනා.ඔවුන්ට ගරු නම්බු නාම පදක්කම් හිමිවුනා.
ඊශ්‍රායල හමුදාව ලෝකෙ දක්ශතන හමුදාව කියලා කියන්නේ අන්න ඒ විශිෂ්භාවය නිසයි.


            මෙහෙයුමට එක්වූ හමුදා සෙබළුන්

  සිද්ධිය පාදක කරගෙන නිර්මාණය වුන 7 days in Entebbe නම් චිත්‍රපටිය

  ප්‍රධාන අණදෙන්නා වූ බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෑන් ශැම්රෝන්

 මෙහෙයුම අතරතුර මියගිය කොමාන්ඩෝ ඇන්දෙන්නා වූ යොනතන් නෙතන්යාහු

   මෙහෙයුම සඳහා භාවිතා කල බෙන්ස් රථය



         පැහැරගැනීම සිදුකල ඇල්ෆ්‍රඩ් බෝස්

              පැහැරගැනීම සිදුකල සිව්දෙනා

                  එන්ටැබේ ගුවන්තොටුපළ

       ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් විනාශවූ ගුවන් පාලන කුළුණ විනාශ වීමට පෙර

  ඉඩි අමීන් ප්‍රාණඇපකරුවන් සමග කතාබහ කරමින්

   මෙහෙයුම සාර්තකව නිමකල හමුදාව නැවත ඊශ්‍රායලයට පැමිණෙමින්

   බේරාගැනුනු පිරිස් සිය ඥාතීන් මුණ ගැසෙමින්

    බේරගත් පිරිස ඊශ්‍රායලයට ගොඩබසින අවස්තාව

මෙහෙයුමේදී මියගිය තම සොහොයිරාගේ සොහොන අසල සිටින වර්තමාන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු



 |Letterconik
 |21-04-2020








Saturday, April 18, 2020

මිනිස්සුන්ට උදව් කරලා ෆොටෝ ගන්නම ඕනෙද ???

ජීවිතේට පාඩමක්...............................

1910 අවුරුද්දේ එක දවසක ඇමරිකාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරික කටයුත්තක් සඳහා වෙනත් නගරයකට යමින් හිටියා.මේ ව්‍යාපාරිකයාගේ රියදුරා වුනේ "වුඩ් මැකී" කියල කෙනෙක්.

ඉතින් මේ දෙන්නා අතරමගදී දිවා ආහාරය සඳහා වාහනය නවත්තලා සැන්ඩ්විච් කමින් සිටියා.මෙහෙම ඉන්න වෙලාවේදී ඒ ප්‍රදේශයේ හිටපු පොඩි කොලු රංචුවක් පරණ ටයර් වගයක් පෙරලමින් සෙල්ලම් කරමින් ඒ මේ අත දුව යමින් උන්නා.ඉතින් මේ කොලු රංචුව අර කලින් කිව්ව ව්‍යාපාරිකයාගේ වාහනය ගාවිනුත් ටයර් පෙරමලමින් දුවගෙන ගියා.ව්‍යාපාරකයත් ,රියදුරත් මේ පුංචි එවුන්ගේ සෙල්ලම දිහා බලාගෙන හිටියා.
හැබැයි ඒ අතරින් එක ළමයෙක් ගාව මේ ව්‍යාපාරිකයාගේ ඇස නැවතුනා.ඒ ළමයි අනික් අයට වඩා ටිකක් වෙනස්.වෙනස් කියන්නේ එයා ආබාධිතයි.කකුලෙ පොඩි ඇදයක් තියෙනවා.ඒ නිසා අනික් ළමයි එක්ක එක පිම්මට එහෙ මෙහෙ දුවලා සෙල්ලම් අරන්න එයාබ බැහැ.ඉතින් අනික් ළමයි ටයර් පෙරලමින් දුවද්දී මේ ආබාධිත ළමයා හෙමීට කොරගසමින් පිටිපස්සෙන් ඇවිදගෙන ගියා.

ඉතින් මේ ව්‍යාපාරිකයා තමන්ගේ වාහනෙන් බැහැලා අර කොර ගසමින් ඇවිදින පිරිමි ළමය ගාවට ගියා.ගිහින් ඒ ළමයගෙන් විස්තර ඇහුවා.ජිම් නම් වූ වයස අවුරුදු 8ක් වුන මේ පොඩි පිරිමි ළමයට කකුලෙ ඇදය නිසා අනික් ළමයි එක්ක දුවල පැනල සෙල්ලම් කරන්න බැරි බවත් කකුලෙ හැඩේට ගැලපෙන්න සපත්තු කපන්න වෙන බවත් දැනගත්තා.

ඒ දෙබස එතනින් ඉවර ඉවර වුනා.ව්‍යාපාරිකයා තමන්ගේ කටයුත්ත බලා පිටත් වුනා.ළමයා අනික් ළමයි එක්ක ආයෙම සෙල්ලමේ.

ඊට පැය කීපයකට පස්සේ "වුඩ් මැකී" නම් වුන අර ව්‍යාපාරිකයාගේ රියදුරා ජිම් නම් වයස අවුරුදු 8ක ආබාධිත පිරිමි ළමයා සොයාගෙන මේ ප්‍රදේශයට ආයෙම ආවා.ඖෂධ සැලකින් අදාල ළමයගේ ලිපිනය හොයාගෙන එයාලගේ ගෙදරට ගියා.ගිහින් තමන් ධනවත් මහත්මයෙකුගේ නියෝජිතයෙක් බවත් අනන්‍යතාව හෙලිකිරීමට අකමැති තමන්ගේ හාම්පුතා පුංචි ජිම්ගෙ ආබාධිත පාදය සුවකර දීමට කැමැත්තෙන් පසුවන බවත් පැවසුවා.ඉතින් එතනදී ඇතිකරගත්තු එකඟතාව අනුව වෙනත් ප්‍රාන්තයක තියෙන සුඛෝපභෝගී රෝහලක ජිම්ව යොමු කරනවා.
සැත්කම සාර්තකව නිමා කරලා සුව වුන ජිම්ව ආපහු එයාගේ ගෙදරටම එක්කන් යනවා.දැන් ජිම්ට ඇවිදින්න පුළුවන්.ඒ නිසා එයත් එයාගේ පවුලේ අයත් කලින් කවදාවත් අත්නොහැකපු තරම් සතුටකින්.මේ හැම දෙයකම තිරය උඩ පෙනී සිටි කෙනා වුනේ වුඩ් මැකී නම් රියදුරා.ඒත් තිරය පිටිපස්සේ හිටියේ ඔක්කොම මූල්‍ය අනුග්‍රහයන් දැරුවේ වුඩ්ගේ හාම්පුතා වුන අර ධනවත් ව්‍යාපාරිකයා.සැත්කම සාර්තක වුන බවත් ජිම් නම් කොලුවා දැන් සතුටෙන් දුව පැන සෙල්ලම් කරනවා කියලත් දැනගත් මේ ධානපතියා ජිම් සහ පවුල වෙනුවෙන් තවත් දෙයක් කරන්න තීරණය කරා.වුඩ්ව ආපහු ජිම්ගේ ගෙදරට යවලා ඊලඟ නත්තලට ජිම්ගේ පවුලේ ඔක්කොටම අවශ්‍යය සපත්තු අරන් දුන්නා.ඒක තමයි ජිම් සහ පවුල වෙනුවෙන් මේ නම් ගම් නොකී අප්‍රකට ධානපතියා කරපු අවසාන පරිත්‍යාගය.ඒ ජිම්ලා කාගෙවත් මත යැපෙන්නන් වෙනව දකින්න ඔහු තුල තිබුන අකමැත්ත නිසයි.

ඉතින් අවුරුදු ගානකට පස්සේ මේ ජිම් කියන ළමයා සාර්තක ව්‍යාපාරිකයෙක් වෙනවා.ඒත් තමන්ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කරපු ඒ අත්භූත ධානපතියා කවුරුන්දැයි ජිම් කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ.ඒක ජිම්ට සදාකාලික රහසක් වුනා.
ඇත්තටම කවුද මේ ධානපතියා..?? එයා තමයි "ෆෝඩ්"(Ford) මෝටර් රථ සමාගමේ නිර්මාතෘ වගේම ඒකෙ අයිතිකාරයත් වුන කෝටිපති ව්‍යාපරික "හෙන්රි ෆෝඩ්".

හෙන්රි ෆෝඩ් තමන්ගේ ජීවිත කාලය පුරාම මේ වගේ අප්‍රකට , අප්‍රසිද්ධ ධන පරිත්‍යාගය කරල තියෙනවා.ඒක තමයි එතුමාගේ ආත්ම තෘප්තිය වුනේ.

" මුදල් ඉපයීම පමණක් සිදුකරන ව්‍යාපරයක් කියන්නේ දුප්පත් ව්‍යාපාරයක්"..එහෙම තමා හෙන්රි ෆෝඩ් කිව්වේ.හෙන්රි ෆෝඩ් මුදල් හම්බ කරා ඒවා වියදම් කරා අසරණ මිනිස්සුන්ට පරිත්‍යාග කරා ,උදව් උපකාර කරා.ඒත් චායාරූප අරන් ප්‍රසිද්ධ කරේ නෑ.පත්තර සඟරා වල දාලා ජනප්‍රිය වෙන්න උත්සහ කරේ නෑ.ඒ ජනප්‍රියත්වය සහ අව්‍යාජ සතුට එතුමාව හොයාගෙන ආවා.

ඕනම කෙනෙක් ආර්මාර්තකාමි නොවිය යුතුයි.පරාර්තකාමී වියයුතුයි.සතුට සහ ආදරය බෙදාගන්න ඕනේ.අනෙකා වෙනුවෙන්  සේවය කරන්න පුරුදු වෙන්න ඕනේ.
හැබැයි උදාර මිනිසෙක් වගේ නිහඬවම.නිහතමානීව...
හරියට හෙන්රි ෆෝඩ් වගේ..

|Letterconik
|19-04-2020


Thursday, April 16, 2020

ජැක්-රෝස් ආදර කතාව ඇත්තමද..???


1912 අවුරුද්දේ අප්‍රේල් මාසේ 15 වෙනිද පාන්දර යාමයේ "වයිට් ස්ටර් ලයින්" නැව් සමාගටම අයිති , ඒවන විට ලෝකෙ තිබ්බ ලොකුම මගී ප්‍රවාහන නෞකාව වුන වගේම සර්වබලධාරි දෙවියන් වහන්සේටවත් ගිල්ලවන්න බැරි විදියේ නැවක් විදියට අධිතක්සේරුවකටත් භාජන වෙලා තිබ්බ Titanic නෞකාව ජීවිත 1500ක් එක්ක සීතල අත්ලාන්තික් සාගර පතුලේ මිහිදන්වෙනවා.මේ සිදුවීම ලෝක ඉතිහාසයේ වඩාත් ඛේදනීයම සිදුවීමක්.දුක්බර මතකයක් ලෝකෙට ඉතුරු කරපු සිද්දියක්.
(අනතුර හා නෞකාව සම්බන්ද සියලුම තොරතුරු කලින් ලිපියේ ලියපු නිසා මේකෙදි ඒ ගැන සඳහන් කරන්නේ නෑ).

මේ සිදුවීම අලලා පොත්-පත් , කවි ගී රචනා වගේම මාලා නාටක සහ චිත්‍රපටත් දුසිම් ගණන් වලින් බිහිවුනා.ඒත් ඒ සියල්ලම පරයා ඉදිරියෙන්ම තියෙන නිර්මාණය තමයි 1997 දී එළිදැක්වුනු ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුනු, IMDb සහ රොට්න් ටොමැටෝස් අගයන් පිළිවෙලින් 7.8ක් සහ 89%ක් හිමිකරගෙන තියෙන "Titanic" චිත්‍රපටිය.ඔව්...ඒ අපි බලපු, අපි කතාබහ කරන වගේම අපි ආදරේ කරන චිත්‍රපටිය.ජැක් සහ රෝස් දෙදෙනා සදාතනික ප්‍රේමවන්තයන් බවට පත් කරපු චිත්‍රපටය.

Titanic චිත්‍රපටයේ පිටපත ලියන්නෙත් ජේම්ස් කැමරන්මයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන රෝස්ගේ සහ ජැක්ගේ චරිත රඟ දැක්වූයේ පිළිවෙලින් 'කේට් වින්ස්ලට්' සහ 'ලියනාඩෝ ඩිකැප්‍රියෝ' විසිනුයි.මහළු රෝස්ගේ චරිතය රඟ දක්වන්නේ 'ග්ලෝරියා ස්ටුවර්ට්' විසින්.

ජැක්ගේ චරිතය සඳහා කැමරන්ගේ මනසේ නළුවන් කීප දෙනෙක්ම මැවී තිබුනා.ඒත් අවුරුදු 21ක තරුණයෙකුගෙ චරිතයක් කිරීමට ඔවුන් සියල්ල වයසින් වැඩි බවක් පෙනුනා.ඒ වගේම මේ චරිතට සුපිරි නළු 'ටොම් කෲස්'ගේද අවධානය යොමු වුනා.නමුත් ටොම් කෲස්ගේ අයකිරීම ඉතා වැඩි වූ නිසා මේ සඳහා " එවකට නවක නළුවෙකු වූ 'ලියනාඩෝ ඩිකැප්‍රියෝ' ව තෝරාගත්තා.

රෝස්ගේ චරිතය සඳහාත් ඒ වගේන විවිධ නිළියන්ගේ නම් නිර්දේශ වී තිබුනත් ඔවුන් විසින් ඒ චරිත ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ අදාල චරිතය සඳහා පුරප්පාඩුවක් ඇතිවුනා.මේ ගැන දැනගත් කේට් වින්ස්ලට් එවකට ඇය ජීවත් වුන එංගලන්තයේ ඉඳලා ඇමරිකාවේ ඉඳපු කැමරන්ට දිගින් දිගටම ලිපි මගින් තමන් රෝස්ගේ චරිතය භාර ගැනීමට කැමැත්තෙන් ඉන්නා බව කේට් විසින් දැන්වූවා.ඒත් ජේම්ස් කැමරන්ගේ හිතේ කේට් වෙනුවෙන් ඉඩක් තිබුනේ නෑ.කොහොමහරි දවසක කේට්ව ගෙන්න ගන්නවා එයාගේ රඟපෑම් පරීක්ෂා කරල බලන්න.ඩිකැප්‍රියෝ එක්ක කරපු තිර පරීක්ෂණයෙන් පස්සේ ඩිකැප්‍රියෝ නම් දක්ෂ තරුණයා ගැන පැහැදුන කේට් වින්ස්ලට් කැමරන්ට පැවසුවේ තමන්ව තෝරා නොගත්තත් ඔහුව අනිවාර්යයෙන්ම තෝරාගන්නා ලෙසයි.
කෙසේහෝ කේට්ගේ දැඩි උනන්දුව මත රෝස්ගේ චරිතය සඳහා ඇයව තෝරාගන්නවා.එවකට එතරම් ජනප්‍රිය නොවුන මේ තරුණ නළු නිළි දෙපල චිත්‍රපටිය ඉතාම සාධාරණක් කරනවා.ජැක් රෝස් ආදර කතාව සදාතනිකව මිනිස් හදවත් ඇතුලේ තැන්පත් වීමෙන්ම ඒ කරුණ පැහැදිලියි.
චිත්‍රපටිය හැම අතින්ම වගේ ඉතාම සාර්තකයි.චිත්‍රපටියේ සංගීතය පවා ඉතාම විශිෂ්ටයි.අති දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුන ජේම්ස් හෝනර් තමයි Titanic film එකේ සංගීතයේ නිර්මාපකයා.සංගීත අධ්‍යක්ෂණය සඳහා කැමරන් මුලින්ම තෝරාගත්තේ ගායිකා Enyaව.නමුත් ඇය එය ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ කැමරන්, ජේම්ස් හෝනර් දිහාවට හැරෙනව.කැමරන්ට ඕනෙ වෙන්නේ වචන රහිත මිනිස් කටහඬින් ගැයෙන තේමාවක් තමයි ප්‍රධාන තේමාව වෙනුවට.Enyaගෙ වගේ ශෛලයක් ඒ වෙනුවෙන් ඕනෙ වෙනවා.මුලින් Enyaව නිර්දේශ කරන්න හේතුවත් ඒකමයි.කොහොමහරි හඬ පරීක්ෂණ ගණනාවකින් පස්සේ නෝවේජියානු ගායිකා Sissel Kyrkjeboව මේ සඳහා තෝරාගැනෙනවා.ඉතාම ආදරණීයව ගැයෙන Hymn to the sea නම් තේම සංගීත කණ්ඩය වර්ණවත් වන්නේ ඇයගේ හඬින්.
ඒත් සංගීත අධ්‍යක්ෂක ජේම්ස් හෝනර්ට ඕනෙ වෙනවා සිංඳුවක්.ඉතින් එයා රහසේම ගීතයක් ලියලා සෙලින් ඩියෝන්ගේ කටහඬින් ඒක ගායනය කරවනවා.මේ සිංඳුව කැමරන්ගෙත් හිත් ගන්නවා.ඒ නිසා කැමරනුත් මේ ගීතය චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය විදියට යොදාගන්න කැමති වෙනවා.අන්න ඒ සිංඳුව තමයි My Heart will Go On නමින් ලෝක ප්‍රකට වුනෙ.කොච්චර ප්‍රසිද්ධ වුනාද කියනව නම් අදටත් චිත්‍රපටි ගීත අතරින් ලෝකෙ වැඩිපුරම අලෙවි වුන ගීතය තමයි ඒ.

ඉතින් ඩොලර් මිලියන 200ක් වියදම් කරල හදපු චිත්‍රපටිය මුලින්ම 1997 නොවැම්බර් 01 වෙනිදා ටෝකියෝ වලදී තමන්ගේ ප්‍රථම දර්ශන වාරය පවත්වනවා.ඊට මාසෙකට පස්සේ දෙසැම්බර් 01 වෙනිදා ලෝකේ අනික් රටවල් වලත් මේක තිරගත වීම ආරම්භ කරනවා.
ඉතින් අද වෙද්දී ටයිටැනික් චිත්‍රපටිය ලෝකෙ පුරාම ප්‍රදර්ශනයෙන් ලබපු ආදායම ඩොලර් බිලියන දෙකටත් වැඩියි.ලෝකෙ වැඩිම ආදයමක් ලබපු චිත්‍රපටි අතරින් Titanic තියෙන්නේ තෙවන ස්ථානයේ.ඒ ජේම්ස් කැමරන්ගේම චිත්‍රපටියක් වන Avatar චිත්‍රපටියට සහ Avengers චිත්‍රපටි මාලාවේ අවසාන චිත්‍රපටිය වූ Avengers:End Game යන සිනමා පටවලට පිළිවෙලින් දෙවනි සහ පළවෙනි ස්‍ථාන හිමිකරදෙමින්.
ඒ වගේම ලෝක ඉතිහාසයේ වැඩිපුරම ඇකඩමි සම්මාන නිර්දේශයන් ලද චිත්‍රපටිය වෙන්නෙත් Titanic.ඒ ඇකඩමි සම්මාන 15ක් සඳහා නිර්දේශ වෙමින්.ඒ වගේම ඒ නිර්දේශයන්ගෙන් 11ක්ම දිනාගන්න සමත් වෙනවා.ඒ වැඩිපුරම ඇකඩමි සම්මාන දිනාගත් චිත්‍රපටිය බවට පත්වෙමින්.අදටත් එම වාර්තාව බිඳින්න කිසිම චිත්‍රපටයකට පුළුවන් වෙලා නෑ.ඒ කියන්නේ Titanic කියන්නේ වැඩිම ඇකඩමි සම්මාන දිනපු චිත්‍රපටි තුනෙන් එකක්.ඇකඩමි සම්මාන 11 බැගින් දිනාගෙන Titanic හා සම තැන් ගන්නේ Ben Hur සහ Lord of the Rings තෙවන චිත්‍රපටිය වූ Lord of the Rings:The Return of the King යන චිත්‍රපටියි. 70 වන ඇකඩමි සම්මාන රාත්‍රියේදී Titanic ඔස්කා සම්මාන වැස්සකට මේ වගේ තෙමුනත් අවසානාවකට හොඳම නිළියට නිර්දේශ වුන කේට් වින්ස්ලට්ටත් රෝස් ආච්චි ලෙස රඟපාල හොඳම සහය නිළියට නිර්දේශ වුන ග්ලොර්යා ස්ටුවර්ට්ටත් ඒ රාත්‍රියේ ඇකඩමි සම්මාන දෑත් මානයේ තිබී ගිලිහී යනවා.
(කේට් වින්ස්ලට් 2009 අවුරුද්දෙදී The Reader චිත්‍රපටියේ 'හනා ෂ්මිත්' චරිතය උදෙසා හොඳම නිළිය විදියට ඇකඩමි සම්මානා දිනනවා.ජැක්ට පනපොවපු ඩිකැප්‍රියෝ 2016දී The Revenant චිත්‍රපටය උදෙසා හොඳම නළුවා සම්මාය දිනනවා)

Titanic කොච්චර සාර්තකද කිව්වොත් සැබෑ Titanic සිදුවීමටත් වඩා චිත්‍රපටිය මිනිස් හදවත් ඇතුලේ පැලපදියම් වෙලා.ප්‍රේක්ෂක හදවත් ඇතුලේ ඒ චරිත සදා ජීවමාන තත්වය ලබලා.අවුරුදු 23ක් ගිහිල්ලත් ජැක්-රෝස් මනඃකල්පිත චරිත කියල පිළිනොගන්නා තරමටම කතාව හිත් ඇතුලෙ ජීවමාන වෙලා.
ඒක තමයි සිනමාකරුවෙක් සතු වෙන්න ඕන විශිෂ්ටභාවය.
ඇත්තම ජැක් රෝස් දෙන්න කැමරන් මවපු මනඃකල්පිත චරිත දෙකක්.ඒ අනතුරේ වේදනාකාරී බව මිනිස් සිත් තුලට කාවද්දන්න ආදරය සහ විරහව කියන කාරණා භාවිතා කරපු අති සාර්තක අවස්තාවක් විතරයි.ඒත් මේ දෙන්නෑ හැරෙන්න අනික් ගොඩාක් චරිත , සෑම සිදුවීමක් වගේම සීයට සීයක් වගේම ඇත්තට වුන දේවල් තමයි.කොටින්ම නෞකාවේ නිර්මාතෲ වුන තෝමස් ඇන්ඩෲස් , නැව් සමාගම් හිමිකරු , කෝටිපතිනියක වුන මාගරට් මොලී බ්‍රවුන් වගේ සැබෑවටම Titanic ඛේදවාචකයට මුහුණ දුන්න චරිත ගොඩාක් චිත්‍රපටියේ ඒ විදියටම නිරූපණය වෙනවා.ඒ පෙනුමින්ම ඔවුන්ව චිත්‍රපටයෙන් නිරූපණය වෙනවා.
ඇත්තටම සිද්දවුන පොඩි සිදුවීමක් පවා චිත්‍රපටියේ පෙන්නනවා.උදාහරණයක් විදියට චිත්‍රපටියේ තියෙන, අර බෝට්ටු වලට මිනිස්සු ඇතුලත් කරද්දී ඇතිවන කලබලය පාලනය කරන්න නැවේ කාර්යමණ්ඩල නිළධාරියෙක් වෙදි තියෙන සිද්දිය පවා ඇත්තටම වුන එකක්.ඒ විතරක් නෙමේ ෆිල්ම් එකේ රෝස් කියන විදියට වතුරට වැටුන 1500න් හය දෙනෙක් බේරගන්නවා.ඒකත් ඇත්තතම වුන එකක්.ඒත් ඒ බේරගන්නේ 6ක් නෙමේ.5ක්.ඉතින් ඉතුරු වුන එක්කෙනා රෝස් නම් මනඃකල්පිත චරිතය.

ජැක් සහ රෝස් ඇත්ත අය නෙමේ කියලා ගොඩාක් අය පිළිගන්න අකමැතියි.ඒ ඒ තරම් ඔවුන් ඒ චරිත වලට ආදරය කරන නිසා.

සමහර වාර්තාවල සඳහන් වෙනවා වයසක රෝස් කියන්නේ ඇත්ත කෙනෙක් කියලා.ඒ නිසා රෝස් කියන්නේ ඇත්තම චරිතයක් කියලා ගොඩක් අය පිළිගන්නවා.ඒ කතාව වැරදියි.රෝස් ආච්චිගේ චරිතයට ආභාශය ඇත්තටම කෙනෙක්ගෙන් ගත්ත බව ඇත්ත. චරිතය ගොඩනගන්න අවශ්‍ය දත්ත විතරයි.සරලවම ඒ අනුකරණය කිරීමක්.මොකද ඔය ඇත්ත කෙනාට Titanic නැවත් එක්ක කිසිම සම්බන්දයක් නෑ.ඇය වියපත් වූ කලාකාරියක්.ඒකයි ජේම්ස් කැමරන් වයසක රෝස් චරිතය මවද්දී ඇයව හිතෙන් මවාගන්නේ.මොකද චිත්‍රපටියට අනුව රෝස් කියන්නෙත් වියපත් වුන කලාකාරියක්.

ඒ වගේම චිත්‍රපටියේ සඳහන් වෙම අර මාලය.Heart of the Ocean හෙවත් සාගරයේ හදවත නම් නිල් දියමන්ති මාලය.ඒක වුනත් ඇත්ත එකක්. ඒත් ඒක Titanic එක්ක සම්බන්ද වෙන්නේ film එකේ පෙන්නන විදියට නෙමේ.මොකද ඒක ඇත්තටම දියමන්ති එකක් නෙමේ.ඒ වගේම ඇත්ත මාලය නිල් දියමන්තියකුත් නෙමේ.දහසය වන ලුවී රජතුමා එක්ක කිසිසම්බන්දෙකුත් නෑ. හදවතක හැඩය වුනෙත් නෑ.ඒ වගේම ඒකේ නමත් Heart of the Ocean නෙමේ.ඒ වගේම ඒක අනතුරෙන් අතුරුදහන් වුනෙත් නෑ film එකේ පෙන්වන විදියට.ඒක අයිතිව තිබ්බ 19 හැවිරිදි 'කේට් ෆ්ලෝරන්ස් පිලිප්ස්' නම් වූ විවාහක කාන්තාව බේරෙද්දී ඒ මාලෙත් එයා එක්කම බේරෙනවා.

ඉතින් Titanic කියන්නේ ඇත්ත සිද්දි මත පදනම් වුන චිත්‍රපටියක් වුනත් ජැක් රෝස් චරිත සහ එයාලා එක්ක සම්බන්ද ඔක්කොම දේවල් මනඃකල්පිතයි.නමුත් අනික් සිද්දි ඔක්කොම වගේ ඇත්ත.හිතාගන්න බැරිතරම් ඇත්ත.ඒකයි ඒ කතාව එච්චරම සුවිශේෂී වෙන්නේ.

ඒත් අපිට මෙහෙම හිතන්න පුළුවන්.ඒ තමයි නැවේ හිටපු සියගානක් විවාහක අවිවාහක ප්‍රේම වන්තයන්ට අත්වුන ඛේදනීය ඉරණම මේකමයි කියලා අපිට හිතන්න පුළුවන්.මොකද බෝට්ටු වලට නග්ගද්දී ප්‍රමුඛස්ථානය දෙන්නේ කාන්තාවන්ට සහ ළමයින්ට.එත්කොට ඒ කාන්තාවන්ගේ ප්‍රේම වන්තයන් , ඒ ළමයින්ගේ පියවරුන් ගිලෙන නැවේ හිටියා වෙන්න ඕන.ඉතින් ඔවුන් තමන්ගේ ආදරණීය පෙම්වතිය , බිරිඳ , දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැපකරා.හරියට රෝස් වෙනුවෙන් ජැක් කරාවගේ.අඩුම ජැක්ට රෝස්ට ස්තූති කරන්න ,තමන් ඇයට කොච්චර ආදරේද කියන්න අවස්තාවක් හරි හම්බුනා.ඒත් ගිලෙන නැවේ නැවතිලා තමන් වෙනුවෙන් වැය වෙන්න තිබ්බ ඉඩ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් පරිත්‍යාගය කරලා නිහඬවම මරණය වැළඳගත්තු ඒ සැබෑ ආදරණීය ප්‍රේමවන්තයන්ට , පියවරුන්ට එහෙම අවසාන අවස්තාවක්වත් ලැබෙන්න නැතුව ඇති.

ජේම්ස් කැමරන් තෝරගන්නේ මෙන්න මේ පොදු ඛේදවාචකය.ඒක ලස්සනට පැහැදිලිව පෙන්නන්න තමා එයා ජැක්-රෝස් නම් ආදරවන්තයන් නිර්මාණය කරන්නේ.අර සියගානකගේ වේදනාවන් කැටි කරලා ජැක්-රෝස් තුලින් පෙන්නුව එක තමා ජේම්ස් කැමරන් කරන්නේ.ඒ කියන්නේ ඇත්තටම ජැක්-රෝස් කියලා දෙන්නෙක් නොවුනත් ඉතිහාසයේ නම් නොකියවුනු , නම් නොලියවනු ලෝකයාගෙන් අමතක වෙලාගියපු ජැක්ලා රෝස්ලා සියගානක් එදා රෑ ඒ ඛේදවාචකයට මුහුණ දුන්නා.කැමරන් තෝරගන්නේ අන්න ඒ කුලකයෙන් එක නියැදියක්.ඒ නියැදිය පෙන්වන්න ගොඩනගපු මනඃකල්පිත චරිත ද්විත්වය තමා ජැක් රෝස්.
ඉතින් අපි අඬන වැලපෙන ජැක් රෝස්ට වඩා වේදනාවක් දරාගෙන මැරුණ , මැරි මැරී ජීවත් වුන පිරිසක් එදා රාත්‍රියේ අත්ලාන්තික් සාගරයේ සීතල ජල තලය මතදී වෙන්වුනා.ඔන්න ඕකයි ඇත්තම කතාව.
කැමරන්ගේ නිර්මාණය ඒ අතින් ඉතාමත් සාර්තකයි.ඇත්තටම සාර්තකව වැඩියි.ඒ කොච්චරක්ද කියනවා නම් ජැක් රෝස් නම් මනඃකල්පිත චරිත ඇත්තම අය කියලා හිතෙන තරමටම ඒක සාර්තකයි......


|Letterconik
|16 - 04 - 2020








Tuesday, April 14, 2020

ටයිටැනික් කඳුළු මතකය

අදින් වසර 108කට පෙර සිදුවූ සමුදුරේ ඛේදවාචකය........................................

අදින් වසර 108කට පෙර එනම් 1912 අප්‍රේල් මාසේ 14 වෙනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන් සකල ශ්‍රීයෙන් යුතුව අවුරුදු සිරිය සමරද්දී අත්ලාන්තික් සාගරයේ සීතල ජලතලය මත මහත් වූ ව්‍යසනයක් විදුවුනා.ඒ එවකට ලොව බිහිවතිබූ විශාලම මගී ප්‍රවාහන නෞකාව ජීවිත 1500ක් සමග අත්ලාන්තික් සාගර පත්ලේ මිහිදන් වීමේ සිදුවීමයි.ලෝක ඉතිහාසයේ බිහිසුනුම නාවික අනතුර ලෙස අදටත් සැලකෙන මේ අඳුරු ඉරණමට මුහුණ දුන්නේ වයිට් ස්ටර් ලයින් නම් සමාගමට අයත්,සමුදුරේ දැවැන්තයා ලෙසින් නාමය ලද මෙන්ම දෙවියන් වහන්සේටවත් ගිල්ලවිය නොහැකි නැවක් ලෙස අධිතක්සේරුවකට භාජනය වූ ටයිටැනික් නම් නෞකාවයි.
මේ ඒ ඛේදවාචකයේ කතාන්දරයයි...

විසිවන සියවසේ මුල් භාගය අත්ලාන්තික් සාගරයේ මුහුදු මාර්ග ඔස්සේ මගී ගමනාගමනය ඉතා ඉහළ ලාභයක් උපයන ව්‍යාපාරයක් වුනා.මෙහි ආදායම් ප්‍රධාන වශයෙන් බෙදී ගියේ නැව් සමාගම් දෙකක් අතරයි.ඒ එකිනෙක තරඟකාරී සමාගම් වූ "වයිට් ස්ටර් ලයින්" (White Star Line)සහ "කුනාඩ් ලයින්" (Cunard Line) නම් නැව් සමාගම් ද්විත්වයයි.
1907 ශ්‍රීස්ම සෘතුවේදී Cunard Line නැව් සමාගම නාවික ක්ෂේත්‍රයට වඩා වේගවත් සුපිරි මගී ප්‍රවාහන නෞකා ද්විත්වයක් වූ Lucitania සහ Mauretania නම් නෞකා හඳුන්වා දෙනවා.මේ වේගවත් නෞකා එවකට අදාල ක්ෂේත්‍රයේ පෙරලිකාරයන් දෙදෙනෙක් වුනේ වඩාත් ආකර්ශනයක් තමන් වෙත නතුකරගනිමින්.Cunard line සමාගමේ මෙම ප්‍රබල ඉදිරි පිම්ම ඔවුන්ගේ ප්‍රතිවාදියා වුන White Star Line නැව් සමාගමට ඉතා වේදනාකාරී පහරක් වුනා.ඉතින් මේකට පිලිතුරු දැක්වීමක් විදියට ලුසිටානියා සහ මෞරටානියා නම් වේගවත් නෞකා එවකට දිනාතිබූ ආකර්ශනය තමන් වෙත හරවා ගැනීමට සමත් අති සුඛෝපභෝගී නෞකාවක් සෑදීමට එවකට වයිට් ස්ටර් ලයින් සමාගම් ප්‍රධානියාව සිටි "ජේ. බෲස් ඉස්මේ" (J. Bruce Ismay) මහතා තීරණය කරනවා.
වයිට් ස්ටාර් ලයින් සමාගමේ නැව් නිර්මාණය කෙරුනේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පිහිටාතිබූ "හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් නෞකා නිශ්පාදන සමාගම" විසිනුයි. ඉතින් වයිට් සටාර් ලයින් ප්‍රධානී ජේ.බෲස් හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් සමාගම් ප්‍රධානී විලියම් පියරේව මුන ගැසෙන්නේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටයි.සාකච්ඡාව අවසානයේදී Cunard line සමාගමේ කැපී පෙනෙනම ලක්ෂනය වූ වේගවත් බව වෙනුවට නව නෞකාව නිර්මාණයේදී  සුඛෝපභෝගීත්වයට ප්‍රධාන තැනක් දීමටත් cunard line නෞකා ද්විත්ව‍ය වෙනුවට "ඔලිම්පික්" , "බ්‍රිටැනික්" සහ "ටයිටැනික්" නමින් යෝධ නෞකා ත්‍රිත්වයක් සෑදීමටත් තීරණය කෙරුනා.

මේ සාකච්ඡා වටයෙන් තෙමසකට පස්සේ එනම් 1909 මාර්තු මාසේ 31 වෙනිදා ඔලිම්පික් සහ ටයිටැනික් නෞකා ද්විත්වයේ නිර්මාණ කටයුතු ආරම්භ වුනා.මේවා ඒ වන විට නිර්මාණය කරමින් තිබූ ලොව විශාලතම නෞකා.ඉතින් මේ යෝධ සහෝදර නෞකා ද්විත්වය ඒවා සඳහාම නිර්මාණය කල විශේශිත යෝධ නාවිකාංගනයක එකිකෙන ආසන්නෙයේ තමා නිර්මාණය කෙරුනා.හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් සමාගමේ "තෝමස් ඇන්ඩෲස්" තමයි ටයිටැනික් නැව නිර්මාණය කලේ.

ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.

තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.

අඩි 882.5(මීටර් 269)ක දිගකින් සහ අඩි 92.5ක(මීටර් 28.2)ක පළලකින් යුතු වූ ටයිටැනික් නිර්මාණය කර තිබුනේ මගීන්  2,453කට ගමන්ගත හැකි වන ලෙසටයි.ඒත් අනතුරට ලක්වන විය එහි මගීන් සිටියේ එම සීමාවටත් වඩා අඩුවෙන්.

1909 නිර්මාණ කටයුතු ආරම්භ කල පසුව ඉන් වසර දෙකකට පසු එනම් 1911 මැයි 31 වෙනිදා එහි කටයුතු අවසන් කිරීමට නිර්මාණකරුවන්ට හැකිවුනා.

ටයිටැනික් නෞකාවේ සහෝදර නෞකාව වූ ඔලිම්පික් නෞකාව සිය මංගල ගමන්වාරය 1911 වසරේදී සිදු කරා.එයින් පසුව යම් යම් වෙනස් කම් කීපයක් ටයිටැනික් නැවේ සිදුකර 1912 අප්‍රේල් මුල ටයිටැනික් පරික්ෂණ ගමන්වාරයක නියැලුනා.යාත්‍රාව ගමනාගමනය සඳහා සුදුසු බව එයින් පැහැදිලි වූ පසු ටයිටැනික් නැව සිය මංගල වාරය 1912 අප්‍රේල් 10 වෙනිදා ආරම්භ කරා.ඒ එංගලන්තයේ සදම්ටන් වරායේ ඉඳලා ඇමරිකාවේ නිව්‍ යෝර්ක් නගරය දක්වායි.

පළමු පන්තියේ මගීන් 324ක් ,දෙවන පන්තියේ 284ක් සහ තෙවන පන්තියේ 709ක් වශයෙන් මගීන් 1317ක් ඇතුළු සම්පූර්ණ 2,200ක පිරිසක් රැගත් ටයිටැනික් නෞකාව පස්වරු 1.30ට එංගලන්තයේ සදම්ටන් වරායෙන් තමන්ගේ මංගල මෙන්ම අවසාන ගමන් වාරයත් එලෙස ආරම්භ කරේ "ධනපතීන්ගේ නියමුවා" නමින් ධනවතුන් අතර ප්‍රකටව සිටි "කපිතාන් එඩ්වර්ඩ් ජේ. ස්මිත්" මහතාගේ නායකත්වයෙන් යුතුවයි.
ටයිටැනික්හි මංගල ගමන්වාරය සඳහා සහභාගී වූවන් අතර සුවිශේෂී ප්‍රසිද්ධ පුද්ගලයින් කිපයක්ම හිටියා.ඒ ඇමරිකානු ව්‍යාපාරික බෙන්ජමින් ගුගෙන්හයිම් , ව්‍යාපාරික ජෝන් ජැකෝබ් ඇස්ටර් ,කලාකරුවෙකු වූ ෆ්‍රැන්සිස් ඩේවිඩ් මිලට් , කෝටිපතිනියක් වූ මාග්‍රට් මොලී බ්‍රවුන්,ලේඛක හෙලන් චර්චිල්, ටෙනිස් ක්‍රීඩකයන් වූ කාල් බ'ර් සහ ඩික් විලියම් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ජනමාධ්‍යවෙදියෙකු වූ විලියම් තෝමස් සහ වයිට් ස්ටර් ලයින් සමාගමේ ප්‍රධානියා වූ බෲස් ඉස්මේ මහතා වගේම නැවේ නිර්මාණ ශිල්පියා වූ තෝමස් ඇන්ඩෲස් යන අයයි.

ගමන් ආරම්භ කර සිව් දිනකට පස්සේ එනම් 1912 අප්‍රේල් 14 රාත්‍රියේ ,අත්ලාන්තික් සාගරය ඔස්සේ දකුණු දෙසට පැයට කිලෝමිටර 40ක පමණ වේගයකින් ඇදෙමින් තිබූ ටයිටැනික් නැවට මාරයේ බැල්ම වැටෙන්නට වුනා.
අදාලා ප්‍රදේශයේ විශාල අයිස් කුට්ටි පාවෙන බවට අනතුරු ඇඟවීමේ රේඩියෝ පණිවිඩයක්  ටයිටැනික් වෙත මුලින්ම එදින රාත්‍රී 9.40ට පමණ යොමු කෙරුනත් අවාසනාවට එම පණිවිඩය ටයිටැනික් රේඩියෝ පණිවිඩ කාර්යාලයට ලඟාවන්නේ නැහැ.
ඉන් පසුව නැවත රාත්‍රී 10.55ට දිවිගලවා ගැනීම උදෙසා වූ දෙවන දේව දූත පණිවිඩය ටයිටැනික් වෙත යොමු කෙරෙන්නේ ඒ අවට මුහුදු කලාපයේ පාවෙන අයිස් කුට්ටි වලට මැදිවී ගමන් කිරීමට නොහැකිව නවතා දැමුනු "කැලිෆෝනියන්" නම් නෞකාව විසිනුයි.
කලින් අවස්තාවේ මෙන් නොවී එය ටයිටැනික් කරා ලඟා වුනත් එය සැලකිල්ලට භාජනය වී නැත්තේ මාරයාගේ බැල්ම ඊට ප්‍රබල වූ නිසා වෙන්න පුළුවන්.ඒ වන විට මගීන්ගෙන් ලැබෙන පණිවිඩ සමග කාර්යබහුල වී සිටි ටයිටැනික් නැවේ රේඩියෝ ක්‍රියාකරවන්නා වූ "ජැක් පිලිප්ස්" පණිවිඩය එවූ කැලිෆෝනියන් නෞකාවට බැන වැදී තිබෙනවා.ඒ එවන් කාර්යබහුල අවස්තාවක පණිවිඩ එවමින් තමන්ගේ රාජකාරියට බාධා කරන බව පවසමිනුයි.

වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබියදී සිය උපරිම ඇන්ජින් ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ ටයිටැනික් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් සිට නාවික සැතපුම් 400ක් හෙවත් කිලෝමීටර් 740ක් දකුණු දෙසින් අත්ලාන්තික් සාගරයේ සිය උපරිම වේගයෙන් ගමන් ගනිමින් තිබුනා.
වෙලාව රාත්‍රී 11:40ට පමණ මෙතෙක් වෙලා රේඩියෝ පණිවිඩ මගින් අනතුරු ඇඟවුනු විශාල අයිස් කුට්ටිය නැවේ ගමන් පථයට හරියටම ඉදිරියෙන් පාවෙමින් තිබෙන බව නිරීක්ෂණය වුනේ එවන් පසුබිමකයි.
නියමු කුටියේ අණදෙන්නා වූ "විලියම් මෝර්ඩොක්" විසින් වහාම වේගය අඩාල කරමින් නෞකාව වමට හරවන ලෙස ලබාදුන් නියෝගයට අනුව නෞකාව හැරවූවත් එහි එක් පසක් අයිස් කුට්ටියේ ගැටීම වලක්වාගැනීමට තරම් ඒ ප්‍රතිචාරය ප්‍රමාණවත් වුනේ නැහැ.ඇතැවිට නෞකාව එහි මාර්ගයේම ගොස් මුහුණට මුහුණ ගැටුනේ නම් නෞකාව නොගිලී බේරීමට ඉඩ තිබුනු බව විසේසඥයන් පවසනවා.

නෞකා කාර්යමණ්ඩලය විසින් ගැටීමෙන් සිදුවූ හානිය විශ්ලේෂණය කෙරුනා.නැවේ නිර්මාණකරුවා වූ තෝමස් ඇන්ඩෲස් විසින් නෞකාවේ ඉදිපස පහල කොටසට ජලය පිරෙමින් තිබෙන බව සොයාගත්තේ මෙහිදියී.
අවට මුහුදු කලාපයේ ඇති නෞකාවන්ගෙන් උදව් ඉල්ලා පණිවිඩ යන ලෙස කපිතාම් ස්මිත් විසින් ප්‍රධාන රේඩියෝ ක්‍රියාකරු වූ ජැක් පිලිප්ස් හට නියෝග ලබා දුන් අතර ඒ අනුව උදව් ඉල්ලා රේඩියෝ පණිවිඩ යැවනු ලැබුවා.
ටයිටැනික්හි සහෝදර නෞකාව ඔලිම්පික් ඇතුළු නෞකා කීපයකටම අදාල පණිවිඩය ලැබුනත් ඒ වන විට ඔවුන් රැඳී සිටියේ ටයිටැනික් නෞකාවට ඉතාම ඈත ප්‍රදේශවලයි.ඒ නිසා ඔවුන්ට උදව්වට ඒමට කාලයක් ඉතිරි වී තිබුනේ නැහැ.ටයිටැනික් වෙත අනතුරු ඇඟවීමේ පණිවිඩ එවූ "කැලිෆෝනියන්" නෞකාව මේ වන විට සිය රේඩියෝ පද්ධතිය ක්‍රියාවිරහිත කර තිබූ නිසා ටයිටැනික් නෞකාවෙන් යැවූ උදව් ඉල්ලීමේ පණිවිඩය ඔවුන්ට ලැබෙන්නේ නැහැ.
යැවූ රේඩියෝ පණිවිඩය ලද නෞකා අතරින් උදව් කිරීම සඳහා ටයිටැනික් වෙත ඒමට හැකියාව තිබුනේ එකම එක නෞකාවකට පමණයි.ඒ ටයිටැනික් හිමිකාරත්වයට දැරූ වයිට් ස්ටාර් ලයින් සමාගමේ ප්‍රතිවාදී සමාගම වූ කුනාර්ඩ් සමාගමට අයත් නෞකාවක් වූ "කාපාතියා"(Carparthia) නෞකාවටයි.ඒ වන විට මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු විස්සක් ගෙවී ගොස් තිබුනා.කාපාතියා වෙත පණිවිඩය ලැබෙන විය එය තිබුනේ ටයිටැනික් වෙතින් නාවික සැතපුම් 58ක් හෙවත් කිලෝ මීටර් 107 ක් දුරිනුයි.එබැවින් අනතුරු ස්ථානය වෙත ලඟා වීමය කාපාතියා හට අවම වශයෙන් පැය තුනක්වත් ගත වෙනවා.
ඒ නිසා ගත හැකි වඩාත් සුදුසුම තීරණය වුනේ ජීවිතාරක්ෂක බෝට්ටු වලට මගීන් පිරවීමයි.ටයිටැනික් සතුව ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් තිබුනා.නීති රීති වලට අනුව නම් එය තිබිය යුතු ගණනටත් වඩා වැඩි ගණනක්.නමුත් මේ බෝට්ටු විස්සට පටවන්න පුළුවන් වෙන්නේ නෞකාවේ සිටි 2200න් 1200කටත් අඩු පිරිසක්.ඒ අනුව මුලින්ම කාන්තාවන් සහ ළමයින් බෝට්ටු වලට යැවීමට ඔවුන් තීරණය කරා.නමුත් බෝට්ටුව යා හැකි පිරිසට වඩා ඉතා අඩු පිරිසක් පමණක් එක බෝට්ටුවකට ඇතුලත් කිරීම නිසා තත්වය තව තවත් දරුණු අතට හැරුනා.උදාහරණයක් විදියට 65 දෙනෙකුට ඉඩ ප්‍රස්තාව තිබූ මුලින්ම දියත් කෙරුනු බෝට්ටුවේ සිටියේ 27 දෙනෙක් පමණයි.ඉතින් අවසානයේ ජීවිතාරක්ෂක බෝට්ටු වලින් බේරාගැනීමට හැකිවුනේ 705 දෙනෙකු පමණයි.නෞකාවේ ඉතිරිව සිටි මගීන් කලබලයට පත්වීම අවම කරන්න නෞකාවේ වාද්‍ය වෘන්දය ඒ වන විටත් ගිලෙමින් පැවති නෞකාවේ ඉඳිමින් සිය අවසාන වාදනය ඉදිරිපත් කරමින් සිටියා.ඔවුන්  එසේ වාදනය කරමින්ම නෞකාව සමග අත්ලාන්තික් මුහුදු පතුලේ සැඟවී ගියා.

ඒ වන විට වෙලාව අළුයම 2 වී තිබුනා.නෞකාවේ පිටුපස කොටස ක්‍රමක්‍රමයෙන් ඉහළට එසවීමේ ප්‍රතිඵලයක් විදියට නෞකාව පිටුපස වූ ඇන්ජින් අවරපෙති පැහැදිලිව පෙනෙන තරම්ම ජල මට්ටමින් ඉහළට එසවී තිබුනා.නෞකාවේ දෛවය ඉක්මනින් විසඳෙන බව කපිතාන් ස්මිත් හට මේ වන විට වැටහී තිබූ නිසා ඔහු තමන් සමග සේවයේ නිරත වී සිටි නෞකා සේවකයින් තම තමන්ගේ සේවයන්ගෙන් නිදහස් කරනු ලැබුවා.ඒ ඔවුනොවුන්ට ඔවුනොවුන්ගේ ජීවිත ගැම සිතීමට අවස්තාවක් සලසා දෙමින්.කැප්ටන් ස්මිත්ව සජීවී දෑසකින් කිසිවෙකු විසින් හෝ දුටුවානම් ඒ ඉතිහාසයේ අවසාන වතාවටයි.ඒ නැවත කිසිම දිනෙක ඔහුගේ මල සිරුරවත් සොයාගැනීමට නොහැකි වූ නිසා.

අළුයම 2:18 වන විට හදිස්සියේම නෞකාවේ විදුලිය විසන්ඳි වුනා.ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රහිතව දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්ය වෙනුවෙන් බලාගෙන හිටපු මිනිස්සුන්ට අඳුරු අත්ලාන්තික් සාගරයේ ඉතිරි වී තිබුනේ ආකාසේ පායා තිබූ තරුවල ආලෝකය පමණයි.අළුයම 2:20 වන විට නැව සම්පුර්ණයෙන්ම මුහුදේ ගිලී අවසන් වුනා.මිනිත්තු හයක් තුලදී කැඹලි දෙකකට වෙන් වූ ටයිටැනික් නෞකාව පැයට සැතපුම් 30ක වේගයකින් මුහුදු පතුල කරා ඇදී යන්නට වුනා.එසේ කිලෝමීටර් හතරක් ගැඹුරට ඇදී ගිය විට හමූවූ අත්ලාන්තික් සාගර පත්ලේ එදා සිට අද දක්වාම එකිනෙකට වෙන්වූ කොටස් ද්විත්වයක් ලෙස ටයිටැනික් නැව සාදාකාලික නින්දක පසුවෙනවා.

අත්ලාන්තික් සීතල වතුරට වැටුනු 1500ක තරම් මිනිසුන්ටත් ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි මිනිසුන්ටත් කාපාතියා නෞකව එනතෙක් ඉවසා සිටින්නය සිදුවුනා. නමුත් ඒ වන විට සාගර ජලයේ උෂ්ණත්වය  -2 °C පමණ වූ නිසා දියේ ගිලී මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොටින්න සියල්ලම වාගේ අධික ශීතල ගොදුරු වී හෘදය අකර්මණ්‍ය වීමෙන් මිය ගියා.එසේ වතුරට වැටුනු 1500ම මිය යාමට ගත වූයේ මිනිත්තු තිහකටත් අඩු කාලයක්.ජලයට වැටුනු පිරිසෙන් 500ක් ඒ අසල පාවෙමින් තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු වලට ඇතුල් කරගැනීමේ හැකියාව තිබුනත් එසේ බේරා ගැනුනේ 5 දෙනෙකු පමණයි.ඒ අනුව ඉතිරි සියල්ලම එදා රාත්‍රියේම සීතලෙන් මිදී මියගියා.

බේරා ගැනීමට පැමිනි කාපාතියා නෞකාව ටයිටැනික් ගිලී අවසන් වී පැයකට පස්සේ ඒ කියන්නේ අළුයම 3:30ට අදලා ස්ථානය කරා පැමිණියා.බෝට්ටුවලට වී සිට දිවි ගලවාගත්ත පිරිස බේරා ගත්තා.ටයිටැනික් ඛේදවාචකය ආරංචි වූ කැලිෆෝනියන් නෞකාවත් උදෑසන 8:30ට පමණ අදාල ස්තානයට පැමිණියා.ඒ වන විට කාපාතියා නෞකාව සියල්ලන්ම තම නැවට ගොඩකරගෙන අවසන්ව තිබූ නිසා උදෑසන 9.00ට පමණ නැවත නිව්‍ යෝර්ක් බලා යාමට පිටත් වුනා.කාපාතියා නිව් යෝර්ක් කරා ලඟාවුනේ සිදුවීමෙන් දින තුනකට පස්සේ එනම් අප්‍රේල් 18 වෙනිදායි.

කාපාතියා නෞකාවේ කපිතාන්ට අනුව ටයිටැනික් ඛේදවාචකය සිදුවූ ප්‍රදේශයේ අඩි 200ක තරම් උසකින් යුතු වූ විශාල අයිස් කුට්ටිද ඇතුලු අයිස් කුට්ටු බහුලව පාවෙමින් තිබූ ප්‍රදේශයක්.
බේරාගැනුන ජීවිත 700 අතරින් බහුතරයක් වුනේ කාන්තාවන් සහ ළමයින්.ඒ වගේම නෞකාවේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙක්ම ඉතිරි 1500ත් සමග එදින සීතල රාත්‍රියේ මියගොස් තිබුනා.ඒ අතර ප්‍රකට බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවෙදියා වූ විලියම් තෝමස් , ව්‍යාපාරික ඉසිඩෝර් ස්ට්‍රවුස් , ව්‍යාපාරික බෙන්ජමින් ගුගෙන්හයිම් සහ නෞකාවේ සිටි ධනවත්ම තැනැත්තා වු ජෝන් ජැකෝබ් ඇස්ටර් යනාදීන් ඇතුලත් වුනා.
වැඩිම ජීවිත හානියක් වාර්තා වුනේ තෙවන පන්තියේ මගීන් අතරෙන්.ඒ නෞකාවේ තෙවන පන්තියේ ගමන් ගත් 709ක පිරිසෙන් දිවි ගලවාගැනීමට හැකිවූ 174ක පිරිස හැර අන් සියල්ලම මියයාම නිසායි.
මෙසේ තෙවන පන්ති මගීන් විශාල ලෙස මිය යාමට හේතුව ලෙස ජීවිතාරක්ෂක බෝට්ටු තුලට ගොඩවීමට ඔවුන්ට අවකාශයක් නොදුන් නිසා බවට චෝදනා එල්ල වුනා.ඒ වගේම අනතුරු සංඥාව වන සයිරන් නළාව ක්‍රියාත්මක කිරීමට පවා වීමෙන් තෙවන පන්ති මගීන් අනතුර දරුණු වන තෙක්ම ඒ පිළිබඳ නිසි අවබෝදයකින් නොසිටි බවත් මෙයට හේතුවක් වන්නට ඇතිබව ඇතැමුන් පවසනවා.

18 වෙනිදා උදෑසන 9:30ට පමන කාපාතියා නෞකාව නිව් යෝර්ක් වෙත ලඟා වන විට ඔවුන්ව පිළිගැනීමට 40,000කට ආසන්න පිරිසක් මහවැසි නොතකා පෙරමග බලාගෙන සිටිය.අනතුරෙන් ජීවිත බේරගෙන නමුත් කම්පනයෙන් සිටි මගීන් වෙත වහාම සහන සැලසීමට සංවිධාන රැසක් ක්‍රියාත්මක වුනා.ඒ වගේම මගීන්ට නිවෙස් බල යෑමට නොමිලේ දුම්රිය සේවාවන් පවා ක්‍රියාත්මක වුනා.

විපතට පත්වූන් බේරාගැනීමේදී කාපාතියා සේවක කණ්ඩායම සිදුකල මෙහෙය ඇගයීමට කාපාතියා හිමි කුනාර්ඩ් සමාගම එහි සේවකයන්ට බෝනස් මුදල් ත්‍යාග ලබාදුන් අතර දිවි ගලවාගත් ටයිටැනික් මගීන්ගෙන්ද එම කාර්යමණ්ඩලයට යුරෝ 900ක මුදල් ත්‍යාගයක් පිරිණැමුනා.දිවි ගලවාගත් පිරිසේ විශේෂයෙන් සියල්ල අහිමි වූ තෙවන පන්තියේ සිටි පිරිස්වල පවුල් වල සාමාජිකයන්ව රැක බලා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුනා.

ටයිටැනික් ඛේදවාචකය එකල පුවත්පත් වල ප්‍රධානම ශීර්ෂපාඨය වුනා.ඇසින් දුටු සාක්ෂි වාර්තාකරණය සඳහා පුවත් පත් අතර තරංගයක් තිබූ අතර පුවත් පත් මිලදී ගැනීමට මිනිසුන් වෙළඳසැල් අසල පිරී ඉතිරී ගියා.

පසුකාලීනව ටයිටැනික් ඛේදවාචකය ගැන කවි ,ගී, චිත්‍රපටි ,ටෙලිනාට්‍ය,වාර්තා වැඩසටහන් විශාල වශයෙන් බිහිවුනත් ලෝකයාගේ වඩා ආකර්ශනයට පත්වූයේ ජේමස් කැමරන්ගේ "Titanic" චිට්‍රපටයයි.ඛේදවාචකයට මුහුණ දෙන පෙම්වතුන් දෙදෙනෙකුගේ වියෝවීමේ වේදනාව ගෙනහැරපාන ප්‍රේමණීය සිනමාපටයක් වූ එය ලෝව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ නෙත් කඳුලෙන් තෙත් කල චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවී තිබෙනවා.මෙහි ප්‍රධාන චරිත වූ දාහත් හැවිරිදි ධනවත් ප්‍රේමවන්තිය වූ "රෝස්"ගේ සහ තෙවන පන්තියේ මගියෙකු වූ සෙල්ලක්කාර රොමෑන්ටික් "ජැක් ඩෝසන්" චරිත නිරූපණය කරන්නේ පිළිවෙලින් කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ යන අයයි.එම චරිත ද්විත්වය ලෝක සිනමාවේ සදාතනික ප්‍රේමවන්තයන් ලෙස අදටත් හඳුන්වනවා.
දක්ශ සංගීතඥයෙකු වූ ජේම්ස් හොනර් විසින් මෙහි සංගීත අධ්‍යක්ෂනය කර තිබෙනවා.චිත්‍රපටි තේමා සංගීතය වෙනුවෙන් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ට මුලින්ම අවශ්‍යවුනේ වචන රහිත මිනිස් කටහඬ පමණක් යොදාගෙන තේමාවක් බිහිකිරීමටයි.ඒ අනුව හඬ පරීක්ෂණ ගණනාවකින් පස්සේ  "Hymn to the sea"නම් තේමා කණ්ඩය නිර්මාණය වෙන්නේ නෝර්වීජියානු ගායිකාවකගේ හඬින්.
ජේම්ස් කැමරන්ට චිත්‍රපටිය සඳහා ගීතයක් අවශ්‍ය නොවූ නමුත් සංගීත අධ්‍යක්ෂ ජේම්ස් හොනර් විසින් රහසිගතවම ගීතයක් නිර්මාණය කරනවා.පසුව ගීතය රසවිඳීමෙන් අමන්දානන්දයට පත් ජේම්ස් කැමරන් එය චිත්‍රපටියේ අවසානයේ වාදනය කලයුතුයැයි තීරණය කරනවා.මේ වන විට ලොව වැඩිපුරම ජනප්‍රිය මෙන්ම වැඩිපුරම විකිණුන චිත්‍රපට ගීතය වන්නේ මෙයයි.මේ සෙලීන් ඩියෝන් විසින් ගායනා කරන "My heart will go on" නමින් අප දන්නා ගිතයයි.
කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂනය , හොඳම සංගීත අධ්‍යක්ෂනය , හොඳම සංස්කරණය , හොඳම නිශ්පාදනය , හොඳම හඬ සංස්කරණය ,හොඳම සිනමාකරණය ආදී වශයෙන් ඇකඩමි සම්මාන  11 කින් පිදුම් ලැබුවා.ඒ අනුව ලොව වැඩිම ඇකඩමි සම්මාන දිනාගත් සිනමා පට ත්‍රිත්වය අතරින් එකක් Titanic.ඇකඩමි සම්මාන අතින් Titanic හා සම තැන් ගත් අනෙක් චිත්‍රපටි ද්විත්වය වන්නේ "බෙන් හර්"(Ben Hur) සහ "ලෝඩ් ඔෆ් ද රින්ග්" තෙවන චිත්‍රපටිය වන Lord of the Rings: Return of the King යන ඒවායි.1997 දී මුල්වරට එලිදැක්වූ Titanic නැවත වතාවක් ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණයෙන් නැවත ප්‍රතිනිර්මාණය කර 2012 වසරේදී එළිදැක්වුනු අතර එවර ලොව පුරා ඉපයූ ඩොලර් මිලියන 343ත් සමග මුළු ආදායම ඩොලර් බිලියන 2.18ක් මේ වන විට උපයා ගෙන තිබෙනවා.ඒ අනුව ආදායම් දර්ශකයේ තෙවනි ස්ථානය Titanic හිමිකරගන්නේ Avatar හා Avengers:Endgame සිනමාපට වලට පිළිවෙලින් දෙවන සහ පළමු ස්ථාන හිමිකරදෙමින්.

1912 දී Titanic නෞකාව මුහුදුබත් වන විට නෞකාවේ සිටි ලාබාලතම මගියා වූයේ ඒ වනවිට මාස දෙකක් වයස වූ "මිල්විනා ඩීන්" නම් බිළිඳියයි.ඇය අනතුරෙන් දිවිබේරාගත් අතර දිවිගලවාගත් මගීන් අතරෙන් වැඩිම කලක් ජීවත් වූයේද ඇයයි.ඛේදවාචකයෙන් බේරුනු පිරිසෙන් අවසානයට ජීවත් වී සිටි තැනැත්තා වූ ඇයද 2009 මැයි 31 දින මිය ගිය පසු ටයිටැනික් ඛේදවාචකය සියැසින් දුටු කිසිම අයෙක් වර්තමානයේ මිහිපිට ජීවත්වන්නේ නැත.කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ඉතිහාසය තුල වැළලී ගොස්‍ ය.
දිවි ගලවාගන්නට වාසනාවන්ත නොවූවන් නෞකාව සමගම අත්ලාන්තික් සාගර පතුලේ මිහිදන්ව ඇත.කෙසේහෝ ඔවුන් සියල්ල දැන් ජීවත් වන්නේ මතකයන් තුල පමණි.

චායාරූප ගැලරිය

                     Titanic දියත් කරමින්

           සිය මංගල ගමන්වාරය අරඹමින්

  පළමු චාරිකාව සඳහා වූ දැන්වීම් පෝස්ටරය

               කැප්ටන් එඩ්වර්ඩ් ජේ.ස්මිත්

     නැව නිර්මාණය කල තෝමස් ඇන්ඩෲස්

 ඔලිම්පික් සහ ටයිටැනික් නෞකා නිර්මාණය කරන අතරතුර.වම් පසින් කලු පැහැයෙන් දිස්වන්නේ ටයිටැනික් නෞකාවයි.

            ටයිටැනික්හි ඇන්ජින් අවරපෙති

  නැවේ සේවකයන් ආරක්ෂක කබා පරීක්ෂා කරමින්

                      නෞකාවේ ඇතුලත

                      නෞකාවේ ඇතුලත

                       නෞකාවේ ඇතුලත

 පළමු පන්තිය සඳහා වූ කොටසේ තිබූ අලංකාර පියගැටපෙල.චිත්‍රපටියේ අවසාන දර්ශනයට පසුබිම් වන්නේ මේ ස්තානයයි.

       නෞකාවේ ශරීර සුවතා මධ්‍යස්ථානය

                      නෞකාව ඇතුලත

 අනතුරෙන් දිවි බේරගත් කෝටිපතිනියක වූ මාගරට් මොලී බ්‍රවුන්

 නෞකාවේ සිටි ධනවත්ම තැනැත්තා වූ ජෝන් ජෙකොඩ් ඇස්ටර්.අනතුරෙන් මොහු මියගියා.

    ටයිටැනික් වෙත ලැබුනු අනතුරු ඇඟවීමේ රේඩියෝ පණිවිඩ

    ජීවිතාරක්ෂක බෝට්ටුවල සිටින මගීන්

 බේරාගත් පසුව කාපාතියා නෞකාව මය්හ සිටින මගීන්

 අනතුර පිළිබඳ දැනගැනීමට පුවත් පත් මිළඳී ගැනීමට වෙළඳ සැල් අසල එතතුවූ ජනතාව

  අනතුර පිළිබඳ විස්තර රැගත් පුවත්වත් විකුණන අයුරු

 තමන් ඇතුලු පිරිසේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කෘතගුණ දක්වමින් කෝටිපතිනී මොලී බ්‍රවුන් කාපාතියා නෞකාවේ කපිතාන් ආතර් හෙන්රි රොස්ට්‍රන් හට සම්මානයක් පුද කරන අයුරු.

           අනතුර ගැන විමර්ශන සිදුකරමින්

 චිත්‍රපටිය සඳහා නිර්මාණය කල නෞකාවේ අනුරුව

 චිත්‍රපටි රූගත කිරීම අතරතුර.වමේ සිට කේට් වින්ස්ලට් , ඩිකැප්‍රියෝ සහ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්

 ඇකඩමි සම්මාන අතැතිව සිටින ජේස්ම් කැමරන්

දිවි ගලවාගත්තවුන් අතරින් අවසාන වතාවට මියගිය තැනැත්තිය.


|Letterconik
|14-04-2020