Sunday, April 5, 2020

පිරිමි වෙස්ගත් කාන්තාවක වූ ජේම්ස් බැරීගේ රහස


සාර්තක සිසේරියන් සැත්කමක් සිදු කිරීමට සමත් වූ පළමු යුරෝපීය වෛද්‍යවරයා වන්නේ ජේම්ස් බැරී(James Barry) නම් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයායි.ඒ 1826 ජූලි මස 25 වෙනිදායී.දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී සිදුවූ මෙම සැත්කම අප්‍රිකානු ඉතිහාසයේද පළමු සාර්තක සිසේරියන් සැත්කම ලෙස ඉතිහාස ගතවී තිබෙනවා.
නමුත් මේ සැත්කම සිදුකල ශල්‍යවෛද්‍ය ජේම්ස් බැරී පිරිමි වෙස් ගෙන සිටි කාන්තාවක් බව ඔබට සිතාගත හැකිද.ඇය තම සැබෑ ලිංගික අනන්‍යතාව වසර 56ක් පුරා සඟවා ගෙන පිරිමි අනන්‍යතාවකින් පෙනී සිටි අයෙක්.
මේ ඇයගේ කතාවයි..

1789 අවුරුද්දේ දවසක අයර්ලන්තයේ ජීවත් වූ ජෙරමියා බල්ක්ලි සහ මේරි ඈන් බල්ක්ලි යන යුවලට දාව ගෑණු ළමයෙක් උපදිනවා.ඇයට උපතින් ලැබුන නාමය වන්නේ "මාගරට් ඈන් බල්ක්ලි" යන්නයි.මාගරට් ඈන්ට ඇයට වඩා වයසින් වැඩි සහෝදරයෙකු සිටි අතර පුංචි මාගරට් තමන්ගේ වැඩිමල් සහෝදරයට වඩා බුද්ධිමත් අයෙක් වුනා.

ඇයගේ , එනම් මාගරට් ඈන්ගේ පියා සතුව කුඩා සැලක් තිබුනා.පසුකාලීනව එය වැසීයාමත් සමග ඇයගේ පියා දරුණු ණය බරක ගිලීගියා.ප්‍රතිපලය දියණිය මාගරට් ඈන් සහ බිරිඳ මේරි ඈන් සඳහා සියලු වියදම් ඔහු විසින් කපා හැරීමයි.ඒ වන විට විවාහ වී සිටි මාගරට්ගේ වැඩිමල් සහෝදරයත් තම නැගණිය සහ මව නොසලකා හැර තිබුනා.මේවැනි ආර්තික ගැටලු නිසා ඉහළ වංශවත් පෙළපතක ඉපදුනත් මාගරට්ගේ ළමා කාලය ඉතා පීඩාකාරී එකක් බවට පත්වුනා.

මාගරට් ඈන් කබලෙන් ලිපට වැටෙන සිදුවීමක් වුනේ මේ අතරවාරෙයේදීයි.ඒ නවයොවුන් වියේ හිටපු මාගරට්ට ඇයගේ මාමා කෙනෙකු අතින් ලිංගික අතවරයක් වීමයි.මෙයින් ගැබ් ගත් මාගරට් "ජූලියානා" නමින් ගැහැණු දරුවෙකු ප්‍රසූත කරා.නමුත් අලුත උපන් ජූලියානා සමාජයට ඉදිරිපත් කරුනේ මාගරට්ගේ දියණියක් විදියට නෙමෙයි.ඒ මාගරට්ගේ සහෝදරියක් එනම් මාගරට්ගේ මවට දාව ඉපදුනු දරුවෙකු විදියටයි.මාගරට් අතීතය තුල සඟවපු පළමු රහස වුනේ එයයි.
පස්සෙ කාලෙක ජීවත් වීමේ මාර්ගයක් නැති තැන මාගරට්ගේ මව මාගරට් සහ ජූලියානා එක්ක ලන්ඩනයේ හිටපු ඇයගේ සහෝදරයා ගාවට එනවා.මවගේ සහෝදරයා වූයෙ එවකට ලන්ඩනයේ රෝයල් ඇකඩමියේ චිත්‍ර කලාව පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම ඉතා ප්‍රකට කීර්තිමත් කලාකරුවෙකු වූ ජේම්ස් බැරී නම් තැනැත්තායි.
වසර 56ක් පුරා ලෝකයම රැවටූ තරුණ මාගරට්ගේ නාට්‍ය ආරම්භ වෙන්නේ මේ කියන ජේම්ස් බැරී මිය ගියාට පසුවයි.
වෛද්‍ය විද්‍යාව ඉගෙනීමේ ආශාව මාගරට්ගේ සිත තුල රෝපණය කිරීමේ කාර්යය සිදු කරන්නේ ඇයගේ මවගේ මියගිය  සහෝදරයා වූ මේ මහාචාර්යවරයාගේ මිතුරෙකු විසිනුයි.ඒ අනුව ඔහුගේද උපදෙස් මත පිරිමියෙකු ලෙස ඇඳ පැළද , මාගරට් ඈන් බල්ක්ලි නම් සිය කාන්තා නාමයද පිරිමි නමකට මාරු කර ඒ වන විට කාන්තාවන්ට අයිතිවාසිකමක් නොතිබූ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇය ඇතුළු වන්නේ මියගිය මහාචාර්ය ජේම්ස් බැරීගේ නාමයම භාවිතා කර ඔහුගේ ඥාති පුත්‍රයෙකු ලෙස පෙනී සිටිමිනුයි.ඉන්පසුව ඇයගේ මව වූ මේරි ඈන්ව ඇය විසින් සමාජයට ඉදිරිපත් කලේ තමන්ගේ නැන්දනිය විදියටයි.

පසුව 1813 දී වෛද්‍යවරයෙක් විදියට ඇය බ්‍රිතාන්‍ය හමුදාවට එක්වුනා .ඉන් පසු සහයක ශල්‍යවෛද්‍ය තනතුරේ සිට පියවරෙන් පියවර හමුදාවේ ඉහළ නිළයන් දක්වා උසස් වීම් ලබාගත් ඇය සිය වෘතීය  තුල හමුදා වෛද්‍ය සේවයේ බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුරකට සමාන් වූ ඉන්ස්පෙක්ටර් ජෙනරාල් තනතුරක් දක්වාම ඉදිරියට යාමට සමත්වුනා.මේ සියලුම දුර ඇය ගෙවා ගියේ පිරිමියෙකු සේ වෙල්වලාගෙනයි.

හමුදා වෛද්‍ය නිළදාරියෙක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ විවිධ ඉසව්වල සේවයේ නිරත වූ ඇය එලෙස දකුණු අප්‍රිකාවේ සේවය කරන අතරතුරදීයි ඉහත කී සිසේරිය සැත්කම සිදුකලේ.එසෙ උපත ලැබූ දරුවා වෛද්‍යවරයාට ගෞරව කිරීමක් ලෙස ඔහුගේ නමින් නම් කෙරුනා.පසුව ඔහුගේ මුනුබුරාටත් එම ගෞරවනීය නාමය ලබාදීමට ඔවුන් අතක කලේ නෑ.

ජේම්ස් බැරී ලෙස පෙනී සිටි මාගරට් ඈන් ලෝකයාගෙන් සැඟවූ තමන්ගේ අනන්‍යතාව හෙලිදරව් වෙන්නේ ඇය මියගිය පසුවයි.

1865 ජූලි 25දින උදෑසන සිය යහන මතම මියගොස් සිටි වෛද්‍ය ජේම්ස්ගේ සිරුර සොයා ගැනුනා.අදාල අංශ විසින් අවසන් කටයුතු සඳහා සිරුර සූදානම් කිරීමේදී ජේම්ස් බැරී නම් මෙම තැනැත්තා සැබෑවටම පිරිමියෙකු නොවන බවත් පිරිමි වෙස් ගෙන සිටි කාන්තාවක් බවත්  හඳුනා ගැනුනා.තවද ඇයගේ සිරුරේ දරු ප්‍රසූතියක් සිදුකල බව හැඟවෙන කැළැල් තිබුනා.ඒ අනුව ඇය විසින් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවද සොයාගැනුනා.
ඇගේ නැසීගිය කීර්තිමත් මහාචාර්ය මාමාගේ මිත්‍රයෙකුව සිටි මෙන්ම මාගරට් ඈන් නම් තරුණියට පිරිමි වෙස් ගැනීමට දිරිමත් කල පසුකාලීනව වෛද්‍ය ජේම්ස්ගේ නීතීඥයා ලෙස පෙනී සිටි තැනැත්තෙකුට වරෙක වෛද්‍ය ජේම්ස් විසින් යවාතිබූ ලියමනක අදාල නීතිඥයා විසින් වෛද්‍ය ජේම්ස්ව "මාගරට් මෙනවිය" ලෙසන් හඳුන්වා තිබුනා.එම සටහන සොයා ගැනීමෙන් පසු වෛද්‍ය  ජේම්ස්ගේ සැබෑ අනන්‍යතාව නිවැරදිව සොයාගැනීමට නිළධාරීන්ට හැකිවූ අතර ඇයගේ සැබෑ නාමය "මාගරට් ඈන්" බවත් ඇය විසින් ප්‍රසූත කලායැයි සැලකෙන දරුවා වෛද්‍ය ජේම්ස්ගේ සහෝදරයා ලෙස පෙනී සිටි ජූලියානා බවත් අනාවරණය වුනා.
වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටි කාලයේදී මෙන්ම සේවයේ නිරතවන කාලයේදීද අනෙක් පිරිමි සඟයන්ට සාපේක්ෂව තරමක මිටි බවකින්, සිහින් බවකින් සහ පැහැපත් සමකින් යුතුවුවත් ජේම්ස් බැරී කාන්තාවක බව ඔවුන් කිසිවෙකුවත් නොසිතා ඇත.ඒ ඇය ඉතා කාර්යශූර දක්ශ තැනැත්තියක වූ නිසාය.එලෙස ලොව සිටි බුද්ධිමත්ම හා දක්ෂම මිනිසුන්ගෙන් පවා ඇය තමන් කාන්තාවක් බව සඟවා ජීවිත කාලයක් ගතකිරීමට තරම් දක්ශ විය.තමන් මියගිය පසු මියයන විට සැරසී සිටි ඇඳුම් ආයිත්තම් වලින්ම අවසන් කටයුතු සිදු කරන ලෙස ඇය තම අවසන් කැමැත්තේ දක්වා තිබුනේ ඇතැම්විට මරෙණන් පසුද තම රහස තමන් සමගම මියයාමට ඉඩ හැරීමට විය යුතුයි.නමුත් අවසානයේ ඇයගේ රහස ලෝකයාට අනාවරණය වුනා.

පිරිමියෙකු ලෙස සිටිමින් ලෝකයාම රැවටීමට ලක්කලත් හමුදා සේවයේදී ඇය ලබාගත් තනතුරු හා ගෞරව නාම ඇයට ගෞරවයක් ලෙස අදටත් ඇයගේ සොහොන් ස්මාරකයේ සටහන් කරන කර තිබෙනවා.

06-04-2020

2 comments: